Friday, April 8, 2011

71 සහෝදරත්වයෙන් වචනයක් හා ඇරයුමක්!

දිගු කලක සිට පැවති අවශ්‍යතාවයක් වූ 71 සොයුරු සොයුරියන්ගේ සහෝදරාත්මක එකමුතුවක ආරම්භය සළකුණු කෙරුනේ මීට නව වසරකට පෙර එනම් 2002 වසරේ දී ය‍. ඊට පෙර සිටම මේ සඳහා දැරුණු විවිධ ප්‍රයත්නයන් විය. අපේ සොයුරු සොයුරියන් විවිධ ප්‍රදේශවල කණ්ඩායම් ලෙස හෝ මිත්‍රත්ව සබඳතා ලෙස හෝ එකිනෙකාගේ දුක සැප බෙදා හදා ගනිමින් ජීවත් වූ අයුරු කියන නිදසුන් බොහෝය. ඒවායේ නව සමාජ සංස්කෘතියක සේයා දක්නට තිබිණි. 71 සහෝදරත්ව සංසදය බිහිවූයේ මෙවැනි එකතූන් පොදු සාමූහිකයක් තුළට ගෙන ඒමේ අවශ්‍යතාවයේ පුතිඵලයක් ලෙසිනි.

එම ආරම්භය ඉබේ සිදුවූවක් නොවේ. අහඹුවක් ද නොවේ. ඊට විකාශනයක් ඉතිහාසයක් තිබේ.

71 අප්‍රේල් නැගිටීම සම්බන්ධ ක්‍රියාවලියට නන් අයුරින් දායක වූ විශාල පිරිසක් රටේ විසිරී සිටිති. හිංසනයට ලක් වු, පවුල් පිටින් විනාශ වූ, සිරගත වූ හා දිවි පුද කළා වූ අයගේ ඥාතීන්ද ඇතුළුව එම පිරිස අති විශාලය. ඇතැමෙක් මැති ඇමතිකම් දරති. ඇතැමෙක් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල තනතුරු දරති. ඇතැමෙක් දැනුදු එදා සටන් වැදි පරමාර්ථ සාධනයෙහි ලා නන් අයුරින් ක්‍රියාකාරීව සිටිති. එහෙත් සුවිශාල බහුතරය තැනී ඇත්තේ පාඩුවේ සිටින, සියල්ලටමත් වඩා සමාජ බලවත්කමෙන් හා ආර්ථික බලවත්කමෙන් දුරස්ථ අයගෙනි.

මේ සියල්ලෝම ‍කෙතරම් වෙනස්කම් තිබුණ ද අඩු වැඩි වශයෙන් කීර්තිමත් අතීතයකට උරුමකම් කියති. එම අතීතයෙන් ජනිත වූ බැඳීම තවමත් උණුසුම්ය. ප්‍රබලය. සංවේදීය. ආශ්වාද ජනකය. අඩ සියවසකට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇතත් ස්වල්පයකට හැර අප බොහෝ දෙනෙකුට ඒ අතීතය සිහිපත් නොවන දිනයක් නොමැති තරම්ය. තැනින් තැන සමුහගත වීම් සිදුවූයේ ද ඒවා පොදු සම්මුතිගතවීමක් කරා ගමන් කළේ ද එම බැඳීම්වල උණුසුමෙන්, සංවේදිබවෙන් හා ආශ්වාදයෙන් පොළඹවනු ලැබීමෙනි. එම සමූහගතවීම නව සංස්කෘතියක් පිළිබඳ ප්‍රවේශයක් බඳුය. 71 නැගිටීම නුදුටුවෝ, ඒ ගැන අසා පමනක් ඇත්තෝ මෙම නව ප්‍රවේශයට ගරු කරති‍. ආදරය කරති. දිරි දෙති. මෙම නව සංස්කෘතික බැඳීම එක් පොදු සමස්ත පුයත්නයක් බවට පත් වීම ද එහි සමාජ වටිනාකම විසින් ඇති කරන ලද බලපෑමකි. එය කිසිවෙකුගේ පෞද්ගලික අව්‍යතාවයකින් ජනත වූවක් නොවේ.

71 සහෝදරත්ව සංසදය දේශපාලන සංවිධානයක් නොවේ. අද අප සොයුරු සොයුරියෝ එකම දේශපාලන ධාරාවක කොටස්කරුවෝ නොවෙති. ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර, ක්‍රියාකාරකම් විවිධ ය. එහෙත් ඒ විවිධත්වය අපේ එකතුවීමට බාධකයක් නොවේ. අප විවිධත්වයේ ඒකත්වයකි. එලෙසම එය 71 ක්‍රියාවලියට සම්බන්ධ වූවන්ට පමණක්ම සීමා කිරීම අපේ අපේක්ෂාව නොවේ. 60-70 දශකයන්හි එනම් එකම යුගයක විවිධ වෙනස්කම් සහිතව නමුදු අප වැනිම පරමාර්ථ ඇතිව ක්‍රියාකරමින් ඒ උදෙසා සිය තාරුණ්‍යය හා අනාගතය කැප කළ අනෙකුත් සමාන්තර කණ්ඩායම්වල සොයුරු සොයුරියන්ට ද මේ සමූහගත වීම විවෘත ය.

2002 බිහි වුව ද මුහුණ දෙන්නට සිදු වූ නොවැළක්විය හැකි සීමා හා දුෂ්කරතා නිසා සංසදය විසින් අත් කරගත යුතුව තිබූ සාර්ථකත්වය සම්පූර්ණ නොවී ය. එම සීමා හා දුෂ්කරතා ජය ගැනීමේ මාවතකට පිවිස සිටින අද අප සහෝදරත්වයේ බැති සිතින් ඔබ අමතන්නේ මෙම ප්‍රයත්නයට ඔබේ දායකත්වය ඉල්ලා සිටීමටය. අපි අද වියපත් වූවෝ වෙමු. එහෙත් අප්‍රේල් නැගිටීම වියපත් වන්නේ නැත. අපි එහි උරුමය නගා සිටුවිය යුතු අතර අපගෙන් පසු අපේ දූ දරු මුණුපුරු මිණිපිරියන් විසින් අභිමානයෙන් වැළඳ ගන්නා වූද මහා ඥාතිත්වයක් ලෙස සදා අනුස්මරණය කරන්නා වූ ද අනාගතයකට මං පෑදිය යුත්තෙමු. ඒ සඳහා අපි අත්වැල් බැඳ ගනිමු.

අපි අද අප්‍රේල් නැගිටීමේ 40 වන සංවත්සරය අභියසට සම්ප්‍රාප්තව සිටිමු. 2011 අප්‍රේල් 5 කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවනාගාරයෙහි 71 සහෝදරත්ව සංසදයේ මෙහෙයවීමෙන් අප්‍රේල් නැගිටීමේ 40 වන සංවත්සරය මුළු දෙයි. මුළු දවස පුරා පැවැත්වෙන එම සංවත්සර සංසිද්ධියට ඔබ ඇතුළු සැමගේ සහභාගිත්වය සහෝදරාත්මක බැඳීමෙන් යුතුව අපේක්ෂා කරමු.

දුරකතන 0112884559 / 0115734830 / 011288928
71 සහෝදරත්ව සංසදය
අංක 1149, කෝට්ටේ පාර, රාජගිරිය.