Saturday, October 29, 2011

අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා.

0001

1988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ, උතුරේ LTTE සන්නද්ධ ව්‍යාපාරයෙන් ආකර්ශනය වූ දමිල ජාතිකවාදීන්  ලෙසම දකුණේ සිංහල ජාතිකවාදීන් ඇතුළු එවකට සිටි යූ.ඇන්.පී ආණ්ඩු විරෝධීන්ගේ ද  සහයෝගය ජ.වි.පෙ. ට ලැබෙමින් තිබුණි. එම වකවානුවේ දී විශ්ව විද්‍යාලවල සිටි ජ.වි.පෙ. මෙන්ම ජ.වි.පෙ. නොවන අයගේ ද සහයෝගය මත ආවරණයක් ගොඩ නගාගෙන සිටි ජ.වි.පෙ. තමන් පිළිබඳ වූ එම අධි තක්සේරුව මත සිරිමා බණ්ඩාරනායක සමඟ "දේශප්‍රේමී ආණ්ඩුවක්" ගොඩනගා ගැනීමට තිබූ අවස්ථාව මඟහැර එවකට අවුරුදු 11 ක් පිළුනු යූ.ඇන් පී. ආණ්ඩුවක් වෙනුවෙන් යැයි පවසා 88 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතා දිනවීම සඳහා ක්‍රියා කළේය. ප්‍රේමදාස ජනපති වීමෙන් පසු ඊළඟ මොහොත විප්ලවය සඳහා වන සූදානමක බලාපොරොත්තු තම කේඩරයට ලබා දී සන්නද්ධව තව දුරටත් ක්‍රියාත්මක විය. ජ.වි.පෙ. කපටි න්‍යාය පත්‍රය නිසා කිපුණු සිංහල ජාතිකවාදීන් සියළු දෙනාම තමන්ව ජ.වි.පෙ. විසින් කඩේ යැවූ බවට කෙඳිරි ගාමින් නිහඬ විය. පසු කලෙක පරිසරයට ආදරය කිරීම, ජාතිකවාදී මුහුණුවරක තවරා ගොඩ නගා ගත් 'ජනතා මිතුරෝ' සංවිධානයේ ප්‍රබලයන් වුනේ පෙර කී ලෙස ජ.වි.පෙ. විසින් කඩේ යවන ලද විශ්ව විද්‍යාලය තුළ සිටි ජ.වි.පෙ. නොවන ශිෂ්‍ය නායකයන්ය. 

1994 වන විට තව තවත් පිළුණු වෙමින් තිබූ යූ.ඇන් පියේ ආර්ථික දේශපාලන ක්‍රමවේදය තුළ පස්සට තල්ලු වී ගිය ‍ දේශීය සංස්කෘතික හා ආගමික අධ්‍යත්මයන්ගේ නියෝජනයන්ද චන්ද්‍රිකා පෙරමුණේ තීරුවක නියෝජනය විය.  යුද්ධයේ මුහුණුවර දෙමළාට එරෙහි වූවක් ලෙස ගැනීමේ පහසු මාර්ගය දකුණේ සිංහල ඡන්දවලට පමණක් නොව තම පක්ෂවල අසාර්ථකත්වයන් මඟහැරීමෙන් පසු පැවැත්මේ පහසු මාර්ගය ද විය. චන්ද්‍රිකා  රජය ප්‍රගතිශීලින්ගේ හා ජාතිකවාදීන්ගේ කඳවුරු දෙක තුළ දෝලනය වීමේ පැවැත්මේ කොන්දේසි සමඟ අවසන වූයේ නැවත ජාතිකවාදී කඳවුර ශක්තිමත් වීමට අවශ්‍ය තත්වයන් සකස් කරමින්ය.  දෙමළ ජාතිවාදී ප්‍රභාකරන්ගේ දකුණේ කැඩපත වූ ජ.වි.පෙ. ලෙසම තම සංවිධානය ගැන වූ අධි තක්සේරුව සමගින් අතරමග කිසිදු සහයෝගීතාවයකට ඉඩ නොතබා ඊළම් සිහිනය සමඟම ඔහු මිය ගියේ සිංහල ජාතිකවාදීන්ද ප්‍රභාකරන්ගේ එවැනි ඝාතනය වීමක් නොසිතූ ලෙසින්ය.

















LTTE ය අනෙකා කර ගත් ජාතිකවාදීන්ගේ දේශපාලන මැදිහත්වීමට සෘජු සතුරෙක් වර්තමානයේ නොවන විට ආණ්ඩු බලය හිමි ප්‍රධාන පක්ෂයේ ඉලක්කය සංවර්ධනයේ තේමාව බවට පත්වන්නේ ජාතිකවාදය තුළ පෙර ලෙස ප්‍රතිඵලයන්ම අත් කර ගැනීමේ වර්තමාන දේශපාලන අසීරුව නිසාය. වාර්ගික ප්‍රශ්නය සඳහා බටහිරින් මැදිහත්වන විට ආණ්ඩු පක්ෂ හා එයට සම්බන්ධ සෙසු සියළු පක්ෂ වලට එය ප්‍රභාකරන්ට එරෙහිව වූ මතවාදී යුද්ධය තරමට ශක්තිමත්ය. එහෙත් වෙළදාම සඳහා ආර්ථිකය වෙනුවෙන් බටහිරුන්ගේ  ආර්ථික ‍කොන්දේසි පිළිගන්නා විට  ආණ්ඩු පක්ෂ තුළ සිටින සියළු ජාතිකවාදීන් හා වාමාංශිකයින්ද කෙඳිරිල්ලක්වත් නැගිය නොහැකි තරමට අසරණය. සිංහල උරුමය තම තේමා පාඨය ලෙස

මර බිය             නැති     
කුසගිනි            නැති
ගහ කොළ        ඇති      
දැහැමි              දැයක් 
සිහළ                රටක් 

ලෙස තේමා පාඨයන්ගෙන එන විට එය පෙර යූ.ඇන්.පි.යට එරෙහිව ප්‍රබලව මතු කර ගත හැක. 

එහෙත් මෙම තේමා පාඨය ඔවුන් අද ද තම සංවිධානයේ තේමාව ලෙස ගත්විට අක්කර 5000 ක් සෝමාවතිය රක්ෂිතය කපා එළි කරන විට ද එලෙසමය. මහා පරිමාණ ලෙස දැව කොල්ලයන් පමණක් නොව නිත්‍යානුකූල ලෙස කරවන කැලෑ එළි කිරීම් ද හෙළ උරුමය ලෙස ඉවසා සිටියි. නව ලිබරල්වාදයේ නාමයෙන් සංවර්ධන ලෙස සිදුකරන කිසිවක් ජනතාවට නොලැබෙන බව මෑතක දී තම පොත දොරට වැඩුම දා ගුණදාස අමරසේකර එම පොතෙන්ම පෙන්වා දී තිබුණි. ජනතාවට ලැබෙන්නේ අත පල්ලෙන් ලැබෙන යමක් පමණක් බව ඔහු කියා ඇත.  ලක්බිම පුවත්පත සමඟ සම්මුඛ සාකච්ජාවේ මාතෘකාව "අපට අවශ්‍යව ඇත්තේ විජාතික නොවන විපක්ෂයක් යැයි පවසා ඇත. ඔහුට අමතක වී ඇති දෙය නම් ඔවුන් සියළුදෙනා එකතුව විජාතික විපක්ෂය බලයට පත් කල බවය. තව දුරටත් ඔහු පවසන්නේ ප්‍රභාකරන්ව අපි පැරදුවේ මේ දේවල් සඳහා නොවන බවයි. රටේ සිදුවන මහා පරිමාණ හොරකම් වංචා දූෂණ ගැන ද ඔහු පවසමින් සිටින්නේ මේවා තව දුරටත් බලා සිටිය යුතුද කියාය. 

නලින්ද සිල්වා මහතා සියළු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා බටහිර මිෂනාරි ක්‍රිස්තියානි බලවේගය ශක්තිමත්වන බව පවසමින්ම මේ රජය ඉන් රැකිය යුතු බව කියමින්ම අනෙක් අතට 'නව ජාතික ව්‍යාපාරයක්' ගොඩනැගිය යුතු බව පසුගිය ඉරිදා නොනවත්වාම ඔහු විසින් දිවයින පත්තරයට ලියන කොළමෙන් කියා ඇත. අතුරලියේ රතන හිමියන් ආසනික් විරෝධී හඬ ඉහලින්ම රජයට විරුද්ධව මතු කරන විට අපට හැඟී යන්නේ මේ රජය යූ.ඇන්.පී. රජයක් බවය. මැතිවරණවලදී සන්ධානය විසින්ම තම අපේක්ෂකයන්ට පහර දෙන ආකාරය ඔවුන්ගේ සක් හඬ පුවත්පතේ පළ කරන විට අපට පෙනී යන්නේ වෙනත් පක්ෂයකින් ඔවුන්ට පහර දී ඇති බවයි. මේ සියළු දෙනාම දැන් මේ කථාවන් කියන්නේ මහජනයා වන අපටය. හරියටම ජනයා ආණ්ඩුව කරන බව සිතමින්ය. ඇමරිකන් පුරවැසියන් වූ ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ මහතුන් ගේ න්‍යායට අනුව සියළු ප්‍රශ්න විසඳන්නේ ඔවුන්ට අනුව සංවර්ධනය යැයි කියන දෙයට අනුවය. එහෙත් අමරසේකර‍ගේ, චම්පිකගේ,  නලින්ගේ අනෙකුත් ජාතිකවාදින්ගේ ප්‍රාර්ථනය එය නොවූවද දැන් සිදුවන්නේ ජාතිකවාදය තුළ සමස්ථ අදහසක් තුළ රට ගොඩනැගීමක් ගැන අදහස් දැක් වූ අයගේ රංගනය නොව ඒ කිසිත් නොදන්නා ආර්ථික සංවර්ධන බටහිර නව ලිබරල් සංවර්ධනය තුළ ස්ථානගත කරවන බැසිල්, ගෝඨාභයලාගේ සංවර්ධනයන් ය. 

කොළඹට මිලින්ද මොරගොඩ එන්නේ ද හුදු සංවර්ධන දෙස පමණක් බලා සිටින ඔහුගේ කේවට්ටයන් වන නව ලිබරල් යූ.ඇන්.පි.යට ගැලපෙන ආර්ථික න්‍යායවේදීන් වූ රොහාන් සමරජීවලාගේද උදව් ඇතිවය. සිදුවෙමින් පවතින්නේ යූ.ඇන් පී. සංවර්ධනය ජාතිකවාදී මතවාදය සහිතව ජනතාව දිනා ගනිමින් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වීමය. එහෙත් එය තමන්ට එරෙහිවීමක් ලෙස මේ ‍මොහොතේ බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ අමරසේකරලා ඇතුළු පිරිස් විසින් හිරිවට්ටවා සිටින ජාතිකවාදය නිසාය. මෙම හිරි වැටීම ඉවර වූ පසු වේදනාව එන්නේ දෙගුණ තෙගුණ වෙමින්ය. 


එහි කෙඳිරිය අමරසේකරලා වෙතින් මුලින්ම පැමිණිම ගැන අපට සතුටු විය නොහැකිය. රටට දැන් අවශ්‍යව ඇත්තේ  අමරසේකරලාගේ බණ නොව පරිභෝජනවාදයෙන්, සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තම විස්තෘත පවුලේ නඩත්තුව වෙනුවෙන් පොදි ගසන රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමය. මෑතක දී මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි  මෛත්‍රිපාල සිරිසේන වෙනත් කරුණක් ගැන පැහැදිලි කිරීමට ගත් උදාහරණයකින් මෙය අවසන් කරන්නට සිත් විය. "තල වවා මුං බලාපොරොත්තු විය නොහැක." පවුලක් නඩත්තු කිරීමට පැමිණි රාජපක්ෂ රෙජීමයෙන් ජාතිකවාදය නොව සංවර්ධනය පවා බලාපොරොත්තු විය හැකිද ?

මර බිය             නැති    
කුසගිනි            නැති
ගහ කොළ        ඇති     
දැහැමි              දැයක්  බලාපොරොත්තු විය හැකිද?

මැක් පෙරේරා

Tuesday, June 28, 2011

ආසනික් තිබුණත් නැතත්.......

සුපර් ස්ටාර්, ආසනික් සහ නාථ දෙවියෝ .....

ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජාතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප දෙනා අතරින් කෙනෙකි. ”සිංහල බෞද්ධයින්”රටේ ප‍්‍රමුඛතම ජනවර්ගය බව ප‍්‍රකාශ කරන ඔහු ඉතිරි ජනයා සිංහල-බෞද්ධ සංරචකයේ උප කුලක ලෙස සලකයි. ඔහු ”බටහිර විද්‍යාව ප‍්‍රමුඛ බටහිර චින්තනයට ''මුළුමනින්ම පාහේ විරුද්ධ ය. සිංහල-බෞද්ධ ජන විඥාණයෙන් මතු වන ජාතික චින්තනය ඇසුරින් ඒ තුළින්ම නව දැනුම, ප‍්‍රවාද බිහිකර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වන්නේ ය. ඒ අනුව බෞද්ධ ජන මනස අරක්ගත් දෙවිවරු පිළිබඳ විශ්වාසයත්, අධ්‍යාත්මික දියුණුව මගින් දැනුම වර්ධනය කරගැනීමත් ඔහුගේ මූලික පිළිගැනීමකි. එම අදහස් පද්ධතියට අනුව සිංහල බෞද්ධ සමයේ එන දෙවිවරු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් වෙති. අනෙක් දෙවිවරු මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වන්නේ ය.


රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගයේ හේතුව ආසනික් ශරීරගත වීම බව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ට මුලින්ම දැනුම් දී ඇත්තේ එම පර්යේෂණ කණ්ඩායමට අයත් නොවන බාහිර පුද්ගලයෙකු විසිනි.  හරියටම කිව්වොත් බාහිර තැනැත්තියක විසිනි. ඇය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභිනියකි. නමුත් මේ වන විට ඇයගේ ජීවන වෘත්තිය වී තිබෙන්නේ නාඩි බලා ලෙඩ, රෝග නිර්ණය කිරීමත්, ඒ අනුවම ප‍්‍රතිකාර කිරීමත් ය . ඇයට එම හැකියාව ලබා දී ඇත්තේ නාථ දෙවියන් විසිනි. ඒ අනුව ඇය නාථ දෙවියන් සමග සන්නිවේදනයේ යෙදෙන්නී ය. ඇය විසින් මුල් වරට, රජරට ජලයේත්, පොළොවේත්, භෝග වගාවන්හිත්, අනෙකුත් ගහ කොළ වලත්, මිනිස් ශරීරයේත් ආසනික් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායමට අනාවරණය කර ඇත. එමෙන්ම වකුගඩු රෝගයේ හේතුව වන්නේ ද, එයම බව ඇය පවසා ඇත. මෙම දැනුම ඇයට ලබා දී ඇත්තේ, ඇය පවසන පරිදි නාථ දෙවියන් විසිනි.


‘සිංහල-බෞද්ධ’ ජන විඥාණය පෙරටු කරගත් ජාතික චින්තන දැනුම් පද්ධතියට අනුව, නාථ දෙවියන්ගේ මෙම අනාවරණය කිරීම කිසිදු අයුරකින් සැක කල නොහැක. ඒ සත්‍යක්ම ය. පර්යේෂණ කණ්ඩායම එය එලෙසම විශ්වාස කරන්නේ වුවත්, තවමත් බටහිර විද්‍යාවේ සහ බටහිර චින්තනයේ ආධිපත්‍යයට නතුවී ඊට ගැතිවී සිටින ලාංකිකයාට, මෙම ආසනික් පිළිබඳ අදහස බටහිර විද්‍යාවේ පර්යේෂණ විධ ක‍්‍රමයන්ට අනුව පර්යේෂණයේ යෙදී සනාථ කල යුතුය. ඔවුන් පවසන්නේ, ඔවුන් එම පර්යේෂණයන්හි නිරත වූ බවයි. ප‍්‍රථිඵලය වී ඇත්තේ දෙවියන්ගේ නිගමනය නැවත සනාථ වීම පමණි. ඒ අනුව ඔවුන් එය ජනමාධ්‍ය තුළ කථා බහට රැගෙන ආවේය.


ඉහතදී සඳහන් කිරීමට නොහැකී වූ වැදගත් කාරණයක් ඇත. එනම් නාථ දෙවියන් මෙම දැනුම ලබා දෙන්නේ එක් කොන්දේසියක් ඉටු කිරීමට බැඳී සිටින්නේ නම් පමණි. එනම් තමන්ගේ ජීවිතය බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමට කැප කරන්නේ නම් ය. පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා පේවී, කැපවී සිටින බව පවසති.

නාථ දෙවියන්ට අභියෝගයක් ......

කෙසේ වෙතත් ජනමාධ්‍ය ට ආසනික් ආශික් එකක් බවට පත් විය. සමහර මාධ්‍ය එම අදහස බදා වැළඳ ගැනීමටත්, සමහර ඒවා ප‍්‍රතික්ෂේප කිරීමටත්, පෙළ ගැසුණි. රේගුවෙන් කෘමිනාශක තොගයක් මුදා හැරීම ප‍්‍රතික්ෂේපකර රඳවා තබා ගැණුනි. පසුව මේවා කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණයක්  කලේය. එම පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ කෘමිනාශක වර්ග දෙකක පමණක් ඉතා සුළු වශයෙන් ආසනික් පැවතුනත් ඉතිරි සියල්ලේ ආසනික් නොපැවතුණු බවය. මේ සමග නලින් ද සිල්වා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අදහස අභියෝගයට ලක් විය. ඒ සමගම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් සහල් සාම්පල් ලබාගෙන කළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ එම සහල් වල ආසනික් අඩංගු නොවන බවය.  එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ජනිතා ලියනගේ විසින් කලක් තිස්සේ කළ පර්යේෂණ වලින් නලින් ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ නිගමනය සාවද්‍ය බව අණාවරණය විය. මේ සෑම පර්යේෂණයක් සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් පුවත්පත් හෝ රූපවාහිනී නාලිකා ආදී ඒ ඒ ජනමාධ්‍ය ඒකක තුළ ප‍්‍රකාශයට පත්වෙමින් පවතී. එමෙන්ම ඒවා රටේ ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී වැදගත් වන ආයතනයන් තුළ ද විශේෂ කථාබහකට ලක් වූවේය. එපමනක් ද නොව ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂ, ආසනික් තම ප‍්‍රමුඛ සටන් පාඨයක් කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. ජනිපෙ නායක විමල් වීරවංශ මහතා මීට ටික කලකට ඉහතදී ප‍්‍රකාශ කලේ පාන් පිටි ත‍්‍රස්තවාදයක් ගැන ය. පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව හාල් (පිටි ඉදිරියට රැගෙන ආ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. දැන් හාල් වල ආසනික් පවතී නම්, එහුගේ එම උත්සාහය ව්‍යවර්ථ වීම අනිවාර්යයකි. ඒ නිසාමදෝ එම පක්‍ෂය පොලූ, මුගුරු රැගෙන සටනට අවතීර්ණ වී සිටිති.


කෙසේ වෙතත් මේ ආකාරයට ආසනික් තිබීමට එරෙහි පර්යේෂණ මගින් කරළිය අත්පත් කරගැනීමත් සමග නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ, තම කණ්ඩායමේ පර්යේෂණ විධි ක‍්‍රමය බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ඉදිරියේදී එළිදක්වන බවයි. ඒ අනුව ආසනික් විවාදය තව තවත් ඉදිරියට ඇදී යනු ඇත.

නියරේ කතිකාව
ඒ මේ සියළු සාකච්ජා අතරතුර ‘නියරේ’ අදහස කුමක්දැයි අප ප‍්‍රකාශ කළ යුතුව ඇත. එය මේ පරිදිය.


පත්තර කීපයක් හා රූපවාහිනී නාලිකා කීපයක් ආසනික් පටලවා ගෙන ඇත්තේ අලෙවි ප‍්‍රශ්නයක් ලෙස ය. ඔවුන් ට ආසනික් තිබීමේ හෝ නොතිබීමේ අදාලත්වයක් නැත. ”හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන සටන් පාඨය ඔවුන්ගේ පරම ආදර්ශ පාඨයයි. අලෙවිය වැඩි වන්නේ නම්  ඕනෑම දෙයක් කරන එම මාධ්‍ය ආයතන සහ බහු ජාතික කෘෂි රසායන සමාගම් අතර වෙළඳපොල තර්කණයේ අර්ථයෙන් කිසිදු වෙනසක් නැත.

යුගයේ විලාසිතාව


විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට  පත් වී තිබේ. ජනමාධ්‍ය මේ දෙකටම නොමඳව සහාය දක්වමින් සිටී.


නලින් ද සිල්වා විසින් නාථ දෙවියන් සිංහල-බෞද්ධ ජන විඥාණය එකිනෙක සම්බන්ධ කිරීම මගින් සිංහල බෞද්ධයාට තමන්ගේ විඥාණයේ හා ‘‘තරම’’ බලා ගැනීමට කැඩපතක් නිර්මාණය කර ඇත. නමුත් කිසිවෙක් තමන්ට නොපෙනෙනා දේ කැඩපතින් බලා ගැනීමට උත්සුක වන බවක් පෙනෙන්නට නැත.

ආසනික් ප‍්‍රශ්නාර්ථිකය

අනෙක් අතට නාථ දෙවියන්ගේ නිගමනය බොරු කරමින් සහල් වල හා කෘෂි රසායන වල ආසනික් බිඳුවක් වත් අඩංගු නොවන බව තහවුරු වුවහොත් අපි කෘමි නාශක හා වල් නාශක සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමුද? අප හමුවේ ඇති බරපතල ප‍්‍රශ්නය මෙය යැයි සිතමු. නලින් ද සිල්වා පත්තු කළ වදුලේ ආසනික් නොමැති බව නිච්චියටම තහවුරු වුව හොත් කෘෂි රසායන භාවිතය කැප ද? ආසනික් ගැටළුවේ ප‍්‍රශ්නාර්ථිකය මෙතන ඇත.


නලින් ද සිල්වා මතුකරන සිංහල-බෞද්ධ ජන වර්ගය හෝ වෙනත්  ඕනෑම ජන වර්ගයක් හෝ එකිනෙක සංසන්දනය කරමින් එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ හෙළීමට අප ක‍්‍රියා කරන්නේ නැත. නලින් ද සිල්වා පවසන පරිදි නාථ දෙවියන් යනු දුටුගැමුණු රජතුමා වන්නේය. එය ඒ ආකාරයට අර්ථ කථනය කිරීමේ අවසාන උවමනාව හා ගොඩනැගීමට උත්සාහ කරන කතාන්දරය පැහැදිලිය. එනම් බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමේත්, ලංකාව ආරක්‍ෂා කිරීමේත් දිව්‍යමය ආත්මය දුටුගැමුණුට සම්බන්ධ කර ඊනියා සිංහල-බෞද්ධ ඉතිහාස කථාන්තරය වර්තමානය තුල සමාජ දේශපාලන බලයක් ලෙස නැවත නැවතත් තහවුරු කිරීම ය.


(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.

බහුජාතික ආසනික්
එමෙන් ම, කෘෂි රසායන වල ආසනික් නැති බව පර්යේෂණ ඇසුරින් තහවුරු කිරීම නිසා ගොවියා සූරාකන බහු ජාතික සමාගම් වල ඉතිහාස කථාව සුජාතකරණය වන්නේ ය. ඔවුන්ගේ එම පර්යේෂණ, කෘෂි රසායන වලින් පොළොවට සිදුවුන හානියත්, ජෛව විවිධත්වයට සිදුවන හානියත්, පොළොව, ගහ කොළ, කුඩා ජීවීන් හා මහා ජීවීන් ඇතුළු මිනිසා ව්‍යාධියට පත් වී විනාශ වන ආකාරයත් අනාවරණය කරන්නේ නැත. මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.


ප‍්‍රාග්ධනයේ බැම්මෙන් බැඳ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන බහුජාතික සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත්, ජාතිවාදී කතිකාව තව තවත් ශක්තිමත් කරමින්  ජන සමාජයේ ඒකමිතිය වඩ වඩාත් බිඳ වට්ටමින් විනාශ කිරීමත් යන දෙකම අප හමුවේ ඇති අභියෝග වන්නේ ය. අප මේ දෙකටම එරෙහිව සිහිය එළවාගෙන මුහුණ දිය යුතුය. එමෙන්ම අප නවීන පර්යේෂණයන්ට හෝ විද්‍යාවට තේරුමක් නැතිව විරුද්ධ වන්නේ නැත. අපට ඇති ගැටළුව ඒවා මිනිසා පීඩාවට පත් කිරීමට එරෙහිව හා මනුෂ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් යොදා නොගැනීම ගැනය. සොබා දහම සුවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

නිගමනය
මේ නිසා අපට අවසාන වශයෙන් පැවැසීමට ඇත්තේ කුමක්ද? එනම් ආසනික් තිබුණත් නැතත්, මෙම විනාශකාරී කෘෂි රසායනයන් ට, ඒවා සම්බන්ධ බහු ජාතික වෙළඳ ජාලයට අපගේ පැවැති විරෝධයේ කිසිදු වෙනසක්  වන්නේ නැති බවයි.
                                         ප‍්‍රදීප් ජයරත්න
''නියර'' පුවත්පතේ 2011 මැයි-ජූනි කලාපයේ පලවූ ලිපියකි..

Sunday, June 26, 2011

මිත්‍යාවටත් විද්‍යාත්මක අයිසිං

            පරිණාමවාදයේ ඉදිරිපත් කොට ඇති ජෛව සංවර්ධනයේ ඉතිහාසය හා  එහි දැක්වෙන සංකීර්ණ හා වරණීය අනු පිළිවෙළ ප්‍රශ්න කරමින්, මෙතරම් සංකීර්ණ වූද (තවමත් නූතන විද්‍යාවට විද්‍යාගාරයක නිර්මාණය කිරීමට නොහැකි වූද...) ජීවය යනු අහඹු ලෙස සිදු වූ භෞතික සංසිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විය නොහැකිය යනුවෙන් ප්‍රවාද ගත කළ ලියවිල්ලක් නිමිති කොට ගෙන මෙම අදහස පෙළ ගස්වමි. එනයින් එකී ලියවිල්ල අවධාරණය කිරීමට උත්සාහ දරා ඇත්තේ ජීවය කිසියම් මැවුම් කරුවෙකුගේ ක්‍රියාවක් විය යුතු බවයි.  ජීවයේ තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ලය වැනි සංකීර්ණ ක්ෂුද්‍ර ව්‍යුහයක් හුදෙක් භෞතික සංසිද්ධි දාමයකින් වූවක් යැයි පැවසීම පිළීගැනීමට අසීරු බවත්, එහි සැකැස්මේ ඇති සංකීර්ණභාවය අනුව එය මැවීමක් විය යුතු බවත් එම නිබන්ධනයෙන් කියැවේ. එම නිබන්ධනය සඳහා ජෛව විද්‍යාත්මක වාග් මාලාවේ සහ විද්‍යාවේ විවිධ කරුණු ද උපකාරක ලෙස පාවිච්චි කොට ඇත.
            මේ සඳහා විද්‍යාත්මක දැනුම හා ක්‍රමවේදය අනුව දිය හැකි පිළිතුර කෙබඳුද? ඊට ප්‍රවේශයක් ලෙස ප්‍රාථමික කරුණු දැක්වීමකට මෙහි දී ඉඩකඩ වෙන්කර ගනිමි.
            විද්‍යාව යනු පුළුල් සංකීර්ණ හා දිනෙන් දින අතු ඉති දමා පැතිරෙන විෂයය සමූහයකි. මීට පෙර ස්වභාවික විද්‍යාවේ සම්මත වට්ටෝරැවට පරිභාහිර යැයි සැලකුණු විෂයයන් කරා ද විද්‍යාව සහ එහි විධික්‍රමය දැන් කාන්දු වෙමින් ඇත. කලාව හෝ ආර්ථික විද්‍යාව හෝ සම්භාව්‍ය දේශපාලන  සංවාදයන් මෙන්ම යුද්ධය සඳහාද විද්‍යාත්මක දෑ අනුකලනය වෙමින් ඇත.
            විද්‍යාවේ විවිධ දැනුම හා සංසිද්ධි විග්‍රහ කිරීම්වලදී  විවිධ න්‍යාය, උපකල්පන, න්‍යාස, උපන්‍යාස, සංකල්ප ආදිය පුරුක් ලෙස හෝ උපකාරක අවයව ලෙස හෝ යොදා ගනු ලබයි. ඒවා එක් එක් සන්දර්භයන්ට සාපේක්ෂ විය හැකි බැවින් නිරපේක්ෂ හා සාර්වත්‍ර ලෙස සැලකිය හැකි නොවේ. එවැනි න්‍යාය, උපකල්පන අභිමත පරිදි යොදාගෙන ගොඩනංවන ලද  ප්‍රවාදයක් මූලික අරුතින් මුළුමනින්ම වැරදි විය හැකිය. අද පවතින විද්‍යාවේ මෙවලම් හා දැනුම් පද්ධති සපුරා සම්පූර්ණ වූ ඒවා  නොවිය හැක. මක්නිසාද විද්‍යාවේ ඉතිහාසය අවුරුදු 300-400 ක් පමණ වේ යැයි සැලකුව‍හොත් නූතන විද්‍යාවේ වයස අවුරුදු 50-60 ක් පමණ වන බැවිනි. විද්‍යාව යනු ඒ අනුව අපට ඇති ශක්තිමත් පදනම යැයි සැලකිය හැකි මුත්, මිනිස් ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට හය තවම ලාබාළ වියෙහි වැනිය. ඒ නිසා විද්‍යාවේ එන විවිධ දේ හා විවිධ සංසිද්ධි විශ්ලේෂණයෙහි දී අනුපූරක, පරිපූරක ගැලපීම් සම්බන්ධතා සපුරා සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එනිසා පරිණාම වාදයේ විවිධ හිස්තැන්, වෙනස්කම්, පරස්පරයන්, අනුමානයන් තිබෙනු ඇත. එය සාදා නිමකළ යමක් නොවේ. එලෙසම පරිනාමවාදී න්‍යායට  අවශ්‍ය ඉතිහාසීය සාක්ෂි දාමයේද හිස්තැන් තිබෙනු ඇත.
             විද්‍යාවේ හෝ පරිණාමවාදයේ හෝ වෙනත් එවැනි වාදයක හෝ ඉහත සඳහන් කළ ආකාරයේ හිස්තැන් අසම්පූර්ණතා, පරස්පරයන් ආදිය මතින් තම විශ්වාසයට ගෝචර වූ ප්‍රවාදයක් කෙනෙකුට ගොඩනැගිය හැක. භෞතික විද්‍යාවේ වැදගත් න්‍යායන් ලෝකයට දායාද කළ විද්‍යාඥයින් අතර ද දෙවියන් විශ්වාස කළ අය සිටිය හැක.
             මීට සමාන ප්‍රවාද විද්‍යා සාහිත්‍යයේ  තවත් ඇත. සමහර ප්‍රවාද වලින් කියැවෙන දෑ විශ්මය දනවයි.
            පෘථිවිය ගෝලාකාර නොවේය (පැතලිය) යනුවෙන් ගොඩ නැගූ ප්‍රවාදයක් සහිත කෘතියක් (Earth not a globe) සැමුවෙල් බලි රොබොතම් විසින් 1881 දී Parallax ක්‍රමවේදය ඇසුරින් ලියා පළකොට ඇත.
            එවැනිම වූ තවත් ප්‍රවාදයක් උපුටා දක්වමින්, අපගේ හේතුවාදී ව්‍යාපෘතියට එරෙහිව, එක්තරා ජාතිකවාදී න්‍යායධරයෙකු විසින් පසුගියදා සති අන්ත පුවත්පතකින් කරුණු දක්වා තිබුණි. ඔහු දක්වා තිබුණේ සමනල ආවරණය (Butterfly effect) නම් ප්‍රවාදයට අනුව හිමාල අඩවියේ  සමනලුන් තටු ගැසිම නිසා ඇන්ඩිස් කඳුකරයේ  භූමිකම්පාවක් පවා ඇතිවිය හැකිය යනුවෙනි.  (මාළුන් වරල්  ගැසීම  නිසා සුනාමියක්  ඇති විය හැකි යැයි තව ‍ෙකනකුට ප්‍රවාද කළ හැකිය.) මෙවැනි ප්‍රවාදයන් හි ද බරසාර විද්‍යාත්මක කරුණු දකවා ඇත. එහෙත් පුත්‍යක්ෂ යථාර්තය ඊට වෙනස් බව අපි දනිමු.
-

 තාරක වරාපිටිය


ඉතිහාසය 
හා 
පුරා විද්‍යාව 

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත පුරාවෘත්ත අධිනිෂ්චය  වී ඇත්තේ මහා වංශය පදනම් කර ගෙනයි. කාම්බෝජයටත් අපට මෙන් මහාවංශයක් ඇති අතර එය ප්‍රමාණාත්මකව ගත් විට අපේ මහාවංශය මෙන් දෙගුණයක් වන බව ලංකාවේ බොහෝ දෙනා නම් දන්නේ නැති බව නිසැකය. අද පවතින අතීතකාමී උනන්දුව තුළ මෙකී වංශ කථා සාහිත්‍යය යළි යළිත් ප්‍රති  නිර්මාණය වෙමින් ඇත. මේ කටුසටහන ඊට පසුවදනකි.
            මහාවංශය යනු ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වන මහානාම හිමියන්ගේ රචනාවක් වන බවට ඉතිහාසඥයින් වැඩි දෙනාගේ අනුමානයයි. (වන්සප්න ප්‍රකාශිතය  නම් වූ  ටීකාවේද ඒ පිළිබඳ සාක්ෂි සපයා ඇත) එය ව්‍යක්ත පාළි භාෂාවෙන් ලියැවී ඇති ගාථා හකසිය ගණනකින් සමන්විත රචනාවකි.  එහි වැඩිම ඉඩකඩ වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජු වැනුමටයි.
            මහා වංශය ලියැවෙන්නේ එකල රාජ්‍යත්වයට සමීප වූවෙකු මෙන්ම බෞද්ධ භික්ෂුවක්ද  අතින් වීම යන්න මෙහිදී මූලිකව සිහිතබා ගත යුතු පැති මානයයි. එවිට එහි අඩංගුව තුළ රාජ්‍යත්වයට බැහැර දේ පිළිබඳව ලිය වී ඇත්ද? ඒවා අපක්ෂපාතී වී තිබේද? යන්න, ඒ හා පැන නගින විචිකච්චාවයි.
            මහාවංශය සිංහලයින්ගේ අවධානයට පාත්‍ර වූයේ කවදා සිටද යන්න බොහෝ දෙනා මතුකොට දක්වන්නේ නැත. අනුරාධපුර රාජධානිය ද, එහි බෞද්ධ නෂ්ටාවශේෂයන් ඇතුළු පුරා විද්‍යාත්මක සළකුණු ද  මුල්වරට එළිපෙහෙළි කොට අනාවරණය කළේ ඉංග්‍රීසි ජාතික ගවේෂකයින් විසිනි. එලෙසින්ම මහාවංශ ඉතිහාස පුරාවෘත්තය ද අවධානයට පාත්‍ර වූයේ ඉංග්‍රීසි ජාතික ශාස්ත්‍ර ගවේශකයෙකුගේ පුරෝගාමිත්වය නිසාවෙනි.
            බ්‍රිතාන්‍ය ජාතික විජිත පරිපාලන නිලධාරියෙකු වූ ජෝජ් ටර්නර් සිංහල හා පාලි භාෂා උගෙන මහාවංශය කියවා තිබුණි. 1835 දී බෙංගාලයේ පැවති රාජකීය ආසියාතික සංගමයේ සැසිවාරයේදී මෙම මහාවංශය ඉදිරිපත් කරන විටදිත් එය සිංහල  භාෂාවට පරිවර්තනය වී නොතිබිණි. පසුව ටර්නර් විසින් එය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කරන ලදී.
            අපේ මහාවංශය මුලින්ම පරිවර්තනය වූයේ සිංහල භාෂාවට නොව ඉංග්‍රීසි භාෂාවටයි. (එතෙක් එය ලංකාවාසීන්ගේ අවධානයට ලක් වූ ලියවිල්ලක්ව තිබී නැත) 1838 දී ටර්නර් ගේ පරිවර්තනය රාජකීය ආසියාතික සංගමය නම් වූ පෙරදිග බුද්ධිමතුන්ගේ සාමුහිකයේ ලේකම් ජේමිස් ප්‍රින්සෙප් විසින් සංස්කරණය කරනු ලැබීය.
            අද ලංකාවේ පුරා විද්‍යාව ගොඩනැගෙන්නේත්, මේ පුරාවෘත්ත කථාව පදනම් කරගනිමිනුයි. ඒ අනුව පුරා විද්‍යාත්මක ගවේශනයන් යොමු වන්නේ මහාවංශයේ සිදුවීම් ගලපා ලීමට ද යන්න වනාහි සාධාරණ ප්‍රශ්න කිරීමකි. ලංකාවේ පුරා විද්‍යාත්මක යොමුව, පොදු හා පළල් ඓතිහාසික සන්දර්භයක් කරා හෝ මානව විද්‍යාත්මක ගවේශණයන් ආවරණය කරමින් හෝ සිදුවන්නක් නොව බොහෝ දුරට ආගමික සන්දර්භයට සීමා වූ බවක් පෙන්නුම් කොට ඇත.  අඩුම තරමින් පොදු ජන සමාජය තුළ පුරා විද්‍යාව යන්න පරිකල්පනය වී ඇත්තේ ඒ අදහසිනි.
            උතුරේදී හමු වූ බෞද්ධ පුරා විද්‍යාත්මක සාක්ෂියකින් කියවෙන්නේ එහි ඇති සිංහල බෞද්ධ උරුමය යැයි සාමාන්‍ය මනෝභාවය තුළ ලියවෙන්නේ සිංහල ජාතිකවාදී උගතුන් මගින්, ජන මාධ්‍ය හරහායි. 
            නමුත් ඇත්ත කථාව නම්, ලංකාවේ ථෙරවාදී පාර්ශවය විසින් ඇති කළ භේදයත්, දකුණු ඉන්දීය බලපෑමත්, දැඩි වන්නට පෙර උතුරේ ජීවත් වූ බහුතරයක් දෙනා බෞද්ධ මහායානිකයින් වූ බවයි. ඉතිහාසය විමසිලිමත් ලෙස සොයා බලන්නේ නම් එහි මූලාශ්‍ර හඳුනාගත හැකි වෙයි. දෙමළ බෞද්ධ යටගියාව සිංහල බෞද්ධ උරුමයක් කර ගෙන ඇත්තේ එලෙසයි.
            10 වැනි සියවසේ දි යාපනය කන්දරෝඩෙයි බෞද්ධ ආරාමයට කළ පරිත්‍යාගයන් ලිය වී තිබෙන කන්දරෝඩෙයි සෙල්ලිපිය නිසා හෝ වඩමාරච්චියේ වල්ලිපුරම් ග්‍රාමයේ පැරණි විශ්ණු දේවාල භුමියකින් හමු වූ (බ්‍රාහ්මී අක්ෂරයෙන් ලිය වී ඇති අඟල් 3 ක් දිග හා අඟල් එකක් පළල) කුඩා රන්පත් ඉරුව හෙවත් සුප්‍රසිද්ධ වල්ලිපුරම් රන්පත්‍රය නිසා හෝ ඒ ඉතිහාසය අමතක කර දැමිය නොහැක.

-         කෙවින් කරුණාතිලක

 

Monday, June 20, 2011

ඇරයුමයි

මිතුරනි,

ලංකාවේ අරගල ඉතිහාසයට අළුත් මානයන් කීපයක් එකතු කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට හැකි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව ඉස්සරහට මේ තරම් දුරට හෝ අර‍ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හින්දා. අරගලය මෙහෙයවන්නෙත්, මතවාදී නායකත්වය දෙන්නෙත් එයාලමයි. මේක ලෙනින් ගෙ "කම්කරු පංතිය ට, බාහිරින් පංති විංඥාණය රැගෙන ආ යුතුයි " කියන අදහසට වඩා  හුඟක් වෙනස් තත්ත්වයක්.

නිපුණතාවය ඇති ශ්‍රමිකයෙක් බිහිකරන්නේ කොහොමද? යන්න අද දවසේ අධ්‍යාපනය මුහුණ දී ඇති අභියෝගය ද? එහෙම නැත්නම් මිනින්දෝරුවෙකු වීමට උවමනා භූගෝල විද්‍යාවේ "කොටස" ඉගෙනගෙන නැවතීමට එරෙහිව භූගෝල විද්‍යාව ඉගෙනීම අඛණ්ඩ කිරීම ද?

මේවා ගැන සංවාදශීලී වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ධෛර්ය සම්පන්න අරගලය ට, ඔබේ සහාය දෙන්න, හෙට (ජූනි 21) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගි වී ඔබත් අරගලයට හවුල් වන්න.

ඔවුන් කියනා පරිදි,

නොසිතන මොහොතක,
නිශාචර පක්ෂියාගේ ඇසත්, ඔබේ ඇසත් එකිනෙක පටලැවෙන විදිහටම,
අපි එකිනෙකා හවුල් වන දිනය නිසැකවම එනවා ඇත.

නික් ට්ටි.

Sunday, June 12, 2011

 මහජන රැස්විම ඡුනි 13 සවස 3/ 30 මහජන පුස්තකාලයේදි



14 Images | View Slideshow | Download Selected | Download All