Tuesday, November 16, 2010

සටහන

මහින්ද රාජපක්ෂගේ දෙවන ධූරාකාලයේ ආරම්භය නිමිත්තෙන් යළිත් වරක් රට තුළ සැණකෙලි තත්වයක් මතුකර ගැනීමට ආණ්ඩුව වෑයම් කරන බව පැහැදිලිය. මහ පාරේ කිරිබත් කන උදවියට නොවැම්බර් 19 වන දා නැවත වරක් කිරිබත් කැවීමට ආණ්ඩුව කටයුතු යොදනු ඇත. එහෙත් නොවැම්බර් 10 දින රාත්‍රිය පුරා ඇද හැලුනු මහා වර්ෂාව හේතුවෙන් උන් හිටි තැන් අහිමි වූ 40000 කට ආසන්න කොළඹ ජනයා තවමත් සිටින්නේ තාවකාලික රැඳවුම් වාසස්ථාන වලය. එදින හටගත් වැසි වතුර ජල ගැල්ම අන් කවරදාකටත් වඩා කොළඹ නගරයට බලපෑවේය. 65000ක් පැල්පත් වාසීන්ගේ නිවාස පමණක් නොව හෝර්ටන් පෙදෙස, රජමාවත හා කොළඹ 07 ද වතුරෙන් යට විය.

            කොළඹ නගරයට ආශ්චර්යය උදා කිරීම පිණිස තමන් ජීවත් වූ පැල්පත්වලින් නෙරපා හරිනු ලැබූ මිනිසුන්ද, පදික වේදිකාවේ වෙළඳාමෙන් පලවා හරිනු ලැබූ ජනයා ද, පාන් ගෙඩිය හා පොල් ගෙඩිය රු.48 ක් වීම නිසා ඉහළ නැගි ජීවන බර දරාගත නොහැකිව ලතවන තම්කරු ජනයා ද ඇතුළු ‘”සුභ අනාගතයක් වෙනුවෙන් පාරේ කිරිබත් කෑ මිනිසුන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ආණ්ඩුව කෙරෙහි කලකිරීමට පත්ව සිටින බව ආණ්ඩුව තේරුම් ගෙන සිටී. එහෙත් ඒ පිළිබඳව  එතරම් සැලකිල්ලක් නොදක්වන ආණ්ඩුව දිගින් දිගටම භාවිතා කළ උපාය මාර්ගය වූ ජනතාව ඇන්දවීමේ ක්‍රියා මාර්ගය කෙරෙහිව විශ්වාසය තබා සිටින බව ‍ෙපනේ. එළඹි සතිය මුල නොවැම්බර් 09 දින කැසිනෝ සූදු පොළවල් රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා සූදු විශේෂ විධි විධාන පනතක් සම්මත කර ගත් රජය නොවැම්බර් 19 දින සියළුම රාජ්‍ය ආයතනයන්හි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වන ලෙස නියෝග නිකුත් කිරිමෙන් පෙනී යන්නේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව ඇන්දවීමේ ද්විත්ව රංගනයක යෙදී සිටින බවය. පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් කොළඹ ගොඩනැගිලි විදුලි බුබුලින් නැහැවෙන විට ගිනි කන වැටෙන ජනතාව තමන්ගේ ප්‍රශ්න තාවකාලිකව අමතක කර දමන බව ආණ්ඩුවට විශ්වාසය.

            18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දීම සඳහා ආණ්ඩුවට එකතු වූ එ.ජා.ප. මන්ත්‍රීන්ගේ පිහිටෙන් ලබා ගත් තුනෙන් දෙකක බලය ඉතා සාහසික ලෙස තොරොම්බල් කරන රජය රට වියරු ඒකාධිපතිත්වයක් කරා ඇදගෙන යන දරුණු අණ පනත් ගණනාවක් කඩි මුඩියේ සම්මත කර ගත්තේය. කවුරු වටහා නොගත්තත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙතෙක් පැවති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දමා තිබේ. නව ව්‍යවස්ථා සංශෝධනයන් සමඟ රාජ්‍ය සේවාව උඩු යටිකුරු වී ඇති අතර අද රජයේ නිලධාරීන් වගකිව යුත්තේ කැබිනට් මණ්ඩලයට පමණි. විධායක ජනාධිපති බලතල විසින් කැබිනට්ටුව රාජපක්ෂ රෙජිමයේ පුද්ගලයින් කීප ‍ෙදනෙකු විසින් හසුරුවන ආයතනයක් පමණක් බවට පත් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තිබූ මහජන නියෝජිතයින්ගේ වැදගත්කම අහෝසි වී යමින් පවතී. මහජනයාද, මහජන නියෝජතයින්ද ප්‍රතිපත්ති රාමුවෙන් පිට හුදු අසන්නන් හා දකින්නන් බවට පත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළිවලින් සැරසූ ආණ්ඩුවේ ඒකාධිපතිත්වය වටහා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අසමත් වීම මේ මොහොතේ අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වී තිබේ. මේ තීරණාත්මක කඩ ඉම පැනයාමට නම් ප්‍රධාන විපක්ෂ බලවේගයන්ගේ සිට සියලු ප්‍රජාතන්ත්‍රවාදින් එකම රාමුවක පෙළ ගැස්වෙන එකමුතුවක් කරා ගමන් කළ යුතුය. මේ වන විටත් ආණ්ඩුව සමඟ යහන්ගතව සිටින ඇතැම් කොටස් රාජපක්ෂ හෙජමොනියෙන් විතැන් කොට ඔවුන්ගේ හෘද සාක්ෂිය අවදි කළ හැක්කේත් ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය පරාජය කළ හැක්කේත් එවැනි පුළුල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවකට පමණි.                 

Friday, November 12, 2010

මෙගා ස්ටාර් අලකලංචිය

පසුගිය දිනක නිමා වූ මෙගාස්ටාර් වැඩ සටහනේ අවසන් රාත්‍රිය අලකලංචියක් වීමත් සමඟ ලංකාවේ මාධ්‍යවල හැසිරීම පිළිබඳව යළිත් කතාබහක් ඇති වී තිබේ. චැනල් බොහෝ ගණනක විකාශය වෙන මෙවැනි රූපවාහිනි වැඩ සටහන් පිළිබඳව කතිකාව ලෙහෙසියෙන් ලිස්සා යැවීම සුදුසු නැත. මන්ද? ස්ටාර්ස්ලා තෝරන නව මාදිලියේ වැඩ සටහන් සමාජයට එල්ල කරන බලපෑම විශාල බැවිනි. වත්මන් ලාංකීය සමාජයේ විශේෂයෙන් අප රට තාරුණ්‍යයේ විවිධ ස්ථර හැසිරවීමට මෙම වැඩ සටහන්වලට දැනටමත් තිබෙන හැකියාව අව තක්සේරු නොකළ යුතු බැවිනි.

            ශ්‍රී ලාංකේය අභිමානය යන තේමා පාඨයෙන් තුමූම හඳුන්වා ගන්නා ස්වර්ණවාහිනි චැනලය ඉදිරිපත් කළ මෙගාස්ටාර් සංගීත වැඩ සටහනෙහි ප්‍රධාන භුමිකාව රඟ දක්වන ලද්දේ මර්වින් සිල්වා නම් නියෝජ්‍ය ඇමතිවරයා ය. විනිසුරුවෙකු ලෙස වැඩ සටහනට ඇතුළු වූ මර්වින්ට පැවරී තිබුණේ වැඩ සටහන තුළ ත්‍රාසය, හාස්‍යය හා ලිංගික උත්ප්‍රේරණයන් කුළු ගන්වා පවත්වාගෙන යාම බව පෙනේ. ඔහු එම වගකීම අවසන් රාත්‍රිය දක්වාම මැනවින් ඉටු කළේ ය. අවසානයේ වේදිකාවට හිස් බෝතල් හා බීර ටින් පියඹා ඒම ඇමතිවරයාගේ රංගනයේ කූඨ ප්‍රාප්තිය ලෙස සැලකිය හැකි ය.
 
ස්වර්ණවාහිනිය මෙම නියෝජ්‍ය ඇමතිවරයා මෙගාස්ටාර් විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ කර ගන්නේ සුවිශේෂී හේතුවක් නිසා ය. එම විනිශ්චය මණ්ඩලයේ ක්‍රියාකාරීවීමට අවශ්‍ය අධ්‍යාපනික පරිචයක් හෝ අවම වශයෙන් හික්මීමක්වත් හෝ මෙම නි. ඇමතිවරයාට නැති බව වැඩසටහනේ අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර අපටත් වඩා හොඳින් දැන සිටි‍යේ ය. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ මර්වින් සිල්වා සම්බන්ධ කර ගැනීම තුළින් වැඩ සටහන ජනප්‍රිය කර ගැනීමට අවශ්‍ය කුණු කරවල රසය නිපදවා ගැනීම ය. එසේම අනෙක් අතට ඒ වකවානුවේ ජාතික රූපවාහිනියට කඩා පැන මාධ්‍යවේදියෙකුට පහර දීමත් ඒ සමඟ දිගින් දිගිටම සිදු වු මාධ්‍යවේදින්ට පහර දීම, දැලි පිහියාවලින් කැපීම, වැනි සිදුවීම් රාශියක සැකය ජනතාව විසින් ඇමතිවරයා වෙත එල්ල කිරීමත් හේතුවෙන් ඇති වී තිබූ තත්වය සමහන් කිරීම සඳහා සුදු හුණු ගෑමේ කොන්ත්‍රාත්තුවක් ද ස්වර්ණවාහිනිය භාරගෙන තිබුණි. මේ කරුණු දෙකම අරභයා ස්වර්ණවාහිනිය මර්වින් සිල්වා කේන්ද්‍රිය ලක්ෂ්‍ය වශයෙන් යොදා ගනිමින් මෙගාස්ටාර් වැඩ සටහන ඉදිරියට ගෙන ගියේ ය.

            ඔහු වරෙක චාලි චැප්ලින්ට ඇන්දේය. තවත් විටෙක චොප්පේ බවට පත් වෙමින් විශාරද ෂර්ලි වෛජයන්තට එරෙහිව නැගී සිටිමින් ප්‍රේක්ෂකයන් භීතියට පත් කළේ ය. රංජන් රාමනායකට අභියෝග කරමින් ත්‍රාසජනක ජවනිකා මැව්වේ ය. රුවැති නිළියන් වේදිකාව මත සිටුවා ඔවුන්ගේ මුහුණු රත්පැහැ ගැන්වෙන අයුරින් ඇඟ පසඟ අමුවෙන් වර්ණනා කළේ ය. ජනප්‍රිය නිළියන් වේදිකාව මත නිරුවත් වෙද්දී රසික ප්‍රේක්ෂකයෝ තලු මරමින් ආතල් ගන්නට පුරුදු වූහ. වරක් මේ විනිසුරුවරයා නිළියකගෙන් ඇසුවේ,
            ඔයාගෙ නැටුම අද හරි ලස්සනයි. මට ඉරිසියා හිතෙනවා.
ඔයා ගෙදර මහත්තයා ළඟත් ඔහොම නටනවද?
ගෙදරදි නටන්නේ ඇඳුම් ඇතිවද? නැතිවද? කියල දැන ගන්න ආසයි...කියා ය.

නිවේදක කමල් අද්දරආරච්චිට පැවරී තිබුණේ ලිංගිකත්වය ඉස්මතු වන අයුරින් එය මෙහෙයවීමය. ඔහු එය මැනවින් ඉටු කළේය. වැඩ සටහන ජනප්‍රිය විය. ස්වර්ණවාහිනිය දඹුලුත් ගොස් තලගොයිත් මරා ගත්තේ ය. අපට ප්‍රශ්නයක් වන්නේ මේ සමාජ ගත කරන්නේ ශ්‍රී ලංකාවේ අභිමානය ද? යන්නයි. මෙගාස්ටාර් අවසන් රාත්‍රියේ දී ලක්ෂ සංඛාත දෙස් විදෙස් ප්‍රේක්ෂක සමූහයා සජිවීව නරඹමින් සිටිය දී මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා සුරූපි නිළියක හා මහජන මන්ත්‍රීවරියක ද වන උපේක්ෂා ස්වර්ණමාලිට පැවසුවේ,
            මට ආසයි කුක්කු බබෙක් වෙලා හරි ඔයාගෙන් කුක්කු ටිකක් බොන්න.. කියා ය.
ඔහු මෙම වචන පවසද්දී ස්වර්ණවාහිනි අධිපතිනිය ද එහි අධ්‍යක්ෂකවරුන් වන ඇගේ පුතුන් ද ඇමතිවරයාගේ බිරිඳ ද එහි සිටියේ ය. වැඩ සටහන නවතා දැමිය යුතුව තිබුණේ වේදිකාවට සෝමා එදිරිසිංහ මැතිණියට බෝතල් පහර එල්ල වෙද්දී නොව ඇමතිවරයා කුණුහරුප කියූ අවස්ථාවේය.

            මෙවැනි දෙපැත්ත කැපෙන අසභ්‍ය වචන සාමාන්‍ය භාෂාව වශයෙන් යොදා ගන්නා ජන කොටස් කොළඹ නගරයේ බිම් මට්ටමේ වෙසෙන බව අපි දනිමු. සිදු විය යුතුව ඇත්තේ මෙම උප සංස්කෘතික ජන කණ්ඩායම් ශ්‍රී ලාංකේය අභිමානය සහිත මහා සංස්කෘතිය විසින් අවශෝෂණය කර ගැනිම තුළින් යට කී ජන කණ්ඩායම්වල නොදියුණු භාවයන් දිය කර හැරිමයි. එහෙත් මෙම රූපවාහිනි ආයතනය මෙගාස්ටාර් වැඩ සටහන තුළින් වසරකටත් අධික කාලයක් මුළුල්ලේ සිදු කළේ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු යොදා ගනිමින් පාතාල සංස්කෘතියක් අලුත් සළු-පිළි අන්දවා සමාජ ගත කිරීමයි.

            මෙම නියෝජ්‍ය ඇමතිවරයා විසින්ම සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳ කුප්‍රකට  සිද්ධියේ දී ස්වර්ණවාහිනිය ඔවුන්ගේ සමබර යැයි කියා ගන්නා පුවත් විකාශයේ දී එම ප්‍රවෘත්තිය ඉදිරිපත් කළ ආකාරය ගැන තදබල විවේචන එල්ල වී තිබිණි. එක් පැත්තකින් මර්වින් සිල්වාට නි. ඇමතිවරයාගේ මාධ්‍ය දඩයම සහ අනෙකුත් නොපනත්කම් ක්‍රියා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ තියුණු හඬක් නැඟූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අනෙක් පැත්තෙන් මෙගාස්ටාර් වේදිකාවට නැඟ තරඟයට සින්දු කියා මර්වින් සිල්වාගේ විනිශ්චය අපේක්ෂාවෙන් සිටගෙන සිටිනු දැකීම ඉතා ජුගුප්සා ජනක දර්ශනයක් විය. ඔහුගේ අවංක අධ්‍යාශය ජනතාව‍ගේ සැකයට භාජනය වූයේ මේ දෙබිඩි රංගනය නිසා ය. අවසන් රාත්‍රියේ දී දයාසිරි ගොඩ නැගූ මාලිගාව ඔහුගේම හිස මත කඩා වැටෙන්නට සැලැස්වීමට ස්වර්ණවාහිනිය කටයුතු යෙදුවේය. කෙසේ වුවද දයාසිරි ජයසේකර මහතාත්, රෝසි සේනානායක මහත්මියත් උකුස්සන් හා පරෙයියන් එකම අත්තේ නොවසන බව දැන්වත් ඉගෙන ගත්තොත් ඔවුන්ගේ ඉදිරි ගමන යහපත් වනු ඇත.

-  කසුප්                    

Wednesday, November 10, 2010

සටහන

ඉකුත් වසරේ මැයි මාසයේ සිදු වූ ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ ස්වකීය ප්‍රතිවාදී අනෙකා අහිමි වී යාම නිසා වඩාත්ම අසීරුවට පත්ව සිටින්නේ අන් කවරෙකු හෝ නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බව ඉතා පැහැදිලියි. බරපතල සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව ඉකුත් මාස කිහිපය ගත කළේ ජීවන වියදම ඉහලයාම ඇතුළු ජනතා‍වගේ ප්‍රශ්න විසඳුම් සඳහා සංයුක්ත වැඩ පිළිවෙලක් නිර්මාණය කර ගනිමින් නොවේ. එක් පැත්තකින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාපිත බලය තව තවත් ශක්තිමත් කර ගත් ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිමි වූ ප්‍රභාකරන්ට විකල්ප පොදු හතුරා නිර්මාණය කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක යෙදී සිටී.

        ජාතික වශයෙන් මෙරට ජනයාට එරෙහි ප්‍රධාන හතුරා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා නම් කළ ආණ්ඩුව ඔහුට එරෙහිව උසිගන්වනු ලැබූ මහජන මතයට මුවා වෙමින් මාස දෙක තුනක් ඇද ගන්නට සමත් විය. එම මතවාදය දුර්වල අඩියකට පත් වෙමින් ජෙනරාල් වෙනුවෙන් අනේ අපොයි! කියන තැනට ජනතාව එන විට ආණ්ඩුව කළේ විමල් වීරවංශ ඇමතිවරයා ඉත්තෙකු ලෙස යොදා ගනිමින් U.N.O. ආයතනයේ ප්‍රධාන ලේකම් බැංකි මූන් මහතා ප්‍රධාන හතුරා ලෙස හැඳින්වීමයි. අවසානයේ එම ව්‍යායාමය හාස්‍යජනක විගඩමක් බවට පත් විය.

        ආණ්ඩුවේ ආශ්චර්යය නිසා පීඩාවට පත් ජනයා නගන අ‍ඳෝනාව වෙනතකට යොමු කරවා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණාවකි. මෙවර අනෙකා ලෙස නම් කර තිබෙන්නේ විශ්ව විද්‍යාල සිසු පරපුරයි. මර්වින් සිල්වා ඇමතිවරයාගේම අනෙකා ලෙස හැඳින්විය හැකි එස්.බී. දිසානායකට උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරි නැමූ ආණ්ඩුව සිදු පරපුරට එරෙහිව ඒ මහතා උසි ගන්වා ඇත.

        මේ මොහොතේ ජනතාව කතා කරන්නේ ඉහළ ගිය පාන් ගෙඩියේ පොල් ගෙඩියේ හෝ හාල් කිලෝවේ මිළ ගැන නොවේ. සරසවි සිසුන්ගේ සැහැසිකම් නිසා බිඳ වැටෙනවා යැයි කියන අධ්‍යාපනය ගැන ය. ලබන නොවැම්බරයේ ඉදිරි පත්කළ යුතු අය-වැය හා මැතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ රු. 2500 යේ වැටුප් වැඩි වීම හෝ අත්‍යවශ්‍ය බඩුවල මිළ සහනය ගැන කිසිවකු කතා කරන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය මෙන්ම ජාතියේ අවාසනාවට අටවා ගත් පුද්ගලික මාධ්‍ය ද අද පැය 24 පුරාම කතා කරන්නේ අන්තරේ ත්‍රස්තයින්ගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බේරා ගැනීම ගැන ය. සිදු වෙමින් පවතින අභාග්‍ය සම්පන්න යථාර්ථය හඳුනා ගන්නා ලෙසත් මේ මොහොතේ වඩාත්ම අවදියෙන් සිටින බලවේගය වූ සිසු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහාත් ගුරු දෙමාපිය සියල්ලන් නැණ නුවණින් විමසා බැලීම වටී. 

Monday, November 8, 2010

සසර කලකිරිම භා සසර චුන් වීම අතර "මත" වෙනස

එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ දින ජාතිය අමතා කතා කළ ජනපතිතුමා තමාගේ ඊළඟ ත්‍රස්තවාදී මෙහෙයුම ලෙස හැඳින්වූයේ මතට තිත සංකල්පයයි. ජාතික හෙළ උරුමය, යහපත පිළිබඳ සිතුවිලි බොහොමයක් අලෙවි කරමින් කරන ලද දේශපාලනයේ ජනප්‍රියම දේශපාලන අලෙවි භාණ්ඩය වුයේ මතට තිතයි. එය කොතරම් ජනප්‍රිය ලෙස ඔවුන් සමාජ ගත කළා ද කිවතොත් අදට වඩා සමාජය යහපත් ලෙස පැවති, 70 දශකයේ චිත්‍රපටවල දුම්, මත් බීම් හා අසැබි ලෙස හාමුදුරුවරු සැලකූ සෑම රූප රාමුවකටම කොටු දමා ඉවත් කිරීම දක්වාම එය දිගු විය. අලිංගික යැයි අප හිතන හාමුදුරුවරු ලිංගික ගිහි ජීවිත පාලනයට දේශපාලනිකව මැදිහත් විය. යහපත්, සිංහල, අමද්‍යප, සුචරිත,  බෞද්ධයෙක් හදා වඩා ගැනීමෙන්, අමද්‍යප එල්.ටී.ටී.ඊ.යේ කුරිරු ත්‍රස්තවාදයට මෙන් අධිරාජ්‍යවාදයටත්එකවිට මුහුණ දීමට අවශ්‍ය සාරය ඒ තුළ ඇති බව දවල් මිගෙල් රෑ දනියෙල් ගිහියන්ගෙන් හා සසර කලකිරී මහණ වූ හාමුදුරුවරුන් වෙතින් පමණක් නොව රු.40,000/ 50,000 'තායි සිල්ක්" සිවුරු පළදින සසර චූන්වු හාමුදුරුවරු විසින් ද දේශනා කොට වදාළ හ. කන්න ඕන වූ විට කබරගොයා තලගොයා නොව තෝර පෙත්තක් තරමටම හඳුන්වා දෙමින් ජනපතිවරණයේ දී ජනපති මැදුරේ දී ජනයාට සංග්‍රහ කළ මධ්‍ය -සාරය අනුමත කළ හෙළ උරුමයේ නායක හාමුදුරුවරු ඉන් පිටත, මතට තිත දේශපාලනය ව්‍යාපෘතිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා සමාන  ලෙස මැදිහත් වෙමින් ක්‍රියා කළ හ.
           ණය: ණයට පොලී, පොලියට පොලී ගෙවීමට ඇති රජය ඉදිරි සංවර්ධන කටයුතුවලට අදාලවත් යුද්ධයෙන් පසු විදේශ විනිමය ලබා ගත හැකි සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම දැන් අරඹා ඇත. ලෝකයේ උතුම් රට අපි, අපිවම හඳුන්වා ගන්නා අර්ථයෙන් ලංකාවට විදේශිකයන් නොපැමිණෙන නිසා පැමිණෙන විදේශිකයන්ගේ විවිධ වුවමනාවන්භා වින්දන සංස්කෘතිය වෙනුවෙන් පරිසරය සකස් කළ යුතුව ඇත. ඒ සඳහා යුද්ධයේ පසු පෙරමුණ හරහා තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනිම සඳහා ගෙන එන ලද මූලධර්මවාදී තහනම්, වර්තමාන ආණ්ඩුවේ එදා වේල වෙනුවෙන් ඉවත් කර ගැනීමක් පසුගිය දින කිහිපය තුළ දැක ගැනීමට සිදු විය. අරක්කු තැබෑරුම් විවෘත කිරීම සඳහා තිබූ තහංචි, පුජනිය ස්ථාන භා පාසැල් දුර සීමාව ඉවත් කිරීමත් රේස් ඔට්ටු සඳහා කලාපයන් වෙන් කිරීමට ‍නීති යෝජනා කිරීමය. දෙවැනි ත්‍රස්තවාදය ලෙස හැඳින් වූ මතට තිත හා සමාජ සාරධර්ම රැකීමේ වුවමනාවේ මන්තරය වෙනුවට මින් පසු, විදේශික සුද්දන්ගේඋවමනාවන්ට ලංකාව තුළ ඉඩකඩ හදා දෙමින් ආණ්ඩු‍‍වේ ඊනියා සංවර්ධන ඉදිරි පෙරමුණ විසින් සන්ධාන අමද්‍යප, අනගාරික, සුචරිත, ධර්ම රාජ්‍යය සාරධර්ම සංකල්ප පෙරටු කොට ගත් පෙරමුණ පසුපසට තල්ලු කර ඇත. ධර්ම රාජ්‍ය වෙනුවට ලිකර් සහ බුකී ප්‍රාදේශීය ලෙස විමධ්‍යගත කර ඇත. දමිළයන්ගේ සංස්කෘතික උවමනා‍වන් සඳහා ප්‍රාදේශීය බලයන් බෙදීමට එරෙහි වූ බෙදීමි පිටරැටින්ගේ සංස්කෘතික වුවමනාවන් සඳහා  බෙදීමට සූදානම්ව ඇත. එභෙත් ලාංකිකයන්ගේ වින්දන සංස්කෘතිය දියුණු කළ 70 දශකයේ චිත්‍රපට අපට තවමත් කොටු දමා බලාගෙන සිටීමට සිදුව ඇත. 70 දශකයේ තරුණ මාලනී ෆොන්සේකාගේ වටොර නොපෙන්වීමට මූලධර්ම බලධාරින් ගත් තීන්දුව දැන්වත් ඉවත් කිරීමට මන්ත්‍රීනී මාලනිගෙන්වත් උපදෙස් ගෙන කටයුතු කළ යුතු ය.
           අපේ රටේ දොර ඇරෙන්නේ විදේශිකයන්ගේ වින්දන සංස්කෘතිය වෙනුවෙන් පමණක් නම් එය ස්වදේශිකයන්ගේ වින්දනයට කරන අසාධාරණයකි.  එසේ නොවුනොහොත් මෙම සන්ධාන ආණ්ඩුව විදේශිය ගැති ආණ්ඩුවක් ලෙස ජාතියේ පංචායුධය වු විමල් වීරවංශ ඇමති විසින් හඳුන්වන දවස වැඩි ඈතක නොවනු ඇත.  

එම්.ඒ. කේ. පෙරේරා                                                                                                                            

Saturday, November 6, 2010

වශී ගුරුකම්

කට කහන වට............

නියම නරුමයා නම්, කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතිව සියළු දෙය අවඥා‍වෙන්, උපහාසයෙන් සලකා සියළු ‍දෙයට සිනාසෙන පුද්ගලයා නොව, කොයි දෙය වුවද සිදු කරන්නට බැරි නැතැයි සලකා කිසි දෙයක් ගැන නිශ්චිත විනිශ්චයකට නො එළඹ ඕනෑම දෙයක් සැකයෙන් තොරව ඔප්පු වුවහොත් පමණක් පිළිගැනීමට සූදානමින් සිටින පුද්ගලයා යැයි කතාවක් තිබේ. අප වැටෙන්නේ ඒ දෙවෙනි ගණයට ය. අපට නොතේරෙන පලියට අපි කිසි දෙයක් උපහාසයෙන් සලකා සිනා නොවෙමු.
            
              මේ ටික සඳහන් කළේ මෙකල රූපවාහිනි මාධ්‍යවල දිස්වෙන හා රාජ්‍ය අංශයේ පුවත්පත්වල පවා පත්තර පිටුව පුරා පළවන දැන්වීම් කිපයක් ගැන කියන්නට ප්‍රස්ථාවතාවක් හැටියට ය. හරිගියාම ගාස්තුව ගෙවිය හැකි බව දැක්වෙන අති ප්‍රබල වශී ගුරුකම් ගැනය. මේ දැන්වීම් පල කරන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි. මාතර හාමුදුරුවෝ, රුවන් වැල්ලේ හාමුදුරුවෝ, රුප්පාගොඩ හාමුදුරුවෝ ආදී නම් ඇති උන්වහන්සේලා අද මල්වතු අස්ගිරි සංඝ පීතෘන්වහන්සේලා තරමටම මේ ධර්මද්වීපයේ ප්‍රසිද්ධියට පත්ව සිටිති.
            
            මේ භික්ෂූන් වහක්සේලා පෙනී සිටින්නේ මතු ආත්මභාවය යහපත් කිරීම පිණිස නොව මේ ආත්මභාවයේම අත් දුටුවයි යන්න ප්‍රතිඵල ගෙන දෙන කර්ම වෙනුවෙනි. ඒ නිසාම උන්වහන්සේලාට ගිහියන් අතර වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට ද හැකි වී තිබේ. ස්ත්‍රී-පුරුෂ වශී බන්ධන, හැරගිය පෙම්වතා/පෙම්වතිය නැවත ගෙන්වා දීම, පමා වූ විවාහය ඉක්මන් කරවීම, බලාපොරොත්තු පෙම්වතාගේ ආලය ආදරය දිනා දිම, පොරොන්දු කඩ කර මඟ ඇර සිටින අය හදවතට ළං කර දීම. දරුපල අත්කර දීම ආදී ගිහි ජීවිතය යහපත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වැඩ රාශියක් උන්වහන්සේ භාරගෙන තිබේ. ඉරිදා ලංකාදීපයේ පළකර තිබූ එක් දැන්වීමක තිබුණේ ජීවිත කාලයටම වශීකර දීම සඳහා  පෙම්වතියගේ යට ඇඳුමේ නූල් කැබැල්ලක් පමණක්රැගෙන මා හමුවන්න කියා ය.
           
             කුඩා දැරියන් දූෂණය කොට මරා වළලන පුවත් නිතර අසන්නට ලැබෙන රටක, දිනකට ළමුන් තිදෙනෙකු දූෂණයට ලක්වෙන බව පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තුමේන්තුවම පවසන රටක, බඩට දරුවන් දී මඟහැර යන මිනිසුන් අනන්තවත් සිටින රටක මේ හාමුදුරුවන් වහන්සේලා සිදු කරන්නේ උතුම් සේවාවක් කරන්නේ යැයි රජය පවා විශ්වාස කරන බව අපට හැ‍‍ඟෙන්නේ රාජ්‍ය මාධ්‍යවල ලැබ ‍තිබෙන අනුග්‍රහය දකින විටය. ධර්මරාජ්‍යය ගොඩනඟන්නට පාරමිතා පෙරහැර ගිය උදවිය අද ආණ්ඩුවේ වගකිව යුතු තැන්වල ඉන්නා නිසා ඒ උදවියගේ අනුග්‍රහය ඇතිව ඉදිරියේ දී මෙම කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවා බිහි වෙන්නට බැරි නැත. කෙසේ වුවද ඒබ්‍රහම් ටී. කොවුර් වැනි අදේව දෘෂ්ටිකයන්, අද ජීවතුන් අතර නැතිවීම මෙම භික්ෂූන් වහන්සේලාට මෙන් ම මේවාට උඩ ගෙඩි දෙන වගකිවයුත්තන්ට ද සැනසිල්ලකි. කාන්තාවන්ගේ යට ඇඳුම්වල නූල් කැබලි ප්‍රසිද්ධ දැන්වීම් දමා එකතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව හෝ උන් වහන්සේලාගේ විනය ගැන බලධරයෝ වගේ වගක් නැතිව සිටිති. මේ අතර ජයවර්ධන පුර සරසවියේ උපකුලපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටින්නේ ජපුර සරසවියේ පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සංඝාරාමය තුළ රාත්‍රී කාලයේ අඳනකඩයෙන් පමණක් සිටිනු තමාට අතටම අසු වූ බවය. එපමණක් නොව පිළිකන්නේ හිස් බෝතල් ද තමා දුටු බවය. ඉන් දින කීපයකට පසු ජනාධිපතිවරයා උපකුලපතිවරුන් කැඳවා නියෝග කළේ සරසවිවල විනය නීති අකුරට ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ සමඟම තොර තෝංවියක් නැතිව පැවිදි ශිෂ්‍යයින්ට දෙහි කපන අන්දම මාධ්‍යවල විකාශය විය. අපේ නරුමකමට අපට හිතෙන්නේ මුන් ඔක්කොටම අමු කැවිලා කියා බව කට කහන වට නොකියා සිටිය නොහැක්කේය.   

මෙටි realayයා.        

Wednesday, November 3, 2010

විශ්ව විද්‍යාල අර්බුදය කවරක්ද?

වර්තමානයේ මතු වී ඇති විශ්ව විද්‍යාල අර්බුදයේ දී ආණ්ඩුව තම වගකීමෙන් මිඳීම සඳහා එම ප්‍රශ්නයේ මුළු ක්‍රියාවම  ජ.වි.පෙ. මතම පැටවීමට කරන උත්සාහයක් දැකිය හැකිවන අතර, උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ උඩඟු ප්‍රකාශනත්, සිසුන් හා සමානවම විශ්ව විද්‍යාල නිසි බලධාරීන්ද  සිසු විරෝධයන්ට දක්වන  අපරිනත ප්‍රතිචාර නිසා උග්‍රවන විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසඳා ගැනීමේ අවම සීමා මට්ටමට වඩා ඉක්මවා යන බවක් දැකිය හැකිය. අධ්‍යාපන ප්‍රශ්නය එහි මූලයන්, ස්වරූපයන්, දිශානතීන් හා පිළිතුරු ගැන විශ්ව විද්‍යාල විද්‍යාර්තීන්ගෙන් අසා දැන ගත් කරුණු ආශ්‍රිතව රාවය පුවත්පතේ 31 ඔක්. 2010 (ඉරිදා) පළවූ සටහනකින් උපුටා ගත් කොටස්වලින් මෙම ලිපිය සකස් වී ඇත.


මේක සංකීර්ණ තත්වයක්.
....මොනවා වුණත් ආණ්ඩුවට ඕන‍වෙලා තියෙනවා මුහුණට මුහුණ ගැටෙන ගැටුම්කාරී තත්වයක් වර්ධනය කර ගන්න. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන්නේ නවකවදය වැළැක්වීමේ පනත. මට පේන හැටියට මේ පනත රජය හා රාජ්‍ය විරෝධී තරුණ කොටස් ගැටෙන රඟබිම බවට පත්වීමට ඉඩ තියෙනවා. මොකද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් රජයට ගැටෙන්න දැන් එල්.ටී.ටී.ඊ. එකක් නෑනෙ. ඒ නිසා නවක වදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් විදියට රජය විසින් ප්‍රසාරණය කරන බව තමයි පේන්න තියෙන්නෙ. කණගාටුවට වගේ මේ උගුල ශිෂ්‍යයන් විසින් තේරුම් ගන්න බවක් පේන්නත් නෑ........

.....විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සුජාත වූ ප්‍රශ්න කොච්චරක් තියෙනවද? ආර්ථික ප්‍රශ්න, පහසුකම් පිළිබඳ ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, සහ සම්පත් හිඟය පිළිබඳ ප්‍රශ්න වගේ ප්‍රශ්න රාශියක් ඒ අතර තියෙනවා. ඒ සුජාත ප්‍රශ්න නිසා තමයි විවිධ බලවේගවලට ශිෂ්‍යයන් මෙහෙයවන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ නිසා ආණ්ඩුව මුලින්ම කරන්න ඕනෙ ඒ ප්‍රශ්න විසඳන එකයි......

-          ආචාර්ය ලියනගේ අමරකීර්ති.

Tuesday, November 2, 2010

'සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මනුෂ්‍යත්වයට යම් ප්‍රමිතියක් අත්කර දීලා තියෙනවා....'

ආරම්භයේ පටන් ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් බෙදීමක් තිබුණා.සරල අර්ථයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු,
                                       1. නිදහස
                                       2. යුක්තිය
                                       3. සහෝදරත්වය

නිදහස  :-   දේශපාලන නිදහස, සිවිල් නිදහස, ‍පෞද්ගලික නිදහස

යුක්තිය :-   සමානාත්මතාවය ක්‍රියාත්මක කිරීම
                                        1. දේශපාලන සමානාත්මතාවය
                                        2. නීතිය ඉදිරියේ සමානාත්මතාවය
                                        3.  සම්පත් දැරීම, බෙදා හැරීම, භුක්ති විඳීම, 

සහෝදරත්වය :-   මානවයා හැමවිටම සාමූහික සත්වයෙක්.මානවයා ක්‍රියාත්මක කරන්නේ මානව අභිමානය  කියන සංකල්පය. ඒ මානව අභිමානය හා සාමූහිකත්වයට ගරු කරන්න නම් සහෝදරත්වය                       තිබිය යුතුයි. එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී හා ඒවාට මැදිහත් විය යුතුයි. 
                                      
දාර්ශනික මූලයන් දෙස බැලුවහොත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නූතනත්වය, (Modernity) කියන වේදිකාවේ ඇති වුන ප්‍රධාන දේශපාලන දර්ශන  තුනෙන් එකක්. ඒ තුන තමයි,
                                          1.  ලිබරල්වාදය
                                          2.  මාක්ස්වාදය
                                          3.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදය

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට,ආරම්භයේ පටන්ම මාක්ස්වාදය සමඟ තිබුනෙ ඉතා කිට්ටු සම්බන්ධයක්.ඔවුන්, කොමියුනිස්ට් ප්‍රකාශනය දාර්ශනිකව පිළිගන්නවා.නමුත් එය යම් තැනක දි වෙන් වෙනවා.බර්න්ස්ටයින් කියන ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා සමඟ ඊට පෙර රෝසා ලක්සර්ම්බර්ග්,කෞව්ට්ස්කි රුසියාවේ ප්ලැකනොව් වැනි අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථානගත කළේ කොමියුනිස්ට් ප්‍රකාශනය හරහා. ඒ තුළ තමයි විප්ලවය ගැන කතාබහක් ව‍ගේම බොල්ෂෙවික් ව්‍යාපාරය ගැන සාකච්ඡාව ගෙන ගියෙත්.නමුත් මුල්වරට බර්න්ස්ටයින් කිව්වා,කොමියුනිස්ට් ප්‍රකාශනය කියන්නේ හුදු සදාචාරවාදී ලියවිල්ලක්.ඉන් එහා ප්‍රායෝගිකව බලද්දි නිදහස, යුක්තිය හා සමානාත්මතාවය කියන තැනින් ගොඩනැඟීම් කළ යුතුයි කියල.