මිත්‍යාවටත් විද්‍යාත්මක අයිසිං
පරිණාමවාදයේ ඉදිරිපත් කොට ඇති ජෛව සංවර්ධනයේ ඉතිහාසය හා එහි දැක්වෙන සංකීර්ණ හා වරණීය අනු පිළිවෙළ ප්‍රශ්න කරමින්, මෙතරම් සංකීර්ණ වූද (තවමත් නූතන විද්‍යාවට විද්‍යාගාරයක නිර්මාණය කිරීමට නොහැකි වූද...) ජීවය යනු අහඹු ලෙස සිදු වූ භෞතික සංසිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විය නොහැකිය යනුවෙන් ප්‍රවාද ගත කළ ලියවිල්ලක් නිමිති කොට ගෙන මෙම අදහස පෙළ ගස්වමි. එනයින් එකී ලියවිල්ල අවධාරණය කිරීමට උත්සාහ දරා ඇත්තේ ජීවය කිසියම් මැවුම් කරුවෙකුගේ ‘ක්‍රියාවක්’ විය යුතු බවයි. ජීවයේ තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ලය වැනි සංකීර්ණ ක්ෂුද්‍ර ව්‍යුහයක් හුදෙක් භෞතික සංසිද්ධි දාමයකින් වූවක් යැයි පැවසීම පිළීගැනීමට අසීරු බවත්, එහි සැකැස්මේ ඇති සංකීර්ණභාවය අනුව එය ‘මැවීමක්’ විය යුතු බවත් එම නිබන්ධනයෙන් කියැවේ. එම නිබන්ධනය සඳහා ජෛව විද්‍යාත්මක වාග් මාලාවේ සහ විද්‍යාවේ විවිධ කරුණු ද උපකාරක ලෙස පාවිච්චි කොට ඇත.
මේ සඳහා විද්‍යාත්මක දැනුම හා ක්‍රමවේදය අනුව දිය හැකි පිළිතුර කෙබඳුද? ඊට ප්‍රවේශයක් ලෙස ප්‍රාථමික කරුණු දැක්වීමකට මෙහි දී ඉඩකඩ වෙන්කර ගනිමි.
විද්‍යාව යනු පුළුල් සංකීර්ණ හා දිනෙන් දින අතු ඉති දමා පැතිරෙන විෂයය සමූහයකි. මීට පෙර ස්වභාවික විද්‍යාවේ සම්මත වට්ටෝරැවට පරිභාහිර යැයි සැලකුණු විෂයයන් කරා ද විද්‍යාව සහ එහි විධික්‍රමය දැන් කාන්දු වෙමින් ඇත. කලාව හෝ ආර්ථික විද්‍යාව හෝ සම්භාව්‍ය දේශපාලන සංවාදයන් මෙන්ම යුද්ධය සඳහාද විද්‍යාත්මක දෑ අනුකලනය වෙමින් ඇත.
විද්‍යාවේ විවිධ දැනුම හා සංසිද්ධි විග්‍රහ කිරීම්වලදී විවිධ න්‍යාය, උපකල්පන, න්‍යාස, උපන්‍යාස, සංකල්ප ආදිය පුරුක් ලෙස හෝ උපකාරක අවයව ලෙස හෝ යොදා ගනු ලබයි. ඒවා එක් එක් සන්දර්භයන්ට සාපේක්ෂ විය හැකි බැවින් නිරපේක්ෂ හා සාර්වත්‍ර ලෙස සැලකිය හැකි නොවේ. එවැනි න්‍යාය, උපකල්පන අභිමත පරිදි යොදාගෙන ගොඩනංවන ලද ප්‍රවාදයක් මූලික අරුතින් මුළුමනින්ම වැරදි විය හැකිය. අද පවතින විද්‍යාවේ මෙවලම් හා දැනුම් පද්ධති සපුරා සම්පූර්ණ වූ ඒවා නොවිය හැක. මක්නිසාද විද්‍යාවේ ඉතිහාසය අවුරුදු 300-400 ක් පමණ වේ යැයි සැලකුවහොත් නූතන විද්‍යාවේ වයස අවුරුදු 50-60 ක් පමණ වන බැවිනි. විද්‍යාව යනු ඒ අනුව අපට ඇති ශක්තිමත් පදනම යැයි සැලකිය හැකි මුත්, මිනිස් ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට හය තවම ලාබාළ වියෙහි වැනිය. ඒ නිසා විද්‍යාවේ එන විවිධ දේ හා විවිධ සංසිද්ධි විශ්ලේෂණයෙහි දී අනුපූරක, පරිපූරක ගැලපීම් සම්බන්ධතා සපුරා සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එනිසා පරිණාම වාදයේ විවිධ හිස්තැන්, වෙනස්කම්, පරස්පරයන්, අනුමානයන් තිබෙනු ඇත. එය සාදා නිමකළ යමක් නොවේ. එලෙසම පරිනාමවාදී න්‍යායට අවශ්‍ය ඉතිහාසීය සාක්ෂි දාමයේද හිස්තැන් තිබෙනු ඇත.
විද්‍යාවේ හෝ පරිණාමවාදයේ හෝ වෙනත් එවැනි වාදයක හෝ ඉහත සඳහන් කළ ආකාරයේ හිස්තැන් අසම්පූර්ණතා, පරස්පරයන් ආදිය මතින් තම විශ්වාසයට ගෝචර වූ ප්‍රවාදයක් කෙනෙකුට ගොඩනැගිය හැක. භෞතික විද්‍යාවේ වැදගත් න්‍යායන් ලෝකයට දායාද කළ විද්‍යාඥයින් අතර ද දෙවියන් විශ්වාස කළ අය සිටිය හැක.
මීට සමාන ප්‍රවාද විද්‍යා සාහිත්‍යයේ තවත් ඇත. සමහර ප්‍රවාද වලින් කියැවෙන දෑ විශ්මය දනවයි.
පෘථිවිය ගෝලාකාර නොවේය (පැතලිය) යනුවෙන් ගොඩ නැගූ ප්‍රවාදයක් සහිත කෘතියක් (Earth not a globe) සැමුවෙල් බ’ලි රොබොතම් විසින් 1881 දී Parallax ක්‍රමවේදය ඇසුරින් ලියා පළකොට ඇත.
එවැනිම වූ තවත් ප්‍රවාදයක් උපුටා දක්වමින්, අපගේ හේතුවාදී ව්‍යාපෘතියට එරෙහිව, එක්තරා ජාතිකවාදී න්‍යායධරයෙකු විසින් පසුගියදා සති අන්ත පුවත්පතකින් කරුණු දක්වා තිබුණි. ඔහු දක්වා තිබුණේ සමනල ආවරණය (Butterfly effect) නම් ප්‍රවාදයට අනුව හිමාල අඩවියේ සමනලුන් තටු ගැසිම නිසා ඇන්ඩිස් කඳුකරයේ භූමිකම්පාවක් පවා ඇතිවිය හැකිය යනුවෙනි. (මාළුන් වරල් ගැසීම නිසා සුනාමියක් ඇති විය හැකි යැයි තව ෙකනකුට ප්‍රවාද කළ හැකිය.) මෙවැනි ප්‍රවාදයන් හි ද ‘බරසාර’ විද්‍යාත්මක කරුණු දකවා ඇත. එහෙත් පුත්‍යක්ෂ යථාර්තය ඊට වෙනස් බව අපි දනිමු.
-
තාරක වරාපිටිය
ශ්‍රී ලංකාවේ ඉතිහාසගත පුරාවෘත්ත අධිනිෂ්චය වී ඇත්තේ ‘මහා වංශය’ පදනම් කර ගෙනයි. කාම්බෝජයටත් අපට මෙන් මහාවංශයක් ඇති අතර එය ප්‍රමාණාත්මකව ගත් විට අපේ මහාවංශය මෙන් දෙගුණයක් වන බව ලංකාවේ බොහෝ දෙනා නම් දන්නේ නැති බව නිසැකය. අද පවතින අතීතකාමී උනන්දුව තුළ මෙකී වංශ කථා සාහිත්‍යය යළි යළිත් ප්‍රති නිර්මාණය වෙමින් ඇත. මේ කටුසටහන ඊට පසුවදනකි.
මහාවංශය යනු ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වන මහානාම හිමියන්ගේ රචනාවක් වන බවට ඉතිහාසඥයින් වැඩි දෙනාගේ අනුමානයයි. (වන්සප්න ප්‍රකාශිතය නම් වූ ටීකාවේද ඒ පිළිබඳ සාක්ෂි සපයා ඇත) එය ව්‍යක්ත පාළි භාෂාවෙන් ලියැවී ඇති ගාථා හකසිය ගණනකින් සමන්විත රචනාවකි. එහි වැඩිම ඉඩකඩ වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජු වැනුමටයි.
මහා වංශය ලියැවෙන්නේ එකල රාජ්‍යත්වයට සමීප වූවෙකු මෙන්ම බෞද්ධ භික්ෂුවක්ද අතින් වීම යන්න මෙහිදී මූලිකව සිහිතබා ගත යුතු පැති මානයයි. එවිට එහි අඩංගුව තුළ රාජ්‍යත්වයට බැහැර දේ පිළිබඳව ලිය වී ඇත්ද? ඒවා අපක්ෂපාතී වී තිබේද? යන්න, ඒ හා පැන නගින විචිකච්චාවයි.
මහාවංශය සිංහලයින්ගේ අවධානයට පාත්‍ර වූයේ කවදා සිටද යන්න බොහෝ දෙනා මතුකොට දක්වන්නේ නැත. අනුරාධපුර රාජධානිය ද, එහි බෞද්ධ නෂ්ටාවශේෂයන් ඇතුළු පුරා විද්‍යාත්මක සළකුණු ද මුල්වරට එළිපෙහෙළි කොට අනාවරණය කළේ ඉංග්‍රීසි ජාතික ගවේෂකයින් විසිනි. එලෙසින්ම මහාවංශ ඉතිහාස පුරාවෘත්තය ද අවධානයට පාත්‍ර වූයේ ඉංග්‍රීසි ජාතික ශාස්ත්‍ර ගවේශකයෙකුගේ පුරෝගාමිත්වය නිසාවෙනි.
බ්‍රිතාන්‍ය ජාතික විජිත පරිපාලන නිලධාරියෙකු වූ ජෝජ් ටර්නර් සිංහල හා පාලි භාෂා උගෙන මහාවංශය කියවා තිබුණි. 1835 දී බෙංගාලයේ පැවති රාජකීය ආසියාතික සංගමයේ සැසිවාරයේදී මෙම මහාවංශය ඉදිරිපත් කරන විටදිත් එය සිංහල භාෂාවට පරිවර්තනය වී නොතිබිණි. පසුව ටර්නර් විසින් එය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කරන ලදී.
අපේ මහාවංශය මුලින්ම පරිවර්තනය වූයේ සිංහල භාෂාවට නොව ඉංග්‍රීසි භාෂාවටයි. (එතෙක් එය ලංකාවාසීන්ගේ අවධානයට ලක් වූ ලියවිල්ලක්ව තිබී නැත) 1838 දී ටර්නර් ගේ පරිවර්තනය රාජකීය ආසියාතික සංගමය නම් වූ පෙරදිග බුද්ධිමතුන්ගේ සාමුහිකයේ ලේකම් ජේමිස් ප්‍රින්සෙප් විසින් සංස්කරණය කරනු ලැබීය.
අද ලංකාවේ පුරා විද්‍යාව ගොඩනැගෙන්නේත්, මේ පුරාවෘත්ත කථාව පදනම් කරගනිමිනුයි. ඒ අනුව පුරා විද්‍යාත්මක ගවේශනයන් යොමු වන්නේ මහාවංශයේ සිදුවීම් ගලපා ලීමට ද යන්න වනාහි සාධාරණ ප්‍රශ්න කිරීමකි. ලංකාවේ පුරා විද්‍යාත්මක යොමුව, පොදු හා පළල් ඓතිහාසික සන්දර්භයක් කරා හෝ මානව විද්‍යාත්මක ගවේශණයන් ආවරණය කරමින් හෝ සිදුවන්නක් නොව බොහෝ දුරට ආගමික සන්දර්භයට සීමා වූ බවක් පෙන්නුම් කොට ඇත. අඩුම තරමින් පොදු ජන සමාජය තුළ පුරා විද්‍යාව යන්න පරිකල්පනය වී ඇත්තේ ඒ අදහසිනි.
උතුරේදී හමු වූ බෞද්ධ පුරා විද්‍යාත්මක සාක්ෂියකින් කියවෙන්නේ එහි ඇති ‘සිංහල බෞද්ධ උරුමය යැයි සාමාන්‍ය මනෝභාවය තුළ ලියවෙන්නේ සිංහල ජාතිකවාදී උගතුන් මගින්, ජන මාධ්‍ය හරහායි.
නමුත් ඇත්ත කථාව නම්, ලංකාවේ ථෙරවාදී පාර්ශවය විසින් ඇති කළ භේදයත්, දකුණු ඉන්දීය බලපෑමත්, දැඩි වන්නට පෙර උතුරේ ජීවත් වූ බහුතරයක් දෙනා බෞද්ධ මහායානිකයින් වූ බවයි. ඉතිහාසය විමසිලිමත් ලෙස සොයා බලන්නේ නම් එහි මූලාශ්‍ර හඳුනාගත හැකි වෙයි. දෙමළ බෞද්ධ යටගියාව ‘සිංහල බෞද්ධ උරුමයක්’ කර ගෙන ඇත්තේ එලෙසයි.
10 වැනි සියවසේ දි යාපනය කන්දරෝඩෙයි බෞද්ධ ආරාමයට කළ පරිත්‍යාගයන් ලිය වී තිබෙන කන්දරෝඩෙයි සෙල්ලිපිය නිසා හෝ වඩමාරච්චියේ වල්ලිපුරම් ග්‍රාමයේ පැරණි විශ්ණු දේවාල භුමියකින් හමු වූ (බ්‍රාහ්මී අක්ෂරයෙන් ලිය වී ඇති අඟල් 3 ක් දිග හා අඟල් එකක් පළල) කුඩා රන්පත් ඉරුව හෙවත් සුප්‍රසිද්ධ ‘වල්ලිපුරම් රන්පත්‍රය’ නිසා හෝ ඒ ඉතිහාසය අමතක කර දැමිය නොහැක.
- කෙවින් කරුණාතිලක
No comments:
Post a Comment