ඔබ කළ යුතු දේකිරීමට
සමහර විටක ඔබට සිදුවේ......
2004 ට පෙර පැවති x කණ්ඩායමේ කලාව සම්බන්ධයෙන් තිබූ අධිපති සම්ප්‍රදායික විචාර කලාවට වෙනස්ව, ඉන් ඉවත් වූ පිරිසක් විසින් ලන්ඩන් සඟරාවේ 2005 - මාර්තු - අප්‍රේල් කළාපයේ පළ වු මෙම සිනමා විචාර ලිපිය අහස්ගඟ පාඨකයන් වෙනුවෙන් අපි ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
පුළුල් සමාජ වෙනසක් ප්‍රාර්ථනය කරන්නන් සියළු දෙනාටම හමුවන හා ඔවුන් ගොදුරුවන ප්‍රධාන කරුණක් නම්, පවතින සමාජය විසින් ම අප වෙත ඉදිරිපත් කර ඇති දෛවයිත සම්බන්ධයන්ගෙන් එක් ස්වරූපයක් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජය වෙනස් කිරීමට ක්‍රියා කිරීමය. එය ද පවතින සමාජය විසින් ම නිර්මානය කර දුන් දෙයක් වූ විට, අප වෙනස් කිරීම යන්නට දෙන අර්ථය කුමක්ද යන්නයි. මෙම සමාජ-දේශපාලන ගැටළුව ගැන සිතීමකට ද මෙම ලිපිය අපව යොමු කරවයි.

ඩොග්විල් චිත්‍රපටය ආදරය හා පාවාදීම පිළිබඳ සදාචාරවත් කතාවක් බවට පත් වීමෙන් ගැලවෙන්නේ යන්තමිනි. පාවුලෝ කොයියෝගේ නවකතා ජනප්‍රියත්වයට පත් වි ඇති ආකාරය සැලකිල්ලට ගන්නා විට කෙනෙකු ග්‍රේස් සමඟ පහසුවෙන් අනන්‍යවනු ඇත. ඒ මනුෂ්‍ය යහපත් බවෙහි පරමාදර්ශී සාරය ලෙස ඇය හඳුනා ගැනීමෙනි. එහෙත් පැහැදිලි ලෙසම මෙය කළ නොහැකි වන්නේ චිත්‍රපටයේ අවසානයේ ඇති භයංකර හිංසාකාරිත්වය නිසාය. චිත්‍රපටිය අවසාන ජවනිකාව තුළ, ඊළඟ සංචාරකයාට, ඊළඟ පලා එන්නාට ඉතිරි වන්නේ ඩොග්විල්හි බල්ලා පමණකි. (මේ බල්ලා උත්ප්‍රාසාත්මක ලෙස මෝසෙස් යනුවෙන් නම් කරනු ලැබ ඇත.) මීටත් වඩා වැදගත් ලෙස අප මෙහිදී නොතකා නොහැරිය යුතු කරුණ වන්නේ මෙම චිත්‍රපටය, නැවත ගලවා ගත නොහැකි මනුෂ්‍ය පහත්භාවය ගැන චිත්‍රපටයක් නොවන බවයි. මන්ද එය එසේ වූවා නම් එය හුදෙක්ම කණපිට පෙරලන ලද සදාචාරවාදී කතාවක් පමණක් වනු ඇත. මෙම චිත්‍රපටය හොඳ/නරක, ස්වභාවධර්මය/සංස්කෘතිය වැනි, අත්තනෝමතික සංස්කෘතික වටිනාකම් මත පදනම් වූ සදාචාර වර්ගීකරණයන් අවධාරණය කරන දෛවයිත සම්බන්ධයන් ඉක්මවා යයි. ඒ අතරම එය, ව්‍යාජ- බහුත්වයක් ඉදිරිපත් කරමින් ස්ථාවරයක් ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන නව- ලිබරල් පළායම්වාදය ද ඉක්මවා යයි. මෙහිදී අපගේ තර්කය වන්නේ, මෙම චිත්‍රපටිය සංස්කෘතියෙහි ගැලවිය නොහැකි සිරවීම ඉදිරිපත් කරන බවයි; අප සංස්කෘතික වීම නිසාම (අප සංකේතීය පිළිවෙලට ඇතුළු වී ඇතැයි යන නිශ්චිත අරුතින්) අප ඛණ්ඩනය වූ සත්ත්වයන් බව, එනම් හොඳ හා නරක අතර හෝ ස්වභාවධර්මය සහ සංස්කෘතිය අතර ඛණ්ඩනය වී නොව අපගේම සවිඥානික සහ අවිඥානික පැවැත්ම අතර ඛණ්ඩනය වී ඇති බවයි. මෙම චිත්‍රපටිය, අවසාන අර්ථයේ දී සාකච්ඡා කරන්නේක්‍රියාව (the act) විසින්, සංස්කෘතික අස්ථාවර භාවයට පත් කොට, එය විප්ලවවාදී වෙනසකට භාජනය කරන්නේය යන්න පිළිබඳව බවයි.
ඩොග්විල් ප්‍රජාවට ග්‍රේස් නියෝජනය කරන්නේ කුමක්ද? මෙම චිත්‍රපටිය ආරම්භ වන්නේ ඩොග්විල් ප්‍රජාවගේ එදිනෙදා ජීවිතය පිළිබඳව, ඔවුන් කවුරුද, ඔවුන් කරන්නේ මොනවාද, ඔවුන් පැමිණියේ කොහි සිටද, යනාදිය පිළිබඳව කෙරෙන විස්තරයකිනි. ඩොග්විල් යනු ඒ අර්ථයෙන් ඉතාම සාමාන්‍ය, සාමකාමී නගරයකි. මෙම ප්‍රජාව තුළ කිසියම් ආකාරයක සංවාදයක් සහ විවාදයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ ටොම් නම් ලිබරල් දාර්ශනිකයා පමණි. එහෙත් සතිපතා දේශන පවත්වමින් මෙම නගරයෙහි ජනතාව තුළ දාර්ශනික සහ සදාචාරමය ගැටළු පිළිබඳව උනන්දුවක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ඉතාම දුඃඛිත ලෙස අවසාන වේ. දරුණු මැර කල්ලි නායකයෙකුගෙන් පළායන්නියක වන ග්‍රේස් ආරක්ෂාව පතා ඩොග්විල් වෙත පැමිණෙන්නේ මේ මොහොතේ දීය. ටොම් එකවරම ඇයගේ ආරක්ෂකයා බවට පත්වී, අපට සිතාගත හැකි පරිදිම සුන්දර ග්‍රේස් (නිකොල් කිඩ්මන්) සමඟ පෙමින් වෙලී, ග්‍රේස් වෙනුවෙන් නගරයේ ප්‍රජාව ඉදිරියේ පෙනී සිටින්නා බවට පත්වෙයි. ඇය ඔවුන්ට කිසිදු හිරිහැරයක් නොකරන බවට පමණක් නොව, ඇය ඔවුන්ගේ වැඩ කිරීමටත් කැමති බව ඔහු ඇය වෙනුවෙන්ම ඔවුන්ට සහතික වෙයි. ටොම්, ග්‍රේස් සහ නගරයේ ජනයා අතර කේවල් කරන්නා බවට පත් වෙමින්, ආගන්තුකයෙකු වෙත තමන්ගේ ‘ඉවසීම’ ප්‍රකාශ කිරීමට නගරයට ලැබෙන හොඳම අවස්ථාව මෙය බව නගරයේ ප්‍රජාවට පෙන්වා දෙයි. නගරයේ ප්‍රජාව මෙයට එකඟ වන අතර ග්‍රේස් ඔවුන්ගේ වැඩ කිරීමට පටන් ගනී. එහෙත්, මුලදී ඉතාම සාමකාමී ස්වභාවයක් දරන නගරය සහ ග්‍රේස් අතර වන සම්බන්ධතාවය, ඉක්මණින්ම කෘරත්වය පිළිබඳ සිත කැළඹෙනසුලු ස්වභාවයකට හැරීමට පටන් ගනියි. සෑම කෙනෙක්ම කෙමෙන් කෙමෙන් තම සීමාව ඉක්මවා යාම අරඹන අතර, මෙය ග්‍රේස් වඩාත් වෙහෙස වී වඩා දිගු කාලයක් වැඩ කළ යුතු යැයි අණ කිරීමේ සිට, ඇය වෙත කරන ලිංගික පීඩා දක්වාම දිගු වෙයි. ටොම් පවා මේ වන විට ග්‍රේස් සොයා නගරයට පැමිණෙන මැර නායකයාගේ දුරකථන අංකය විසි නොකර ප්‍රවේසම් කර තබා ගනියි. නගරය පළිගන්නා සුලු ආකාරයකින් ග්‍රේස් වෙත හැරෙන අතර, ග්‍රේස් පලා යෑමට උත්සාහ දරතැයි යන චෝදනාව මත (ඇය වරක් එය උත්සාහ කර අසාර්ථක වෙයි), ඇය අනතුරුදායකයැයි පවසමින් ඇයව විශාල යකඩ කුට්ටියකට තබා මාංචු දමයි. ග්‍රේස්ට වැඩ කරන විටත්, ඇවිදින විටත්, ඉතා බර මේ යකඩ කුට්ටිය ඇදගෙන යාමට සිදුවේ. ඇයගේ ගෙලට බල්ලෙකුගේ ගෙලට දමන වර්ගයේ යකඩ පටියක් දමනු ලබන අතර, මේ වන විට ග්‍රේස්ගේ පෙම්වතා වන ටොම් ද නගරයේ ප්‍රජාවගේ මෙම කුරිරු ක්‍රියාවන්ට පාර්ශවකරුවෙකු වෙමින්, ඒවා සාධාරණීකරණය කරයි. චිත්‍රපටිය අවසානයේ දී ග්‍රේස්ව නැවත මැර කල්ලි නායකයාට භාර දීමට ටොම් ඔහුට දුරකතනයෙන් අමතයි. මැර නායකයා ග්‍රේස් අල්ලා ගැනීමට ඩොග්විල් වෙත පැමිණෙයි. කතාව අනපේක්ෂිත පැත්තට හැරෙන්නේ මෙහිදීය: මේ මැර නායකයා ග්‍රේස්ගේ සතුරෙකු නොවනවා පමණක් නොව (ඔහු ඇයගේ පියා වෙයි), අපට ඉක්මනින් හෙළි වන්නේ ඔවුන් අතර බැඳීම ඉතාමත් ගැඹුරු බවයි. ග්‍රේස් ඔහුගෙන් පළායාමට දරන උත්සාහය යනු ඇත්ත වශයෙන්ම, ඔහු සම්බන්ධ වී සිටින හිංසාකාරිත්වයෙන් පලා යාමට දැරෙන උත්සාහයකි. එහෙත් අවසාන දර්ශනයේ දී ග්‍රේස් විසින්ම ඩොග්විල් නගරය විනාශ කිරීමට අණ දෙන අතර, ඇයම ටොම්ට වෙඩි තබා මරා දමයි.





