Showing posts with label සටහන. Show all posts
Showing posts with label සටහන. Show all posts

Friday, December 17, 2010

කක්කුටු ඔවදන්

ඉදිරි මුදල් වර්ෂය සඳහා වූ අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙන්ම අයවැය පිළිබඳ විවාදය අවසන් වීමෙන් පසුව මුදල් ඇමතිවරයාට නියමිත පිළිතුරු කතාව පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිම විශේෂ  වැදගත්කමකින් යුත් සාධනීය කටයුත්තකි. අප එසේ පවසන්නේ මුදල් අමාත්‍යධුරයේ වගකීම පවරා ගන්නා ජනාධිපතිවරු ව්‍යවස්ථා දායක සභාව ඉදිරියට පැමිණ සෘජුව ඊට මුහුණ දීමේ සම්ප්‍රදායක් ලංකාවේ නොවූ හෙයිනි. අයවැය ලේඛනය සම්බන්ධ රජයේ තීන්දු, තීරණ, ප්‍රතිපත්ති, ජනාධිපතිවරයා විසින්ම රට හමුවේ තැබීම හේතුවෙන් ඒවා ඒවාට නියමිත බරෙන්ම සමාජ ගත කළ වීම සිදුවේ. බොහෝ විට පොරොන්දු සුළ‍ඟේ යන ලංකාව වැනි රටක මුදල් ඇමතිවරයාට පහසුවෙන් ලිස්සා යාමට නොහැකි පසු බිමක් මේ හේතුව විසින් නිර්මාණය වේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම කෙසේ වුවද තුනෙන් දෙක ඉක්ම වූ බලයක් හිමි කරගෙන සිටින ආණ්ඩු පක්ෂය පසුගිය අයවැය විවාදය තුළ හැසිරුණු ආකාරය ඉතා ලජ්ජා සහගතය. අයවැය විවාදයේ දී විපක්ෂයට කිසිසේත් ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදිය යුතුය යන උපකල්පනය මත පිහිටා ආණ්ඩු පක්ෂය ක්‍රියාකල බැව් පැහැදිලි විය. ඉන් පැන නගින ගැටලුව නම් විපක්ෂ මන්ත්‍රීන්ට නිදහසේ  අයවැය විවාදයට සහභාගී වන්නට ඉඩ නොදෙනවානම් අයවැය විවාදයක් පැවැත්වීමේ තේරුමක් නැති බවයි.

Wednesday, November 10, 2010

සටහන

ඉකුත් වසරේ මැයි මාසයේ සිදු වූ ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ ස්වකීය ප්‍රතිවාදී අනෙකා අහිමි වී යාම නිසා වඩාත්ම අසීරුවට පත්ව සිටින්නේ අන් කවරෙකු හෝ නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බව ඉතා පැහැදිලියි. බරපතල සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව ඉකුත් මාස කිහිපය ගත කළේ ජීවන වියදම ඉහලයාම ඇතුළු ජනතා‍වගේ ප්‍රශ්න විසඳුම් සඳහා සංයුක්ත වැඩ පිළිවෙලක් නිර්මාණය කර ගනිමින් නොවේ. එක් පැත්තකින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාපිත බලය තව තවත් ශක්තිමත් කර ගත් ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිමි වූ ප්‍රභාකරන්ට විකල්ප පොදු හතුරා නිර්මාණය කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක යෙදී සිටී.

        ජාතික වශයෙන් මෙරට ජනයාට එරෙහි ප්‍රධාන හතුරා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා නම් කළ ආණ්ඩුව ඔහුට එරෙහිව උසිගන්වනු ලැබූ මහජන මතයට මුවා වෙමින් මාස දෙක තුනක් ඇද ගන්නට සමත් විය. එම මතවාදය දුර්වල අඩියකට පත් වෙමින් ජෙනරාල් වෙනුවෙන් අනේ අපොයි! කියන තැනට ජනතාව එන විට ආණ්ඩුව කළේ විමල් වීරවංශ ඇමතිවරයා ඉත්තෙකු ලෙස යොදා ගනිමින් U.N.O. ආයතනයේ ප්‍රධාන ලේකම් බැංකි මූන් මහතා ප්‍රධාන හතුරා ලෙස හැඳින්වීමයි. අවසානයේ එම ව්‍යායාමය හාස්‍යජනක විගඩමක් බවට පත් විය.

        ආණ්ඩුවේ ආශ්චර්යය නිසා පීඩාවට පත් ජනයා නගන අ‍ඳෝනාව වෙනතකට යොමු කරවා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණාවකි. මෙවර අනෙකා ලෙස නම් කර තිබෙන්නේ විශ්ව විද්‍යාල සිසු පරපුරයි. මර්වින් සිල්වා ඇමතිවරයාගේම අනෙකා ලෙස හැඳින්විය හැකි එස්.බී. දිසානායකට උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරි නැමූ ආණ්ඩුව සිදු පරපුරට එරෙහිව ඒ මහතා උසි ගන්වා ඇත.

        මේ මොහොතේ ජනතාව කතා කරන්නේ ඉහළ ගිය පාන් ගෙඩියේ පොල් ගෙඩියේ හෝ හාල් කිලෝවේ මිළ ගැන නොවේ. සරසවි සිසුන්ගේ සැහැසිකම් නිසා බිඳ වැටෙනවා යැයි කියන අධ්‍යාපනය ගැන ය. ලබන නොවැම්බරයේ ඉදිරි පත්කළ යුතු අය-වැය හා මැතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ රු. 2500 යේ වැටුප් වැඩි වීම හෝ අත්‍යවශ්‍ය බඩුවල මිළ සහනය ගැන කිසිවකු කතා කරන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය මෙන්ම ජාතියේ අවාසනාවට අටවා ගත් පුද්ගලික මාධ්‍ය ද අද පැය 24 පුරාම කතා කරන්නේ අන්තරේ ත්‍රස්තයින්ගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බේරා ගැනීම ගැන ය. සිදු වෙමින් පවතින අභාග්‍ය සම්පන්න යථාර්ථය හඳුනා ගන්නා ලෙසත් මේ මොහොතේ වඩාත්ම අවදියෙන් සිටින බලවේගය වූ සිසු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහාත් ගුරු දෙමාපිය සියල්ලන් නැණ නුවණින් විමසා බැලීම වටී. 

Friday, October 29, 2010

සටහන.................


ප්‍රභාකරන්ගේ මරණයෙන් ඉනික්බිතිව ලංකාවේ දේශපාලනය තුළ දිගු කලක් පැවති සන්දර්භයන් මුළුමනින්ම වෙනස් වුණා. එය සුවි‍ශේෂී හැරවුම් ලක්ෂ්‍යක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරේත් දකුණේත් ජනතාව නිදහසේ හුස්ම ගත හැකි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ සහිත සමාජයක්, අළුත් ලෝකයක් අපේක්ෂා කළා. වසරක් ඇවෑමෙන් අද වන විට ජනතාව මූලධර්මවාදී අගති සහගත දේශපාලනයක කටුක ප්‍රතිඵල අත් විඳිමින් සිටිනවා. ජීවන වියදම අහස උසට ඉහළ නගිද්දී පාලකයින් ‘ආශ්චර්යයක්’ ගැන කතා කරනවා. ඉකුත් මාසය තුළ පාන් පිටි මිළ දෙවෙනි වතාවටත් ඉහළ ගියා. දුප්පත්කම, මන්දපෝෂණය, උග්‍ර වෙමින් පවතිනවා. අද ලංකාව මැද පන්තියේ මිනිසුන් පවා රාත්‍රියේ නිරාහාරව නින්දට යන රටක්. මුදල් නොමැති අයට ආහාර, බේත් හේත් පවා නොලැ‍බෙන රටක්. ඩෙංගු වසංගතයෙන් පමණක් සිදු වූ මරණ සංඛ්‍යාව 22% ක්. එය පාලනය කරන්න රජය අපොහොසත් වුණා.