Thursday, January 27, 2011

"සෝම හිමි" වරදකාරිත්වයේ වන්දිය = හෙළ උරුමය


.....ක්‍රිස්තියානි මූලධර්මවාදී මිෂනාරි බලවේගවල කුමන්ත්‍රණයකට හසුව උන්වහන්සේ අපවත් කරණු ලැබූවද, බෞද්ධ ජනතාව තම කඩා හැලෙන කඳුලින් යුතුව උන්වහන්සේ සිහිපත් කරති......
    සක්හඬ  ජාතික   හෙළ උරුමයේ නිල පුවත්පත.
                                2011 ජනවාරි කලාපය.

ඉහත ප්‍රකාශය සෝම හිමියන්ගේ හත්වන ගුණ සැමරුව වෙනුවෙන් සක්හඬ මුල් කවරයේ ලිපියක කොටසකින් උපුටා ගැනුණි.
ලංකාවේ අධිකරණයක දී සෝම හිමියන්ගේ මරණය ඝාතනයක් ‍ෙනාවන බවට විවෘත තීන්දුවක් දී තිබිය දී  එයට වෙනස්ව තම දේශපාලන අරමුණු සඳහා එය ඝාතනයක් බව පුන පුනා කියමින් ඒ හරහා පාර්ලිමේන්තු ආසන 09 ක් ද ලබා ගැනීමට හෙළ උරුමය සමත් විය. මෙම ප්‍රකාශය හෙළ උරුමය විසින් නිරන්තරයෙන්ම ප්‍රකාශයට පත්කිරීම එක් අතකින් එම හිමියන් නිසා තමන්ට වූ දේශපාලන වාසිය වෙනුවෙන් සෝම හිමි තම නායකයා නොවූවද එම හිමිට කෘතගුණ සැලකීමකි. ජ.වි.පෙ. තම නායකයා වූ විජේවීර මරා දැමූ ආකාරය ගැන කොමිසමක් හෝ ඉල්ලා නොසිටීම (පරිවාස සන්ධාන රජයේ සිටියදීම) හා කථා නොකිරීමට තරම් පරිස්සම් වීම හා සසඳා බලන කල, ජාතික හෙළ උරුමය ඉදිරියෙන් සිටියි.

            සෝම හිමියන් ජීවත්ව සිටිය දී එවක සිංහල උරුමයේ දේශපාලනය ගැන අබමල් රේණුවකින්වත් සෝම හිමි, එය අනුමත කළ අයෙක් නොවීය. සෝම හිමියන්ගේ මුල් ආගමනය තුළ ඉතා වේගයෙන් එම හිමියන් ජනප්‍රිය වුව ද අපවත්වීමට පෙර අවු.02 ක පමණ කාලයක සිට එම ජනප්‍රියතාවය තිබුණේ නැත. එවකට මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රාෆ් මහතා සමඟ සිදුකළ ප්‍රසිද්ධ T.N.L.රූපවාහිනි සංවාදයක දී එම හිමියන් බොහෝ කාරණා නොදැන ජනප්‍රියකම උදෙසා පමණක් සිංහල හා බෞද්ධයන්ගේ ප්‍රාථමික හැඟීම්වලට කතා කරන බව ඔප්පු විය. ඉන්පසු  එවැනි වැඩ සටහන් සඳහා එම හිමියන් පෙනී සිටීම ක්‍රමයෙන් අත් හැරියේ තිබුණ ජනප්‍රියකම හීනවයැමෙ හේතුන් අතර  එයද. හේතුවක් වු නිසාය
           මිෂනාරී කුමන්ත්‍රණකාරී ඝාතනයක් ලෙස සෝම හිමියන්ගේ අපවත්වීම හුවා දක්වන විවිධ පිරිස් සෝම හිමියන්ට පිදෙන ආචාර්ය උපාධිය සඳහා එම මිෂනාරී ආයතන වෙතට යෑම කොතරම් දුරට අනුචිත ද යන්න ගැන සළකා බැලුවේ නැත. ක්‍රිස්තියානියේ එක ප්‍රභේදයක් පමණක් වන ආධාර තුළින් වෙනත් ආගමිකයන් තම ආගමට සම්බන්ධ කරවීමක් නිසා සිදුවන අවැඩ නිසා  සමස්ථ ආගම්වලට ගසන පහරක් බවට ද වෙනත් අය පත්කර ගත්හ. දේව විශ්වාසය හා ඇදහිලිවලට එරෙහිව සෑම කාලයකමත් විරෝධයන් පැවතිය ද (හේතුවාදී සංගමය මේ සඳහා දෙවි බලය නැත යැයි කියාපෑමට ගිනි පෑගිම් සඳහා ද ඉදිරිපත් වී 1970 ගණන්වල විශාල ආන්දෝලනාත්මක දෙයක් බවට එය පත් කළහ.) මිනිසුන්  සෘජු දෙවියන් හෝ ඇදහිලි විශ්වාස නොකළ ද සියළු සමාජයන් හා ප්‍රජාවන් ඔවුන් අතර එකඟතා සඳහා ඇදහිලි විශ්වාසයන් පවත්වාගෙන යයි. ඒවා මිත්‍යාවන් නොවුනද. නූතන මිනිසා අතර ද ස්වභාවික කර ගත් එවැනි මිත්‍යාවන් පවතින නිසා ග්‍රෝතික සමාජයේ විශ්වාසයන් තුළ එකට බැඳ තිබූ ප්‍රජාවන් ලෙසට නූතන සමාජයන්ද වෙනත් විශ්වාසයන් මත තම ප්‍රජාවන් සකස් කර ගෙන ඇත. ඒවා ආගමික මෙන්ම ආගමික නොවන දේවල් වෙනුවෙන් ද පැවතී ඇත.  කන්‍යාභාවය ස්වභාවිකයි ලෙසද අදහන විශ්වාස කිරීම් නූතන මිනිසාගේද ගෝත්‍රික ඇදහිලි කමට සමානකමක් දැකිය හැකිය. එය ද කාන්තා ශරීරය ගැන වු භෞතික අදහසක් නොව ප්‍රජාවන්ගේ එකඟතා සංස්කෘතීන් සඳහා  ඇති කරගත් මිත්‍යාවක්ය. සෝම හිමියන් ප්‍රාථමික විශ්වාස ගැන කියමින් අපගේ සංස්කෘතික විශ්වාස  රැකීමට උදව් වෙන ආකාරයේ බණ පමණක් වදාලහ. එම නිසා එම හිමියන් මිත්‍යාවන් වලට පහර දුන්නේ තම ආගමට වෙනස් අන් ආගම් හා සමාජවල විශ්වාසයන්ට පමණය. සෝම හිමියන් සමාජය වෙනුවෙන් අළුත් දෙයක් හෝ අළුත් බණක් නොකී ලෙසම ප්‍රාථමික කාරණා සඳහා සරල ඉදිරිපත් කිරීම් කළ අයෙක් විය. මෙම ප්‍රාථමික හා සරලත්වය ඒ වන විට ලාංකීය සමාජයට අවශ්‍ය දෙයක් වුයේ එයට අවශ්‍ය ආර්ථික දේශපාලනික තත්වයන් නිර්මාණය වී තිබීම නිසාය,  දෘශ්‍ය මාධ්‍යයේ  ව්‍යාප්තිය නිසා ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් හිමිව සිටි පානදුර අරියධම්ම හිමියන්ටත් වඩා සෝම හිමි ජනප්‍රිය විය,70 දශකයේ අග බාගයේන්  පසු ඇති වූ විවෘත වෙළඳාම මත වූ භාණ්ඩ ප්‍රසාරණය හා ඒවා අත්පත් කර ගැනීමට විවෘත වූ ආදායම් ව්‍යාප්තිය නිසා බිහි වූ සරල මධ්‍යම පන්තික පහළ හා ඉහළ තීරුවල ප්‍රසාරණයත් එයට සාධක විය.

            මුදල් හා බඩු එකතු කිරීමේ නොනිත් ආශාවකින් පෙළුනු ද  එතෙක් ඒවාට මාර්ග නොමැති නිසා බලෙන් අල්පේච්ඡ වීමට සිදු වූ 80 ට පෙර ලාංකීය ජන සමාජයට ඒවා ලබා ගැනීමේන් පසු සිදුවු ආගමික වරදකාරී හැඟීම  සුවපත් කර ගැනීමේ මානසික වුවමනාවට ස්ථාන ගත වුයේ ද සෝම හිමියන්ය. පසුව එයද කානිවල් මට්ටමක හා මහා පරිමාණ බණ උන්මාදයක් බවට ද පත් විය. සිංහල ජාතිය වඳවන බවට ප්‍රකාශ කරමින් සිංහල දරු උපත් සදහා  සෝම හිමි උනන්දු කළ ද මිනිසුන් හා ගැහැනුන් එය භාරගත්තේ ප්‍රායෝගිකව ළමයින් සෑදීමෙන් නොව එය මැතිරීමට පමණක් මානසිකව එකඟ වෙමිනි.දේව ඇදහි වලට විරුද්ධව සෝම හිමි කොතෙක් බණ කීවද  කතරගම පුජ වට්ටි පෝලිම් වල ද අඩුවක් නොවීය. බණ, එක අතකින්පරිබෝජන වාදයේ ගිලී සිටි අයට සහන පෙත්තක්  ද විය. සෝම හිමි කී දෙය නොකිරීමේ වරදකාරිත්වය සහිතව සිටි ජනතාවගේ එම මධ්‍යම පංති තීරුව එහි සමා වන්දිය ලබා දුන්නේ සෝම හිමිට කිසිදු සම්බන්ධයක් නොදැක්වූ ජාතික හෙළ උරුමයටය. ඡන්ද දානයක් දී  තමන්ගේ යුතුකම අපවත්වීමෙන් පසුව සෝම හිමි වෙනුවෙන්  පින් අනුමෝදනාවක්ද කලේය, සෝම හිමි වරක් ජනාධිපතිවරණයකට ද ස්වාධීනව තරඟ කිරීමට කැමැත්තක් දක්වමින් සිටියහ.

            ඉරාකයට පහර දීමට පෙර ඒ සඳහා පහර දීමේ හේතුවක් ඇමෙරිකන් ජෝර්ජ් බුෂ් රජය සෙවීය. භයානක රසායනික අවි  එහි ඇති බවට චෝදනා කළ පසු එවැනි අවි නැති බවට පරීක්ෂා කිරීමට ඉරාක රජය එ.ජා. ගේ නියෝජිතයන්ට අවසර දුන්හ. ඔවුන් කීවේ එවැනි අවි ඉරාකයේ නොමැති බවයි. එසේ වුවද ඇමෙරිකන් රජය ඉරාකයට පහර දුන්හ. ඉරාකය යටත් කර ගත් පසුව ද එවැනි අවි ඉරාකයේ ඇති බව සොයා ගැනීමට ඇමෙරිකාවට නොහැකි විය. එහෙත් ඇමෙරිකාව අද ද පවසන්නේද ඉරාකයේ එවැනි අවි නිසා පහර දුන් බවයි. රසායනික අවි  එය ඇමෙරිකන් මානසික උවමනාවයි.

            සෝම හිමිගේ අපවත්වීම ලංකාවේ ජන සමාජයට කොතෙකුත් අවධාරණයෙන් එය ක්‍රිස්තියානි මූලධර්මවාදී මිෂනාරි බලවේගවල කුමන්ත්‍රණයක් වැනි දෙයක් නොවේ යන්න කුමන ආකාරයෙන් පැවසුවද එය ඝාතනයක් ලෙස විශ්වාස කිරීම, ඇමෙරිකන් ඉරාක උවමනාව ලෙසම අපගේ මානසික වුවමනාව ද වී ඇත. ඇමෙරිකාවට අත් වු වාසි මෙන් ජාතික හෙළ උරුමයට ද ඒ සඳහා වාසි රැසක් ලැබී ඇති නිසා ඔවුන් එසේ කීවාට වරදක් නැත. එහෙත් අපි ද මානසික වාසි වෙනුවෙන් එසේ විශ්වාස කිරීමට ඇති  කැමත්ත තේරුම් ගත යුතුය. විශ්වාසය යන්න, සෝම හිමි පැවසූ ලෙසට අතීත හුදු දේව විශ්වාසයකටම  ලඝු නොකර ගෙන, සිතිය යුත්තේ එම නිසාය.

කල්‍යානන්ද පෙරේරා.  

Monday, January 17, 2011

පාලම් කඩා පාලම් තැනීම.................

සන්ගුපිඩ්ඩි පාලම මිලියන දහසකට වඩා වියදම් කරමින් රජය විසින් ඊයේ 15.01.2011 දින විවෘත කළේ එය හුදු භෞතික සංවර්ධනයක් හැටියට සලකා ගෙන බැව් පෙනුන ද එම ක්‍රියාව තුළ අපට දැනුනේ උතුරේ සහ දකුණේ ජීවත්වන සිහල-දමිල සියළු ජනයාගේ හදවතට එය යම් අධ්‍යාත්මික ගැස්මක් ඇති කළ බවයි. පාලම විවෘත කිරීම හරහා A – 32 මන්නාරම්-යාපන මාර්ගය  කි.මි. 110 කින් අඩු කර ඒ සඳහා ගමන් කාලය පැය 03 කින් පමණ අඩුවීමක් ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණි. පාරිභෝජනවාදයේ අර්ථයෙන් වේගවත් ගමන් සහ කාලය ඉතිරි කර ගැනීම, මුදල් ඉතිරි කර ගැනීමකි. එහෙත් අපට නම් එය මිනිසුන්ගේ සම්බන්ධකම්වලට ලංවීමක් සඳහා ප්‍රයෝජනයට ගත යුතු දෙයකි.

            සන්ගුපිඩ්ඩි පාලම විවෘත කළ ද මෙතෙක් පැවති ශක්තිමත් මිනිස් සම්බන්ධකම් පාලම් කඩා දැමීමට රජය ගෙන ඇති උත්සාහය නිසා මෙම නව පාලම හුදු භෞතික සංවර්ධනයකට පමණක් ලඝු වී ඇති බව පෙනී යයි. දමිළ භාෂා‍වෙන් ජාතික ගීය ගැයීමට තිබූ ඉඩ ප්‍රස්ථාව ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා එම පාලම ද, දමිළ ජනයාගේ නිදහස් ජීවත්වීමට හා මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නැති කර දැමීම වෙනුවෙන් ආරක්ෂක ගම්මාන මෙන්ම  නව ඝාතන හා පැහැර ගෙන යෑම් ආරම්භවීම නිසා ගොඩනැගීමට තිබූණු නව පාලම් ද ඇණ සිට ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම පමණක් නොව එය පැත්තකට  දැමීම නිසා බලය බෙදා ගැනීම සඳහා තිබුණ එම පාලම ද කැඩී බිඳී යාමට සලස්වා ඇත. පිළිගත් ද්‍රවිඩ නාම සහිත ප්‍රදේශ නැවත සිංහල අර්ථකතනවලට ලක් කිරීම, ඒවාට බෝඩ් ගසා ප්‍රදර්ශණය කිරීම නිසා උතුරු දකුණු තිබූ තවත් පාලම් ද පුපුරා යෑමට  ද සලස්වා ඇත. 1988-89 පැවති වර්ගයේ භීෂණයක් නැවත ඇති නොවීමට ඉඩ කඩ සැලැස්වූ  කොමිසම හරහා යෝජිත සුළු පක්ෂ නියෝජනයේ අවස්ථා අඩු කිරීම මගින්ද උතුරු නැගෙනහිර සුළු පක්ෂවලට අනුව තිබුණු තවත් පාලමක් ද පිපිරවීමට ක්‍රියා කරගෙන යෑමක් දක්නට ඇත.

            මෙලෙස බොහෝ පාලම් කඩා පුපුරුවා දමා සන්ගුපිඩ්ඩි පාලම පමණක් හුදු සංවර්ධනය පමණක් මුල් කොට ගෙන විවෘත කිරීම නව ලෝක දැක්මේ අර්ථයෙන් සංවර්ධනයක් නොවනු ඇත. සංවර්ධනය යනු සමස්ථ සංවර්ධනයක් මිස එය කොන්ක්‍රීට්වලින් පමණක් ඉදිකල නොහැකි බව තේරුම් ගැනීමට වත්මන් පාලකයින්ට කොම්ස්වලින් තොර දෑසක් පහල වේවායි ද ඉත සිතින් සීතල දුරුත්තේ 2011 දී ප්‍රාර්ථනා කරමු.    

Sunday, January 16, 2011

ගුණදාස අමරසේකරගේ ජාතිකවාදයේ සැබෑ මුහුණුවර

      මධ්‍යම පන්තික ජාතිවාදියා ජාතිවාදය ලෝකය විස්තර කරන දේශපාලන දෘෂ්ටිය ලෙස තෝරා ගන්නේ තම කුහක ජීවිතය ආරක්ෂා කර ගත හැකි හොඳම වාදය එය නිසාය. මේ නිසා ධනේෂ්වර පරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින මධ්‍යම පන්තික ජාතිවාදියා ජාතිය, දේශය, බුද්ධාගම ගැන ජනප්‍රියම සටන් පාඨ පුනරුච්ඡාරණය කරයි. මේ නිසා අති විශාල කාර් හා අති විශාල ගෙවල් ලුහුබඳින ජාතිකවාදියාට දේශපාලනයේ දී හා සංස්කෘතික කතිකාවලදී ජාතික වන්නට පුළුවන. ගෙවල් දෙක තුන ඇති ගෙවල් කුලී බිස්නස් කරන, තම දරුවන් බටහිර රටවල පදිංචි කරවා බටහිර රටවල පුරවැසිකම් ලබා ගත් ඇතැම් ජාතිකවාදියෝ අල්පේච්ඡතාව ද, සිංහල බෞද්ධ නිරාමිස බවද පදනම් වූ ජාතිකවාදී දේශපාලනයක් අවශ්‍යයැයි දෙසති. අත් හැරීම හරය කර ගත් බුදු දහම පදනම් වූ බෞද්ධ අර්ථ ක්‍රමයක් මත ලංකාවේ අනාගතය සකස්විය යුතු යැයි කියන මධ්‍යම පන්තික  ජාතිකවාදියෝ යන්තමින් බිස්නස් කරති. එහෙත් ඔවුන් දෛනිකව කරන්නේ බටහිර විවේචනයයි. ජාතිකත්වය නමින් තමන්ගේ දේශය තුළ සිදුවන දහසකුත් එකක් හිංසනයන් ගැන කිසිම විවේචනයක් නැති ජාතිකවාදියා සියලු නපුරෙහි උපන්බිම ලෙස විස්තර කරන්නේ බටහිරයි.

            එවන් ඇතැම් ජාතිකවාදීන් පෞද්ගලික රෝහල්වල සභාපතිකම් දරන අතර එම රෝහල් මගින්  දුප්පතුන්ට නොමිලේ ප්‍රතිකාර කරමින් බුදුන් ඉගැන්වූ අත් හැරීම භාවිතාවට නගන බවක් අප අසා නැත.

            මෑතක දී ගුණදාස අමරසේකර පළමු වරට මුණ ගැසීමට මට අවස්ථාව ලැබිණ. එක්තරා පොත් දොරට වැඩීමක දී ඔහු මූලාසනයේ සිටි අතර මම ද දේශනයක් කළෙමි. ඔහුගේ මූලාසන කතාවේ දී ඔහු සිය සුපුරුදු බටහිර ගර්හිත දෘෂ්ටිවාදය ඉදිරිපත් කළේය. පසුගිය සියවස් දෙක තුන තුළ කිසිම වැදගත් නවකතාකාරයෙකු බටහිර නොසිටි බව ද කීවේය. එසේ කියන්නට අමරසේකර නවකතා මිලියනයක්වත් කියවා අධ්‍යයනය කර තිබිය යුතු වුවද ඕනෑම මෝඩ කතාවක් ඕනෑම සභාවක කීමේ හැකියාව ඔහුට ඇත. එසේම ඒවාට අත්පුඩි ගසන්නට හැකි ළිංමැඩියෝ ද ඕනෑම සභාවක සිටිති. අමරසේකර එසේ බටහිරට තඩිබෑමෙන් පසු මම ඔහුට මෙසේ කීවෙමි.
            සර්, අපි මෙව්ව ගැන ටිකක් කතා කරන්න වෙලාවක හම්බවෙමු.
            මේ දවස්වල නම් මං ටිකක් බිසී. අපේ පුතාලා ඇවිල්ලා. අමරසේකර කීවේය.

ඔහුගේ පුතා ඇවිත් සිටින්නේ අනුරාධපුරයේ කුරක්කන් හේනක් වවමින් සිට නොවේ. අර ජරාජීර්ණ බටහිර සිටය. සිංහලත්වය ද ජාතිකත්වය ද නසන්නට කුමන්ත්‍රණය කරන බටහිර සිටය. එහෙත් තමාගේ දරුවාවත් ජාතියේ ධර්මද්වීපයේ තබා නොගත් අමරසේකර තමන්ගේ නොවන දරුවන් ජාතිය වෙනුවෙන් දංගෙඩියට වුවද යවන්නට මැලි නොවේ.

අමරසේකරගේ පුතා බටහිර රටක සැපවත් ජීවිතයක් ගත කිරීම වරදක් නැත. ඔහුගේ පුතාට ඇති ඒ සර්වභෞමික (Cosmopolitan) ජීවිතය හා අන්තර්ජාතික ජීවිතය ජාතියේ සෙසු දරුවන්ටත් තිබිය යුතුය. අමරසේකර අවංක නම් කළ යුත්තේ සිංහල ජාතිකත්වය යනු ඕනෑම සංස්කෘතියක් උගන්නා ඕනෑම සංස්කෘතියක් හා මිශ්‍රවන සුඛනම්‍ය ජාතිකත්වයක් ලෙස විස්තර කිරීමයි. මේ කුහකකම අමරසේකරට පමණක් ආවේනිකවූවක් නොවේ. ලංකාවේ බොහෝ ජාතිකවාදීන් පාරිශුද්ධ ජාතිකත්වයක් ගැන අලංකාර කතා කිව්වද තමන්ගේ දරුවන්ට බටහිර අධ්‍යාපනය ද බටහිර ජීවත්වීමේ අවස්ථාව ද ලබා දෙති. මේ නිසා මෙම ව්‍යාජ ජාතිකවාදීන් හෙළිදරව් කර ලංකාවට ආවේණික නියම ජාතිකත්වය යළි සොයා ගත යුතුව තිබේ.

 - ලියනගේ අමරකීර්ති.

Friday, January 14, 2011

ජී.ඇල් පීරිස්ගේ රාජතාන්ත්‍රික අලකලංචිය

සිවිල් යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දී බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවී ද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට උපදෙස් ලබා ගැනීම 

පිණිස පත් කළ ත්‍රී පුද්ගල කමිටුව කරුණු විභාග කිරීම සඳහා මෙරටට පැමිණිමට තවමත් ඉඩ තිබෙන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් හේසර් මහතා ජනවාරි 5 වන දා ප්‍රකාශ ‍කළේය. එකී කමිටුවට ලංකාවට පැමිණිමට වීසා ලබා දෙන බවත් නමුත් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රති සංවිධාන කමිටුව හමුවීමට පමණක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙම U.N.O.උපදේශක කමිටුව පත්කළ අවස්ථාවේ විදේශ අමාත්‍ය ජී. ඇල්.  පීරිස් මහතා අවධාරණයෙන් කියා සිටියේ එම කමිටුවට ලංකාවට ඇතුළුවීමට ලංකාණ්ඩුව කිසිසේත් ඉඩ නොදෙන බවයි.

            කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ජී. ඇල්. පීරිස් මහතාගේ තීන්දු තීරණ සම්පූර්ණයෙන් පරස්පර විරෝධී  ස්වරූප ගන්නේ අවස්ථා එකක දී දෙකක දී නොවේ. ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දකින්නට ලැබෙන සංසිද්ධියකි. 1994 සිට 2010 දක්වා වසර 16 ක් වග කිවයුතු අමාත්‍යධුර ආවරණය කළ ඔහු එක් වරක් පමණක් මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු අනෙක් සෑම අවස්ථාවකම පත්කළ මන්ත්‍රීධුරයක් ලැබ කැබිනට් මණ්ඩලයට ඇතුළු වීය. විශේෂත්වයක් වන්නේ එ.ජා.ප.ය, පො.එ.පෙ. , එ.ජ.නි.ස. හා ජවිපෙ පරිවාස ආණ්ඩුවේ ද ඔහු අවුලකින් තොරව ඇමතිකම් දැරීමය. දැනට ලංකාවාසීන් මුහුණ දී සිටින සියලු දුක්ඛ ‍දෝමනස්ස සහිත සමාජ-ආර්ථික ගැටළු නිර්මාණයෙහි ලා ඔහුගේ සෘජු මැදිහත්වීම ඔහු දරන ලද වගකීම් අනුව මොනවට පැහැදිලි වේ.

            එතුමා 2010 ඔක්. 07 වනදා පාර්ලිමේන්තුවේ දී මෙසේ කියා ඇත.
            ...ගරු කතානායකතුමනි, මම එක අදහසක් පමණක් ඉතාම කෙටියෙන් සඳහන් කරනවා.  මම තමුන්නාන්සේලාට කියන්නේ මගේ ජීවිතයේ සෑම කාලයකම මහන්සි වෙලා වැඩ කරලා තිබෙන බවයි. මා ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන් විශ්ව විද්‍යාල තුනෙන්ම ඉහළම ගෞරව සම්මාන ලබා ගත්ත ‍කෙනෙක්.  ඇත්ත වශයෙන්ම ඒ තුනෙන්ම ගෞරව සම්මාන ලබා ගත් කෙනෙක් ලංකාවෙත් නැහැ. දකුණු ආසියාවෙත් නැහැ. ඒවා අහම්බෙන් කෙරුණ වැඩ නෙවෙයි. මහන්සි වෙලා කර ගත්ත දේවල්. මම ඒ ලබා ගත්ත දැනුම මේ රටේ පරම්පරා දෙකකට ලබා දී තිබෙනවා. මේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ සිට මහේස්ත්‍රාත්වරුන් දක්වා අයගෙන් සියයට 50 කට මම නීතිය උගන්වා තිබෙනවා. ...
            පාර්ලිමේන්තු විවාද 2010 ඔක්. 07.

ජී. ඇල්. ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ඒ දැනුම රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළා ද අගතිය වෙනුවෙන් යෙදුව්වේද කියන කාරණයයි. එතුමා 1993 ශ්‍රී.ල.නි.ප.යට එකතුවන අවස්ථාවේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිව්වේ,
            ...අපට රටක් වටින මිනිහෙක්, උගතෙක්, බුද්ධිමතෙක්, ලෝකය පිළිගත්ත මනුෂ්‍යයෙක් හෙට අනිද්දා එකතු වෙනවා.... කියලයි. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගේ ආණ්ඩුවේ
ප්‍රබලම කැබිනට් ඇමතිවරයා වූ හෙතෙම වරෙක සාමයටත් වරෙක යුද්ධයටත් බර වූ දේශපාලන ක්‍රියාදාමයන්හි මග හසුරුවන්නා හැටියට කැපී පෙනුණා. එපමණක් නොව විවෘත ආර්ථිකයට මානුෂීය මෙහෙවරක් දෙන බව පවසමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, විදුලිය, ඛණිජ තෙල් හා ටෙලිකොම් ආයතනය වැනි ආර්ථික මර්මස්ථාන පුද්ගලීකරණයට මග පෑදූ මුදල් හා ක්‍රමසම්පාදන නි. ඇමතිවරයාද වූයේ එතුමායි. 

Monday, January 10, 2011

දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්


(ඡායාරූපය උපුටා ගැනීම ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි.)
‍‍‍ ......ක්‍රිකට් ගහනකොට රූල්ස් තියෙනව තමයි. ඒව ඔය සුද්දො හදපු ඒවනෙ. ඒව කවුද ගණන් ගන්නේ‍. ඔය සුද්දගෙ දේවල් මට පේන්න බැහැ.  ඒ ගැන අදහසක් මට කළින් ලොකුවට තිබුණෙත් නැහැ. එන එන විදියට ගහ උළුඅස්ස කියලයි මගේ ක්‍රමය වුනේ. විමලුයි , චම්පිකයි තමයි මට ඔය සුද්දන්ගේ වැඩවලට විරුද්ධ වෙන විදිය ගැන කියල දුන්නෙ. වැඩේ නැගල ගියා. කොච්චර නැගල ගියාද කියනව නම් තව පොඩ්ඩෙන් මටත් කෙළවෙන තරමටම වැඩේ දුර යනව. අර විමල්ගෙ මාර(ආන්තික) උපවාසය නිසා. ක්‍රිකට්වලදිත් අපි සුද්දන්ට වඩා වෙනස්  එකක් තමයි පුහුණු වෙලා තියෙන්නෙ කියල පෙන්නන්න බැරි වෙයිද මල්ලිලට. මේකට දේශිය මුහුණුවරක් ගේන්න ඕන නිසා. ඒ කියන්නේ අපට අවාසි වෙන විදියෙ අවුට් එකක් දුන්නම ඇරල දාන්න මල්ලි...අතින් පයින් මෙන්න මේ විදියට. මං කිව්වට ට්‍රයි කරල බලන්නකො. නැවත ලංකාවට එනකොට වර්ල්ඩ් කප් එක පැරදුනත් සුද්දන්ට ගේම දීල ආපු කට්ටිය විදියට (ඔක්ස්ෆර්ඩ් කේස් එකේ දි මට වුනා වගේ)  මම විමල්ට කියල පිළිගැනීමකුත් ලෑස්ති කරන්නම්.....

Wednesday, January 5, 2011

සෙනෙහස පුපුරා සිහිනය මිය යයි !

          හංස විලක්, සිහිනය හා යථාර්ථය
දශක දෙකකට අධික කාලයකට පසුත් හංසවිල යළිත් කලතන්නට අපවම මෙහෙයවන සාධකය කුමක්ද?

ක්‍රයිස්ටොෆ් කිසලොව්ස්කි තමන්ට වාර්තා චිත්‍රපටකරණයේ සිට වෘත්තාන්ත චිත්‍රපටිකරණයට මාරු වීමට බල පෑ හේතු විස්තර කරමින් මෙසේ සඳහන් කරයි. 
            සෑම දෙයක්ම විස්තර කළ නොහැකියි. වාර්තා චිත්‍රපටිකරණයේ ලොකුම ගැටලුව මෙයයි. එය එහිම වූ උගුලක සිරවෙයි. ...මා ආදරය ගැන චිත්‍රපටියක් කරන්නේ නම් ඇත්ත මිනිසුන් ආදරයෙන් වෙළි සිටින නිදන කාමරයකට මට යා නොහැකියි. වාර්තා චිත්‍රපටකරණයේ දී මා හඳුනාගත් දෙයක් නම් පුද්ගලයෙකු වෙතට සමීප වීමට මට අවශ්‍යවන තරමට මගේ උනන්දුවට ලක්වෙන බොහෝ දේ මඟ හැරෙන බවයි.  සමහර විට මා වෘත්තාන්ත චිත්‍රපටිකරණයට මාරු වූයේ ඒ නිසාමෙනි. ....මට යුවලක් නිදි යහනේ ආදරයෙන් වෙළී සිටිනු (පෙන්වීමට) අවශ්‍යයි. ඇත්තෙන්ම ඇගේ තනපට ගැලවීමට කැමති නිළියක් සොයා ගැනීමට අපහසු විය හැකියි. එයින් බිඳු කිහිපයක් ඇගේ දෑසට දැමූ විට නිළිය හඬා වැටෙනු ඇති. කිහිප වාරයක් මට ඇත්ත කඳුළු ඡායාරූප ගත කිරීමට හැකි වී තිබේ. එය සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. එහෙත් දැන් මට ග්ලිසරින් තිබේ. මම ඇත්ත කඳුලින් තැති ගතිමි. ඇත්ත වශයෙන්ම ඒවා ඡායාරූප ගත කිරීමට මට අයිතියක් තිබේද යන්න පවා මම නොදනිමි. එවැනි විටක දී මම තහනම් කරනු ලැබූ ප්‍රදේශයක සිටින්නකු සේ මට හැ‍ඟෙයි. මා වාර්තා චිත්‍රපටකරණයෙන් මිදුනු හේතුව එයයි.
           
(Kieslowski on Kieslowski, p.86. උපුටා දැක්වීම. Zizek Slavoj, The fright of real Tear, Krztof Kieslowski: Between Theory and post-theory. 2001 British Film Institute, London)

            ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටිය ගැන කෙරෙන කතාබහකට කිසලොව්ස්කිගේ ඉහත ඉපිටුම සම්බන්ධ වන්නේ කෙසේද? ඔබ මගෙන්  එලෙස ප්‍රශ්න කරනු ඇති. අපි මඳක් ඉවසිලිවන්තව එම සම්බන්ධය තේරුම් ගනිමු.