Saturday, December 17, 2011

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියක් සඳහා......

පළමුව අප අයත් වන්නේ ලෝක පරිමාණ ජන ජීවිතයකට බව තේරුම් ගත යුතුව ඇත. මිනිසා ගෝත්‍ර යුගයෙන් ජීව විද්‍යාත්මක ලොවකට ගමන් ඇරඹූ සත්ව කොටසකි. ඒ මිනිස් වර්ගයා ලෝකය හඳුනා ගෙන ලෝකය තමන්ට සුදුසු ආකාරයට සකස් කර ගනිමින් සිටී. එපමණක් නොව ලෝක ප්‍රජාවටම ඔවුන්ගේ ජන ජීවිතය ගොඬ නගා ගැනීමටත් එමෙන්ම විශ්වයේ අයිතිය සමාන ලෙස සියලු ජනතාවගේ පැවැත්ම සඳහා ගොඩ නගා ගැනීමටත් සියලු සත්වයන් සමග සොබා දහම රැක ගනිමින් කරන අරගලය ද මානවවාදී සංවර්ධනවාදී අරගලයකි. විද්‍යාව, එය සමාජ විද්‍යාව ලෙසද කාර්මික සහ කෘෂිකාර්මික සමාජ සංවර්ධනය සඳහා ලෝක පරිමාණ සමාජ සංවර්ධන සඳහාද යොදා ගැනීම දියුණු සහ නොදියුණු සියලු මිනිසුන් සතු වගකීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය වන අතර සංවිධානාත්මකව ගතහොත් එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියයි.

“දේපළ” යන සමාජ සම්පත් මෙහි දී තීරණාත්මකව ඉස්මතු වේ. දේපල සමඟ බලය ද තවත් පැත්තකින් ගොඩ නඟා ගැනීමට ජන කණ්ඩායමක් ඉදිරිපත් වේ. බලය ලබා ගැනිමේ දී දේපල සම්බන්ධතා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බලය ලබා ගැනීමට, ලබාගත් බලය රැක ගැනීමට එය තමාගේ හෝ කණ්ඩායමක අයිතිය බවට පත්කර ගැනීමට, ලෝකය තමාගේ අණසකට යටත් කර ගැනීමකට බලය ඇති රටවල්, බලය ඇති කලාප එසේ කටයුතු කිරීම ද තවත් අධි ප්‍රවණතාවයකි. මෙම අධි ප්‍රවණතාවයට ද ඉතිහාසයක් ඇත. සම්භවයක් ද ඇත. ගෝත්‍ර නායකයින් රජු දක්වා පරිවර්තනය වීම ද රජුගේ බලය එකඟතාවය මත දැනුමේ දියුණුවේ විශ්වාසයේ ශක්තිය මතම සෑම දෙයක්ම තීරණය වන්නේය. ඒ සමගම වැඩවසම් සමාජය ධනේශ්වරය දක්වා විකාශනය වීමේ දී ඒ අතරතුර වැඩවසම් සමාජය තුළ දී විවිධ ආගම් ද බිහිවිය. කතෝලික, ඉස්ලාම්, බෞද්ධ හෝ දේව ආගම් බිහිවීමේදී පැවති ක්‍රමය තුළ ගැටුම්කාරී ලෙස නව ප්‍රපංචයක් ලෙස ප්‍රචණ්ඩ ආකාරයක් ගනිමින් කැරළිකාරත්වයත් සමඟ බලහත්කාරයෙන් එයට නායකත්වයක් ලැබිණි. පැවති සමාජය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දැන උගත්කම් සහිත ලෝකය වටහා ගැනීමටත් එමෙන්ම තම ජන ජීවිත පවත්වා ගැනීම ද සහෝදරත්වය, අනෙක් මිනිසාගේ වටිනාකම, සෞන්දර්යය, කලාව හා නිර්මාණ ශිල්පය ද සමඟ පිරිපුන් මිනිසා ගොඩ නැඟී ඇත.

බස රටකට ජාතියකට කුලයකට ප්‍රදේශයකට සීමා නොකර මුලු ලොව පුරාම ව්‍යාප්ත වූයේ හේතුවක ඵලයක් ලෙසිනි. විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරමින් විවිධ ශාස්තෘවරුන් මහා අධිපතියන් විය. අනුගාමිකයින් සමඟ ජන කොටස් වෙන් වෙන් වශයෙන් විවිධ ආගම්වලට ඇතුළත් විය. ආගම් විවිධ වුවද ගොඩ නගන ලද්දේ එකම දහමකි. මිනිසාගේ පැවැත්ම උදෙසාම සහ සාමය සතුට සංවර්ධනය සඳහාම ඒවා දේශනාවන්ම විය. මේ සමගම යුරෝපය මුල් කර ගනිමින් ප්‍රජාවගේ අනන්‍යතාවය ආරක්ෂා කර දීමට ප්‍රජාතන්ත්‍රවාදය බිහිවිය. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසත්, ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම පිණීසත්, යහපාලනයේ පහසුව සඳහාත් පාලකයා සමඟ අනෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහායි. මෙම ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව තුළත්, පවුල තුළත් සංවර්ධනය සඳහා කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය තුළත් විශ්වාසය සමගින් සහෝදරත්වය සඳහා විවිධ ජනවාර්ගික කණ්ඩායම් තුළත් ඒ සමඟම පරිහරණය හා පාලනය තුළින් ඇති කරලීම සහ දුගියාගේ අයිතිවාසිකම් මෙමගින් ලබා ගැනීමට හා ලබා දීමට පුජාතන්තුවාදය පෙරමුණු ගනී. දේපළ හිමියා ද තමාගේ දේපලවල අයිතිය සඳහා ද පාලකයා තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ද නීතිමය තත්වයන් මෙමගින් ගොඩ නගා ගනිමින් සිටී. සාපේක්ෂව බැලූ කල එය එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනුනත් මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද සියලුම ජන කොටස් ගෝලීය ක්‍රමයකට ඇතුළත්වීමෙන්ද ලොවම දියුණුව කරා යන ගමනේදී එය සමාජමය අසාධාරණයක් ලෙසද ලෝක ජනගහණයෙන් සුළු කොටසකට පමණක් සීමා වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පෙරළාගෙන ඇත. දේපළ බෙදී යාමේ ගුණය ප්‍රමාණවත් නොවන බැවින් විශේෂයෙන්ම දිළිඳු රටවල්වලට සංවර්ධනය කරා ගමන් කිරීමේ දී මෙය මාර්ග බාධකයක් බවට පත් වී ඇත.(ධනේශ්වර ක්‍රමයේ උච්චතම අවස්ථාව අධිරාජ්‍යවාදයයි)

වැඩවසම් ක්‍රමයට වඩා ධනේශ්වර ක්‍රමය ජනතාවට ප්‍රගතිශීලි වන අතර මෙමගින් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස සමගින් රැකියා සමගින් සමාජ විද්‍යාව අරගලකාරී ලෙස ප්‍රචණ්ඩකාරී ලෙස වේගයෙන් අඩු වැඩි වෙමින් සංවර්ධනය සමගත් මුළු මහත් ලෝකයාට සමාන ලෙසත් (උපයෝගී ලෙසත් ක්‍රියාත්මක වේ) නමුත් මේ අවස්ථාවලදී අසාධාරණය සිදුවන්නේ දුප්පත් නොදියුණු රටවැසියාටයි. මෙයිනුත් මුදල් හදල් හා බලය ඇති ජන සමාජමය ජන කොටස් මෙම අවස්ථාවන් ජාති භේදයෙන් කුල භේදයෙන් ‍ෙතාරව ප්‍රදේශවාදයෙන් තොරව ලෝකෝත්තර ගුණයකට හිමිකම් කියයි. මේවා මෙලෙස සිදුවෙද්දී අපි ජාතිවාදය හා කුලවාදය සමගින් රටවැසිවාදය කරපින්නා ගතහොත් අප අපටම සිදු කර ගන්නේ විශාල හානියකි. නොදියුණු රටවල උගතුන් බටහිර දියුණු රටවල පුරවැසිභාවය ලබා ගැනීමත් තමාගේ දැනුම හා ශ්‍රමය තමන්ගේ දේශයෙන් පිටට රැගෙන යාමත් ඔවුන්ගේ ජීවන තත්වය උසස් වූවත් ලෝකය හා සැසදීමේ දී උපන් රට අමතක කළා ‍නොවන්නේ ද ප්‍රශ්නය වන්නේ නූගතුන් සමගින් දිළිඳුභාවය සහතික වීමකි. විදේශීය රටවල ජීවත්වන ලාංකිකයන්ද විදෙස් තුළ දී ලාංකිකත්වය ආරක්ෂා කරන අතර ස්වදේශයට පැමිණි කල ඔවුන් නැවත ජාතිය ආගම කුලය ප්‍රදේශය මතු කිරීම සමාජමය වශයෙන් ප්‍රතිගාමිත්වයක් ගනී. නමුත් ඔවුන් සමගින් තම දේශයට ඇදී එන ප්‍රාග්ධනය අසීමිත බැවින් එමගින් දේශීය ආර්ථිකය මත පවුලේ යහපැවැත්ම රඳා පවතී. වි‍ෙශ්ෂයෙන් අපේ රටේ මූලික ආදායම වන්නේ විදේශ රැකියා කරන බුද්ධිමතුන් හා මැද පෙරදිග රැකියා කරන කාන්තා හා පිරිමි පුහුණු ශ්‍රම ක්‍රියාකාරිත්වයයි.

ඇත්තටම කැරලිකාරිත්වය හා ප්‍රචණ්ඩත්වය යනු සමාජමය ක්‍රියාවලියකි. ජන සමාජයේ ඉතිහාසය හදාරන විට විවිධ වකවානුවලදී විවිධ ආකාරයෙන් කැරලිකාරත්වයන් ඉස්මතු විය. විදේශීය බලවේග අප යටත් කර ගත්තේ ද කැරලිකාරිත්වය සමග ප්‍රචණ්ඩත්වය යොදාගෙනය. පෘතුග්‍රීසින්, ලංදේසින්, ඉංග්‍රීසින් මෙන්ම චෝල පාණ්ඩ ආක්‍රමණ මගින්ද කියවෙන්නේ මේ කතාවමය. රට නිදහස් කර ගැනීමට 1815 කැරැල්ල මෙන්ම විදේශීය ආක්‍රමණ පරාජය කිරීමට කැරලි ගැසූ ප්‍රමාණය අප්‍රමාණය. එමෙන්ම 1953 හර්තාලය ද කැරලි ගැසීමකි. එහි ප්‍රතිඵලය වූයේ 1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත්වීමයි. සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ගැසූ කැරලි ද වර්ගවාදී වුවත් ඒවා ද කැරලිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වෙඩි තබා මරා දැමීම ද කැරලිකාරිත්වයේ ප්‍රතිඵලයකි. මවක් දරුවා බිහි කිරීමේ දි ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙයි. අපිට නොතේරුනාට ප්‍රචණ්ඩත්වය සාපේක්ෂය. එනමුදු මෙය පාලනය කළ හැක. සංවර්ධනයේ සිහින දකින වර්තමානයේ පාලකයා ද අති ප්‍රචණ්ඩත්වයක් සමඟ හිතුවක්කාරත්වයක් ජන සමාජයට මුදා හැර ඇත. නමුත් එම ප්‍රචණ්ඩත්වය හා හිතුවක්කාරකම නූගත්කම වන අතර එය ද අවිද්‍යාත්මකය. ප්‍රතිඵල රහිතය.

විදේශ රැකියාවල අරාබිකරයේ සේවය කරන කාන්තා සහ පිරිමින් දරුණුතම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත. අරාබිකරයේ සිරගෙවල්වල ද තානාපති කාර්යාලවලද මහාමාර්ගවල ද ජීවිකාව ගෙවන බව හෙළිදරව් වී ඇත. රැකියා ස්ථානයෙන් පැනයාමට හේතු ලෙස හාම්පුතුන් පහරදීම්. ඇණ ගැසීම්, උඩු මහලින් තල්ලු කර දැමීම් අසන්නට ලැබේ.අපේ රටේ ආර්ථිකයේ පළමුවන ශ්‍රම බලකාය වන මොවුන් මෙසේ වධ බන්ධනයට ගොදුරු වී ඇත. එසේ උපයන මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යාමට යොදා ගනී. එය ද සැහැසිය. හිතුවක්කාරිය. අද වන විට 1200000 පමණ කාන්තාවන් විදෙස් ශ්‍රමයේ යෙදී ඇත. අප රටේ තරුණ පරම්පරාවට රැකියාවන් ලෙස ඇත්තේ විදේශ රැකියා පමණි. මැද පෙරදිග වඩු කම්කරුවන් ලෙස, අරක්කැමියන් ලෙස දහසක් කම්කටොලු මැද රැකියාව කරන අතර අද එම රැකියා අවස්ථා අහිමි වී දකුණු කොරියාවේ රැකියා සඳහා ඉල්ලුම්පත් 35000 ඉල්ලා අද වන විට පෝලිම් ගැසී ඇත. නමුත් මේ අවුරුද්ද තුළ දකුණු කොරියා රැකියා ලෙස ලැබී ඇත්තේ 3000 පමණි. මේ රැකියා 3000 ද අයත් වන්නේ ධීවර වෘත්තීන් සඳහාය. (මුහුදු යාම) අපට ලැබෙන ආරංචිය අනුව මෙම ධීවර රැකියාව සඳහා යන තරුණ තරුණියන් රැකියාවේ දුෂ්කර තත්වය තුළ ප්‍රචණ්ඩ වීම ද අරගල කිරීම ද මෙයම අවස්ථාවක් විය හැක.

සංවර්ධන න්‍යායේ ප්‍රචණ්ඩත්වය වන්නේ කම්හල් තුළ. මහ පොළොව සමගින් වැව් අමුණු හා වාරි මාර්ග ක්‍රම සමගින් ශ්‍රමය වැය කිරීමයි. අධි ශ්‍රමයක් වැය කිරීමක් මගින් ලබන නිෂ්පාදන ක්‍රියාවලියක් අතිරික්ක ආදායම් ලැබීම සංවර්ධනයේ ප්‍රතිඵල යැයි අපි හඳුන්වමු. වැව් අමුණු සමගින්දාගැබ් සමග සංස්කෘතිමය සංවර්ධනය ශිෂ්ටත්වය විදහා පායි. හිරෝෂිමාවට දෙවන ලෝක යුද්ධයෙන් බෝම්බ හෙලීමත් එමගින් ජපානය කම්පා වීම සමඟ අළුතින්ම නැගිටි ජපාන ජනයා ලොව මවිත කරමින් ලෝකයේ දියුණුම රටක් බවට පත් කළාය. එය ද ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයට මුහුණු දුන් ශ්‍රම ප්‍රචණ්ඩත්වයයි. දිළිඳු භාවයේ කෙළවරටම ගිය දකුණු කොරියානුවා අවශ්‍යතාවය මත තම රටේ සංවර්ධනය සඳහා නව කර්මාන්ත නව කෘෂි කලාප ඉදි කරමින් විශ්ම කර්ම ලෙස ලොව හමුවේ නැඟී සිට ඇත. සංචාරක ව්‍යාපාර පිළිබඳව 100% ක්ම විශ්වාසය තබා ඇති අප වැනි රටවල් අප ආත්ම ගරුත්වය අපේ සංස්කෘතිය අපේ නිවහල්කම වි‍ෙද්ශීය ධනවත් සංචාරකයින් බේබද්දන් ජාත්‍යන්තර ජාවාරම් කරුවන් සමග විදේශ ආධිපත්‍යයට මේ රට විකුණවමින් පවතී. ජන සමාජය අකැමැති, සෞභාග්‍යයට අහිතකර, සදාචාරවත් නොවන මෙම ක්‍රමයට අකැමති ජනතාව පවතින ආණ්ඩුවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත. ධීවර වරායවල් අහෝසි වීම ධීවර වෘත්තිය අහෝසි වීම පදිංවිය වෙනස්වී මහත් ගැටළු රාශියක් පවතින ආණ්ඩුව විසින් දුගී ජනතාවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත.

මෙමගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ප්‍රචණ්ඩ ආකාරයක් ගෙන ඇත. 2011.11.18 වන දින අයවැය විවාදයේ දී විධායක ජනාධීපතිවරයා ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය ද ඉතාම ප්‍රචණ්ඩය. හිතුවක්කාරය. තම නායකයා ඉදිරියේ ගෝල බාල මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ඉතාම නින්දා සහගතය.‍ විධායකයේ බල මහිමය මත ව්‍යවස්ථාදායකය රූකඩයක් බවට පත්කොට වෘත්තීය වෙළෙන්දන් ජාවාරම් කරුවන්, නූගතුන් පාතාල සාමාජිකයන් විවිධ අපරාධකාරයන් කොමිස් මැරයන් ව්‍යවස්ථාදායකත්වය නියෝජනය කිරීම කැරලිකාරිත්වයකි. ප්‍රචණ්ඩත්වය යෙදීමකි. මහජන ආයතනවල ගෞරවය කෙළෙසන මෙම වන්දි භට්ටයින් සිදු කරනු ලබන්නේ සමාජමය විනාශයකි. රටම වැනසීමකි. මෙහි ප්‍රතිඵල වන්නේ ජන සමාජය ද ප්‍රචණ්ඩත්වය වැළඳ ගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විට එය නැවත ලබා ගැනීමට ඇත්තේ ද ප්‍රචණ්ඩත්වය යෙදීම පමණකි. ලිබියාවේ ගඩාපි විරෝධී අරගලය මතු වන්නේ ගඩාපි මගින්මය. මර්දනය හා කුලී හමුදා යෙදවීම මගිනි. ලිබියානු හමුදා සහ හමුදා නායකයින් ලිබියානු ජනතාවට වෙඩි තැබීමට අකැමැත්ත ප්‍රකාශ කළාය. දරදඬු නූගත් ගඩාපි කුලී හමුදා උපයෝගී කරගෙන මර්ධනය දියත් කිරීමට යාමෙන් ගඩාපිට අවසානයේදී සිදු වූයේ බෝක්කුවක් යට සැගවීමටත් ඇඳුම් නැතිව ගුටිකෑමටත් මහපාරේ ඇදගෙන යාමට ඉඩ දීමටත් අවසානයේ වෙඩි කා මරු තුරුලට යාමටත් තමාගේ හිතුවක්කාරී පාලනය තමාටම බල පෑවේය.

රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය අතර අද විශාල පරස්පරයක් දක්නට ලැබේ. අනෙක් අතට රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතියක් අනුව ස්වයංවරයක් තුළින් යාමට ඉඩ නොදීමෙන් ද රටවල්වල මහා විනාශ සිදුවේ. එසේ යාමට ඉඩ නොදෙන්නේ පාලකයෝය. ටියුනීසියාවේ ආණ්ඩුව පෙරලගෙන ලිබියාව දක්වා කැරලි පැන නැඟුනේ මිනිසුන්ගේ තොරතුරු ගලා ඒමට ඇති මාර්ග යම් යම් නීති දමා ඇහිරූ නිසාය. ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට බාධා ඇති කළ විට ඔවුහු වෙනත් මාර්ගවලින් තොරතුරු සොයති. ප්‍රසිද්ධ මාධ්‍යය කියන දේට වඩා පොදු නොවන රහසිගත මාර්ගයකින් ඇසෙන තොරතුරුවල විශාල සත්‍ය බවක් ඇතැයි පිළිගැනීමේ ප්‍රවණතාවයක් අද වන විට ලෝක පරිමාණයෙන් දක්නට ලැබේ.

මේ අන්දමට බලන කල ලොවේ කිසිදු රටකට පොදුවේ ගැලපෙන මාධ්‍ය සදාචාර ධර්ම පද්ධතියක් සකස් කරනවා යනු මිත්‍යාවකි. ඒ මන්ද ජනමාධ්‍ය සදාචාරය යන්න එරට ජන විඥානය සමඟ ගැලපිය යුතුය. සමාජ සාරධර්ම සමග ගමන් කළ යුතුය. රටවැසියාගේ ආර්ථීක තත්ත්වය නිදහස සමඟ ජන විඥානය ගමන් කරයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය සෑම අහුමුල්ලක්ම ආක්‍රමණය කර හමාරය. ජන මාධ්‍යයට ද විලංගු වැටෙන්නේ එහි ප්‍රතිඵලයකිනි. අද දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් බැට කන්නේ විපක්ෂය පමණක් නොව බලය ඇති පක්ෂයේ පිරිස්වලට වුව ද කොයි මොහොතේ මරණීය ව්‍යවසනයක් සිදු වීමට ඉඩ තිබේ. මේ නිසා දේශපාලන සදාචාරයක් ඇති නොකර පක්ෂය හෝ කණ්ඩායම දිගුකාලීන පැවැත්මක් ගැන සිතිය නොහැකිය. කෙසේ වුව ද සියල්ල දේශපාලනීකරණය වූ රටක පැන නගින සකලවිධි අර්බුදවලට විසඳුම දේශපාලනය තුළින්ම සොයා ගනු විනා ඉන් පිටත මගක් සොය‍ා යාම නිශ්ඵලදායකය.

ජ.වි.පෙ. කීපදෙනෙක් කණ්ඩායමක් ලෙස ඉන් ඉවත්වීමත් සමඟ ඒ පිළිඳවත් ජ.වි.පෙ. පිළිබඳවත් එහි අතීත ගමන් මඟ පිළිබඳවත් අද කතාබහට පත් වී ඇත. ජ.වි.පෙ. මෙම ප්‍රවණතාවය එහි ආරම්භයේ සිටම පැවතීම සැබෑ ලෙස ධනේශ්වර අර්බුදය ඉරිතලා ගොස් හමාරය. නමුත් එම අසමගිය හා වමේ කඩා වැටීම අප ඉදිරිපිට පෙන්නුම් කරයි විප්ලවයේ ගමන් මග සම්බන්ධ වූ ‍මෙම අරගලය 1971 දීත් (අරගලයට පෙර) පුපුරා ගොස් තිබී 1971 පහරදීමට ගත් තීරණය පිළිබඳව එකඟතාවයක් ද නොතිබිණි. නැතිනම් වැල්ලවාය පොලීසිය අප්‍රේල් 4 පහරදීම එය සනාථ කරයි‍. සමාජ විප්ලවයේ කාර්යභාරය අප තේරුම් නොගත් අතර ඒ සඳහා අප තවම අසලකටවත් ගොස් නැත. කාර්යභාරය පසෙක තිබිය දී ක්‍රියාමාර්ග දක්වා තවත් වරක් ගමන් කිරීම සඳහා ජ.වි.පෙ. තුළ ඇති වූ දරුණු මතවාදී අවසන් වන්නේ පරාජය වූ කණ්ඩායම කැරළි කණ්ඩායමක් ලෙස ඉවතට විසිවීමය.

ජ.වි.පෙ. තෙවන වර ගොඩ නැගීමේ දී විමල් කළ කාර්යභාරය සුළුපටු නොවේ. විමල් පුරුද්දට ජාතිවාදී නොවුවා නම් විමල් අසලින් සිට ගැනීමටවත් ප්‍රචාරකයෙන් වමේ ව්‍යාපාරයේ තවම නැත. ජාතිවාදී වීමද ඔහු දක්ෂිණාංශික පිලී පැනීමක් වූ අතර ඔහු ජ.වි.පෙ. තුළ කළ මතවාදී අරගලය පරාජය වී ඉවත්වීමත් ජ.වි.‍ෙප. තුළ අති වාමාංශික පීලි පැනීමට ඉඩ ලබා දුන් බව මාගේ අදහසයි. විජේවීරයන් අපට හමුවෙමු. අපි ඔහු ආශ්‍රය කළෙමු. ඔහු වරෙක අපි සමඟ සිනාසුනෙමු. තවත් වරක අමනාප ද වූයෙමු. අපි සංවාද කළෙමු. ඔහු ද සංවාදයට සහභාගී වුනෙමු. ‍ඔහු කොතරම් අතිදක්ෂ සංවිධායෙකු වූවත් තීරණ ගැනීමේ දී දෝලනය විය. ඒ ඇයි දැයි මාගේ දැනීමේ හැටියට පිළිතුර නම් 1971 අරගලය විසින් ඇති කළා වූ කම්පනය පක්ෂයට දරා ගත නොහැකි වී තිබීමයි. 1983 කළු ජූලිය ඇති වූ විට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විදේශ රටකට යෑමට ‍මොන තරම් අවස්ථාවන් තිබුණත් ව්‍යාපාරය අතහැර දමා යාමට ඔහු අකැමැති විය. තීරණ තීන්දු නොගත්තත් තමාගේ වගකීම ඔහු දැරීය. සැබෑ ලෙසම ඔහු ශ්‍රේෂ්ඨයෙක්ම විය. ජාත්‍යන්තර හා ජාතික දේශපාලන වූ දෝලනය ඔහු තේරුම් ගෙන තිබුණි. ඔහුට වැරදුනේ තීන්දු නොගැනීම තුළය. නමුත් ගත් තීරණවල ප්‍රතිඵල ගැන සිතන විට ද ගෝලිය ක්‍රමය තුළ ඒකීය තීන්දු ගත හැක්කේ පට්ටපල් මෝඩයන්ට පමණි. අධිරාජ්‍යවාදය වියපත් වී මරණාසන්න වී ඇති මොහොතක මරණින් බේරීම සඳහා ගෝලිය තත්වයක් ගොඩනඟා ඇති අවස්ථාවක ලෝක විප්ලවයකට අද උරුමකම් කියන සමාජවාදීන් අධිරාජ්‍යවාදයේ සියළු පීඩනය හා බර අප මත මුදා හැර ඇති අවස්ථාවන් උන් එනම් අධිරාජ්‍යවාදීන් පළමුව කඩන්නේ වමේ සමගියයි. ජාත්‍යන්තර සහෝදරත්වයයි.

වම ප්‍රගතිශීලි ප්‍රතිගාමිත්වයට හා පාලක කණ්ඩායම්වලට එරෙහිව අරගලවලට නායකත්වය දිය යුතුය. නමුත් අපහසුම දෙය නම් පක්ෂ භේද පාලනය තුළ පීඩනය බෙදා වෙන්කර ඇති අවස්ථාවක කම්කරු පංතිය අවස්ථාවාදී කර ඇති අවස්ථාවක ව්‍යවස්ථාදායකත්වය නාමිකව පවතින අවස්ථාවක සියලු බල කේන්ද්‍රයන් තමා අතට ගත් විධායකත්වයක් ඇති රටක, අහෝසි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලු සමාජයටම නැවත ලබා දීම සඳහා සටනේ පළමු බල ඇණීය විය යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාවකට ප්‍රජාතන්තුවාදී අයිතීන් ලබා ගැනීම අද දවසේ පළමු කාර්යභාරය වේ. ඒ සඳහා ප්‍රචණ්ඩත්වය හා කැරලිකාරිත්වය පරදා ජන අරගල වීදි සටන් බහුලව උද්ඝෝෂණ ඇති කර පළමුව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගමු. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ආයුධ ලෙස භාවිතා කරමු. අවසාන වශයෙන් අපි විමල්ටත් කන් දෙමු. “වම නොදන්නා වමේ අවුල අපිත් ලිහමු” 1994 චන්ද්‍රිකා බලය ගත්තෙත් 2005 දී මහින්ද බලයට ආවෙත් වම හා වමේ සටන්පාඨ පාවිච්චි කරමිනි. අධිරාජ්‍ය ගැති ලේබලය සමගින් ඊළාම් ලේබලය අලවා රනිල් පලවා හරින්නේ වමේ කඳවුරයි. එදත් අදත් බෙදී ඇති වම තවත් බෙදෙන වම 1971 දී සමගි පෙරමුණ බලයට ගෙන ඒමත් 1956 දී බණ්ඩාරනායක බලයට ගෙනෙන ලදී.

ඔව් වමේ සහෝදරවරුනි, කො.ප. යත් සම සමාජයත් සමග වාසුත් විමලුත් පීඩිත පංති දෙමළ මුස්ලිම් ව්‍යාපාරයත් සමඟ වතුකරයත් එකට එකතු කරලීමටත් එමඟින් පීඩිත පංති ජනතාවගේ ජාතික වැඩ පිළිවෙලක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ඉටු කරන ප්‍රතිඵත්ති සමගියට පැමිණ නව ලොවකට අළුත් රටකට අවශ්‍ය පදනම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් යටතේ නායකත්වය ලබා දී අවුරුදු 62 ක් බලයට පත් කර අධිරාජ්‍ය ගැති ධනවාදී ප්‍රතිඵත්ති ගෙන යන මේ විධායකය පන්නා දැමීම සඳහා ව්‍යවස්ථාදායකත්වයට බලය ලබා දෙමු. දෙවනුව ව්‍යවස්ථාදායකත්වය ශක්තිමත් කරලීමේ ඒකාධිපති වියරුව පරදවමු. ඒ සඳහා සමගිය බලය සංවිධානය වීම තුළින් ජනතා උද්ඝෝෂණය මගින් විධායක ජනපති ක්‍රමය පරාජය කර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සත්‍යයට ගරු කරන නැති බැරිකම් පරාජය කරන කාටත් සමසේ ජීවත්විය හැකි සාධාරණ සමාජ ක්‍රමයක් සඳහා වීදි බසිමු. අරගල කරමු. ඒ මගින් ඇති වී ඇති සියළු අයිතීන් ලබා ගමු.

බෙදනවා වෙනුවට එක්වෙමු. ශක්තිය ධෛර්යය සමගින් ජනතා රජයක් ගොඩ නැගීමට දායක වෙමු.

- අසේල වික්‍රමසිංහ.

Sunday, November 27, 2011

තරු ඇල්ලීමට යන ගමනේ හඳ අතර රැඳීම..........

නොවැම්බර් 07 දින පදනම් ආයතනයේදී පවත්වන ලද විමල් වීරවංශ‍ගේ දේශනයේ පෝස්ටරය වම නොදන්නා වමේ අවුල ලෙස මාතෘකා ගත කරන ලදී. සමහර වෙබ්වල මෙය මම නොදන්න මගේ අවුල ලෙස ප්‍රචාරය කර තිබුණි. ජ.වි.පෙ. බහුතර සංවිධාන කණ්ඩායම් රැස්වීම්වල දී, ජ.වි.පෙ. පමණක් සහභාගී සහෝදරවරුන්ට  අමතරව වෙනත් විකල්ප පිරිස්ද වැඩි ප්‍රේක්ෂක පිරිසක්  ලෙස ඔවුන් වටා එකතු වී සිටින බව දැක ගත හැකි විය.  ඵම කරුණ සමඟ විමල් වීරවංශ ඉක්මන් වී තිබුණේ අනුර කුමාර විසින් පුවත්පතකට සපයන ලද ප්‍රකාශයක් නිසාය. පරිවාස ආණ්ඩුව සෑදීම, රාජපක්ෂලාට උදව් කිරීම, ‍ෙෆාන්සේකාට උදව් කිරීම යන කාරණාවලදී ජ.වි.පෙ.පෙර ක්‍රියාමාර්ග වැරදි බව අනුර කුමාර පිළිගෙන තිබුණි. ජ.වි.පෙ. හා ජ.වි.පෙ. තුළ සිටි විමල්ගේ අරගලය න්‍යායිකව ප්‍රකාශ කරන්නේ නම්, ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය ලෙස ඔහු විසින් අර්ථකථනය  කර තිබුණි. විජේවීර පමණක් නොව චීනය, වියට්නාමය, කියුබාව, වෙනියුසිලාව ද ඔහුගේ මේ සඳහා වූ උදාහරණ විය. ඒ අනුව ජ.වි.පෙ. පසුගිය වකවානුව පුරා පෙනී සිට ඇත්තේ ඒ සඳහා බව කී ඔහු, බටහිර හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමට ජ.වි.පෙ. උදව් කිරීම යුගයේ ජාතික විමුක්ති සටන ලෙස හඳුන්වා තිබුණි. වර්තමානයේදී ද පශ්චාත් ගඩාපි තත්වය නිසා අධිරාජ්‍ය විරෝධි අරගලයට සූදානම් වීමට අවශ්‍ය ලෝක තත්වයන් නිර්මානය වී ඇති බවත් ඒ සඳහා  අනුරගේ ප්‍රකාශය අවලංගු වන්නේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ උපාය මාර්ග වැඩ පිළි‍ෙවලට අනුව තේරීමේ දී, ජ.වි.පෙ.  පරිවාසය හා මහින්දට උදව් කිරීම නිවැරදි බවද විමල් ප්‍රකාශ කළේය.
            
ලෝකයේ සෑම තැනකම අධිරාජ්‍ය විරෝධී අරගල පැවතියේ එහිම වූ සුවිශේෂී ගුණයක් නිසා නොව එය බොහෝ විට සමාජවාදී හා වාමාංශික පක්ෂ විසින් එයට ජවය හා ශක්තිය සැපයූ නිසාය. ලංකාවේ ශ්‍රී.ල.නි.ප. අධීරාජ්‍ය විරෝධී ධනපති පංතිය ලෙස නාමකරණය වුවද සම සමාජ හා කො.ප ජාතික විමුක්ති අරගලයට එහා විහිදුනු සමාජවාදය පෙරදැරිව න්‍යාය පත්‍රයක සිටි නිසා එහි ජවය, ජීවය, පරිත්‍යාගය, අවංකත්වය මත අතීත ලංකාවේ  වැවයි දාගැබයි සංකල්පය ලෙස වර්තමාන‍ෙය් සෞඛ්‍යය හා නිදහස් අධ්‍යාපනය සංකල්පය හා එය රැක ගැනීමේ අරගලයට ද වාමාංශිකයන් සුවිශේෂ දායකත්වයක් සැපයීය.ඉපැරණි සම සමාජ හා කො.ප යට සමාජවාදය ගොඩ නැගීමට නොහැකි විය. එහෙත් අධිරාජ්‍ය විරෝධී අරගල මෙන්ම සමාජවාදයෙන්මෙහා වූ ඉල්ලීම් පුමාණයක් සපුරා ලීමට අවශ්‍ය ආර්ථික, සමාජ, දේශපාලන  තත්වයන් උදා කරවීමට ඔවුනට පුළුවන් විය. එලෙසම යූ.ඇන්.පිය බලයෙන් වෙනස් කර නැවත ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ ද සම සමාජ කො.ප. නිසාය. වර්තමානයේ ද යූ.ඇන්.පී. ආණ්ඩු බිඳ වට්ටවා පරිවාස හා සන්ධාන ආණ්ඩු පිහිටුවීමට හැකි වූයේද පැරණි  ජ.වි.පෙ. නිසාය. සම සමාජ, කො.ප. ‍ෙමන්ම ජෙ.වි.පෙ. යද  ජාතික විමුක්ති අරගලයට එහා‍ ගිය සමාජවාදී න්‍යාය පත්‍රය වෙනුවෙන් තම මතවාදය, න්‍යාය, සංවිධාන ක්‍රමය පරිත්‍යාගය, අවංකත්වය, සෘජුභාවය සඳහා කැපවෙන කේඩරයක් සහිත අර්ධ බොල්ෂෙවික් පන්නයේ පක්ෂයකි.  1971 හා 88-89  රටම වෙලාගත් කැරලිවල අසාර්ථකත්වයන් සහිත වුවද ඒවා තුළ තිබූ සංවිධානමය ශක්තිය වූයේ සමාජවාදී වැඩ පිළිවෙලකට ගොනු වූ සහෝදරත්වයක නිර්නායකයන්ය. ඒවා මොන දේශප්‍රේමී  හෝ බෙදුම්වාදය පරදවන ශක්තිය ලෙද හැඳින්වුවද කිසිදු දමිළයකු මැරීම හෝ ජාතිවාදයෙන් තොරව ක්‍රියාත්මක වූ සංවිධානයක් බවට ජ.වි.පෙ. හෘද ස‍ාක්ෂිය වී තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හෝ දේශප්‍රේමී පෙරමුණු නම් ලෙස කුමන නාමකරණයක් වීද  උපක්‍රමික අර්ථයෙන් ක්‍රියාකාරී වූ කේඩරයේ මුල් ප්‍රවේශයන් හා ඔවුන්ගේ පවත්වාගෙන යෑම වූයේ සමාජවාදය සූරාකෑම අහෝසි කිරීම හා පන්ති රහිත සමාජයක් වෙනුවෙන් වූ අධ්‍යාපනයයි. සමාජවාදය සඳහා සාමූහිකත්වය පිළිබඳව අදහසින් පෝෂණය ලැබූ හා  සමගාමීව රුසියන් සාහිත්‍යයෙන් ලැබූ පන්නරය ද ශක්තිමත් ජවයකට හිමිකම් පෑහ. අධිරාජ්‍ය විරෝධී හෝ ජාතික විමුක්ති ලෙස සිටි ශ්‍රී.ල.නි.පය යනු සැමදා වාමාංශික සහ සමාජවාදී න්‍යාය පත්‍රය සහිත පක්ෂ විසින් අවදි කළ බලවේගය විය. ශ්‍රී.ල.නි.පය තම කිසිදු ශක්තියක් අධිරාජ්‍යවාදයට එරෙහිව තනිව කළ සංවිධානයක් නොවීය. එසේම 1975 සමගි පෙරමුණු රජයෙන් පළමුව සම සමාජ හා පසුව කො.ප. වෙන්වූ පසු නිදහස් ආර්ථික ප්‍රතිපත්ති පළමු වරට ක්‍රියාවට නැඟීමට ෆිල්ක්ස් ආර් බණ්ඩාරනායක මුදල් ඇමති මගින් සැලසුම් කළ පක්ෂය විය. 1977 ජේ.ආර්. ඉදිරියට ගෙන ගියේ ශ්‍රී.ල.නි.පය කෙටුම්පත් කළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සීඝ්‍ර ලෙස ක්‍රියාත්මකවය. සම සමාජ කො.ප. හෝ ජ.වි.පෙ. ජාතික විමුක්තිය සඳහා තම මතවාදය හෝ න්‍යාය ප්‍රතිපත්තිය සකස් කළ පක්ෂ නොවීය. ඔවුන්ට එය හමු වන්නේ අතර මගය. සූරා කෑමේ පන්ති පීඩනයන්ට ලක්ව ඇති පංතීන්ගේ හා ඔවුන්ගේ අව‍ෙශ්ෂ ස්ථරවලින් පක්ෂවල කේඩරයන් සකස්ව ඇත. සමාජවාදය පිළිබඳ තරු ඇල්ලීමට යෑම නිසා  ඉන් මෙහා වූ හඳ අතර රැඳීමටද එම නිසා ඔවුන්ට පුළුවන් විය. එහි ප්‍රායෝගික උදාහරණ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වෙතින්ම උරුම කර දිය හැකිය. සමාජවාදය සඳහා වූ යන ගමනේ ලැබුණු අතිරේක ප්‍රතිඵල සෞඛ්‍යය, සුභසාධනය හා අධ්‍යාපනය ලංකාවේ ශක්තිමත් පදනමක්ම (පසු විකෘතිව වුවද) දක්නට ඇත්තේ එම නිසාය. ඒ වෙනුවෙන් කළ අරගලය බැඳී තිබුනේ සමාජවාදයේ වූ සාමූහික සංකල්පයට මිස ධනවාදයේ නිදහස් අධ්‍යාපනය සංකල්පයට කිට්ටුව නොවේ. බෙදුම්වාදය ගැන ජ.වි.පෙ. කියවන විට එය ජාතික විමුක්ති ප්‍රවේශයකින් ගෙන විස්තර කිරීමට වඩා එහි තිබුණේ ජනතාව පංතිය බෙදීමේ ක්‍රියාදාමය වෙනුවට එක්ව සිටීමක් ගැන වූ සමාජවාදී ප්‍රාර්ථනයයි. සෑම දෙයක්ම සමාජවාදය හරහා කියවා ගැනීමකට සම සමාජ, කො.ප. හා ජ.වි.පෙ. උත්සාහ කළේය.  විමල් කී පරිදි ජාතික විමුක්තිය  මෙම පක්ෂවල ප්‍රවේශය වූයේ නම්, ජාතික විමුක්තිය ගැන කතා කළ ශ්‍රී.ල.නි.පයට යෝධ ශරීරයක් සහිතව වැතිර සිටීමට පමණක් සිදුවූයේත් එහි ජවය බවට සමාජවාදය ගැන කතා කළ පක්ෂ හා එහි සිරස බවට පත්වූයේත් ඇයිද යන්න විමසා බැලිය යුතුය. ජ.වි.පෙ. ජාතික විමුක්ති සටනට සූදානම් කළ පක්ෂයක් වූයේ නම් පමණක්  එයට මෙතරම් දේ කළ නොහැකිව තිබුණි. එහි ජනප්‍රියම උදාහරණය නම්, බෙදුම්වාදය හා කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිංහල හඬ අවදි කළේ සිංහල උරුමයට හෝ ශ්‍රී.ල.නි.පයට වඩා සමාජවාදී ප්‍රාර්ථනය සහිත බොල්ෂෙවික් ආකාරයකට සංවිධානය වූ ජ.වි.පෙ. සංවිධානය වෙතින්ය. එම නිසා ජංවිංපෙ. සම්බන්ධයෙන් වූ විවේචනයේදි ජ.වි.පෙ. සමාජවාදය පෙරදැරිව කළ අධ්‍යාපනය, පක්ෂ කේඩරයන් සකස් කිරීමත් එහි ජවයත් දියාරු වී තිබූ ශ්‍රී.ල.නි.පයට හෝ වත්මනෙහි විමල්ගේ නිදහස් පෙරමුණට කළ හැකි දෙයක් බවට පත්වීමට පුළුවන. අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙමින්ම එහෙත් මූලික මානව හිමිකම් ගැන කතා කිරීමත් එකක් ලෙස සමාජවාදය හඳුනා ගැනිම නිසා එය වඩාත් ඵලදායි තැනකට ගෙන යෑමට ව්‍යාජ අධිරාජ්‍යවාදී හඬ නැගූවද එහෙත් මානව විරෝධීන්ට වඩා ජ.වි.පෙ. හි හැකියාව හඳුනා ගත යුතුය. කැරලිකාර කණ්ඩායම මේ දෙක අතර සීරු මාරුව සමාජවාදීන් ලෙස තේරුම් ගෙන සිටිමින් කටයුතු කිරීම පැරණි ජ.වි.පෙ. ට අභියෝගයකි. විමල්ගේ ඒක පාක්ෂික අධීරාජ්‍ය විරෝධී පමණක් වන සටනින් තම රටේ ජනතාවට කිසිත් ලැබෙන්නේ නැත. පංති අරගලයන් යට කර දමන හඬක් මතුකර අධිරාජ්‍යවාදී ආර්ථික කොන්දේසි අකුරටම පිළිගෙන කටයුතු කරන රාජපක්ෂලා ගේ මතවාදී අධිරාජ්‍ය විරෝධය වෙනුවෙන් පමණක් උදව් ලබා දීමට විමල් උත්සාහ කරයි. ගඩාපි සැබෑ දේශප්‍රේමියෙක් නම් තම රටේ ජනතාවගේ වෛරයට මෙතරම් පාත්‍රවූයේ ඇයිද  යන්න ප්‍රශ්ණයකි. භාග දේශප්‍රේමීන්ගේ ඉරණම ගඩාපි ගෙන් පැහැදිලි වන්නේ එම නිසාය. ජනතාව සැබෑ අධීරාජ්‍ය විරෝධී අරගලයට ගැනීමට නම් එම ජනතාව රටේ පාලක දේශප්‍රේමීන් කරන ආර්ථික ඝාතන හා අවැඩ ගැන ද කතා කළ යුතුය. මේ මොහොතේ දෙමළාට එරෙහිවම පමණක් වන හෝ බටහිරට විරුද්ධ කතාබහක යෙදෙන අරගලයක් නම් එය භාග දේශප්‍රේමී අරගලයකි. කෙසේ වෙතත් ජ.වි.පෙ. සද්ශ ප්‍රේමයට වඩා තම අතීතයේ සිටම තම පක්ෂ කේඩරය ශක්තිමත් කළේ සූරාකෑම හා පංති අසාධාරණත්වය මතය. අසමාන සම්පත් බෙදී ය‍ෑමේ ගම-නගර වෙනස තුළ ගම්වල ජ.වි.පෙ. ක්‍රියාකාරිත්වය වැඩි වූයේද එම නිසා බව විමල්ට මතක් දිය යුතුය. විමල් ජාතික විමුක්ති අරගලය පළමුව කරවන්නට යන ගමනේ ප්‍රේක්ෂක පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සිටියේ ජවයන් සහ හැඟීම් සහිත ජනතාවක් නොව ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන් හා නිවාස ණය ලබා ‍ෙදමින් ප්‍රාදේශීයව රැස් කර ගෙන්වා ගත්  නිවාස ණය ලාභීන්ය. ජාතික විමුක්ති අරගලය සඳහා විමල් විසින් ජනයා පාරට බස්සවන දිනක දී නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට නිවාඩු දී ඔවුන්වත් තව තවත් නිවාස ණය දෙන බව කියමින් ධනපති පක්ෂවල ‍ෙමන් වරදාන ලබන රැස්කරන ජනතාවක් සිටිය යුතුය. මේ නිසා ජ.වි.පෙ. සමාජවාදය පෙරදැරිව ගොඩනැගූ කේඩරයන්ගේ ශක්තිය මතින්ම තම තත්වය රැකගෙන ඇති විමල්,  ජ.වි.පෙ. තමන්ව ගොඩ නැගීම සඳහා ලබා දුන්නා වූ සමාජවාදයේ හා මාක්ස්වාදයේ මුල් උරුමයන්ට මීට වඩා ගරුත්වයකින් කථා කළ යුතුව ඇත.      

Saturday, November 26, 2011

විජාතික නොවන විපක්ෂයක්. ...........

 පිවිතුරු හෙටක් ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික හෙළ උරුමයේ අනුග්‍රහයෙනි. ඒ සඳහා වු, විශේෂ සමුළුවක් නොවැම්බර් 01 වන දින සවස 3.00 ට නව නගර ශාලාවේදී පැවැත්විණි. පැමිණීමට අදාල ආරාධනා ලිපියට එහි සංවිධාන කමිටුව වෙනුවෙන් අත්සන් කර තිබුණේ අතුරලියේ රතන හිමි ය. එම හිමියන් විසින් එහි මූලික දේශනය ද පැවැත්විය. අතුරු දේශන සඳහා කතිකයන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ.  එ.ජා.ප. ආන්ඩු පාලන කාලයක දී   නම් පරිසරය, වන විනාශය, විෂ සහිත පලිබෝධ අසීමාන්තික පරිහරණය, මැරකම්, දූෂණ, අධ්‍යාපනය විකිණීම්, පුද්ගලිකරණය වැනි මාතෘකා මුල් කොට ගෙන පැවති සම්මන්ත්‍රණ, දේශණ, විරෝධතා, පක්ෂ සංවිධාන පිහිටුවීම, සුලභව පැවතිණි. අධිරාජ්‍ය ගැති ධනපති පංතිය ලෙස හඳුනා ගන්නා එ.ජා.ප. ය ඉහත කරුණු වලදී බහු ජාතික ව්‍යාපාරවලට හා ඔවුන්ගේ ඒජන්තයින්ට ගැතිවෙමින් කරන දේශීය ආර්ථික කළමනාකරනයන්ට. නිතරම විරුද්ධ වූවන් වූයේ, ප්‍රභාකරන් පැරද වූ ජාතික බලවේග යැයි හඳුනා ගත් උදවිය විසින්ය. පිවිතුරු හෙටක් සමුළුවේ දී කතා කළ කතිකයන් වූ  ගුණදාස අමරසේකර, අශෝක අභයගුණසේකර ඇතුළු බොහෝ අය විජාතික නොවන විපක්ෂයක සිටියා යැයි කියන මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී.ල.නි. පක්ෂය බලයට පත්කරවීමට දැවැන්ත උත්සාහයක් ගත් පිරිසක් විය. සමුළුවේ මුලු දුන්කතාවලට  සවන් දීමේදී  අපට දිගින් දිගටම සිතුනේ තවමත් එ.ජා.ප. ය වැනි විාජතික බලවේග ආණ්ඩු කරවන බවකි. එහෙත් විටින් විට මෙම රජය රැක ගැනීමේ මූලික උවමනාවන් ගැන අවධානය කිරීම නිසා අපගේ කල්පනාව වෙනස් විය.. සමහරක් වූ ජාතික උවමනාවන් ඉෂ්ට කර ගැනීමට හැකි වුවද (පුභාකරන් ඇතුළු LTTE මර්ධනය) අන් සියළු කරුණුවලදී සන්ධාන ආණුඩුවේ අසමත්කම එහි පරිවාර පක්ෂ හා එයට උදව් කළ අය විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව ද මෙම සමුළුවේදී පැහැදිළි කරුණක් විය. හිස නැති කවන්ධයක් බවට ආණ්ඩුව පත් වන විට එයට හිසක් දීමේ උවමනාවද මේ හා සමානව ප්‍රකාශ කර තිබුණි. ජාතිකවාදී බලවේග නියෝජනයේ පුරෝගාමියෙක් වූ නලින්ද සිල්වා මෙන්, අද හෙටම ලංකාවට එල්ලවන අධිරාජ්‍යවාදී මිසයිලයක් ගැන නොකීවද ජනතා මිතුරෝ මුල් කාලවල (මීට අවුරුදු 20 කට පමණ පෙර) තිබූ අදහස් නියෝජනයක් තුළින් ජාතික ආර්ථියක් සෑදීම ගැන කතා ද කියවිණි.  සංවර්ධනයේ මිත්‍යාව, ප්‍රශස්ත සංවර්ධනය යනු කුමක්ද?ජාතික අධ්‍යත්මයේ නියෝජනයක් ද සහිතව ගොඩ නංවන දේශපාලන අධ්‍යත්මයක් ගැන ද දේශනවලට ඇතුලත් විය. රතන හිමි විසින් පවතින රජය මේ සම්බන්ධයෙන් ඔවුන් ගෙන එන කරුණු සැලකිල්ලට නොගන්නා බව කියමින් තව දුරටත් ප්‍රකාශ කළේ තමන් අකමැති වුවද ජනාධිපති ධූර කාලය දිගු කර ගැනීමේ 18 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සන්ධානයක පරිවාර පක්ෂයක් ලෙස තමන් එකඟ වී රාජපක්ෂට දුන් බලයෙන් පසු තමන්ගේ යෝජනාවලීන්ට ද ඔහු ඇහුම් කන් දිය යුතු බවයි. එවිට එකවරම සිහිවූයේ බලය බෙදීමේ සංකල්පයයි. එය මෙතෙක් ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ කතිකාවේ ප්‍රධාන ප්‍රපංචයක් වුවද බලය බෙදීමට සහමුලින්ම විරුද්ධව ක්‍රියාකළ හෙළ උරුමය මගින්, ජනාධිපතිට තමන් විසින් දුන් බලයෙන් ප්‍රමාණයක් තමන්ට නොදෙන බව  ,ක්ෂනිකව කල ප්‍රකාශයයි, රතන හිමිගේ එම පුකාශයේ  පදනම් ගත අඩංගුව වන්නේ ආසනික් පුශ්නය නිසා පොළොන්නරුවේ ගොවි ජනයාගෙන් ලක්ෂයක් පමණ දෙනාට වකුගඩු ‍රෝග හා වෙනත් ආසාදන ඇති වුවද කෘෂි රසායනිකවල සයනයිඩ් වැනි විෂ අඩංගු වුවද ඒවා පාලනය කිරීමට  හා විකල්ප ගොවිතැන් ක්‍රියාවලීන් සඳහා කිසිදු ජාතික කෘෂිකාර්මික හෝ දේශීයත්ව ක්‍රියාවලියකට රජය අනුකූලතාවයක් නොදක්වන බවයි.
            වර්තමාන රජය, රතන හිමි ඇතුළු හෙළ උරුමයට හෝ සන්ධානයේ වෙනත් හවුලේ පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුකූලව කටයුතු නොකිරීමට කටයුතු කොට ඇත.. කොටින්ම කියන්නේ නම් ශ්‍රී.ල.නි.පක්ෂයේ පැරණි බහුතර කණ්ඩායම්වල හෝ මතයක් ද මෙම රාජපක්ෂ රෙජීමය නොසලකා ඇත. භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ දී රාජපක්ෂ රෙජීමය ක්‍රියා කළේ  තම බහුතර පාක්ෂිකයන්ගේ මතය ද පොඩි පට්ටම් කර දමමින්ය. රාජපක්ෂට දුන් බලයෙන් සවල්පයක් හෝ නැවත තමන්ටත් බෙදා නොලැබෙන බව දේෂකයන්ට සහතිකය. එහි මෑත කාලීන උදාහරණය නම් ආණ්ඩුවේ මැතිවරණ දූෂණ මැර බලයට සන්ධානය තුළ ඇති පක්ෂ පමණක් නොව රාජපක්ෂ කැමති අපේක්ෂකයන්ට වැඩි මනාප ලබා ගැනීමට ඔහුගේ ද මැදිහත්වීම නිසා ඇතිවන්නා වූ ගැටළුවල ස්වරූපයයි. තව ද ඕනෑම වන රක්ෂිතයක් සංවර්ධනයේ මුවාවෙන් කොල්ලකෑමට රාජපක්ෂවරුන්ට ඇති හැකියාව හා බලයයි. එහි දී පරිසරය වෙනුවෙන් මරාගෙන මැරෙන සටනකට හා සමාන අරගලයන් යූ.ඇන්. පියට  කළ හෙළ උරුමය ද  අසරණය. දූෂණ විරෝධී විමල් වීරවංශගේ බලය ද රාජපක්ෂවරුන් විසින් අත්පත් කරගෙන ඇත.දෙමළ ප්‍රශ්නයේදී විදේශිකයන්ගේ ගෙරවිලිවලට හෙණ වැදීම සඳහා එළියට වීසිකරන යකඩ මෙන් කො.ප. හා සම සමාජ ඇතුළු වාසුලාට ද දෙයක් කිරීමට බලයක් නැත. එම නිසා වර්තමානයේ දී මේ සියළු දෙනා එක් වී කළ යුත්තේ දෙමළ ප්‍රශ්නයේදි බලය බෙදීම සම්බන්ධයෙන් විරුද්ධ වුවද මහින්දරාජපක්ෂලාට තමන් එකඟ නොවූ, සාමුහික වගකීම වෙනුවෙන් එකඟතා නිසා දුන් බලයෙන් කොටසක් නැවත තමන්ට ද ලබා ගැනීම සඳහා  සන්ධානය තුළ සන්ධානයක් සාදා ගැනීමය. උතුරට බලය බෙදීමේ ගැටළුව පසුව ඔවුන්ට සාකච්ඡා කර ගත හැකිය. අස්වයා පැන ගියපසු සතාලය වැසීමට සුදානමි වන සන්ධානයේ  පරිවාර පක්ෂ වලින්ඇසිමට ඉතිරිව ඇත්තේ තමන්ව බලයට පත් කල ජාතිවාදී බලවේගවලට ඇහුම්කන් නොදෙමින් නව ලිබරල්වාදයේ  අධිරාජ්‍ය ගැති යූ.ඇන්. පියටත් වඩා හොඳින් නව ලිබරල්ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හා එහි ප්‍රතිලාභ පවුල් අතර පමනක් බෙදා ගැනීමට සූදානම් වන රෙජීමයකින්, බලයක්පරිවාර පක්ෂ වලට නොබෙ‍ෙදන බව ද?

 මැක් පෙරේරා 

Tuesday, November 8, 2011

අප නොරක්නා උරුමය ......

0002
පලමුවන පෝස්ටරය රෝහණ විජේවීරයන්ගේ, අප රක්නා උරුමය. දේශනය ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත සහෝදරයා ඔක්තෝම්බර් 25 සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාලයේදී 'වමේ අපි' අධ්‍යන කේන්ද්‍රය

දෙවන පෝස්ටරය අවස්ථාවාදය ද, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද නැවත මුද්‍රණය, ස්ථානය වෙලාව.  එම.‍

ජ.වි.පෙ. අභ්‍යන්තර අර්බුදය නිසා පැන නැඟී ඇති තත්වය මත දෙකඩ වූ කණ්ඩායම් විසින් ජනතාවට කරුණු දැක්වීම  සඳහා සංවිධානය කරන ලද දේශන මාලාවල එක් පෝස්ටරයක් ඉහත ආකාරයට මුද්‍රණය කොට අලවා තිබුණි. ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත කියා සඳහන් කර තිබූ නිසා යම් වික්ෂිප්තභාවයක් ඇති විය. සංවිධානය ලෙස වමේ අධ්‍යයන කවයක් ලෙස නම් කර තිබූ නිසා ජ.වි.පෙ.න් ඉවත් වූ බහුතර සංවිධාන කණ්ඩායම විසින් මෙය සංවිධානය කරන්නට ඇතැයි සිතුණි.  බහුතර සංවිධානය ලෙස සිතුණු දෙවන කාරණය වූයේ දෙවෙනි පෝස්ටරය හේතුවෙන්ය. දින දෙකක් තුළ පළවෙනි පෝස්ටරයට පසු දෙවෙනි පෝස්ටරය ඇලවිණි පසුගිය අවුරුදු 30 ක පමණ කාලය තුළ ජ.වි.පෙ. ප්‍රකාශන අතර නොතිබුණු පොත් දෙකකින් එක් පොතක් වූයේ රෝහණ විජේවීර විසින් 1970 ගණන්වල අග භාගයේදී සිරගතව සිටින කාලයේදී රචනා කරන ලද අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද නැමැති පොතය.  අනෙක් පොත නම් ඔක්තෝම්බර් විප්ලවයේ පාඩම් පොතය.

දේශනය පැවැත් වූ චමීර විසින් විජේවීරගේ උරුමය තමන්ගේ අනාගත දේශපාලන දැක්ම, උපාය මාර්‍ගය, ප්‍රායෝගිකත්වය හා තම අධ්‍යාත්මික ජවය වෙනුවෙන් අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න පැහැදිලි කළේය. එවකට පැරණි වම ලෙස නම් වූ සම-සමාජ, කොමියුනිස්ට් ප්‍රධාන පක්ෂ ඇතුළු වමේ පක්ෂවලට ගෙන ආ විවේචන අතර ප්‍රධාන වූ සභාග දේශපාලනය විජේවීරගේ විවේචනවල ප්‍රධාන දෙයක් වීය. ජ.වි.පෙ. බිහිවීමේ ‍ඓතිහාසික තත්ත්වය වූයේද, ඉතිහාසය තුළ කියවෙන පරිදි, 1964 දී පැරණි වමේ පක්ෂ සිරිමා රජය අසීරුවට  පත් වූ විට එය ආරක්ෂා කිරීමට ඇමතිකම් 3 ½ කට සභාගයකට ඇතුල් වූ බවට ගෙන එන විවේචනය මහා පාවාදීම ලෙස හැඳින්වේ. ''අවස්ථාවාදය ද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?'' පොතෙන් තව දුරටත් වම ස්වාධීනව සංවිධානය කර ධනපති පක්ෂවල ආඥාදායකත්වය කරා පංතිය මෙහෙයවීම ගැන සඳහන සමගින්,  ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සභාග දේශපාලනයේ එවැනි අභාවාචික  අත්දැකීම් ද සහිතවද, කොන්දේසිවලින් තොරව තම රටේ ස්වාධීනත්වය සඳහා ඉදිරිපත් කරයි.

 වෙන්වීම වෙනුවෙන් සටන් කරන බොහෝ රාජ්‍යවල සටන්කාමී අරගලවලට සහයෝගය දීමක් ගැන ද එම පොතෙන් පැහැදිලි කළ විජේවීර ලෝක බලතුලනයේදී ධනපති රාජ්‍යවලට උදව් කරමින් එම සටන්වලට උදව් කරමින් එම රටවල සටන්කාමීන් හා අරගල වින‍ාශ කිරීමට චීනය හා රුසියාව උදව් කරන ආකාරය ගැන දැඩි විවේචනයක් ද පොතෙහි අඩංගු වේ. 1971 ලංකාවේ ජ.වි.පෙ. මර්‍ධනය කිරීමට චීනයේ සහයෝගය හා රුසියාවේ උදව් ගැන ද පොතෙහි සඳහන්ය.







එම පොත මුල්වරට ජ.වි.පෙ. සහෝදරවරු අතරට ආ කාලවකවානුවේ දී හා පොත ලියමින් සිටින කාලවල පැතිර ගිය එක් ප්‍රවාදයක් වූයේ විජේවීර ට්‍රොස්කිවාදියෙක් වී ඇති බවයි. ඒ තරමටම එම පොතෙන් පැරණි වමේ හා ජාත්‍යන්තර වමේ ව්‍යාපාර වල අවස්ථාවාදයන් ගැන  දැඩි විවේචනයට ලක් කෙරිණි.  එම කරුණු පදනම් කරගෙන ක්‍රියා කිරීම නිසා 1970 ගණන්වල අගභාගය වන විට පැරණි වමේ ක්‍රියාකාරින් බොහෝ දෙනෙක් ද ජ.වි.පෙ. වෙත ආකර්ෂණය විය. කො.පක්ෂය එවකට පවත්වා ගෙන ගියේ සෝවියට් පොත් ආධාර හා වෙනත් ශිෂ්‍යත්ව මත යැපීම නිසා   අවස්ථාවාදය ගැන සිල්ලර උදාහරණ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ජ.වි.පෙ. ගොඩනැගීමට තවත් උදව්වක් විය. 1977 නිදහස් වී පැමිණි හා 1976 තහනම ඉවත් කළ  ජ.වි.පෙ. 1979 ජූනි වන විට කොළඹ මහා නගර සභා මැතිවරණයට මුහුණ දෙමින් කොළඹ ආසන 5 න් ඡන්ද 14503 ක් ලබා ගැනීමට ස්වාධීනව සමත් වූයේ සම-සමාජ, කො.ප. හවුල් සන්ධානය 04 වෙනි තැනට පත්කරමින්ය. ශ්‍රී.ල.නි.ප. හා සසදන විට සෑම ශ්‍රී.ල.නි.ප.  ඡන්ද 1/3 අනුපාතයක් ලැබීය. 1979 ගාල්ල අතුරු මැතිවරණයේ දී ද ඡන්ද 3300 ගාණක් ජ.වි.පෙ. ට ලැබෙන විට ආණ්ඩු බලය අවු.03 කට පෙර හෙබ වූ ශ්‍රී.ල.නි.ප. යට ලැබුනේ ඡන්ද නමදහස් ගණනකි. ජ.වි.පෙ. ස්ථාවරයන් නිසා ජ.වි.පෙ. සමඟ අමනාපකම්  තිබිය දී වාමාංශික බොහෝ අය ද ජ.වි.පෙ. ප්‍රගතිශීලි පැතිමාන දෙස බලා කොන්දේසි විරහිතව ජ.වි.පෙ. ට සහයෝගය දීමට ඉදිරිපත් විය. ජ.වි.පෙ. කට්ටිවාදය නිසා එම තත්වය ඉදිරියට ගැනීමට තව දුරටත් සහයෝගය දීමට ඔවුනට පසුව නොහැකි විය. වාමාංශිකයකු වීමට අවශ්‍ය දැනුම, ක්‍රියාකාරිත්වය පැරණි වමේ නායකයන් තම මෝටර් රථය ගෙන යා හැකි දුරට පමණක් එය සීමා කරද්දී විජේවීර ඈත ගම් දනව්වලට එය රැගෙන ගිය බව ද චමීර සිහිපත් කළේ විජේවීර සලකුණ ලාංකීය සමාජයට දුන් ඉතා විශිෂ්ට දෙයක් ලෙස සලකමින්ය. එහෙත් එතැන නැවතිය යුතු නැති බවත් විජේවීර සර්ව සම්පූර්ණයෙකු ලෙසට භාර ගැනීම පමණක් නොව එහි සීමාවන් ද තිබෙන බවත් දැකීම නිසා විජේවීරගෙන් එහාට යෑමට ද අවශ්‍ය බවත් කියා සිටියේය.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊළමට විසඳුම කුමක්ද? පොත තුළ පිළිතුරක් ගොනු කළ බව ද දෙමළ ජාතිවාදය පැරදවිය යුතු බව විජේවීර කියා තිබූ බවත් පැවසුවේය. ප්‍රශ්නය නම් උතුරේ අරගලය ජාතිවාදී වූ ලෙසට සිංහල ජාතිවාදයේ බලය, වජේවීර දෙමළ ජාතිවාදය ගැන ගෙන ආ සංවාදය තරම්ම බලවත් කිරීමට අසමත්වීමය. පිලිතුර යුදමය වශයෙන් ගෙන ඒමේ දී ජ.වි.පෙ. සිංහල මහා ජාතියේ දෘෂ්ටිවාදය තුළ පිහිටා එය පරාජය කළ පාලකයන්ව නියෝජනය කළහ. ජ.වි.පෙ.න් ගැලවුණු විශාල පතුරක් ඒ හා ප්‍රමාණයකින් පවත්වාගෙන යෑමේ අමාරුව සහ එය සමතුලිත කර ගනිමින් නව ප්‍රවේශයන් ගැනීමක් කළ යුතුව ඇති නිසා විජේවීර උරුමයත් එහි විශේෂනීය පැත්තක් ගැන කතා කිරීම සංවිධාන බහුතරය හිමි ජ.වි.පෙ. ට අසීරුම කරුණකි. පෝස්ටරයේ තිබූ විජේවීර නාමය පුස්තකාල වේදිකා බැනරයේ  විජේවීරයන් වී තිබුණේය. සමාන මනුෂ්‍යයෙකු ලෙස (සහෝදරයා) භාර ගැනීමේ උවමනාව නව ජ.වි.පෙ.යට තිබිය යුත්තක් වුව ද පැරණි පක්ෂයේ අගතීන්වලින් මිදීමේ හා තව දුරටත් ඒවා සහිතව සිටින සාමාජිකත්වය රැකීම ද යන දෙපැත්ත හදිසි නොවී සීරු මාරු කළ යුත්තක් ලෙස දැනුණා විය හැකිය.

සභාග හා  ධනපති පෙරමුණු දේශපාලනය දැඩිව විවේචනය කළ චමීර කොස්වත්ත එය විජේවීරගේ උරුමයක් ලෙස පවසද්දී අපට 88-89 උපක්‍රමයක් ලෙස ප්‍රේමදාසට ජනාධිපතිවීමට ඒ අවස්ථාව සැලසීමට විජේවීරට  සිදුවූ අයුරු සිහියට නැගේ.

මුල් මුද්‍රණයෙන් පසු 'අවස්ථාවාදයද? නිර්ධන පංති ආඥාදායකත්වයද?' පොත නැවත මුද්‍රණය කිරීම නැවතුණේ විජේවීර ජීවත්ව සිටි කාලයේදී වීම මතක් කර දිය යුතු කරුණකි. පොතේ ප්‍රධාන ලෙසම මතු කර දැක්වු‍ණේ ජාතීන්ගේ ස්වයංතීරණ අයිතියයි. ඒ අනුව ලෝකය පුරා සටන් කරන බොහෝ සංවිධානවලට වෙන්වීමේ අයිතිය එහි දී දැඩිව පිළිගෙන තිබුණි. කෙසේ වෙතත් යුද්ධය ඉවර වි ගිය පසු, මෙම පොතෙහි සඳහන් ජාත්‍යන්තර කාලීනත්වය ගැන සංවාදයට ගත යුතුය. ඉතිහාසය මැකීම නොකළ යුත්තක් වන්නේ එය කුමන හෝ අර්ථකථන වෙනුවෙන් තබා තිබිය යුතු බැවින්ය. ස්ටාලින් යුගයේදී ඉතිහාසයේ බොහෝ දේ මකා දමා තිබූ බැවින් එය සමාජවාදය, ඛේදනීයත්වයක් බවට සහ එහි පසුඋරුමකරුවන්ට ලඟාකර දුනි. කෙසේ වෙතත් ධනවාදය පිළිබඳ අදහස හා එහි ක්‍රමවේදය ලෝකය මත ඇති කර තිබෙන ප්‍රශ්න ප්‍රමාණය හා එහි අමානුෂීක ඛේදනීයත්වය නිසා නැවත වරක් සමාජවාදය විය හැක්කක් බවට පත්වනවාටත් වඩා ධනවාදය අවසන් කළ යුතු දෙයක් බවට ලෝකය පුරාම නැ‍ඟෙන හඬ ඇමරිකාවේ wall street හරහා දෝංකාරය දෙමින් තිබෙන විට ලංකාවේ ප්‍රගතිශිලි හා වාමාංශිකයන්ගේ එක් ආකාරයක නාභිගත වීම ජ.වි.පෙ. සංවිධාන බහුතර කණ්ඩායම කෙරේ යොමුවීම වැළකිය ද නොහැක. ජ.වි.පෙ. "පැරණි වම" ලෙසත් පැරණි වම "ඉපැරණි වම" ලෙසත් හැඳින් වූ පසු නව වම ජ.වි.පෙ. න් ම පමණක් සාදා ගැනීමේ සීමාකම් ගැන ද දැනුවත් වෙමින් කටයුතු කිරීම නව ජ.වි.පෙ. සිතා බැලිය යුතුය. අවස්ථාවාදය ද පොත නැවත නිකුත් වන්නේ විජේවීරගේ උරැමයට පමණක් නම්, එය සීමාකමකි.  ඉන් එහා විහිදුනු සංවාදයක් එම පොත ආශ්‍රිතව සියළු ප්‍රගතිශීලින්ට හා වාමාංශිකයන්ට කිරීමට ඉඩක් සාදා ගත යුතුය.    

මැක් පෙරේරා

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!

පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.
අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීම’ තමයි අපි.



අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ලඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවාපහත බලන්න !’’.

2011 අපේ‍්‍රල් මැදචීන රජය කාල තීරණය ^Time travelනැත්නම් විකල්ප යථාර්ථය ^Alternate reality& අලළා ගෙතුනු කතා පුවත් රැගත් චිත‍්‍රපට,නවකතාරූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කළා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබඳව තවමත් සිහින දකිනවා. ඒ නිසාම මේ සිහින දැකීම තහනම් කරන්න සිදුවී තිබෙනවා. මෙහේදීඅපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ද කිව්වොත් මේ පාලන ක‍්‍රමය විසින් සිහින දැකීමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරල. මේ කාලයේ අප නිතර බලන චිත‍්‍රපට ගැන හිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවාගැනීම ඉතා පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලූ ජීවය විනාශ කර දමනව වගේ. ඒත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරගන්න බැහැ.

එහෙනම්මොකද්ද අපි මෙතන ඉඳගෙන කරන්නේඒ ගැන කියන්න හොඳ හාස්‍යජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්නනැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්,ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේමිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත.’’ ඔන්න ඔහොම තමයි අපි ජීවත්වෙන්නෙත්. අපට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනව. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම,කියාගන්න භාෂාවක් නොමැතිකම. නිදහස පිළිබඳ කතාකරන්න අපට උගන්වලා තියෙන ආකාරය - ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේනිදහස අනර්ථයක් බවට පත්කරනව. අන්න ඒ ගැන තමයි අපේ ක‍්‍රියාකාරීත්වය. ඔබ අපිට රතු තීන්ත සපයනව.

මෙතන අනතුරක් තියෙනවා. ඔබඔබත් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතන විනෝදයෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා,සැණකෙළි කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවිතයට ආපහු ගියාමහෙට දවසෙ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? ‘‘අපේ තරුණ අවධියේ දී.... ඒ දවස් මොනතරම් සුන්දර ද කියන්නා වාගේඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව. මතක තියාගන්න අපේ මූලික පණිවුඩය, ‘‘විකල්ප ගැන හිතන්න අපට අවසර තියනවා’’. යම් හෙයකින් මේ නීතිය බිඳෙනවා නම්එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොඳ ලෝකය නම් නොවේ. කොහොමටත්අප ඉදිරියේ දිගු ගමන් මගක් තියෙනවා. එහිදි සත්‍යවශයෙන්ම දුෂ්කර ප‍්‍රශ්න අපට අභිමුඛ වෙනවා. අපි දන්නවා අපට  ඕනෑ නැති දේ. නමුත්අපට  ඕනෙ මොනවාදධනවාදයේ තැන පිරවිය හැකි සමාජ සංවිධානය කුමක්දමොන වගේ නව නායකයින්ද අපට  ඕනෑ?.

යළි සිහියට ගන්නගැටලූව දූෂණවංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ මේ ක‍්‍රියා පිළිවෙත දිය කරල දාන්න දැනටමත් කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න. කැෆේන් ^caffeine&නොමැති කෝපි වගේමධ්‍යසාරය නැතිව බියර් දෙනවා වගේමේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේඔවුන් මේකත් කිසි හානියක් නොවන සදාචාරමය විරෝධයක් පමණක් බවට පත්කරන්න උත්සාහ දරයි. විශුද්ධිකරණය කරන ලද ක‍්‍රියාදාමයක්. නමුත් අපි අද මෙතන ඉන්නේ කොකාකෝලා බින් කෑන් ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින්පින් අතේ වැඩ වලට ඩොලර් කිහිපයක් දන් දෙමින්නැතිනම් ස්ටාර් බක්ස් කැපචීනෝ ^Starbucks Cappuccino කෝප්පයක් මිලදී ගත්තම ඉන් 1% ක මුදලක් තුන්වන ලෝකයේ සාගින්නට පත්වූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වන නිසා එයින් හිත සනසා ගනිමින් ඉන්න පුළුවන් වන ලෝකයක් දැන් අපට හොඳටම ඇති වෙලා තියෙන නිසා. අපේ රැකියා ඒත් සමගම වධහිංසා පිටට දුන්නට පස්සේ,දැන් අපේ මංගල සේවා ඒජන්සි දැන් අපේ ආදර ජීවිතයත් පිටට දීලා තියෙනවා. දැන් අපිට පේනවාදිගු කාලෙක ඉඳලාඅපි අපේ දේශපාලනික සහභාගිකමත් පිටට දෙන්න ඉඩහැරලා තියෙනවා. දැන් අපිට ඒක ආපහු  ඕනෑ.

සමාජවාදය කියන්නේ1990 දී බිඳවැටුණ ක‍්‍රමය  නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුරවඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. අද චීනය තුලඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින්න ලැබෙනවා. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුමඔබ ධනවාදය විවේචනය කරද්දිඑමගින් ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධය යන නියමයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයිප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ හැකියි.

අද අපි කළ හැකියි කියල දකින්නේ මොකද්දඅපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරල බලමු. එක අතකින් බලපුවහමදැන් තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්ත්වය බැලූවොත්  ඕනෑම දෙයක් සිද්ද කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්න ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජයීය හා ආර්ථික කේෂ්ත‍්‍ර දිහා. එහිදීබොහෝවිට කිසිවක් කළ නොහැකි බවයි කියැවෙන්නේ. ඔබට අවශ්‍යයයි ධනවතුන් සඳහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහළ දමන්න ඒත් ඔවුන් කියනවා. එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරකාරිත්වය බිඳෙනවා. ඔබට අවශ්‍යයයි සෞඛ්‍යය අංශය සඳහා වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවාකොහොමටත් බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්කිරීම. ලෝකයේ මොකද්දෝ වැරුද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුනත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩිකරන්න හැකියාව නැහැ. සමහරවිට අපි අපේ ප‍්‍රමුඛතා හරිහැටි පෙළගස්වගෙන නැහැ වගෙයි. අපට අවශ්‍ය නෑ වඩා උසස් ජීවන තත්ත්වයක්. අප  ඕනෑ වඩා හොඳ ජීවන තත්ත්වයක්. අප සමාජවාදියෝ නම්ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබාදහමේ කාටත් පොදු අයිතිය සඳහා බුද්ධිමය දේපළ අයිතිය මගින් පෞද්ගලීකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්‍ෂණයට නතු කරගනු ලබන පොදු දේපොළ. මේ වෙනුවෙන්මේ සඳහාම පමණක්අප අරගල කළ යුතුයි.

සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත පිළිබඳ ගැටලූව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබටඅපි ඇමරිකානුවො නොවෙයි,මෙතන ඉන්නකොට. නමුත් තමන් ඇමරිකානුවන් බව කියා පාන ඔය ආරක්‍ෂකවාදීන්ටමූලධර්මවාදීන්ට මතක් කරල දෙන්න යමක් තියෙනවා. ක‍්‍රිස්තියානිය කියන්නේ මොකද්දඒ තමයි ශුද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණෝ කියන්නේ එකිනෙකා වෙත ඇති පේ‍්‍රමයේ බැඳීමෙන් සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සඳහාම තම නිදහස හා වගකීම ඇත්තාවු විශ්වාසකයින්ගේ සංඝයක්. මේ අර්ථයෙන්,ශුද්ධාත්මයාණන් මේ දැන් අප අතර. එහෙම නම්අතන වෝල් ස්ටී‍්‍රට්’ එකේ ඉන්නේ බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිත්‍යා දෘෂ්ඨිකයින් පිරිසක්. ඒ නිසාදැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බියගෙන දෙන එකම කාරණයඅපි කිසියම් දවසක මේ වැඬේ දාලා ගෙදර යයිගිහින් ආපහු වසරකට සැරයක් මුණගැහිලාබියර් බොමින්අතීතාවර්ජනය කරමින් ‘‘ඒ දවස්වල  අපි මෙතැන කොච්චර හොඳ කාලයක් ගත කළාද?’’ කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයිද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කරගන්න. අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

2011/10/09 වන දින Occupy Wall Street උද්ඝෝෂණයේදී ස්ලෝවේනියානු දාර්ශනික ස්ලැවෝයි ජිජැක් උද්ඝෝෂකයින් අතරට පැමිණ කළ කතාවේ සිංහල පරිවර්තනය.

http://youtu.be/cylsD-MMEbM

උපුටාගැනීම centrelk.blogspot.com

Saturday, October 29, 2011

අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා.

0001

1988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ, උතුරේ LTTE සන්නද්ධ ව්‍යාපාරයෙන් ආකර්ශනය වූ දමිල ජාතිකවාදීන්  ලෙසම දකුණේ සිංහල ජාතිකවාදීන් ඇතුළු එවකට සිටි යූ.ඇන්.පී ආණ්ඩු විරෝධීන්ගේ ද  සහයෝගය ජ.වි.පෙ. ට ලැබෙමින් තිබුණි. එම වකවානුවේ දී විශ්ව විද්‍යාලවල සිටි ජ.වි.පෙ. මෙන්ම ජ.වි.පෙ. නොවන අයගේ ද සහයෝගය මත ආවරණයක් ගොඩ නගාගෙන සිටි ජ.වි.පෙ. තමන් පිළිබඳ වූ එම අධි තක්සේරුව මත සිරිමා බණ්ඩාරනායක සමඟ "දේශප්‍රේමී ආණ්ඩුවක්" ගොඩනගා ගැනීමට තිබූ අවස්ථාව මඟහැර එවකට අවුරුදු 11 ක් පිළුනු යූ.ඇන් පී. ආණ්ඩුවක් වෙනුවෙන් යැයි පවසා 88 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතා දිනවීම සඳහා ක්‍රියා කළේය. ප්‍රේමදාස ජනපති වීමෙන් පසු ඊළඟ මොහොත විප්ලවය සඳහා වන සූදානමක බලාපොරොත්තු තම කේඩරයට ලබා දී සන්නද්ධව තව දුරටත් ක්‍රියාත්මක විය. ජ.වි.පෙ. කපටි න්‍යාය පත්‍රය නිසා කිපුණු සිංහල ජාතිකවාදීන් සියළු දෙනාම තමන්ව ජ.වි.පෙ. විසින් කඩේ යැවූ බවට කෙඳිරි ගාමින් නිහඬ විය. පසු කලෙක පරිසරයට ආදරය කිරීම, ජාතිකවාදී මුහුණුවරක තවරා ගොඩ නගා ගත් 'ජනතා මිතුරෝ' සංවිධානයේ ප්‍රබලයන් වුනේ පෙර කී ලෙස ජ.වි.පෙ. විසින් කඩේ යවන ලද විශ්ව විද්‍යාලය තුළ සිටි ජ.වි.පෙ. නොවන ශිෂ්‍ය නායකයන්ය. 

1994 වන විට තව තවත් පිළුණු වෙමින් තිබූ යූ.ඇන් පියේ ආර්ථික දේශපාලන ක්‍රමවේදය තුළ පස්සට තල්ලු වී ගිය ‍ දේශීය සංස්කෘතික හා ආගමික අධ්‍යත්මයන්ගේ නියෝජනයන්ද චන්ද්‍රිකා පෙරමුණේ තීරුවක නියෝජනය විය.  යුද්ධයේ මුහුණුවර දෙමළාට එරෙහි වූවක් ලෙස ගැනීමේ පහසු මාර්ගය දකුණේ සිංහල ඡන්දවලට පමණක් නොව තම පක්ෂවල අසාර්ථකත්වයන් මඟහැරීමෙන් පසු පැවැත්මේ පහසු මාර්ගය ද විය. චන්ද්‍රිකා  රජය ප්‍රගතිශීලින්ගේ හා ජාතිකවාදීන්ගේ කඳවුරු දෙක තුළ දෝලනය වීමේ පැවැත්මේ කොන්දේසි සමඟ අවසන වූයේ නැවත ජාතිකවාදී කඳවුර ශක්තිමත් වීමට අවශ්‍ය තත්වයන් සකස් කරමින්ය.  දෙමළ ජාතිවාදී ප්‍රභාකරන්ගේ දකුණේ කැඩපත වූ ජ.වි.පෙ. ලෙසම තම සංවිධානය ගැන වූ අධි තක්සේරුව සමගින් අතරමග කිසිදු සහයෝගීතාවයකට ඉඩ නොතබා ඊළම් සිහිනය සමඟම ඔහු මිය ගියේ සිංහල ජාතිකවාදීන්ද ප්‍රභාකරන්ගේ එවැනි ඝාතනය වීමක් නොසිතූ ලෙසින්ය.

















LTTE ය අනෙකා කර ගත් ජාතිකවාදීන්ගේ දේශපාලන මැදිහත්වීමට සෘජු සතුරෙක් වර්තමානයේ නොවන විට ආණ්ඩු බලය හිමි ප්‍රධාන පක්ෂයේ ඉලක්කය සංවර්ධනයේ තේමාව බවට පත්වන්නේ ජාතිකවාදය තුළ පෙර ලෙස ප්‍රතිඵලයන්ම අත් කර ගැනීමේ වර්තමාන දේශපාලන අසීරුව නිසාය. වාර්ගික ප්‍රශ්නය සඳහා බටහිරින් මැදිහත්වන විට ආණ්ඩු පක්ෂ හා එයට සම්බන්ධ සෙසු සියළු පක්ෂ වලට එය ප්‍රභාකරන්ට එරෙහිව වූ මතවාදී යුද්ධය තරමට ශක්තිමත්ය. එහෙත් වෙළදාම සඳහා ආර්ථිකය වෙනුවෙන් බටහිරුන්ගේ  ආර්ථික ‍කොන්දේසි පිළිගන්නා විට  ආණ්ඩු පක්ෂ තුළ සිටින සියළු ජාතිකවාදීන් හා වාමාංශිකයින්ද කෙඳිරිල්ලක්වත් නැගිය නොහැකි තරමට අසරණය. සිංහල උරුමය තම තේමා පාඨය ලෙස

මර බිය             නැති     
කුසගිනි            නැති
ගහ කොළ        ඇති      
දැහැමි              දැයක් 
සිහළ                රටක් 

ලෙස තේමා පාඨයන්ගෙන එන විට එය පෙර යූ.ඇන්.පි.යට එරෙහිව ප්‍රබලව මතු කර ගත හැක. 

එහෙත් මෙම තේමා පාඨය ඔවුන් අද ද තම සංවිධානයේ තේමාව ලෙස ගත්විට අක්කර 5000 ක් සෝමාවතිය රක්ෂිතය කපා එළි කරන විට ද එලෙසමය. මහා පරිමාණ ලෙස දැව කොල්ලයන් පමණක් නොව නිත්‍යානුකූල ලෙස කරවන කැලෑ එළි කිරීම් ද හෙළ උරුමය ලෙස ඉවසා සිටියි. නව ලිබරල්වාදයේ නාමයෙන් සංවර්ධන ලෙස සිදුකරන කිසිවක් ජනතාවට නොලැබෙන බව මෑතක දී තම පොත දොරට වැඩුම දා ගුණදාස අමරසේකර එම පොතෙන්ම පෙන්වා දී තිබුණි. ජනතාවට ලැබෙන්නේ අත පල්ලෙන් ලැබෙන යමක් පමණක් බව ඔහු කියා ඇත.  ලක්බිම පුවත්පත සමඟ සම්මුඛ සාකච්ජාවේ මාතෘකාව "අපට අවශ්‍යව ඇත්තේ විජාතික නොවන විපක්ෂයක් යැයි පවසා ඇත. ඔහුට අමතක වී ඇති දෙය නම් ඔවුන් සියළුදෙනා එකතුව විජාතික විපක්ෂය බලයට පත් කල බවය. තව දුරටත් ඔහු පවසන්නේ ප්‍රභාකරන්ව අපි පැරදුවේ මේ දේවල් සඳහා නොවන බවයි. රටේ සිදුවන මහා පරිමාණ හොරකම් වංචා දූෂණ ගැන ද ඔහු පවසමින් සිටින්නේ මේවා තව දුරටත් බලා සිටිය යුතුද කියාය. 

නලින්ද සිල්වා මහතා සියළු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා බටහිර මිෂනාරි ක්‍රිස්තියානි බලවේගය ශක්තිමත්වන බව පවසමින්ම මේ රජය ඉන් රැකිය යුතු බව කියමින්ම අනෙක් අතට 'නව ජාතික ව්‍යාපාරයක්' ගොඩනැගිය යුතු බව පසුගිය ඉරිදා නොනවත්වාම ඔහු විසින් දිවයින පත්තරයට ලියන කොළමෙන් කියා ඇත. අතුරලියේ රතන හිමියන් ආසනික් විරෝධී හඬ ඉහලින්ම රජයට විරුද්ධව මතු කරන විට අපට හැඟී යන්නේ මේ රජය යූ.ඇන්.පී. රජයක් බවය. මැතිවරණවලදී සන්ධානය විසින්ම තම අපේක්ෂකයන්ට පහර දෙන ආකාරය ඔවුන්ගේ සක් හඬ පුවත්පතේ පළ කරන විට අපට පෙනී යන්නේ වෙනත් පක්ෂයකින් ඔවුන්ට පහර දී ඇති බවයි. මේ සියළු දෙනාම දැන් මේ කථාවන් කියන්නේ මහජනයා වන අපටය. හරියටම ජනයා ආණ්ඩුව කරන බව සිතමින්ය. ඇමරිකන් පුරවැසියන් වූ ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ මහතුන් ගේ න්‍යායට අනුව සියළු ප්‍රශ්න විසඳන්නේ ඔවුන්ට අනුව සංවර්ධනය යැයි කියන දෙයට අනුවය. එහෙත් අමරසේකර‍ගේ, චම්පිකගේ,  නලින්ගේ අනෙකුත් ජාතිකවාදින්ගේ ප්‍රාර්ථනය එය නොවූවද දැන් සිදුවන්නේ ජාතිකවාදය තුළ සමස්ථ අදහසක් තුළ රට ගොඩනැගීමක් ගැන අදහස් දැක් වූ අයගේ රංගනය නොව ඒ කිසිත් නොදන්නා ආර්ථික සංවර්ධන බටහිර නව ලිබරල් සංවර්ධනය තුළ ස්ථානගත කරවන බැසිල්, ගෝඨාභයලාගේ සංවර්ධනයන් ය. 

කොළඹට මිලින්ද මොරගොඩ එන්නේ ද හුදු සංවර්ධන දෙස පමණක් බලා සිටින ඔහුගේ කේවට්ටයන් වන නව ලිබරල් යූ.ඇන්.පි.යට ගැලපෙන ආර්ථික න්‍යායවේදීන් වූ රොහාන් සමරජීවලාගේද උදව් ඇතිවය. සිදුවෙමින් පවතින්නේ යූ.ඇන් පී. සංවර්ධනය ජාතිකවාදී මතවාදය සහිතව ජනතාව දිනා ගනිමින් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වීමය. එහෙත් එය තමන්ට එරෙහිවීමක් ලෙස මේ ‍මොහොතේ බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ අමරසේකරලා ඇතුළු පිරිස් විසින් හිරිවට්ටවා සිටින ජාතිකවාදය නිසාය. මෙම හිරි වැටීම ඉවර වූ පසු වේදනාව එන්නේ දෙගුණ තෙගුණ වෙමින්ය. 


එහි කෙඳිරිය අමරසේකරලා වෙතින් මුලින්ම පැමිණිම ගැන අපට සතුටු විය නොහැකිය. රටට දැන් අවශ්‍යව ඇත්තේ  අමරසේකරලාගේ බණ නොව පරිභෝජනවාදයෙන්, සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තම විස්තෘත පවුලේ නඩත්තුව වෙනුවෙන් පොදි ගසන රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමය. මෑතක දී මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි  මෛත්‍රිපාල සිරිසේන වෙනත් කරුණක් ගැන පැහැදිලි කිරීමට ගත් උදාහරණයකින් මෙය අවසන් කරන්නට සිත් විය. "තල වවා මුං බලාපොරොත්තු විය නොහැක." පවුලක් නඩත්තු කිරීමට පැමිණි රාජපක්ෂ රෙජීමයෙන් ජාතිකවාදය නොව සංවර්ධනය පවා බලාපොරොත්තු විය හැකිද ?

මර බිය             නැති    
කුසගිනි            නැති
ගහ කොළ        ඇති     
දැහැමි              දැයක්  බලාපොරොත්තු විය හැකිද?

මැක් පෙරේරා