Tuesday, December 21, 2010

සම සමාජ මුවා මරා මහින්දට පිදූ තිස්සලා


ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික හා හිටපු විද්‍යා තාක්ෂණ කටයුතු භාර ඇමතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාට මෙවර තම ඇමති ධුරය වෙනුවට ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිකමකි. නමින් ජ්‍යෙෂ්ඨ වූවාට එම ඇමතිකමට අදාල විෂයක් හෝ අමාත්‍යාංශයක් නොමැති නිසා අඩුම තරමේ තමාට කාර්යාලයක්වත් නොමැති නිසා මෙම ජ්‍යෙෂ්ඨ ඇමතිධුර ලබා දුන් හිටපු ඇමතිවරුන්  වික්ෂිප්තභාවයට පත්ව ඇත. ඔවුන්ගේ කාර්යයන් ලෙස අනිකුත් කැබිනට් හා එසේ නොවන අමාත්‍යාංශවලට උපදේශකත්වයන් ලබා දීමක් කළ හැකි බව පැවසුවද එහි ද කළයුතු නිශ්චිත කාර්යයක් සංගතව ඉදිරිපත් කර ‍නොමැත. අමාත්‍යාංශයක් හෝ යම් විෂයක් යටතේ පවරා දෙන ඇමතිධුරයක වගකීම, රටට වැඩක් කිරීම යන අදහස කුමක් වුවද ඇමතිධුරය නිසා තමන්ට පුද්ගලිකව ලැබෙන වරප්‍රසාද වලට අමතරව පක්ෂයටද ප්‍රතිලාභ ලබා ගැනීම සඳහාද එය යොදා ගත හැකිය.  සන්ධාන ආණ්ඩුවට  සම්බන්ධ පක්ෂ සඳහා කැබිනට්, නොවන කැබිනට් හෝ නියෝජ්‍ය ඇමතිකම් ලබන එම පක්ෂ විසින් තමන්ට උදව් කළ පාක්ෂිකයින්ගේ හා හිතවතුන්ගේ අවශ්‍යතා සඳහා එම නිලයන්ගේ බලය පාවිච්චියට යොදවා ගනිති. ටෙන්ඩර්, පර්ම්ට් හා වෙනත් වරප්‍රසාද මෙහි දී දැකිය හැකිය.

සම සමාජ පක්ෂය ද තම හිතවතුන් පාක්ෂිකයින්ගේ අවශ්‍යතා හා උවමනා එපාකම්වලට උදව් කිරීමට තම පක්ෂයට ලැබුණු කැබිනට් ඇමතිධුරය දේශපාලනිකව යොදා ගත්හ. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (ජනාධිපතිධූර කාලය දිගු කර ගැනීම) අවු. 32 ක් පුරා විරුද්ධව සිට සම සමාජ පක්ෂ හා කො.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුව එයට එකඟ වූයේ තම පක්ෂවලද එයට විරුද්ධ මතයක් ගොඩ නැ‍ඟෙමින් තිබියදීම ය. මහින්ද රාජපක්ෂ ද තිස්ස විතාරණලාගේ මෙම ක්‍රියාව නිසා පුදුමයට පත්වු බව ද කියවේ.  ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්ෂ ජනාධිපතිධුර කාලය දිගු කිරීම සම්බන්ධ විරෝධය දිගටම පවත්වාගෙන ගියේ නම් එයට විරුද්ධව ඡන්දය ද පාවිච්චි කළේ නම් වුවත් සන්ධාන ආණ්ඩුවේ 2/3 කොහොමටත් ලැබීමට නියමිතව තිබුණි. මහින්දට එය ප්‍රශ්නයක් වන්නේ ද නැත. අනාගතෙන් බලා වාමාංශික පක්ෂවල විරෝධය එලෙසම පවත්වා ගනිමින් ජනාධිපතිධුර කාලය දිගු කිරීමට විරුද්ධ ඡන්ද ද සන්ධාන ආණ්ඩුව තුළම තබා ගත යුතු බවට මහින්ද කල්පනා කළා විය හැකිය.  

සම සමාජ පක්ෂ සම්මේල‍නයේ දී පක්ෂය 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  විරුද්ධ ඡන්ද 60 ක් ලැබුණු අතර තිස්ස විතාරණලාට පක්ෂව ඡන්ද 300 පමණ හිමිවිය. මෙම ඡන්ද ලබා දුන් අය සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබා තිබුණ ද ඉන් බොහෝ අය සම සමාජ ප්‍රතිපත්තිවලට වඩා පුද්ගලිකව තිස්ස විතාරණ ඇමතිවරයා හරහා ලබා ගත් රැකියා හා වෙනත් උදව් මත සම්මේලනයේ දී ඡන්ද ලබා දුන් අය බව දැන ගන්නට ලැබිණි. සමහරුන් සම්මේලනයේ දී සර්, මැතිතුමා, වැනි වචනවලින් තිස්ස විතාරණ සහෝදරයාට කළ ඇමතුම් නිසා ඔවුන්ගේ සම (අ) සමාජ බව පෙන්නුම් කළේය.

ඉදිරියේ දි තිස්ස විතාරණලාට ඇමතිකම්වල වරපුසාද වලින් සම සමාජ  පක්ෂයට බලය පෙන්වීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ නිසා අහෝසි වී ඇත. එම නිසා ලබන වර සම සමාජ පක්ෂ සම්මේලන ප්‍රතිපත්ති තීන්දුවලට වැඩි ඡන්ද බලපෑම අඩුවිය හැකි වීම සාධනීය දෙයක් වනු ඇත.

මෙවර තිස්ස විතාරණලාට පඩිසන් දුන්නේ තමන් පක්ෂ සම්මේලනයේ දි සිදුකල ඇමති හයියේ ක්‍රියාවන්ය ( කරුමයන් ගැන සම සමාජ ප්‍රත්පත්ති ගරුක සාමාජිකයන් විශ්වාස නොකලද) ක්‍රියාව තමා පසුපසම එන බවෙහි ඇති සමාජ විද්‍යාත්මකව තේරුම් ගැනීමක් කරන්නේ නම් පල දී ඇත්තේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය බව තේරුම් ගත යුතුය.


මැක්කා.

No comments: