Thursday, December 16, 2010

බල්ලන් සමඟ නිදාගෙන මැක්කන් සමඟ නැගිටීම

ජාතික නාලිකාවක දේශපාලන සංවාදයකට පැමිණි ආණ්ඩු‍වට පක්ෂ දේශපාලකයෙක්, විත්‍රමබාහු හා ජයලත් ජයවර්ධන එංගනලන්තයේ පැවති රැස්වීමක අදහස් දැක්මකට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක් පෙන්වීය. එම දේශපාලනඥයා සඳහන් කළේ ජයලත් ජයවර්ධනගේ අනෙක් පසින් සිටින්නා  කොටි සංවිධානයේ හිතවතෙකු බවයි. තව ද ස්වයංතීරණ ගැන අදහස් පළකල වික්‍රමබාහු සමඟ එකට පෙනී සිටිමෙන් ජයලත් ජයවර්ධන ද ඒ වරදේ කොටස්කරුවෙකු  වී ඇති බවත් කීවේය. මෙය නම් අපූරු තර්ක ක්‍රමයකි. විමල් වීරවංශගේ ගෝල බාලයෙක් වූ එම දේශපාලනඥයා තමන් විමල්ගේම ගෝලයෙක් බව එම අපූරු තර්ක ක්‍රමය මගින් ඔප්පු කළේ  සියළු බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධියට ප්‍රාථමිකව නිගා කරමින්ය. ලංකාවේ සන්නද්ධව  වී සිටි  දමිළ දේශපාලන කණ්ඩායම්වල  නම් සඳහා ඊළම් යන්න කොටස තවමත් සඳහන්ව ඇත. එම සංවිධාන සියල්ල මේ වන විට සන්ධාන ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර කොටස්කරුවන්ය. සමහරුන් ඇමතිවරුන්ය. රජය වෙනුවෙන් මේ කණ්ඩායම් පෙනී සිටියි. මෙම දේශපාලනඥයාට අවශ්‍ය නම් එයටද ඇඟිල්ල දිගු කර පෙන්විය හැකිය. තව ද පොදු රැස්වීම් ඇමතීම සඳහා ආරාධනා ලැබූ කථිකයන් ඒ සඳහා සහභාගී වූ අවස්ථාවල එයට පරස්පර කථා පවත්වන කථිකයන් ද එම සභාවල පෙනී සිටියි. අවශ්‍ය නම් ඒ සියළු දෙනාගේම එකට හිඳ ගන්නා ඡායාරූප  ද වේ. එහි දී කිසිදු කෙනෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. කොටින් සමඟ ද සාකච්ඡා කළ දේශපාලනඥයින් ගත් ඡායාරූප ද කොතෙකුත් පල වී ඇත.  පරාද වී සිටින කොටි සංවිධානය ගැන ද සංවාද කිරීම මඟින් එම ප්‍රශ්නයන්ගේ පැතිකඩවල් හඳුනා ගැනීමේ ඉඩකඩ මතු කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වරදක් නොවන්නේ සංවාද වේදිකාව නිසා අනාගතය වෙනුවෙන් ඝාතන, ආයුධ සංස්කෘතියන්ට ඉඩ ඇහිරෙන බැවින් ය. ජ.වි.පෙ. ඉන්දියාවට එරෙහිව ආයුධ සමඟ පෙනී සිටි ප්‍රතිපත්තියෙන් පසුව ද ආයුධ රහිතව එම ප්‍රතිපත්තියේ සිටියේ ය. ස්වයංතීරණය පිළිබඳ මතයක් දැරීම පමණක් නොව විමල්ගේ මෝඩ දේශපාලනයට අනුව එම මතය දරන අය සමඟ පෙනී සිටින ඡායාරූපත් නීති විරෝධි වී ඇත. දේශපාලනය දන්නවා යැයි කියන ජ.වි.පෙ. හිටපු සාමාජිකයන්ගේ තරම මෙයින් මැන ගත හැකිය ආණ්ඩුව වෙනුවෙන් වැඩියෙන්ම ගොන් තර්ක මේ දිනවල ගෙන එන්නේ මොවුන්ය. ශ්‍රී.ල.නි.ප. යේ වැඩියෙන්ම මෝඩ දේශපාලනඥයින් සිටිනවා යැයි සම්මතයක් තිබුණ ද ශ්‍රී.ල.නි.ප. යට ජැක් ගසා ඇති අනිකුත් කුඩා පක්ෂවල  දේශපාලනඥයින් ආණ්ඩුව වෙනුවෙන්  ශ්‍රී.ල.නි.ප. ටත් වඩා පෙරමුණේ සිටියි. ඔවුන්ගේ අනන්‍යතාවයවත් රැක නොගෙන ඔවුන් කටයුතු කිරීම නිසා මොවුන් දීන වී ඇති තරම ඩිව්, තිස්ස හා වාසුදේව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනයේ දී එයට පක්ෂව ද චම්පිකව හා රතන හිමි සූදු පනත ගෙන  එද්දී එයට පක්ෂව ද දිනේශ් හා විමල්ලාව අයවැය ප්‍රශ්නවලදී විපක්ෂ ජනයා අතර හොඳින්ම එළිදරවු වී ගියේය.

ආණ්ඩුව  ආරක්ෂා කිරීමේ දී  ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින්ටත් වඩා දුර්වලව ගොස් සංවාද තර්කවලදී ගෙන එන විහිලු දීන ප්‍රකාශ නිසා අතීතයේ දී වීරයන් වූ සන්ධාන කුඩා පක්ෂ නායකත්වයේ සිටින මොවුන් අද දින විහිලු කාරයින් බවට පත්වෙමින් යයි  ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින් ද තම නොහැකියාව නිසාමත් අන් අයව එසේ අනාවරණය වීමට ඉඩ දී තමන්ගේ නොහැකියාව නිසා කටවල් නෑර සිටින බවක් පෙන්නුම් කරවයි. පැනලා දෙන තරමටම සවුත්තු වෙමින් යන මෙම කුඩා පක්ෂ දේශපාලනඥයින් දෙස අද දින බලා සිටීමෙන් කල්පනා වන්නේ දැනටමත් යම් ප්‍රමාණයකින් ඇති මොවුන්ගේ පරාජයන්වල සෙවනැල්ල තවත් වැඩි වෙමින් ඉදිරි මැතිවරණ වලදී දැක ගත හැකි  බවය. අනාගතයේ දී එය ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙන ප්‍රමාණයටම වඩා වැඩි ප්‍රතිශතයකින් මොවුන්ගේන් ඈත් වීම සිදුවෙනු ඇත. යුද්ධයේ දී පමණක් හැර හැම කාලයකම සිදු වූ ලෙසම ජනතාවට ගෞරව නොකරන මෙන්ම ජනයා ගොන්නුන් බවට සිතා සිටින ආණ්ඩුවල ක්‍රියාමාර්ග නිසා විපක්ෂ අදහස් දෙසට පිරිස එකතුවීම නොවැළැක්විය හැකි නිසා මෙම පක්ෂ වල අනාගත ඉරණම කනගාටුදායකද වනු ඇත;1970-77 ආණ්ඩුවේ වර්ණවත්ව සිටි සම සමාජ හා කො.ප. 77 පරාද වන්නේ එකදු ආසනයක්වත් නොලබමින්ය. 2002 විපක්ෂය දිනවීමට කටයුතු කළ ජ.වි.පෙ. ට ආසන 42 ක් ශ්‍රී.ල.නි.ල. පාක්ෂිකයින්, ලංකර ගැනීම- දුරස්කර ගැනීම යන දෙකම ලබා දෙන්නේඑවැනි එකම තර්කනයකින්ය. චම්පික, විමල්, දිනේෂ්, වාසු කුඩා පක්ෂ වුවද ආණ්ඩුවේ සමස්ත ජනප්‍රියත්වය හමුවේ සැලකිය යුතු මනාප ගන්නා ප්‍රමාණයටම එසේ නොමැති වූ විට සිදුවන්නේ ආණ්ඩුව විනාශ කළවුන් ලෙස නම් වී එහි ප්‍රතිපක්ෂය  විඳින්නට සිදුවීමය. ආණ්ඩුවට විවේචනයක් සහිතව සිටී නම් අඩුම තරමේ වැටෙන ආණ්ඩු පක්ෂය හමුවේ තමන්ගේ පක්ෂය යම් පමණකට හෝ බේරාගෙන සිටිය හැකි බවටත් අද දින මොවුන්ට අමතකව ගොස් මොවුන් මෝඩ ශ්‍රී.ල.නි.ල.ටත් වඩා මෝඩයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරයි. 


මුණසිංහ  

Saturday, December 11, 2010

මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකික කතිකාව











ඊයේට යෙදුන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් ද ඒ ගැන වර්තමානයේ ලෝකයේ මෙන්ම ලංකාවේ පවතින පිළිගත් අදහස් පද්ධතිය සමග තව දුරටත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ප්‍රායෝගිකත්වය හා ඒවාට මූලික සංකල්පගත කිරීමේ දී සිදුව තිබෙන මඟහැරීම් නිසාද සිදුවන ඌනතා හා ප්‍රශ්න වලට ද අදාලව මෙම ලිපිය සැකසේ.  ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ඒ අරබයා ඉදිරිපත් කර ඇති මානව හිමිකම්වලට දායක කර ගත හැකි හා සංවාද කළ යුතු නව්‍ය හා වෙනත් අදහස්  බොහොමයක් මේ ලිපිය තුළ ඇතුලත් නිසා අහස්ගඟට පිවිසෙන්නන්ට මෙම ලිපිය ඉතා වටිනා අදහස් ප්‍රමාණයක් සැපයෙන බව අපගේ අදහසයි. ජාතිවාදින් බටහිර අනෙකා කර ගෙන ගොඩනඟා ගෙන ඇති මානව හිමිකම් විරෝධී ඝෝෂාවේ  වැරදි කොන නිසා ලාංකිකත්වය තුළ මානව හිමිකම් සංවාදයක් ගොඩ නැඟීමට අවශය යමක්ද මේ හරහා ඉදිරිපත් කරවයි.  
            මානව හිමිකම් ගැන කතා කරන විට අප හමුවේ ඇති මූලික න්‍යායාත්මක ප්‍රශ්නය සමාජ සාධාරණත්වය යනු කුමක්ද? යන්න යි.
            මේ පිළිබඳව ප්‍රබල කතිකාවක් නිර්මාණය කර ගත හැකි නම් මහජන ව්‍යාපාර ගොඩනැගිය හැකිය. විවිධ සංවිධානවලට සාධාරණත්වය පිළිබඳ වෙනස් අදහස් ඇති අතර මේවා විනිවිද යන ප්‍රබල නව කතිකාමය පදනමක් ගොඩනැගිය හැකි ද යන්න අප හමුවේ ඇති ගැටළුවයි.
            නිදසුනක් ලෙස චම්පික රණවක මානව හිමිකම් විශ්වීය නොවන මානව සාපේක්ෂතාවය හා විශ්වීයත්වය පිළිබඳ අංශ ගණනාවක ඇති විවාදයේ කොටස් දක්වමින් සඳහන් කරයි.
මානව හිමිකම් පද්ධතියේ ගැටළු බොහෝය. මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද?
            මානවයා ප්‍රගමනකාරී ගමනක යන බව ඩාවින්ගේ පරිනාමවාදයේ ද කියවේ. ලැමාර්ක් වැනි විද්‍යාඥයන් ගණනාවක් මෙම ප්‍රවාදය නිර්මාණයට දායක විය. හර්බට් ස්පෙන්සර් මීට පෙර සමාජීය වශයෙන් මනුෂ්‍යයා පරිණාමීය ගමනක සිටින බව කීවේය. මෝගන් පසුව මෙය විධිමත් ලෙස ඉදිරිපත් කළේය. මේ අදහස් මාකස්වාදයට බලපෑවේය.
            Social Darwinism වැනි නාසිවාදී ප්‍රතිගාමී න්‍යායන් ගොඩනැගෙන්නේ ද හර්බට් ස්පෙන්සර් ඩාවින් වැනි අය ඉදිරිපත් කළ මතවාදයන් මතම පදනම් වීය.
            ආර්ය ද්‍රවිඩ න්‍යාය (ටැක්ස්මැලර්වැනි අය විසින් නිර්මාණය කරන ලද) ගැන නැගුනේ ද මේ හා සමාන්තරව අනගාරික ධර්මපාල ගේ මූලිකත්වයෙනි. මෙවැනි පසුබිමක පදනමක් සොයා ගන්නේ කෙසේද? ලෝකය නැවත යටපත් කරමින් සුදු/බටහිර සංකල්පය පදනම් කර ගනිමින් කරන්නා වූ ව්‍යාපාරයක් ලෙස මානව හිමිකම් නිර්වචනය වන්නට ක්‍රමයෙන් පටන් ගත්තේය. මුස්ලිම් මූලධර්මවාදීන්, ආසියාවේ ජාතිකවාදීන් වැනි බොහෝ අය දිගින් දිගටම විශ්වීය මානව හිමිකම්වලට විරුද්ධව එල්ල කරන චෝදනාවන්ට මෙය ඇතුලත් වී ඇත.

Thursday, December 9, 2010

මුවාට මුවා වී මුවා මැරූ සොලමන්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010  ජනාධිපතිවරණයේ දී වැඩ කරන රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ රු. 2500 ක පඩි වැඩි කිරීම වෙනුවට දවසකට රු. 20කින් පමණක් පඩිය වැඩි කර බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පනවා ජනතාවට හුස්ම ගැනීම පවා අපහසු කරවා ඇත. පෙර  ලෙසම අයවැයෙන් කළ බොරුවද අමතක කරවීමේ සෙප්පඩ මාධ්‍ය විජ්ජාවක්  මගින් සති දෙකකට වරක් කොටි, යුද්ධ, ජාතිමාමකත්වය දේශප්‍රේමය අධිරාජ්‍යවාදයකේන්ද්‍ර කොටගෙන ප්‍රචාරය කරවයි. බෑන් කී මූන්ට එරෙහි විහිඵ විරෝධය මතු වූ විට ජ.වි. පෙ. ප්‍රකාශ කළේ  (තමන්ට ද අතහැර ගැනීමට බැරි අධිරාජ්‍යවාදයකට ගැට ගසා) ජනතා ප්‍රශ්න අමතක කරවීම සඳහා, ආණ්ඩුව විදේශ බලවේගත් එකතුව මෙවැනි කුමන්ත්‍රණ කරනවාදැයි සැක ඇති බවය. ඒ අනුව මෙවර අයවැයට පසු ජනතාව ජීවත්වීමේ අමාරුව ගැන මැසිවිලි නඟද්දී බ්‍රිතාන්‍ය රජය හා ලංකා ආණ්ඩුව එක්ව ඔක්ස්ෆර්ඩ් ඝෝෂාව ඇති කළා දැයි සොයා බැලීමට විකිලික්ස් කේබල් පණිවිඩවලට ද එබී බැලිය යුතුය.

ඔක්ස්ෆර්ඩ් දේශනය ජනාධිපතිට නොලැබීමේ ඝෝෂාව ඉහලට ගොස් පිටි, පාන්, අල, ළුණු, පරිප්පු, සීනි ඝෝෂාව පහළ බැස ‍ ජනතාවගේ  ප්‍රශ්න විසඳී,  හැපීමට පාන් වෙනුවට ඔක්ස්ෆර්ඩ් ලැබී ඇත.  ඝෝෂාව වැඩියෙන්ම ඇති කරවන්නේ රජයේ මාධ්‍ය විසින්ය. එවිට ආණ්ඩුවේ අසාර්ථකත්වය හා කැබිනට් ඇමති වරපුසාද ලොකු කර ගැනීම සඳහා වූ  විවේචන යට ගසා ගෙන සිටිය හැකිය.යුධ අපරාද කර නැත්නම් කළ යුත්තේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර ඇති නිසා ඒවා මත විමර්ශණය කරවන්නන්ට මුහුණ දීමටය. මෙය කාටත් තේරෙන සරල කාරණයකි. එහෙත් යුද අපාරාධ යනු ලංකා ආණ්ඩුවට සිඟන්නාගේ තුවාලයයි. එම චෝදනාව කරන්නේ විදේශ කුමන්ත්‍රණ, කොටි, N.G.O. බළල්, හිකනළුන්, හූනන් ලෙස හඳුන්වා දෙමින් පාලකයින් උත්තර බඳින්නේ ලංකාවටය. එය සන්ධාන ආණ්ඩුවේ එදා වේල දේශපාලනයේ හැටිය. ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට එංගලන්තය, ඔක්ස්ෆර්ඩ්, රැජින, ලන්ඩන් ගැන ඇත්තේ පාලකයින් ඒ ගැන දක්වන උනන්දුවේ ඝෝෂාවන් පමණි. LTTE ය සන්නද්ධව පරාජය කළ ආණ්ඩුවට ලක්ෂ 60 ක  ජනතාවක් ඡන්දය දුන් පසු එම ජනතාවට තමන් පෙළු කොටි, ඩයස්පෝරා, හදිසි නීති විවාදවලින් එතරම් වැඩක් නැත. ඒවා පාලකයන්ගේ වුවමනාවන් ය. සාමාන්‍ය ජනයාගේ සිහිනයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන්, බ්‍රිතාන්‍ය නැත. ඒවා සමඟ පටලැවී සිටින්නේ බටහිර සියළු දේ අනෙකා කර ගත් පාලකයන් සහ ඔවුන්ගේ ඉහළ තීරුවල ප්‍රජාවන් පමණි. ආසියාවේ ආශ්චර්යයන් ගැන කියමින්, පාලකයින් හිතේ අමාරු වැඩි කර ගන්නේ යුරෝපය දෙස බලමින්ය. මෙම දෙබිඩි බව නිසා කිසිදා බටහිර පැරදවීමට  තබා ඔවුන් ගෙන් තොරව සිතීමකටවත් නලින්ද සිල්වාගේ අර්ථයෙන් පාලකයන්ට නොහැකි වනු ඇත.
            
විමල් වීරවංශගේ ලාබ භාෂාවෙන් කියන්නේ නම් දේශපාලනය එහෙම තමයි. එහෙම නම් සාමාන්‍ය මිනිසුන් ලෙස අපි ඒ ලණුව කන්නේ මොන ඉලව්වකට ද යන්න ඇසිය යුතුය. ඔක්ස්ෆර්ඩ් ඝෝෂාව ගැන ඇසිය යුත්තේ සරල ප්‍රශ්නයකි.
            
බටහිර, දේශද්‍රෝහී, කොටි සුරතල් කරණ, අධිරාජ්‍යවාදී යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන මිලි බෑන්ඩ්ලාගේ රටේ විශ්ව විද්‍යාලයකින් දේශනයකට අඬ ගගසන විට දුවන්නේ ඇයිද යන්නත් නොලැබූ පසු ඒ තරමටම හිගේ අමාරු ඇති කර ගන්නේ ඇයිද යන්නත්ය. අනාගත ආසියාවේ චීනය හා ඉන්දියාවේ විශ්ව විද්‍යාලයකින් දේශනයක් ඉල්ලා ගෙන  සාර්ථක Tele prompter කතාවක් ද කරමින් කිසිදු කෙනෙහිලි කමක් නොවිද, ආපසු යහතින් ලංකාවට විත් පොළෝ තලය සිප ගැනීමට තිබූ ඉඩකඩ නැති කර ගත්තේ මන්ද යන්නයි.
            
ලක්ෂ 10-12 ක් අතර ප්‍රමාණයක් මැද පෙරදිග රැකියාවලට ගොස් ඇණ ද ගසාගෙන විඳවන මිනිසුන් තම ළමයින්ට යුරෝපයේ අධ්‍යාපනය හෝ වෙනත් කිසිදා තමන්ටවත් වීසා එකක් ලබා ගැනීමට තැත් නොකරන්නේ එය ඔවුන්ට වඩාත් දුර සිහිනයක් වී ඇති නිසාය. එහෙත් බොහෝ ජාති මාමකයන්, දේශ ප්‍රේමින්ගේ සිහිනය තම දරුවන් හා තමන් ද යුරෝපය‍ට ‍පැන ගැනීමට දිවා රෑ වෙහෙසී වැඩ කරන අන්දම දැකිය හැකිය. එම නිසා ඔක්ස්ෆර්ඩ් දේශණයෙන් වඩා අමාරුවට පත්වන්නේ  මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ ගණනක ජනතාව නොව මහින්ද රාජපක්ෂලා වර්ගයේ අය ය. සාමාන්‍ය මිනිසුනට ඔක්ස්ෆර්ඩ් පිළිබඳ වගේ වගක් නැත. එහෙත් මහජරාට සිදු වූ අපහසුතාවය ගැන කේවට්ටයින් යමක් නොකළේ නම් රජාව බැලන්ස් කිරීමට නොහැක. එමෙන්ම වෙනත් වරප්‍රසාද රජා‍ගෙන් ලබා ගැනීමට ද මහා ඝෝෂාවක් ඇති කළ යුතුය. එහි වාසි දෙකකි. එකක් මිනිසුනට සම්බන්ධ නැති ප්‍රශ්ණයක් වටා ගෙතී මාධ්‍ය මඟින් ඒවාට ලබා දෙන ප්‍රචාරය නිසා ප්‍රශ්න අමතක කරවීමත් හා එසේ ක්‍රියා කිරීමේ දී තමන්ට ලකුණු දා ගැනීමත්ය. මෙම ව්‍යාපෘතිය තව තවත් සජීවි වන්නේ ලංකාවේ සමාජයෙන්ද කීපදෙනෙක් බටහිරට සම්බන්ධ හතුරන් ලෙස නම් කර ගැනීමෙන්ය.
            
රොකට් ලොන්චර් සහිත LTTE සංවිධානය පරාජය කළ පසු සතුරෙක් නැති ලංකා ආණ්ඩුව ඊළම් කොඩියටත් බිය වී ඇත. පිටරට පැවැත්වෙන උද්‍ඝෝෂණවලටත් බිය වී ඇත. එහෙත් බටහිර ආයෝජකයින්ට අත වනන විට ලංකාව සැක බිය නැති සාමය සහිත රටකි. හදිසි නීති සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට ලංකාවේ තත්වය තරම් භයානක රටක් ලෝකයේ තවත් නම් නැත. ආයෝජකයින් මෙයින් පිළිගත යුත්තේ කුමන අදහස ද? පාලකයින් විසින් ඇති කරන යුද්ධ කේන්ද්‍රී මානසිකත්ව ප්‍රචාරක බොරුව සමඟ අප තව කොතෙක් කල් පටි තදකර ගැනීමට බඩක් නැතිව ජීවත් විය යුතු ද?   

- මැක්කා      

Saturday, December 4, 2010

2010 සැප්.04 -    සුඩර්ඔලි

උතුරු නැ‍ඟෙනහිර වැන්දඹුවන් 89,000 ක්.
-         පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා

උතුරු නැ‍ඟෙනහිර පළාත්වල කාන්තාවන් 89. 000 පමණ සැමියන් අහිමිවූ කාන්තාවන්
 බවත් ඉන් 25000දෙනා මඩකලපු දිස්ත්‍රික්කයට අයත් වූවන් බවත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජිත පී. සෙල්වරාජා ප්‍රකාශ කළේය.
 යුද්ධයේ පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා වූ සංවිධානයේ රැස්වීම අමතා ඔහු තව ුරටත් පැවසූ පරිදි -
            ස්වභාවික විපත්වලට වඩා කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වී ඇත්තේ යුද්ධය නිසාය. යුද්ධය අවසන් වී මාස 16 ක් ගතවී ඇතත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට  ලංකා රජය කිසිවක් කර නොමැත.
            මෙම කාන්තාවන් පීඩාවට පත් වීමට ප්‍රධාන හේතුව ලංකාවේ හමුදාවය. ඔවුන්ගේ  ස්වාමිවරුන් ඝාතනය කර ඇත. අතුරුදහන් වී ඇත. තරුණ කාන්තාවන් ලිංගික බලහත්කාරකම්වලට ගොදුරු වන අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත.
            ළදරුවන් සමඟින් පවා රඳවා තබා ගෙන ඇත. ඔවුන් පිළිබඳව චෝදනා ඉදිරිපත් නොකරන ලංකා රජය ඔවුන් නිදහස් කිරීමට විරුද්ධය.
            පළාත් රජයට කිසිදු බලයක් නැත. ලංකාවේ වාර්ගික ප්‍රශ්නය විසඳීමට ක්‍රියාකරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට අවුරුදු 23 ක් ගත වී ඇති අවස්ථාවේ වුවද 13 වන සංශෝධනය ක්‍රියාත්මක කර නොමැත.


23.10.2010    - වීරකේසරී
එ.ජා. උපදේශක කණ්ඩායමට කඩිනමින් සුදුසු පිළිතුරු.
                                - ජාතිහි‍තෛශී ජාතික ව්‍යාපාරය

කොළඹ පිහිටා ඇති එක්සත් රාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය වට ලා බැන් කී මූන්ගේ උපදේශන කණ්ඩායමට සුදුසු පිළිතුරු දෙන්නෙමු. මේ සම්බන්ධයෙන් හෙට රැස්වන ජාති හිතෛශී ජනතාව අවසාන තීරණය දැනුම් දෙනු ඇතැයි  ජාති හිතෛශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
            ඔහු තව දුරටත් පැවසූ අයුරු,
යුද අපරාධ පදනම් කොටගෙන ලංකාව ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ දණගැස්වීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නැවත ඉස්මතු වී ඇත. ලංකාවට විරුද්ධව පිහිටුවන ලද එක්සත් රාජ්‍ය මණ්ඩලයේ විශේෂඥ කණ්ඩායම ලිඛිත සාක්ෂි ඉල්ලා ඇත. මෙම විශේෂඥ කණ්ඩායමේ ක්‍රියාකලාපය සාමාන්‍ය ‍ ලෙස සැලකිය නොහැක. මන්ද යත් මොන මාර්ගයෙන් හෝ යුද අපරාධ හේතුවෙන් ලංකාව හිර කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වන නිසාය.
            එම නිසා ලංකාව ජාත්‍යන්තර තර්ජනයෙන් ආරක්ෂා කිරීමේ හදිසි අවශතාවයක් මතු වී  ඇත. මේ සම්බන්ධ අවසාන තීරණය අපගේ සංවිධානයේ සාමාජිකයන් හෙට රැස් වී තීරණය කිරීමට නියමිතය. දේශහිතෛශී ජනතාව එක්රැස් වී ඉක්මනින් බෑන් කී මූන්ගේ විශේෂඥ කණ්ඩායමට විරුද්ධව තමන්ගේ විරෝධය එළිදක්වන්නේ යැයි පැවසීය.  
   



උතුරු නැගෙනහිර පදිංචි කරවීමේ උත්සාහයත් භයානක කාරණයක් විය හැක. සංහිඳියාව කොමිසම ඉදිරියේ මැල්කම් රංජිත් පියතුමා සාක්ෂි දෙයි.


කාදිනල්වරයෙකු ලෙස කතෝලික සභාව විසින් පත් කරනු ලැබූ අති උතුම් මැල්කම් රංජිත් පියතුමා ලංකාවේ මෙතෙක් පැවැති 30 අවුරුදු යුද්ධයෙන් පෙර හා පසු නිරන්තරයෙන් දක්වන අදහස්වලට සමගාමීව සංහිදියා කොමිසම  හමුවේ දී මෙම අදහස් සාක්ෂි ලෙස ප්‍රකාශ කර ඇත. ලංකාවේ වෙසෙන සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ දෘෂ්ඨිවාද මෙහෙයවන්නන්ට අනුව ලංකාව සිංහල බෞද්ධයන්ට සියලු වරප්‍රසාද භුක්ති විඳීමට අයිතිය ඇති රටක් ‍‍ලෙස නම් වී ඇත. බටහිර බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදි අදහසට අනුවත් එය එසේය. එහි දී ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ජාතියේ හා ආගමේ නාමයෙන් ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් හා ආගම්වලට අයත් වූවන්ගේ මානසිකත්වය සුළුතරයේ මානසිකත්වය බවට පත්වීම අනිවාර්ය සාධකයකි.එහි ප්‍රතිපල අප අවු. 30 ක යුද්ධයේ දී හා ලක්ෂ ගණන් ජීවිත හා දේපල විනාශයකින් අත්විඳ ඇත. ඉන්පසුවද අපි නැවත ප්‍රශ්නය ඇති කළ තැනට පමණක් නොව ඉන් පසුපසටද යාමට ක්‍රියාකරමින් සිටියි. මැල්කම් රංජිත් පියතුමා කතෝලිකයෙක් නිසා මනුෂ්‍යත්වය හා ආගම්වල මූලික ඉගැන්වීම් ගැන එතුමා දක්වන අදහස්වලට සිංහල බෞද්ධ අපගේ කණ් නොඇරෙනු ඇත. තවද එතුමා දෙමළ ජාතිකයන්ගේ සාධාරණ ප්‍රශ්නය ගැන කතා කල ද (සිංහල මත ගොඩනගන්නන්ට අනුව එවැනි ප්‍රශ්නයක් නැති නිසා) එයට ද අප ඇහුම්කන් නොදෙනු ඇත.
සක්විති රජකම ද අතහැර බුද්ධත්වයට පත්ව සියලු ලෝ දනන්ගේ යහපත් වෙනුවෙන් ක්‍රියාකල බුදුන්ට ද ලංකාව බුදුන්ගේ දේශය ලෙස ලියා දීමට පෙරොන්දු ‍දේශ වෙනුවෙන් ආගමික තණ්හාව වඩවන්නන් නිසා ප්‍රශ්නය තවත් ඔද්දල්ව ඇත. අදහස්වලින් බෞද්ධ දර්ශනයේ මූලික හරයන්ද පියතුමාගේ සාක්ෂිවල සටහන් වුවද වර්තමාන මිත්‍යා දෘෂ්ඨිකයන් කවුරුන්ද යන්න තෝරා බේරා ගනිමින් දමිළ සුඩරෝලි පුවත්පතේ සාකව්ඡා කළ අදහස් විමසා බැලීම ඔබගේ මනුෂ්‍ය වගකීමකි. බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සියළු මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  අදහසක් වන බහුත්ව ප්‍රජාතන්තරවාදී ව්‍යුහයන්, ක්‍රම වේදයන් හා ආකල්පයන් ඇති කර ගත යුතුව ඇත. 

උතුරු නැගෙනහිර පලාත්වල ජන සංයුතිය වෙනස් විය හැකි ලෙස සැඟවුන අදහසින් අලුතින් පදිංචි කරවීමට උත්සාහ කරන බව අවදානයට ලක් වී ඇත. මෙය භයානක තත්වයක් විය හැක. මෙවැනි උත්සාහයන් වැළැක්විය යුතුය. තව ද උතුරු නැඟෙනහිර පළාත්වල පාරම්පරික සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ ගන්නේදැයි සැකයක් ද මෙවන් ක්‍රියා මඟින් මතු කර ඇත යනුවෙන් කාදිනල් ලෙස නව නිලයට පත් වී ඇති කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ප්‍රකාශ කළේය.
 ඒ සමඟම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස දේශපාලන විසඳුම් සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කිරීම අවශ්‍යය ය. ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා නැති කළ හැක්කේ ඒ මඟින් වන අතර ජාතීන් අතර විශ්වාසය ගොඩ නැඟීමත් සැකය නැති කිරීමත් ඒ මඟින් කළ හැකි බව එතුමා පැවසීය.
කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ කාර්යාලයේ දී පැවති උගත් පාඩම් හා අත්දැකීම් ගැන ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසමේ විමර්ශන සැසියට සහභාගී වී එතුමා මෙසේ පැවසීය.
උගත් පාඩම් හා අත්දැකීම් පිළිබඳව ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසමේ විමර්ශන සැසිය එහි අධිපති හිටපු නීතිපති සී.ආර්. ද. සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස පස්වරුවේ පැවැත්විණි
කතෝලික නව සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා තවදුරට ද පැවැසූ ‍ලෙස,
මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට අවස්ථාව ලබා දීම ගැන අපි ස්තුති කරන්නෙමු. කතෝලික සභාව රටේ සුභ සාධනය සහ සාමය පිළිබඳව උනන්දුව දක්වයි.ඒ අයුරින් රටේ සියළුම ජනතාවට ද සුදුසු ආකාරයෙන් ගරු කළ යුතුය. මානව අයිතිවාසිකම් ගරු කළ යුතු ය. සමාජ සංවර්ධනය  සහ සුභසාධනය යන කාරණා පිළිබඳව අවදානය යොමු කිරීම අවශ්‍ය වේ. ඒ සමඟම යහපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපගේ අදහස් ඉදිරිපත් කරන්නෙමු. 
මෙම කරුණු සියළුම ආගම් විසින් පිළිගෙන තිබේ. පසුගිය කාලවල වැරදි සිදුවී තිබේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් කරුණකි. අධ්‍යයනය මඟිනි සංහිඳියාව ගොඩනැඟිය හැක්කේ.
 ඒ අතර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස දේශපාලන විසඳුම් සැලැස්මක් ඉක්මණින් ඉදිරිපත් කළ යුතු බව අපි විශ්වාස කරමු. ප්‍රචණ්ඩත්වය සඳහා වූ කාරණා නැති කළ හැක්කේ ඒ මඟිනි. එයින් ජන කණ්ඩායම් අතර විශ්වාසය ගොඩනැඟීම සහ සැකය හා අවිශ්වාසය නැති කළ හැකි බව අපගේ විශ්වාසයයි.
1956 වර්ෂයේ ගෙන එන ලද සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව යන කාරණය බහු වාර්ගිකයන් අතර සැකය හා අවිශ්වාසය ඇති කළේය. මහජාතික භාෂාවට හා ආගමට ප්‍රධාන තැනදීම ගැටුම් ඇති කළේය. 1972 සහ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂා නීතිය තහවුරු කර තිබෙන අතර සිංහල භාෂාවට සහ බෞද්ධාගමට ප්‍රම්‍රඛත්වය දෙන ලදි.
එමනිසා ක්‍රිස්තියානිකාරයන් වශයෙන් පසුගිය කාලයේ තුවාල සුව කිරීමටත් සාමය ඇති කිරීමටත් අපගේ රෙකමදාරු සමහරක් මෙහි ඉදිරිපත් කරන්නෙමු.

විසඳුම් අවශ්‍යය.
අවු. 30ක් යුද්ධයෙන් පීඩාවට පත් වී ඇති උතුරු නැ‍ඟෙනහිර ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කළ යුතුය.  ජීවන ක්‍රම වැඩි දියුණු කළ යුතුය. 1983 වර්ෂයේ කළු ජූලිය වැනි සිදුවීම්වලින් අපි පාඩම් උගත යුතුය. දෙමළ ජනතාවගේ හිත් සහ හදවත් බොහෝ කරදරවලට ගොදුරු වී ඇත. ඒවා ජයගත යුතුය.
 තරුණයින් ආයුධ අතට ගැනීම පිළිබඳව අප ඉගෙනගත යුතු ව ඇත. ඒ නිසා උසස් අධ්‍යාපනයක් ලබා දීම මඟින් ද ආගමික ක්‍රියාකාරකම් මගින් ද යහපත් අනාගතයක් ඇති කළ හැකිය.
ප්‍රධාන ආගම් තුන එකතු වී ක්‍රියා කළ හැකිය. තරුණයින්ට ජීවන කුසලතා පුහුණුව ලබා දිය යුතුය. ආගම්වලට ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ. තව ද නව නීති කෙටුම්පතක් ගැන ප්‍රශ්නයකට මුහුණ දී ඇත්තෙමු. එනම් සූදූ සෙල්ලමට අනුමැතිය දීම පිළිබඳව නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව දැන ගැනීමට ඇත. එය අවාසනාවන්තය. එනම් සූදු කෙළියට සියලුම ආගම් විරුද්ධය.
රටේ සියලුම ප්‍රජාව ත්‍රිවිධ භාෂාවම ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය කළ යුතුය. පාසල් ළමුන්ගෙන් මෙය පටන් ගත යුතුය. ඒ මඟින් ජන සමාජයන් අතර යහපත් සම්බන්ධතාවය යහපත් ආකාරයෙන් ඇති කළ හැකි බව විශ්වාස කරන්නෙමු. ජාතිය සමගිය ද ඇති කළ හැක.
ඒ සමඟම විශ්ව විද්‍යාලයට තෝරාගන්නා සියලු දෙනා ත්‍රිවිධ භාෂාවෙන් සුදුසුකම් ලබා තිබීම අනිවාර්ය කළ යුතු ය. භාෂා නීතිය හා භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟිය යුතුයි.  ඒ මඟින් යහපත් නව පරම්පරාවක්  ඇති වේ.
තව දුරටත් රාජ්‍ය පරිපාලන සේවය සිංහල භාෂාව කතා කරන අය‍ගෙන් පුරවන ලද බව පැහැදිලිය. මෙම තත්වය වෙනස් කොට දෙමළ කතාකරන ප්‍රධානීන් රාජ්‍ය පරිපාලන සේවයට වැඩි වශයෙන් ඇතුලත්කර ගැනීම අවශ්‍යය.

පදිංචි කිරීම් වැළැක්විය යුතුය. 
තව ද එම ප්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ කරනවාද යන සැකයක් ද ඇති වී ඇත. එය වැළැක්විය යුතුය. ත්‍රස්තවාදය පැරද වූ මුත් රටේ තවත් සුළු කරදර තිබිය හැක යන්න අපි පිළිගන්නෙමු.
රටේ ආරක්ෂාව යනු ප්‍රධාන කාරණයක් බව ද පිළිගන්නෙමු. නමුත් ජනතාව අතරේ සැකයක් නැති කළ යුතු අතර විශ්වාසය ගොඩනැගිය යුතු බව අවධාරණය කරන්නෙමු. ජනතාවට එක්තරා අකාරයක නිදහසක් අවශ්‍ය වේ.
 පසුගිය කාලවල දී දෙපාර්ශව සාකච්ඡා ගෙන ඒමට කතෝලික නව සභාව උත්සාහයක් ගෙන ඇත. නමුත් එම උත්සාහයන් ජය ගැනීමට නොහැකි විය. හේතුව ජන කණ්ඩායම් අතර අවිශ්වාසය බව පෙනුණි. අපි කවදත් සන්නද්ධ යුද්ධයට කැමති නැත.කොටි වෙනම රාජ්‍යයක් ඉල්ලීමද අපි ‍පිළිනොගන්නෙමු. නමුත් එක්සත් ලංකාව තුළ සියලුම ජනතාව සියලුම අයිතීන් තිබිය යුතු බව දැන ගත යුතුය. ජාති හා ආගම් පදනමින් මෙය විය යුතුය.

සාධාරණය අවශ්‍යයය. 
මේ අවස්ථාවේ ආගමික නායකයින්ගේ සහභාගිත්වය වැදගත් ස්ථානයක් ගනී. ආගම් එක් වී කණ්ඩායම් ලෙස ක්‍රියා කළ හැක. ත්‍රස්තවාදයත්, රට බෙදීමේ උත්සාහයත් සාධාරණ නොවේ. නමුත් ජනතාවට සාධාරණය ලබා දිය යුතුය.
වර්තමාන ආණ්ඩුව ගෙන එනු ලබන සැලසුම් අගය කරන්නෙමු. ඒවා සියලු ජනතාවගේ  අයිතිවාසිකම් තහවුරු කළයුතුය. සිලුම ජනතාවගේ  අයිතීන් පිළිබඳව දැනගැනීම අවශ්‍යවේ.
දිස්ත්‍රික් මට්ටමින් ආගමික කණ්ඩායම් නිර්මාණය කර ගැටලු විසඳීමට කටයුතු කළහැක. පසුගිය කාල අවු. තිහක (30) යුද්ධය වැන්නකට අපට නැවැත යා නොහැත. අපේ රටේ අනාගත වාක්‍ය වියයුත්තේ අවුරුදු 100 සාමය යන්නයි.

(2010.11.06 සුඩර්ඔලි- කතුවැකියෙන් මෙම සාක්ෂිය පිළිබඳ සාකච්ඡා කර ඇත.)




Wednesday, December 1, 2010

කිකිළිය මරා රන් බිජු ගැනීම

එකෝමත් එක කාලෙක ගම ගෙදරක කිකිළියක සිටියාය. දිනක් ඇය රන් බිත්තරයක් දැමුවාය. ප්‍රීතියට පත් ගෙදර ඇත්තෝ එම බිත්තර විකුණා වතු පිටි ඉඩ කඩම්  මිළට ගන්නට සිතූ හ. මෙහි දී ගමරාලට නුවණැති අදහසක් පහළ විය. කිකිළියගේ බඩ පලා රන් බිජු සියල්ල එකවර ගතහොත් ගමහැර නගරයට ගොස් එම බිත්තර විකුණා මහත් වස්තුව රැස් කොට සතුටින් ජීවත් විය හැකි යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව කිකිළියගේ බඩ පලා බැලුවේය. එහි බිත්තර නොවීය. බිඳ වැටුනේ ගමරාලගේ සිහිනය පමණක් නොවේ. ගම ගෙදරට බිත්තර සැපයූ කිකිළිය ද අහිමි විය.

ආශ්චර්යය උපදවා ගැනීම පිණිස වර්තමානයේ  රට තුළ සිදුකෙරෙන බොහෝ ක්‍රියාකාරකම් අසන දකින විට අපට මතක් වන්නේ රන් බිජු ගත් හැටි කියන මේ ගම කතාවය. බලාගෙන යන කොට මේ ගමරාළලා ද අර ගමරාළට දෙවෙනි නැත. මොවුන් උත්සාහ කරන්නේ ද ලංකාව කණ පිට පෙරලා හෝ තමුන්ට ආශ්චර්යය ළඟා කර ගන්නටය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2002 දී ලංකාවට පටවන්නට හැදූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බලවත් ජනතා විරෝධය හමුවේ එදා නිශ්ප්‍රභා විය. නමුත් මේ වැඩ පිළිවෙලම ඊටත් වඩා සාහසික ආකාරයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නඟමින් සිටී. යටත් විජිත පාලන සමයේ පවා සුරැකුනු පාරිසරික සම්පත් හා ජාතික උරුමයන් ඉදිරි වසර කිහිපය තුළ ලංකා මාතාවට අහිමි වනු ඇත. ඒ මතු නොව අපට අනන්‍ය වූ සංස්කෘතිය හා සදාචාරය ද එතෙකින් වල් වැදෙනු ඇත.

දශක 04 කට නොවැඩි කාලසීමාවක සිටම ලංකාව අනුගමනය කරනු ලබන්නේ එකම ආර්ථික ක්‍රමෝපාය යන්ය. පාලකයින් කුමක් ප්‍රකාශ කළ ද බලයට පත්වන සෑම ආණ්ඩුවවක්ම විශ්වාසය තබා සිටින්නේ විදේශීය ආයෝජනයන් කැඳවීම කෙරෙහිය. ඒසඳහා විවිධ බදු සහන පිරිනමමින් විවිධ රාජ්‍ය ආයතන පිහිටුවමින් සෑම රාජ්‍යයක්ම උත්සාහ කළේය. තව තවත් රට අර්බුදයට ගමන් කළා මිස  වෙනත් යහපතක් සිදු වූයේ නැත. ආණ්ඩුවද ගමන් කරන්නේ එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයෙහිමය. ලාභය අපේක්ෂාවෙන් යන මේ ගමනේදී මිනිසා සහ ස්වභාවික සම්පත් ද සාරධර්ම ද එතරම් වැදගත්කමක් හිමි වන්නේ නැත. ගොවීන් ‍ෙගාවි බිම්වලින් ද, දිළින්දන් නගරවලින් ද, ධීවරයින් මුහුදු කරයෙන් ද පලවා හරින ප්‍රවෘත්ති අපට දිනපතා අසන්නට ලැබෙන්නේ ඒනිසාය.

අයවැය සුළඟ බත්පතට කුණාටුවක්


1977 - ජේ.ආර්
"පෝෂ්‍ය‍දායක ධාන්‍ය රාත්තල් අටක් දෙනවා......"

1970 - සිරිමා
" හ‍‍‍ඳෙන්  හරි ගෙනත් හාල් සේරු දෙක දෙනවා...."
2005 - මහින්ද
" දුප්පතුන්ට ආහාර මල්ලක්, ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක්, දරුවන්ට කිරිපිටි සඳහා  රු. 200 ක්  දෙනවා....."
සුළඟ නිසි අතට හමනු ඇතැයි එක් ඇමතිවරයෙකු කියා තිබුණේ දෙවන පදවි ප්‍රාප්තිය සඳහා ජනපතිට සුභ පතමිනි. කිව්වත් වාගේ සුළං හමන අත හොඳින් හඳුනාගත හැකි අයවැයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. මේ සුළං දුප්පතුන්ගේ බත්පතට කුණාටුවක් වී  මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූ පැලැන්තියට සිසිල් මඳපවනක් වී ඇති සැටි පැහැදිලිය. 2010 ජනපතිවරණයේදී රජයේ සේවකයින්ට රුපියල් 2500 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන බව ප්‍රකාශ කළේය. 2010 මහ මැතිවරණයේදී නැවත පුන පුනා ප්‍රකාශ කළේ 2010 නොවැම්බරයේ එය ලබා දෙන බවය. එහෙත් අවසානයේ රු. 11730/- අවම වැටුපක් ලබන රාජ්‍ය ‍සේවකයාට රු.586.50 ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබේ. 2010 අයවැය කෙරෙහි මෙරට දිළිඳු ජනයා අති විශාල අපේක්ෂාවන් දල්වා බලා සිටියේය.

පසුගිය වසර තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ 200%කින් වැඩි වූ අවස්ථා තිබේ. එදා වේල හොයා ගන්නා මිනිසුන්ට ජිවන බර දරාගත නොහැකිය. පාන් ගෙඩිය රු.50 කි. පොල් ගෙඩිය රු.48 කි. ළදරු කිරිපිටිවල අධීක මිල ගණන් නිසා දරුවන්ට කොත්තමල්ලි පොවන තැනට සාමාන්‍ය ජනයා පත්ව සිටි, යම් සහනයක් අපේක්ෂා කළෝ ඔවුහු ය. එහෙත් ආණ්ඩුව සලකා තිබෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවටය. දේශීය ව්‍යවසායකයා දිරි ගැන්වීම සඳහා 35% දක්වා බදු සහන අනුමත කර ඇත. රු. ලක්ෂ 5 දක්වා ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම පිණිස 12% බදු අඩු කර ඇත. අපනයන අංශවල බදු අඩු කිරීම 10% කි. අමාත්‍ය සරත් අමුණුගම කියන්නේ ඉදිරිකාලය තුළ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට හිමිවන බවය. රජයේ මහ බැංකුව කියා තිබුණේ පස් දෙනෙකු ජිවත්වන පවුලක දළ මාසික වියදම රු. 34920/- ක් විය යුතු බවය.

ලංකාවේ රජයේ සේවකයින් ලක්ෂ 12ක් සිටිති. ආණ්ඩුව 5% ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙන්නේ ඔවුන්ටය. අර්ථ සාධක අරමුදල් ගෙවන පුදගලික අංශයට අයත් සේවකයින් ලක්ෂ 45 ක් සිටිති. අයවැය ඔවුන් ගැන කිසිවක් කතා කර නැත. රජයේ ගණන් හිලව් වලටම අනුව ස්වයං රැකියා කරන ජනතාව ලක්ෂ 26 කි. ඔවුන් ගැනත් කතා කර නැත. එදා වේල සොයා ගැනීමට කුලී වැඩ කරන, ඉදල් මිටි, පලා මිටි, කඩයප්පන් හිසින් රැගෙන පාරක් ගානේ ඇවිදින අසරණයින් ගැන බලා නැත. රට වටා මහසයුර සම්‍ඟ හැපෙන ධීවරයන් ගැන හෝ අලි-මිනිස් ගැටුම් මැද මහ පොළොව සමඟ හැපෙන ගොවි ජනයා ගැන ද නායකයා සංවේදී නැත.රජය පුන පුනා කියන්නේ ඇ. ඩො.2000ක ඒක පුද්ගල ආදායම 4000 දක්වා නැංවීම රජයේ අරමුණ බවය. ආණ්ඩුවේ ඉහල පෙළේ උදවිය උපයා ගන්නා ආදායම් පිළිබඳව සලකන විට එම ඉලක්කය පහසුවෙන් ජය ගනු ඇත.
30 ට බස්සනවාය කී කැබිනට්ටුව දැනටමත් 62 කි. නියෝජ්‍ය ඇමතිවරු ද සමඟ මෙය 95 ක් වී තිබේ. එහි වරද ජනතාව පිට පැටවෙනු ඇත.  මෙයින් පැහැදිලි වන්නේ ජනතාවට කෙසේ  වෙතත් පාලකයින්ට නම් සුබ අනාගතය පහළ වි ඇති බවය. 
18 වන ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කිරීමේ දී ඇල්ලූ අපූරු කස්තිරමට හිලව්වන්නට වාසුදේව නානායක්කාර සහෝදරයාට ද මෙවර ඇමති ධුරයක් ලැබී තිබේ. 72 වන වියේ පසුවන ඔහුට ද විප්ලවීය ජිවිතයේ සැදෑ සමය සැනසිල්ලේ ගත කළ හැකිය. මේ නිමේෂයේ දී ජනතාව විශ්වාසය තබා සිටින්නේ සංවිධානය වූ කම්කරු පන්තියේ ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහිය. ඊට හේතුව තව දුරටත් බෙලහීනව පවතින විපක්ෂය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙමින්  පැවතීමයි.