Saturday, December 17, 2011

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියක් සඳහා......

පළමුව අප අයත් වන්නේ ලෝක පරිමාණ ජන ජීවිතයකට බව තේරුම් ගත යුතුව ඇත. මිනිසා ගෝත්‍ර යුගයෙන් ජීව විද්‍යාත්මක ලොවකට ගමන් ඇරඹූ සත්ව කොටසකි. ඒ මිනිස් වර්ගයා ලෝකය හඳුනා ගෙන ලෝකය තමන්ට සුදුසු ආකාරයට සකස් කර ගනිමින් සිටී. එපමණක් නොව ලෝක ප්‍රජාවටම ඔවුන්ගේ ජන ජීවිතය ගොඬ නගා ගැනීමටත් එමෙන්ම විශ්වයේ අයිතිය සමාන ලෙස සියලු ජනතාවගේ පැවැත්ම සඳහා ගොඩ නගා ගැනීමටත් සියලු සත්වයන් සමග සොබා දහම රැක ගනිමින් කරන අරගලය ද මානවවාදී සංවර්ධනවාදී අරගලයකි. විද්‍යාව, එය සමාජ විද්‍යාව ලෙසද කාර්මික සහ කෘෂිකාර්මික සමාජ සංවර්ධනය සඳහා ලෝක පරිමාණ සමාජ සංවර්ධන සඳහාද යොදා ගැනීම දියුණු සහ නොදියුණු සියලු මිනිසුන් සතු වගකීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය වන අතර සංවිධානාත්මකව ගතහොත් එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවධියයි.

“දේපළ” යන සමාජ සම්පත් මෙහි දී තීරණාත්මකව ඉස්මතු වේ. දේපල සමඟ බලය ද තවත් පැත්තකින් ගොඩ නඟා ගැනීමට ජන කණ්ඩායමක් ඉදිරිපත් වේ. බලය ලබා ගැනිමේ දී දේපල සම්බන්ධතා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බලය ලබා ගැනීමට, ලබාගත් බලය රැක ගැනීමට එය තමාගේ හෝ කණ්ඩායමක අයිතිය බවට පත්කර ගැනීමට, ලෝකය තමාගේ අණසකට යටත් කර ගැනීමකට බලය ඇති රටවල්, බලය ඇති කලාප එසේ කටයුතු කිරීම ද තවත් අධි ප්‍රවණතාවයකි. මෙම අධි ප්‍රවණතාවයට ද ඉතිහාසයක් ඇත. සම්භවයක් ද ඇත. ගෝත්‍ර නායකයින් රජු දක්වා පරිවර්තනය වීම ද රජුගේ බලය එකඟතාවය මත දැනුමේ දියුණුවේ විශ්වාසයේ ශක්තිය මතම සෑම දෙයක්ම තීරණය වන්නේය. ඒ සමගම වැඩවසම් සමාජය ධනේශ්වරය දක්වා විකාශනය වීමේ දී ඒ අතරතුර වැඩවසම් සමාජය තුළ දී විවිධ ආගම් ද බිහිවිය. කතෝලික, ඉස්ලාම්, බෞද්ධ හෝ දේව ආගම් බිහිවීමේදී පැවති ක්‍රමය තුළ ගැටුම්කාරී ලෙස නව ප්‍රපංචයක් ලෙස ප්‍රචණ්ඩ ආකාරයක් ගනිමින් කැරළිකාරත්වයත් සමඟ බලහත්කාරයෙන් එයට නායකත්වයක් ලැබිණි. පැවති සමාජය තුළ මිනිසාගේ අයිතිවාසිකම් දැන උගත්කම් සහිත ලෝකය වටහා ගැනීමටත් එමෙන්ම තම ජන ජීවිත පවත්වා ගැනීම ද සහෝදරත්වය, අනෙක් මිනිසාගේ වටිනාකම, සෞන්දර්යය, කලාව හා නිර්මාණ ශිල්පය ද සමඟ පිරිපුන් මිනිසා ගොඩ නැඟී ඇත.

බස රටකට ජාතියකට කුලයකට ප්‍රදේශයකට සීමා නොකර මුලු ලොව පුරාම ව්‍යාප්ත වූයේ හේතුවක ඵලයක් ලෙසිනි. විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරමින් විවිධ ශාස්තෘවරුන් මහා අධිපතියන් විය. අනුගාමිකයින් සමඟ ජන කොටස් වෙන් වෙන් වශයෙන් විවිධ ආගම්වලට ඇතුළත් විය. ආගම් විවිධ වුවද ගොඩ නගන ලද්දේ එකම දහමකි. මිනිසාගේ පැවැත්ම උදෙසාම සහ සාමය සතුට සංවර්ධනය සඳහාම ඒවා දේශනාවන්ම විය. මේ සමගම යුරෝපය මුල් කර ගනිමින් ප්‍රජාවගේ අනන්‍යතාවය ආරක්ෂා කර දීමට ප්‍රජාතන්ත්‍රවාදය බිහිවිය. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසත්, ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම පිණීසත්, යහපාලනයේ පහසුව සඳහාත් පාලකයා සමඟ අනෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහායි. මෙම ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව තුළත්, පවුල තුළත් සංවර්ධනය සඳහා කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය තුළත් විශ්වාසය සමගින් සහෝදරත්වය සඳහා විවිධ ජනවාර්ගික කණ්ඩායම් තුළත් ඒ සමඟම පරිහරණය හා පාලනය තුළින් ඇති කරලීම සහ දුගියාගේ අයිතිවාසිකම් මෙමගින් ලබා ගැනීමට හා ලබා දීමට පුජාතන්තුවාදය පෙරමුණු ගනී. දේපළ හිමියා ද තමාගේ දේපලවල අයිතිය සඳහා ද පාලකයා තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ද නීතිමය තත්වයන් මෙමගින් ගොඩ නගා ගනිමින් සිටී. සාපේක්ෂව බැලූ කල එය එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනුනත් මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද සියලුම ජන කොටස් ගෝලීය ක්‍රමයකට ඇතුළත්වීමෙන්ද ලොවම දියුණුව කරා යන ගමනේදී එය සමාජමය අසාධාරණයක් ලෙසද ලෝක ජනගහණයෙන් සුළු කොටසකට පමණක් සීමා වූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පෙරළාගෙන ඇත. දේපළ බෙදී යාමේ ගුණය ප්‍රමාණවත් නොවන බැවින් විශේෂයෙන්ම දිළිඳු රටවල්වලට සංවර්ධනය කරා ගමන් කිරීමේ දී මෙය මාර්ග බාධකයක් බවට පත් වී ඇත.(ධනේශ්වර ක්‍රමයේ උච්චතම අවස්ථාව අධිරාජ්‍යවාදයයි)

වැඩවසම් ක්‍රමයට වඩා ධනේශ්වර ක්‍රමය ජනතාවට ප්‍රගතිශීලි වන අතර මෙමගින් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස සමගින් රැකියා සමගින් සමාජ විද්‍යාව අරගලකාරී ලෙස ප්‍රචණ්ඩකාරී ලෙස වේගයෙන් අඩු වැඩි වෙමින් සංවර්ධනය සමගත් මුළු මහත් ලෝකයාට සමාන ලෙසත් (උපයෝගී ලෙසත් ක්‍රියාත්මක වේ) නමුත් මේ අවස්ථාවලදී අසාධාරණය සිදුවන්නේ දුප්පත් නොදියුණු රටවැසියාටයි. මෙයිනුත් මුදල් හදල් හා බලය ඇති ජන සමාජමය ජන කොටස් මෙම අවස්ථාවන් ජාති භේදයෙන් කුල භේදයෙන් ‍ෙතාරව ප්‍රදේශවාදයෙන් තොරව ලෝකෝත්තර ගුණයකට හිමිකම් කියයි. මේවා මෙලෙස සිදුවෙද්දී අපි ජාතිවාදය හා කුලවාදය සමගින් රටවැසිවාදය කරපින්නා ගතහොත් අප අපටම සිදු කර ගන්නේ විශාල හානියකි. නොදියුණු රටවල උගතුන් බටහිර දියුණු රටවල පුරවැසිභාවය ලබා ගැනීමත් තමාගේ දැනුම හා ශ්‍රමය තමන්ගේ දේශයෙන් පිටට රැගෙන යාමත් ඔවුන්ගේ ජීවන තත්වය උසස් වූවත් ලෝකය හා සැසදීමේ දී උපන් රට අමතක කළා ‍නොවන්නේ ද ප්‍රශ්නය වන්නේ නූගතුන් සමගින් දිළිඳුභාවය සහතික වීමකි. විදේශීය රටවල ජීවත්වන ලාංකිකයන්ද විදෙස් තුළ දී ලාංකිකත්වය ආරක්ෂා කරන අතර ස්වදේශයට පැමිණි කල ඔවුන් නැවත ජාතිය ආගම කුලය ප්‍රදේශය මතු කිරීම සමාජමය වශයෙන් ප්‍රතිගාමිත්වයක් ගනී. නමුත් ඔවුන් සමගින් තම දේශයට ඇදී එන ප්‍රාග්ධනය අසීමිත බැවින් එමගින් දේශීය ආර්ථිකය මත පවුලේ යහපැවැත්ම රඳා පවතී. වි‍ෙශ්ෂයෙන් අපේ රටේ මූලික ආදායම වන්නේ විදේශ රැකියා කරන බුද්ධිමතුන් හා මැද පෙරදිග රැකියා කරන කාන්තා හා පිරිමි පුහුණු ශ්‍රම ක්‍රියාකාරිත්වයයි.

ඇත්තටම කැරලිකාරිත්වය හා ප්‍රචණ්ඩත්වය යනු සමාජමය ක්‍රියාවලියකි. ජන සමාජයේ ඉතිහාසය හදාරන විට විවිධ වකවානුවලදී විවිධ ආකාරයෙන් කැරලිකාරත්වයන් ඉස්මතු විය. විදේශීය බලවේග අප යටත් කර ගත්තේ ද කැරලිකාරිත්වය සමග ප්‍රචණ්ඩත්වය යොදාගෙනය. පෘතුග්‍රීසින්, ලංදේසින්, ඉංග්‍රීසින් මෙන්ම චෝල පාණ්ඩ ආක්‍රමණ මගින්ද කියවෙන්නේ මේ කතාවමය. රට නිදහස් කර ගැනීමට 1815 කැරැල්ල මෙන්ම විදේශීය ආක්‍රමණ පරාජය කිරීමට කැරලි ගැසූ ප්‍රමාණය අප්‍රමාණය. එමෙන්ම 1953 හර්තාලය ද කැරලි ගැසීමකි. එහි ප්‍රතිඵලය වූයේ 1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත්වීමයි. සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ගැසූ කැරලි ද වර්ගවාදී වුවත් ඒවා ද කැරලිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වෙඩි තබා මරා දැමීම ද කැරලිකාරිත්වයේ ප්‍රතිඵලයකි. මවක් දරුවා බිහි කිරීමේ දි ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙයි. අපිට නොතේරුනාට ප්‍රචණ්ඩත්වය සාපේක්ෂය. එනමුදු මෙය පාලනය කළ හැක. සංවර්ධනයේ සිහින දකින වර්තමානයේ පාලකයා ද අති ප්‍රචණ්ඩත්වයක් සමඟ හිතුවක්කාරත්වයක් ජන සමාජයට මුදා හැර ඇත. නමුත් එම ප්‍රචණ්ඩත්වය හා හිතුවක්කාරකම නූගත්කම වන අතර එය ද අවිද්‍යාත්මකය. ප්‍රතිඵල රහිතය.

විදේශ රැකියාවල අරාබිකරයේ සේවය කරන කාන්තා සහ පිරිමින් දරුණුතම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත. අරාබිකරයේ සිරගෙවල්වල ද තානාපති කාර්යාලවලද මහාමාර්ගවල ද ජීවිකාව ගෙවන බව හෙළිදරව් වී ඇත. රැකියා ස්ථානයෙන් පැනයාමට හේතු ලෙස හාම්පුතුන් පහරදීම්. ඇණ ගැසීම්, උඩු මහලින් තල්ලු කර දැමීම් අසන්නට ලැබේ.අපේ රටේ ආර්ථිකයේ පළමුවන ශ්‍රම බලකාය වන මොවුන් මෙසේ වධ බන්ධනයට ගොදුරු වී ඇත. එසේ උපයන මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යාමට යොදා ගනී. එය ද සැහැසිය. හිතුවක්කාරිය. අද වන විට 1200000 පමණ කාන්තාවන් විදෙස් ශ්‍රමයේ යෙදී ඇත. අප රටේ තරුණ පරම්පරාවට රැකියාවන් ලෙස ඇත්තේ විදේශ රැකියා පමණි. මැද පෙරදිග වඩු කම්කරුවන් ලෙස, අරක්කැමියන් ලෙස දහසක් කම්කටොලු මැද රැකියාව කරන අතර අද එම රැකියා අවස්ථා අහිමි වී දකුණු කොරියාවේ රැකියා සඳහා ඉල්ලුම්පත් 35000 ඉල්ලා අද වන විට පෝලිම් ගැසී ඇත. නමුත් මේ අවුරුද්ද තුළ දකුණු කොරියා රැකියා ලෙස ලැබී ඇත්තේ 3000 පමණි. මේ රැකියා 3000 ද අයත් වන්නේ ධීවර වෘත්තීන් සඳහාය. (මුහුදු යාම) අපට ලැබෙන ආරංචිය අනුව මෙම ධීවර රැකියාව සඳහා යන තරුණ තරුණියන් රැකියාවේ දුෂ්කර තත්වය තුළ ප්‍රචණ්ඩ වීම ද අරගල කිරීම ද මෙයම අවස්ථාවක් විය හැක.

සංවර්ධන න්‍යායේ ප්‍රචණ්ඩත්වය වන්නේ කම්හල් තුළ. මහ පොළොව සමගින් වැව් අමුණු හා වාරි මාර්ග ක්‍රම සමගින් ශ්‍රමය වැය කිරීමයි. අධි ශ්‍රමයක් වැය කිරීමක් මගින් ලබන නිෂ්පාදන ක්‍රියාවලියක් අතිරික්ක ආදායම් ලැබීම සංවර්ධනයේ ප්‍රතිඵල යැයි අපි හඳුන්වමු. වැව් අමුණු සමගින්දාගැබ් සමග සංස්කෘතිමය සංවර්ධනය ශිෂ්ටත්වය විදහා පායි. හිරෝෂිමාවට දෙවන ලෝක යුද්ධයෙන් බෝම්බ හෙලීමත් එමගින් ජපානය කම්පා වීම සමඟ අළුතින්ම නැගිටි ජපාන ජනයා ලොව මවිත කරමින් ලෝකයේ දියුණුම රටක් බවට පත් කළාය. එය ද ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයට මුහුණු දුන් ශ්‍රම ප්‍රචණ්ඩත්වයයි. දිළිඳු භාවයේ කෙළවරටම ගිය දකුණු කොරියානුවා අවශ්‍යතාවය මත තම රටේ සංවර්ධනය සඳහා නව කර්මාන්ත නව කෘෂි කලාප ඉදි කරමින් විශ්ම කර්ම ලෙස ලොව හමුවේ නැඟී සිට ඇත. සංචාරක ව්‍යාපාර පිළිබඳව 100% ක්ම විශ්වාසය තබා ඇති අප වැනි රටවල් අප ආත්ම ගරුත්වය අපේ සංස්කෘතිය අපේ නිවහල්කම වි‍ෙද්ශීය ධනවත් සංචාරකයින් බේබද්දන් ජාත්‍යන්තර ජාවාරම් කරුවන් සමග විදේශ ආධිපත්‍යයට මේ රට විකුණවමින් පවතී. ජන සමාජය අකැමැති, සෞභාග්‍යයට අහිතකර, සදාචාරවත් නොවන මෙම ක්‍රමයට අකැමති ජනතාව පවතින ආණ්ඩුවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත. ධීවර වරායවල් අහෝසි වීම ධීවර වෘත්තිය අහෝසි වීම පදිංවිය වෙනස්වී මහත් ගැටළු රාශියක් පවතින ආණ්ඩුව විසින් දුගී ජනතාවට ප්‍රචණ්ඩත්වය යොමු කර ඇත.

මෙමගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ප්‍රචණ්ඩ ආකාරයක් ගෙන ඇත. 2011.11.18 වන දින අයවැය විවාදයේ දී විධායක ජනාධීපතිවරයා ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය ද ඉතාම ප්‍රචණ්ඩය. හිතුවක්කාරය. තම නායකයා ඉදිරියේ ගෝල බාල මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ඉතාම නින්දා සහගතය.‍ විධායකයේ බල මහිමය මත ව්‍යවස්ථාදායකය රූකඩයක් බවට පත්කොට වෘත්තීය වෙළෙන්දන් ජාවාරම් කරුවන්, නූගතුන් පාතාල සාමාජිකයන් විවිධ අපරාධකාරයන් කොමිස් මැරයන් ව්‍යවස්ථාදායකත්වය නියෝජනය කිරීම කැරලිකාරිත්වයකි. ප්‍රචණ්ඩත්වය යෙදීමකි. මහජන ආයතනවල ගෞරවය කෙළෙසන මෙම වන්දි භට්ටයින් සිදු කරනු ලබන්නේ සමාජමය විනාශයකි. රටම වැනසීමකි. මෙහි ප්‍රතිඵල වන්නේ ජන සමාජය ද ප්‍රචණ්ඩත්වය වැළඳ ගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විට එය නැවත ලබා ගැනීමට ඇත්තේ ද ප්‍රචණ්ඩත්වය යෙදීම පමණකි. ලිබියාවේ ගඩාපි විරෝධී අරගලය මතු වන්නේ ගඩාපි මගින්මය. මර්දනය හා කුලී හමුදා යෙදවීම මගිනි. ලිබියානු හමුදා සහ හමුදා නායකයින් ලිබියානු ජනතාවට වෙඩි තැබීමට අකැමැත්ත ප්‍රකාශ කළාය. දරදඬු නූගත් ගඩාපි කුලී හමුදා උපයෝගී කරගෙන මර්ධනය දියත් කිරීමට යාමෙන් ගඩාපිට අවසානයේදී සිදු වූයේ බෝක්කුවක් යට සැගවීමටත් ඇඳුම් නැතිව ගුටිකෑමටත් මහපාරේ ඇදගෙන යාමට ඉඩ දීමටත් අවසානයේ වෙඩි කා මරු තුරුලට යාමටත් තමාගේ හිතුවක්කාරී පාලනය තමාටම බල පෑවේය.

රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය අතර අද විශාල පරස්පරයක් දක්නට ලැබේ. අනෙක් අතට රටක මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔවුන්ගේ ආචාර ධර්ම පද්ධතියක් අනුව ස්වයංවරයක් තුළින් යාමට ඉඩ නොදීමෙන් ද රටවල්වල මහා විනාශ සිදුවේ. එසේ යාමට ඉඩ නොදෙන්නේ පාලකයෝය. ටියුනීසියාවේ ආණ්ඩුව පෙරලගෙන ලිබියාව දක්වා කැරලි පැන නැඟුනේ මිනිසුන්ගේ තොරතුරු ගලා ඒමට ඇති මාර්ග යම් යම් නීති දමා ඇහිරූ නිසාය. ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට බාධා ඇති කළ විට ඔවුහු වෙනත් මාර්ගවලින් තොරතුරු සොයති. ප්‍රසිද්ධ මාධ්‍යය කියන දේට වඩා පොදු නොවන රහසිගත මාර්ගයකින් ඇසෙන තොරතුරුවල විශාල සත්‍ය බවක් ඇතැයි පිළිගැනීමේ ප්‍රවණතාවයක් අද වන විට ලෝක පරිමාණයෙන් දක්නට ලැබේ.

මේ අන්දමට බලන කල ලොවේ කිසිදු රටකට පොදුවේ ගැලපෙන මාධ්‍ය සදාචාර ධර්ම පද්ධතියක් සකස් කරනවා යනු මිත්‍යාවකි. ඒ මන්ද ජනමාධ්‍ය සදාචාරය යන්න එරට ජන විඥානය සමඟ ගැලපිය යුතුය. සමාජ සාරධර්ම සමග ගමන් කළ යුතුය. රටවැසියාගේ ආර්ථීක තත්ත්වය නිදහස සමඟ ජන විඥානය ගමන් කරයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය සෑම අහුමුල්ලක්ම ආක්‍රමණය කර හමාරය. ජන මාධ්‍යයට ද විලංගු වැටෙන්නේ එහි ප්‍රතිඵලයකිනි. අද දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් බැට කන්නේ විපක්ෂය පමණක් නොව බලය ඇති පක්ෂයේ පිරිස්වලට වුව ද කොයි මොහොතේ මරණීය ව්‍යවසනයක් සිදු වීමට ඉඩ තිබේ. මේ නිසා දේශපාලන සදාචාරයක් ඇති නොකර පක්ෂය හෝ කණ්ඩායම දිගුකාලීන පැවැත්මක් ගැන සිතිය නොහැකිය. කෙසේ වුව ද සියල්ල දේශපාලනීකරණය වූ රටක පැන නගින සකලවිධි අර්බුදවලට විසඳුම දේශපාලනය තුළින්ම සොයා ගනු විනා ඉන් පිටත මගක් සොය‍ා යාම නිශ්ඵලදායකය.

ජ.වි.පෙ. කීපදෙනෙක් කණ්ඩායමක් ලෙස ඉන් ඉවත්වීමත් සමඟ ඒ පිළිඳවත් ජ.වි.පෙ. පිළිබඳවත් එහි අතීත ගමන් මඟ පිළිබඳවත් අද කතාබහට පත් වී ඇත. ජ.වි.පෙ. මෙම ප්‍රවණතාවය එහි ආරම්භයේ සිටම පැවතීම සැබෑ ලෙස ධනේශ්වර අර්බුදය ඉරිතලා ගොස් හමාරය. නමුත් එම අසමගිය හා වමේ කඩා වැටීම අප ඉදිරිපිට පෙන්නුම් කරයි විප්ලවයේ ගමන් මග සම්බන්ධ වූ ‍මෙම අරගලය 1971 දීත් (අරගලයට පෙර) පුපුරා ගොස් තිබී 1971 පහරදීමට ගත් තීරණය පිළිබඳව එකඟතාවයක් ද නොතිබිණි. නැතිනම් වැල්ලවාය පොලීසිය අප්‍රේල් 4 පහරදීම එය සනාථ කරයි‍. සමාජ විප්ලවයේ කාර්යභාරය අප තේරුම් නොගත් අතර ඒ සඳහා අප තවම අසලකටවත් ගොස් නැත. කාර්යභාරය පසෙක තිබිය දී ක්‍රියාමාර්ග දක්වා තවත් වරක් ගමන් කිරීම සඳහා ජ.වි.පෙ. තුළ ඇති වූ දරුණු මතවාදී අවසන් වන්නේ පරාජය වූ කණ්ඩායම කැරළි කණ්ඩායමක් ලෙස ඉවතට විසිවීමය.

ජ.වි.පෙ. තෙවන වර ගොඩ නැගීමේ දී විමල් කළ කාර්යභාරය සුළුපටු නොවේ. විමල් පුරුද්දට ජාතිවාදී නොවුවා නම් විමල් අසලින් සිට ගැනීමටවත් ප්‍රචාරකයෙන් වමේ ව්‍යාපාරයේ තවම නැත. ජාතිවාදී වීමද ඔහු දක්ෂිණාංශික පිලී පැනීමක් වූ අතර ඔහු ජ.වි.පෙ. තුළ කළ මතවාදී අරගලය පරාජය වී ඉවත්වීමත් ජ.වි.‍ෙප. තුළ අති වාමාංශික පීලි පැනීමට ඉඩ ලබා දුන් බව මාගේ අදහසයි. විජේවීරයන් අපට හමුවෙමු. අපි ඔහු ආශ්‍රය කළෙමු. ඔහු වරෙක අපි සමඟ සිනාසුනෙමු. තවත් වරක අමනාප ද වූයෙමු. අපි සංවාද කළෙමු. ඔහු ද සංවාදයට සහභාගී වුනෙමු. ‍ඔහු කොතරම් අතිදක්ෂ සංවිධායෙකු වූවත් තීරණ ගැනීමේ දී දෝලනය විය. ඒ ඇයි දැයි මාගේ දැනීමේ හැටියට පිළිතුර නම් 1971 අරගලය විසින් ඇති කළා වූ කම්පනය පක්ෂයට දරා ගත නොහැකි වී තිබීමයි. 1983 කළු ජූලිය ඇති වූ විට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විදේශ රටකට යෑමට ‍මොන තරම් අවස්ථාවන් තිබුණත් ව්‍යාපාරය අතහැර දමා යාමට ඔහු අකැමැති විය. තීරණ තීන්දු නොගත්තත් තමාගේ වගකීම ඔහු දැරීය. සැබෑ ලෙසම ඔහු ශ්‍රේෂ්ඨයෙක්ම විය. ජාත්‍යන්තර හා ජාතික දේශපාලන වූ දෝලනය ඔහු තේරුම් ගෙන තිබුණි. ඔහුට වැරදුනේ තීන්දු නොගැනීම තුළය. නමුත් ගත් තීරණවල ප්‍රතිඵල ගැන සිතන විට ද ගෝලිය ක්‍රමය තුළ ඒකීය තීන්දු ගත හැක්කේ පට්ටපල් මෝඩයන්ට පමණි. අධිරාජ්‍යවාදය වියපත් වී මරණාසන්න වී ඇති මොහොතක මරණින් බේරීම සඳහා ගෝලිය තත්වයක් ගොඩනඟා ඇති අවස්ථාවක ලෝක විප්ලවයකට අද උරුමකම් කියන සමාජවාදීන් අධිරාජ්‍යවාදයේ සියළු පීඩනය හා බර අප මත මුදා හැර ඇති අවස්ථාවන් උන් එනම් අධිරාජ්‍යවාදීන් පළමුව කඩන්නේ වමේ සමගියයි. ජාත්‍යන්තර සහෝදරත්වයයි.

වම ප්‍රගතිශීලි ප්‍රතිගාමිත්වයට හා පාලක කණ්ඩායම්වලට එරෙහිව අරගලවලට නායකත්වය දිය යුතුය. නමුත් අපහසුම දෙය නම් පක්ෂ භේද පාලනය තුළ පීඩනය බෙදා වෙන්කර ඇති අවස්ථාවක කම්කරු පංතිය අවස්ථාවාදී කර ඇති අවස්ථාවක ව්‍යවස්ථාදායකත්වය නාමිකව පවතින අවස්ථාවක සියලු බල කේන්ද්‍රයන් තමා අතට ගත් විධායකත්වයක් ඇති රටක, අහෝසි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලු සමාජයටම නැවත ලබා දීම සඳහා සටනේ පළමු බල ඇණීය විය යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාවකට ප්‍රජාතන්තුවාදී අයිතීන් ලබා ගැනීම අද දවසේ පළමු කාර්යභාරය වේ. ඒ සඳහා ප්‍රචණ්ඩත්වය හා කැරලිකාරිත්වය පරදා ජන අරගල වීදි සටන් බහුලව උද්ඝෝෂණ ඇති කර පළමුව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගමු. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම ආයුධ ලෙස භාවිතා කරමු. අවසාන වශයෙන් අපි විමල්ටත් කන් දෙමු. “වම නොදන්නා වමේ අවුල අපිත් ලිහමු” 1994 චන්ද්‍රිකා බලය ගත්තෙත් 2005 දී මහින්ද බලයට ආවෙත් වම හා වමේ සටන්පාඨ පාවිච්චි කරමිනි. අධිරාජ්‍ය ගැති ලේබලය සමගින් ඊළාම් ලේබලය අලවා රනිල් පලවා හරින්නේ වමේ කඳවුරයි. එදත් අදත් බෙදී ඇති වම තවත් බෙදෙන වම 1971 දී සමගි පෙරමුණ බලයට ගෙන ඒමත් 1956 දී බණ්ඩාරනායක බලයට ගෙනෙන ලදී.

ඔව් වමේ සහෝදරවරුනි, කො.ප. යත් සම සමාජයත් සමග වාසුත් විමලුත් පීඩිත පංති දෙමළ මුස්ලිම් ව්‍යාපාරයත් සමඟ වතුකරයත් එකට එකතු කරලීමටත් එමඟින් පීඩිත පංති ජනතාවගේ ජාතික වැඩ පිළිවෙලක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ඉටු කරන ප්‍රතිඵත්ති සමගියට පැමිණ නව ලොවකට අළුත් රටකට අවශ්‍ය පදනම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් යටතේ නායකත්වය ලබා දී අවුරුදු 62 ක් බලයට පත් කර අධිරාජ්‍ය ගැති ධනවාදී ප්‍රතිඵත්ති ගෙන යන මේ විධායකය පන්නා දැමීම සඳහා ව්‍යවස්ථාදායකත්වයට බලය ලබා දෙමු. දෙවනුව ව්‍යවස්ථාදායකත්වය ශක්තිමත් කරලීමේ ඒකාධිපති වියරුව පරදවමු. ඒ සඳහා සමගිය බලය සංවිධානය වීම තුළින් ජනතා උද්ඝෝෂණය මගින් විධායක ජනපති ක්‍රමය පරාජය කර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සත්‍යයට ගරු කරන නැති බැරිකම් පරාජය කරන කාටත් සමසේ ජීවත්විය හැකි සාධාරණ සමාජ ක්‍රමයක් සඳහා වීදි බසිමු. අරගල කරමු. ඒ මගින් ඇති වී ඇති සියළු අයිතීන් ලබා ගමු.

බෙදනවා වෙනුවට එක්වෙමු. ශක්තිය ධෛර්යය සමගින් ජනතා රජයක් ගොඩ නැගීමට දායක වෙමු.

- අසේල වික්‍රමසිංහ.