Monday, January 17, 2011

පාලම් කඩා පාලම් තැනීම.................

සන්ගුපිඩ්ඩි පාලම මිලියන දහසකට වඩා වියදම් කරමින් රජය විසින් ඊයේ 15.01.2011 දින විවෘත කළේ එය හුදු භෞතික සංවර්ධනයක් හැටියට සලකා ගෙන බැව් පෙනුන ද එම ක්‍රියාව තුළ අපට දැනුනේ උතුරේ සහ දකුණේ ජීවත්වන සිහල-දමිල සියළු ජනයාගේ හදවතට එය යම් අධ්‍යාත්මික ගැස්මක් ඇති කළ බවයි. පාලම විවෘත කිරීම හරහා A – 32 මන්නාරම්-යාපන මාර්ගය  කි.මි. 110 කින් අඩු කර ඒ සඳහා ගමන් කාලය පැය 03 කින් පමණ අඩුවීමක් ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණි. පාරිභෝජනවාදයේ අර්ථයෙන් වේගවත් ගමන් සහ කාලය ඉතිරි කර ගැනීම, මුදල් ඉතිරි කර ගැනීමකි. එහෙත් අපට නම් එය මිනිසුන්ගේ සම්බන්ධකම්වලට ලංවීමක් සඳහා ප්‍රයෝජනයට ගත යුතු දෙයකි.

            සන්ගුපිඩ්ඩි පාලම විවෘත කළ ද මෙතෙක් පැවති ශක්තිමත් මිනිස් සම්බන්ධකම් පාලම් කඩා දැමීමට රජය ගෙන ඇති උත්සාහය නිසා මෙම නව පාලම හුදු භෞතික සංවර්ධනයකට පමණක් ලඝු වී ඇති බව පෙනී යයි. දමිළ භාෂා‍වෙන් ජාතික ගීය ගැයීමට තිබූ ඉඩ ප්‍රස්ථාව ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා එම පාලම ද, දමිළ ජනයාගේ නිදහස් ජීවත්වීමට හා මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නැති කර දැමීම වෙනුවෙන් ආරක්ෂක ගම්මාන මෙන්ම  නව ඝාතන හා පැහැර ගෙන යෑම් ආරම්භවීම නිසා ගොඩනැගීමට තිබූණු නව පාලම් ද ඇණ සිට ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම පමණක් නොව එය පැත්තකට  දැමීම නිසා බලය බෙදා ගැනීම සඳහා තිබුණ එම පාලම ද කැඩී බිඳී යාමට සලස්වා ඇත. පිළිගත් ද්‍රවිඩ නාම සහිත ප්‍රදේශ නැවත සිංහල අර්ථකතනවලට ලක් කිරීම, ඒවාට බෝඩ් ගසා ප්‍රදර්ශණය කිරීම නිසා උතුරු දකුණු තිබූ තවත් පාලම් ද පුපුරා යෑමට  ද සලස්වා ඇත. 1988-89 පැවති වර්ගයේ භීෂණයක් නැවත ඇති නොවීමට ඉඩ කඩ සැලැස්වූ  කොමිසම හරහා යෝජිත සුළු පක්ෂ නියෝජනයේ අවස්ථා අඩු කිරීම මගින්ද උතුරු නැගෙනහිර සුළු පක්ෂවලට අනුව තිබුණු තවත් පාලමක් ද පිපිරවීමට ක්‍රියා කරගෙන යෑමක් දක්නට ඇත.

            මෙලෙස බොහෝ පාලම් කඩා පුපුරුවා දමා සන්ගුපිඩ්ඩි පාලම පමණක් හුදු සංවර්ධනය පමණක් මුල් කොට ගෙන විවෘත කිරීම නව ලෝක දැක්මේ අර්ථයෙන් සංවර්ධනයක් නොවනු ඇත. සංවර්ධනය යනු සමස්ථ සංවර්ධනයක් මිස එය කොන්ක්‍රීට්වලින් පමණක් ඉදිකල නොහැකි බව තේරුම් ගැනීමට වත්මන් පාලකයින්ට කොම්ස්වලින් තොර දෑසක් පහල වේවායි ද ඉත සිතින් සීතල දුරුත්තේ 2011 දී ප්‍රාර්ථනා කරමු.    

Sunday, January 16, 2011

ගුණදාස අමරසේකරගේ ජාතිකවාදයේ සැබෑ මුහුණුවර

      මධ්‍යම පන්තික ජාතිවාදියා ජාතිවාදය ලෝකය විස්තර කරන දේශපාලන දෘෂ්ටිය ලෙස තෝරා ගන්නේ තම කුහක ජීවිතය ආරක්ෂා කර ගත හැකි හොඳම වාදය එය නිසාය. මේ නිසා ධනේෂ්වර පරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින මධ්‍යම පන්තික ජාතිවාදියා ජාතිය, දේශය, බුද්ධාගම ගැන ජනප්‍රියම සටන් පාඨ පුනරුච්ඡාරණය කරයි. මේ නිසා අති විශාල කාර් හා අති විශාල ගෙවල් ලුහුබඳින ජාතිකවාදියාට දේශපාලනයේ දී හා සංස්කෘතික කතිකාවලදී ජාතික වන්නට පුළුවන. ගෙවල් දෙක තුන ඇති ගෙවල් කුලී බිස්නස් කරන, තම දරුවන් බටහිර රටවල පදිංචි කරවා බටහිර රටවල පුරවැසිකම් ලබා ගත් ඇතැම් ජාතිකවාදියෝ අල්පේච්ඡතාව ද, සිංහල බෞද්ධ නිරාමිස බවද පදනම් වූ ජාතිකවාදී දේශපාලනයක් අවශ්‍යයැයි දෙසති. අත් හැරීම හරය කර ගත් බුදු දහම පදනම් වූ බෞද්ධ අර්ථ ක්‍රමයක් මත ලංකාවේ අනාගතය සකස්විය යුතු යැයි කියන මධ්‍යම පන්තික  ජාතිකවාදියෝ යන්තමින් බිස්නස් කරති. එහෙත් ඔවුන් දෛනිකව කරන්නේ බටහිර විවේචනයයි. ජාතිකත්වය නමින් තමන්ගේ දේශය තුළ සිදුවන දහසකුත් එකක් හිංසනයන් ගැන කිසිම විවේචනයක් නැති ජාතිකවාදියා සියලු නපුරෙහි උපන්බිම ලෙස විස්තර කරන්නේ බටහිරයි.

            එවන් ඇතැම් ජාතිකවාදීන් පෞද්ගලික රෝහල්වල සභාපතිකම් දරන අතර එම රෝහල් මගින්  දුප්පතුන්ට නොමිලේ ප්‍රතිකාර කරමින් බුදුන් ඉගැන්වූ අත් හැරීම භාවිතාවට නගන බවක් අප අසා නැත.

            මෑතක දී ගුණදාස අමරසේකර පළමු වරට මුණ ගැසීමට මට අවස්ථාව ලැබිණ. එක්තරා පොත් දොරට වැඩීමක දී ඔහු මූලාසනයේ සිටි අතර මම ද දේශනයක් කළෙමි. ඔහුගේ මූලාසන කතාවේ දී ඔහු සිය සුපුරුදු බටහිර ගර්හිත දෘෂ්ටිවාදය ඉදිරිපත් කළේය. පසුගිය සියවස් දෙක තුන තුළ කිසිම වැදගත් නවකතාකාරයෙකු බටහිර නොසිටි බව ද කීවේය. එසේ කියන්නට අමරසේකර නවකතා මිලියනයක්වත් කියවා අධ්‍යයනය කර තිබිය යුතු වුවද ඕනෑම මෝඩ කතාවක් ඕනෑම සභාවක කීමේ හැකියාව ඔහුට ඇත. එසේම ඒවාට අත්පුඩි ගසන්නට හැකි ළිංමැඩියෝ ද ඕනෑම සභාවක සිටිති. අමරසේකර එසේ බටහිරට තඩිබෑමෙන් පසු මම ඔහුට මෙසේ කීවෙමි.
            සර්, අපි මෙව්ව ගැන ටිකක් කතා කරන්න වෙලාවක හම්බවෙමු.
            මේ දවස්වල නම් මං ටිකක් බිසී. අපේ පුතාලා ඇවිල්ලා. අමරසේකර කීවේය.

ඔහුගේ පුතා ඇවිත් සිටින්නේ අනුරාධපුරයේ කුරක්කන් හේනක් වවමින් සිට නොවේ. අර ජරාජීර්ණ බටහිර සිටය. සිංහලත්වය ද ජාතිකත්වය ද නසන්නට කුමන්ත්‍රණය කරන බටහිර සිටය. එහෙත් තමාගේ දරුවාවත් ජාතියේ ධර්මද්වීපයේ තබා නොගත් අමරසේකර තමන්ගේ නොවන දරුවන් ජාතිය වෙනුවෙන් දංගෙඩියට වුවද යවන්නට මැලි නොවේ.

අමරසේකරගේ පුතා බටහිර රටක සැපවත් ජීවිතයක් ගත කිරීම වරදක් නැත. ඔහුගේ පුතාට ඇති ඒ සර්වභෞමික (Cosmopolitan) ජීවිතය හා අන්තර්ජාතික ජීවිතය ජාතියේ සෙසු දරුවන්ටත් තිබිය යුතුය. අමරසේකර අවංක නම් කළ යුත්තේ සිංහල ජාතිකත්වය යනු ඕනෑම සංස්කෘතියක් උගන්නා ඕනෑම සංස්කෘතියක් හා මිශ්‍රවන සුඛනම්‍ය ජාතිකත්වයක් ලෙස විස්තර කිරීමයි. මේ කුහකකම අමරසේකරට පමණක් ආවේනිකවූවක් නොවේ. ලංකාවේ බොහෝ ජාතිකවාදීන් පාරිශුද්ධ ජාතිකත්වයක් ගැන අලංකාර කතා කිව්වද තමන්ගේ දරුවන්ට බටහිර අධ්‍යාපනය ද බටහිර ජීවත්වීමේ අවස්ථාව ද ලබා දෙති. මේ නිසා මෙම ව්‍යාජ ජාතිකවාදීන් හෙළිදරව් කර ලංකාවට ආවේණික නියම ජාතිකත්වය යළි සොයා ගත යුතුව තිබේ.

 - ලියනගේ අමරකීර්ති.

Friday, January 14, 2011

ජී.ඇල් පීරිස්ගේ රාජතාන්ත්‍රික අලකලංචිය

සිවිල් යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දී බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවී ද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට උපදෙස් ලබා ගැනීම 

පිණිස පත් කළ ත්‍රී පුද්ගල කමිටුව කරුණු විභාග කිරීම සඳහා මෙරටට පැමිණිමට තවමත් ඉඩ තිබෙන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් හේසර් මහතා ජනවාරි 5 වන දා ප්‍රකාශ ‍කළේය. එකී කමිටුවට ලංකාවට පැමිණිමට වීසා ලබා දෙන බවත් නමුත් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රති සංවිධාන කමිටුව හමුවීමට පමණක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙම U.N.O.උපදේශක කමිටුව පත්කළ අවස්ථාවේ විදේශ අමාත්‍ය ජී. ඇල්.  පීරිස් මහතා අවධාරණයෙන් කියා සිටියේ එම කමිටුවට ලංකාවට ඇතුළුවීමට ලංකාණ්ඩුව කිසිසේත් ඉඩ නොදෙන බවයි.

            කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ජී. ඇල්. පීරිස් මහතාගේ තීන්දු තීරණ සම්පූර්ණයෙන් පරස්පර විරෝධී  ස්වරූප ගන්නේ අවස්ථා එකක දී දෙකක දී නොවේ. ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දකින්නට ලැබෙන සංසිද්ධියකි. 1994 සිට 2010 දක්වා වසර 16 ක් වග කිවයුතු අමාත්‍යධුර ආවරණය කළ ඔහු එක් වරක් පමණක් මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු අනෙක් සෑම අවස්ථාවකම පත්කළ මන්ත්‍රීධුරයක් ලැබ කැබිනට් මණ්ඩලයට ඇතුළු වීය. විශේෂත්වයක් වන්නේ එ.ජා.ප.ය, පො.එ.පෙ. , එ.ජ.නි.ස. හා ජවිපෙ පරිවාස ආණ්ඩුවේ ද ඔහු අවුලකින් තොරව ඇමතිකම් දැරීමය. දැනට ලංකාවාසීන් මුහුණ දී සිටින සියලු දුක්ඛ ‍දෝමනස්ස සහිත සමාජ-ආර්ථික ගැටළු නිර්මාණයෙහි ලා ඔහුගේ සෘජු මැදිහත්වීම ඔහු දරන ලද වගකීම් අනුව මොනවට පැහැදිලි වේ.

            එතුමා 2010 ඔක්. 07 වනදා පාර්ලිමේන්තුවේ දී මෙසේ කියා ඇත.
            ...ගරු කතානායකතුමනි, මම එක අදහසක් පමණක් ඉතාම කෙටියෙන් සඳහන් කරනවා.  මම තමුන්නාන්සේලාට කියන්නේ මගේ ජීවිතයේ සෑම කාලයකම මහන්සි වෙලා වැඩ කරලා තිබෙන බවයි. මා ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන් විශ්ව විද්‍යාල තුනෙන්ම ඉහළම ගෞරව සම්මාන ලබා ගත්ත ‍කෙනෙක්.  ඇත්ත වශයෙන්ම ඒ තුනෙන්ම ගෞරව සම්මාන ලබා ගත් කෙනෙක් ලංකාවෙත් නැහැ. දකුණු ආසියාවෙත් නැහැ. ඒවා අහම්බෙන් කෙරුණ වැඩ නෙවෙයි. මහන්සි වෙලා කර ගත්ත දේවල්. මම ඒ ලබා ගත්ත දැනුම මේ රටේ පරම්පරා දෙකකට ලබා දී තිබෙනවා. මේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ සිට මහේස්ත්‍රාත්වරුන් දක්වා අයගෙන් සියයට 50 කට මම නීතිය උගන්වා තිබෙනවා. ...
            පාර්ලිමේන්තු විවාද 2010 ඔක්. 07.

ජී. ඇල්. ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ඒ දැනුම රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළා ද අගතිය වෙනුවෙන් යෙදුව්වේද කියන කාරණයයි. එතුමා 1993 ශ්‍රී.ල.නි.ප.යට එකතුවන අවස්ථාවේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිව්වේ,
            ...අපට රටක් වටින මිනිහෙක්, උගතෙක්, බුද්ධිමතෙක්, ලෝකය පිළිගත්ත මනුෂ්‍යයෙක් හෙට අනිද්දා එකතු වෙනවා.... කියලයි. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගේ ආණ්ඩුවේ
ප්‍රබලම කැබිනට් ඇමතිවරයා වූ හෙතෙම වරෙක සාමයටත් වරෙක යුද්ධයටත් බර වූ දේශපාලන ක්‍රියාදාමයන්හි මග හසුරුවන්නා හැටියට කැපී පෙනුණා. එපමණක් නොව විවෘත ආර්ථිකයට මානුෂීය මෙහෙවරක් දෙන බව පවසමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, විදුලිය, ඛණිජ තෙල් හා ටෙලිකොම් ආයතනය වැනි ආර්ථික මර්මස්ථාන පුද්ගලීකරණයට මග පෑදූ මුදල් හා ක්‍රමසම්පාදන නි. ඇමතිවරයාද වූයේ එතුමායි. 

Monday, January 10, 2011

දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්


(ඡායාරූපය උපුටා ගැනීම ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි.)
‍‍‍ ......ක්‍රිකට් ගහනකොට රූල්ස් තියෙනව තමයි. ඒව ඔය සුද්දො හදපු ඒවනෙ. ඒව කවුද ගණන් ගන්නේ‍. ඔය සුද්දගෙ දේවල් මට පේන්න බැහැ.  ඒ ගැන අදහසක් මට කළින් ලොකුවට තිබුණෙත් නැහැ. එන එන විදියට ගහ උළුඅස්ස කියලයි මගේ ක්‍රමය වුනේ. විමලුයි , චම්පිකයි තමයි මට ඔය සුද්දන්ගේ වැඩවලට විරුද්ධ වෙන විදිය ගැන කියල දුන්නෙ. වැඩේ නැගල ගියා. කොච්චර නැගල ගියාද කියනව නම් තව පොඩ්ඩෙන් මටත් කෙළවෙන තරමටම වැඩේ දුර යනව. අර විමල්ගෙ මාර(ආන්තික) උපවාසය නිසා. ක්‍රිකට්වලදිත් අපි සුද්දන්ට වඩා වෙනස්  එකක් තමයි පුහුණු වෙලා තියෙන්නෙ කියල පෙන්නන්න බැරි වෙයිද මල්ලිලට. මේකට දේශිය මුහුණුවරක් ගේන්න ඕන නිසා. ඒ කියන්නේ අපට අවාසි වෙන විදියෙ අවුට් එකක් දුන්නම ඇරල දාන්න මල්ලි...අතින් පයින් මෙන්න මේ විදියට. මං කිව්වට ට්‍රයි කරල බලන්නකො. නැවත ලංකාවට එනකොට වර්ල්ඩ් කප් එක පැරදුනත් සුද්දන්ට ගේම දීල ආපු කට්ටිය විදියට (ඔක්ස්ෆර්ඩ් කේස් එකේ දි මට වුනා වගේ)  මම විමල්ට කියල පිළිගැනීමකුත් ලෑස්ති කරන්නම්.....

Wednesday, January 5, 2011

සෙනෙහස පුපුරා සිහිනය මිය යයි !

          හංස විලක්, සිහිනය හා යථාර්ථය
දශක දෙකකට අධික කාලයකට පසුත් හංසවිල යළිත් කලතන්නට අපවම මෙහෙයවන සාධකය කුමක්ද?

ක්‍රයිස්ටොෆ් කිසලොව්ස්කි තමන්ට වාර්තා චිත්‍රපටකරණයේ සිට වෘත්තාන්ත චිත්‍රපටිකරණයට මාරු වීමට බල පෑ හේතු විස්තර කරමින් මෙසේ සඳහන් කරයි. 
            සෑම දෙයක්ම විස්තර කළ නොහැකියි. වාර්තා චිත්‍රපටිකරණයේ ලොකුම ගැටලුව මෙයයි. එය එහිම වූ උගුලක සිරවෙයි. ...මා ආදරය ගැන චිත්‍රපටියක් කරන්නේ නම් ඇත්ත මිනිසුන් ආදරයෙන් වෙළි සිටින නිදන කාමරයකට මට යා නොහැකියි. වාර්තා චිත්‍රපටකරණයේ දී මා හඳුනාගත් දෙයක් නම් පුද්ගලයෙකු වෙතට සමීප වීමට මට අවශ්‍යවන තරමට මගේ උනන්දුවට ලක්වෙන බොහෝ දේ මඟ හැරෙන බවයි.  සමහර විට මා වෘත්තාන්ත චිත්‍රපටිකරණයට මාරු වූයේ ඒ නිසාමෙනි. ....මට යුවලක් නිදි යහනේ ආදරයෙන් වෙළී සිටිනු (පෙන්වීමට) අවශ්‍යයි. ඇත්තෙන්ම ඇගේ තනපට ගැලවීමට කැමති නිළියක් සොයා ගැනීමට අපහසු විය හැකියි. එයින් බිඳු කිහිපයක් ඇගේ දෑසට දැමූ විට නිළිය හඬා වැටෙනු ඇති. කිහිප වාරයක් මට ඇත්ත කඳුළු ඡායාරූප ගත කිරීමට හැකි වී තිබේ. එය සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. එහෙත් දැන් මට ග්ලිසරින් තිබේ. මම ඇත්ත කඳුලින් තැති ගතිමි. ඇත්ත වශයෙන්ම ඒවා ඡායාරූප ගත කිරීමට මට අයිතියක් තිබේද යන්න පවා මම නොදනිමි. එවැනි විටක දී මම තහනම් කරනු ලැබූ ප්‍රදේශයක සිටින්නකු සේ මට හැ‍ඟෙයි. මා වාර්තා චිත්‍රපටකරණයෙන් මිදුනු හේතුව එයයි.
           
(Kieslowski on Kieslowski, p.86. උපුටා දැක්වීම. Zizek Slavoj, The fright of real Tear, Krztof Kieslowski: Between Theory and post-theory. 2001 British Film Institute, London)

            ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටිය ගැන කෙරෙන කතාබහකට කිසලොව්ස්කිගේ ඉහත ඉපිටුම සම්බන්ධ වන්නේ කෙසේද? ඔබ මගෙන්  එලෙස ප්‍රශ්න කරනු ඇති. අපි මඳක් ඉවසිලිවන්තව එම සම්බන්ධය තේරුම් ගනිමු.

Monday, January 3, 2011

.


ඔබ කළ යුතු දේකිරීමට 
සමහර විටක ඔබට සිදුවේ......

2004 ට පෙර පැවති x කණ්ඩායමේ කලාව සම්බන්ධයෙන්  තිබූ අධිපති සම්ප්‍රදායික විචාර කලාවට වෙනස්ව, ඉන් ඉවත්  වූ පිරිසක් විසින් ලන්ඩන් සඟරාවේ 2005 - මාර්තු - අප්‍රේල් කළාපයේ පළ වු මෙම සිනමා විචාර ලිපිය  අහස්ගඟ පාඨකයන් වෙනු‍වෙන් අපි ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
            පුළුල් සමාජ වෙනසක් ප්‍රාර්ථනය කරන්නන් සියළු දෙනාටම හමුවන හා ඔවුන් ගොදුරුවන ප්‍රධාන  කරුණක්  නම්, පවතින සමාජය විසින් ම අප වෙත ඉදිරිපත් කර ඇති දෛවයිත සම්බන්ධයන්ගෙන් එක් ස්වරූපයක් වෙනුවෙන් පෙනී සිටිමින්  සමාජය වෙනස් කිරීමට ක්‍රියා කිරීමය.  එය ද පවතින සමාජය විසින් ම නිර්මානය කර දුන් දෙයක් වූ විට, අප වෙනස් කිරීම යන්නට දෙන අර්ථය කුමක්ද යන්නයි. මෙම සමාජ-දේශපාලන ගැටළුව ගැන සිතීමකට ද මෙම ලිපිය අපව යොමු කරවයි.  

                            DOGVILLE

ඩොග්විල් චිත්‍රපටය ආදරය හා පාවාදීම පිළිබඳ සදාචාරවත් කතාවක් බවට පත් වීමෙන් ගැලවෙන්නේ යන්තමිනි. පාවුලෝ කොයියෝගේ නවකතා ජනප්‍රියත්වයට පත් වි ඇති ආකාරය සැලකිල්ලට ගන්නා විට කෙනෙකු ග්‍රේස් සමඟ පහසුවෙන් අනන්‍යවනු ඇත. ඒ මනුෂ්‍ය යහපත් බවෙහි පරමාදර්ශී  සාරය ලෙස ඇය හඳුනා ගැනීමෙනි. එහෙත් පැහැදිලි ලෙසම මෙය කළ නොහැකි වන්නේ චිත්‍රපටයේ අවසානයේ ඇති භයංකර හිංසාකාරිත්වය නිසාය. චිත්‍රපටිය අවසාන ජවනිකාව තුළ, ඊළඟ සංචාරකයාට, ඊළඟ පලා එන්නාට ඉතිරි වන්නේ ඩොග්විල්හි බල්ලා පමණකි. (මේ බල්ලා උත්ප්‍රාසාත්මක ලෙස මෝසෙස් යනුවෙන් නම් කරනු ලැබ ඇත.) මීටත් වඩා වැදගත් ලෙස අප මෙහිදී නොතකා නොහැරිය යුතු කරුණ වන්නේ මෙම චිත්‍රපටය, නැවත ගලවා ගත නොහැකි මනුෂ්‍ය පහත්භාවය ගැන චිත්‍රපටයක් නොවන බවයි. මන්ද එය එසේ වූවා නම් එය හුදෙක්ම කණපිට පෙරලන ලද සදාචාරවාදී කතාවක් පමණක් වනු ඇත. මෙම චිත්‍රපටය හොඳ/නරක, ස්වභාවධර්මය/සංස්කෘතිය වැනි, අත්තනෝමතික සංස්කෘතික වටිනාකම් මත පදනම් වූ සදාචාර වර්ගීකරණයන් අවධාරණය කරන දෛවයිත සම්බන්ධයන් ඉක්මවා යයි. ඒ අතරම එය, ව්‍යාජ- බහුත්වයක් ඉදිරිපත් කරමින් ස්ථාවරයක් ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන නව- ලිබරල් පළායම්වාදය ද ඉක්මවා යයි. මෙහිදී අපගේ තර්කය වන්නේ, මෙම චිත්‍රපටිය සංස්කෘතියෙහි ගැලවිය නොහැකි සිරවීම ඉදිරිපත් කරන බවයි; අප සංස්කෘතික වීම නිසාම (අප සංකේතීය පිළිවෙලට ඇතුළු වී ඇතැයි යන නිශ්චිත අරුතින්) අප ඛණ්ඩනය වූ සත්ත්වයන් බව, එනම් ‍හොඳ හා නරක අතර හෝ ස්වභාවධර්මය සහ සංස්කෘතිය අතර ඛණ්ඩනය වී නොව අපගේම සවිඥානික සහ අවිඥානික පැවැත්ම අතර ඛණ්ඩනය වී ඇති බවයි. මෙම චිත්‍රපටිය, අවසාන අර්ථයේ දී සාකච්ඡා කරන්නේක්‍රියාව (the act) විසින්, සංස්කෘතික අස්ථාවර භාවයට පත් කොට, එය විප්ලවවාදී වෙනසකට භාජනය කරන්නේය යන්න පිළිබඳව බවයි.

ඩොග්විල් ප්‍රජාවට ග්‍රේස් නියෝජනය කරන්නේ කුමක්ද? මෙම චිත්‍රපටිය ආරම්භ වන්නේ ඩොග්විල් ප්‍රජාවගේ එදිනෙදා ජීවිතය පිළිබඳව, ඔවුන් කවුරුද, ඔවුන් කරන්නේ මොනවාද, ඔවුන් පැමිණියේ කොහි සිටද, යනාදිය පිළිබඳව  කෙරෙන විස්තරයකිනි. ඩොග්විල් යනු ඒ අර්ථයෙන් ඉතාම සාමාන්‍ය, සාමකාමී නගරයකි. මෙම ප්‍රජාව තුළ කිසියම් ආකාරයක සංවාදයක් සහ විවාදයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ ටොම් නම් ලිබරල් දාර්ශනිකයා පමණි. එහෙත් සතිපතා දේශන පවත්වමින් මෙම නගරයෙහි ජනතාව තුළ දාර්ශනික සහ සදාචාරමය ගැටළු පිළිබඳව උනන්දුවක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ඉතාම දුඃඛිත ලෙස අවසාන වේ. දරුණු මැර කල්ලි නායකයෙකුගෙන් පළායන්නියක වන ග්‍රේස් ආරක්ෂාව පතා ඩොග්විල් වෙත පැමිණෙන්නේ මේ මොහොතේ දීය. ටොම් එකවරම ඇයගේ ආරක්ෂකයා බවට පත්වී, අපට සිතාගත හැකි පරිදිම සුන්දර ග්‍රේස් (නිකොල් කිඩ්මන්) සමඟ පෙමින් වෙලී, ග්‍රේස් වෙනුවෙන් නගරයේ ප්‍රජාව ඉදිරියේ පෙනී සිටින්නා බවට පත්වෙයි. ඇය ඔවුන්ට කිසිදු හිරිහැරයක් නොකරන බවට පමණක් නොව, ඇය ඔවුන්ගේ වැඩ කිරීමටත් කැමති බව ඔහු ඇය වෙනුවෙන්ම ඔවුන්ට සහතික වෙයි. ටොම්, ග්‍රේස් සහ නගරයේ ජනයා අතර කේවල් කරන්නා බවට පත් වෙමින්, ආගන්තුකයෙකු වෙත තමන්ගේ ඉවසීම ප්‍රකාශ කිරීමට නගරයට ලැබෙන හොඳම අවස්ථාව මෙය බව නගරයේ ප්‍රජාවට පෙන්වා දෙයි. නගරයේ ප්‍රජාව මෙයට එකඟ වන අතර ග්‍රේස් ඔවුන්ගේ වැඩ කිරීමට පටන් ගනී. එහෙත්, මුලදී ඉතාම සාමකාමී ස්වභාවයක් දරන නගරය සහ ග්‍රේස් අතර වන සම්බන්ධතාවය, ඉක්මණින්ම කෘරත්වය පිළිබඳ සිත කැළඹෙනසුලු ස්වභාවයකට හැරීමට පටන් ගනියි. සෑම කෙනෙක්ම කෙමෙන් කෙමෙන් තම සීමාව ඉක්මවා යාම අරඹන අතර, මෙය ග්‍රේස් වඩාත් වෙහෙස වී වඩා දිගු කාලයක් වැඩ කළ යුතු යැයි අණ කිරීමේ සිට, ඇය වෙත කරන ලිංගික පීඩා දක්වාම දිගු වෙයි. ටොම් පවා මේ වන විට ග්‍රේස් සොයා නගරයට පැමිණෙන මැර නායකයාගේ දුරකථන අංකය විසි නොකර ප්‍රවේසම් කර තබා ගනියි. නගරය පළිගන්නා සුලු ආකාරයකින් ග්‍රේස් වෙත හැරෙන අතර, ග්‍රේස් පලා යෑමට උත්සාහ දරතැයි යන චෝදනාව මත (ඇය වරක් එය උත්සාහ කර අසාර්ථක වෙයි), ඇය අනතුරුදායකයැයි පවසමින් ඇයව විශාල යකඩ කුට්ටියකට තබා මාංචු දමයි. ග්‍රේස්ට වැඩ කරන විටත්, ඇවිදින විටත්, ඉතා බර මේ යකඩ කුට්ටිය ඇදගෙන යාමට සිදුවේ. ඇයගේ ගෙලට බල්ලෙකුගේ ගෙලට දමන වර්ගයේ යකඩ පටියක් දමනු ලබන අතර, මේ වන විට ග්‍රේස්ගේ පෙම්වතා වන ටොම් ද නගරයේ ප්‍රජාවගේ මෙම කුරිරු ක්‍රියාවන්ට  පාර්ශවකරුවෙකු වෙමින්, ඒවා සාධාරණීකරණය කරයි. චිත්‍රපටිය අවසානයේ දී ග්‍රේස්ව නැවත මැර කල්ලි නායකයාට භාර දීමට ටොම් ඔහුට දුරකතනයෙන් අමතයි. මැර නායකයා ග්‍රේස් අල්ලා ගැනීමට ඩොග්විල් වෙත පැමිණෙයි. කතාව අනපේක්ෂිත පැත්තට හැරෙන්නේ මෙහිදීය: මේ මැර නායකයා ග්‍රේස්ගේ සතුරෙකු නොවනවා පමණක් නොව (ඔහු ඇයගේ පියා වෙයි), අපට ඉක්මනින් හෙළි වන්නේ ඔවුන් අතර බැඳීම ඉතාමත් ගැඹුරු බවයි. ග්‍රේස් ඔහුගෙන් පළායාමට  දරන උත්සාහය යනු ඇත්ත වශයෙන්ම,  ඔහු සම්බන්ධ වී සිටින හිංසාකාරිත්වයෙන් පලා යාමට දැ‍රෙන උත්සාහයකි. එහෙත් අවසාන දර්ශනයේ දී ග්‍රේස් විසින්ම ඩොග්විල් නගරය විනාශ කිරීමට අණ දෙන අතර, ඇයම ටොම්ට වෙඩි තබා මරා දමයි.