Monday, February 28, 2011

එළාරට ප්‍රභාගේ මව හමුවෙයි. දුටුගැමුණු කදුළු සලමින් ඉකිබිඳියි.


ප්‍ර/මව/   මම මැරුණු දවසේ රාත්‍රියේ බල්ලන් තුන් දෙනෙක් මරල මගේ සෙ‍හොනෙ දමල ගිහිල්ල තිබුණ.

එළාර/ වැරදි ගණනාවක් කරල තියෙනව. මාතෘත්වය නොසැලකීම. සත්ව හිංසාව, මිනියකට ගරු ‍නොකිරීම, මනුෂ්‍යත්වයට නිගා කිරීම, මේක වැරදි ආදර්ශයක්.

ප්‍ර/මව/ මගේ මිනි අළු ටික ගෙනියන්න බැරි විදියට සෙහොන උඩ බුල්ඩෝසරයක් යවල විනාශ කරලත් තිබුණ.

එළාර/ මගේ සොහොනට කිසි දෙයක් සිදුවුනෙ නැහැ. ඒක හැදුවෙත් දුටුගැමුණු, යන එන හැමෝම මම දැක්ක මගේ සොහොන ළඟදි ඒ අයගේ හිස් වැසුම් පවා ඉවත් කරනව.

ප්‍ර/මව/ ඒක තිබුනේ ඒ පැත්තෙනෙ. මෙහේ තිබුණ නම් වෙන සොහොන් වගේම ඒකත් බුල්ඩෝසර් කරල මුහුදට තල්ලු කරල දානව.

එළාර/ අපි ද්‍රවිඩ සම්භවයක් ඇති අය. අවිහිංසාවාදය අපේ පරම ආයුධය අපේ සම්ප්‍රදායේ අපට උදව් කරන සතෙක්වත් මරන්නෙ නැහැ.

ප්‍ර/මව/ මගේ පුතාගෙ සංවිධානයෙන් ඒ සියල්ලම වෙනස් වුනා. යුද්ධයේදි විතරක් නෙවෙයි. යටත් වුණු බොහෝ අයව පවා එයාගෙ සංවිධානයෙන් මරල දැම්මා. බිමට බැහැල යුද්ධ කරන්න පෙර පැරෂුට්වලින් අහසේ සිට බහින හමුදාවේ අයටත් එයා වෙඩි තිබ්බා.හරියට සුදු කොඩි අරගෙන යටත් වෙන්න ආපු කට්ටියට වෙඩි තිබ්බ වගේ.

එළාර/ මම කවදාවත් එහෙම කරල නැහැ.මම අවු. 44 ක් පාලනය කළා. බෞද්ධ හෝ වෙනත් ආගමික අජීවී පුරා වස්තු කැටයමක්වත් විනාශ කරන්න දුන්නෙ නැහැ.අත් වැරදි කරපු මගේ පුතාටත් මම දඬුවම් දුන්න.

ප්‍ර/මව/ දුටුගැමුණු  හොඳ කෙනෙක් වෙලා එයාගෙ මුණුපුරෝ ඇයි මෙහෙම කරන්නෙ.

එළාර/ අපි අතර සිංහල දෙමළ කියල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මගේ හමුදාවේ වැඩිපුර හිටියෙ සිංහල අය. දුටුගැමුණුගෙ වැඩි හරියක් දෙමළ.

ප්‍ර/මව/ ඇයි දැන් සිංහල අසාධාරණ අයත් දුටුගැමුණුව ඔච්චර උඩ දාන්නෙ. ප්‍රභා නම් ඔයා ගැන කිසි දෙයක් කිව්වෙ නැහැනෙ.අපි එච්චර ගණන් ගත්තත් නැහැ ඔයාව.

එළාර/ ඉස්සර ප්‍රශ්න නෙවෙයි දැන් ප්‍රශ්න. අපේ කාලෙත් දුටුගැමුණුට යුද්ධ කරන්න උවමනාවක් තිබුනෙ නැහැ. කාවන්තිස්ස, ගැමුණුගෙ තාත්තා ඒ පැත්ත පාලනය කළා. හරිම හොඳ යහපත් මනුෂ්‍යයෙක්. මම මේ පැත්තෙ හිටියෙ. මම "මහා විහාරයට" විශේෂ උදව් කළේ නැහැ. හැමෝටම එක විදියෙ සාධාරණත්වයක් ඉෂ්ට කළා. ඒ අයට ඒක දිරෙව්වෙ නැහැ. විහාර මහා දේවි උපාසකම්මවත් ඒකට පොළඹවගෙන තමයි, ගැමුණුව form කළේ. පන්සල්වලින් තමයි එදා වගේ ම අදත් සිංහල දෙමළ කියල මේ ප්‍රශ්ණ වැඩි කළේ.

ප්‍ර/මව/ මම දන්නව. ඔයාගෙ ගතිගුණ අපේ එකාට ගෑවිලවත් තිබුණෙ නැහැ. ඔයා වගේ හොඳ කෙනෙක් එක්කත් ඒ අය ගහගත්ත එකේ අපේ වසවර්තිය එක්ක යුද්ධ කරපු එක අහන්නත් දෙයක්ද?

එළාර/ මම අහල තියෙනව ඔයාගෙ පුතා ගැන. එයා හරි හිතුවක්කාරයලු නේද? තමන්ගෙම අය කියපු දේවල් පවා එයා ගණන් ගත්තෙ නැහැ. ගැමුණු දිගටම යුද්ධ කරගෙන එනකොට, ඇතිවෙන දේපල, ජීවිත විනාශ‍යේ තරම අත්දැකීම් තියෙන රජෙක් විදියට මම දැක්ක. ඒකයි මම ඉස්සරහට ඇවිල්ල කිව්වෙ අපි දෙන්න විතරක් සටන් කරල දිනන කෙනාට දිනුම දෙමු කියල.

ප්‍ර/මව/ ගැමුණු ඒකට කැමති වුණාද?

එළාර/ ඔව්! මට එතකොට වයස අවු. 74යි. ගැමුණුට අවු.34යි. නාකි මමනේ අකමැති වෙන්න ඕනා. ඒත් මම කැමති වුනා.

ප්‍ර/මව/ හැබැයි ඒ කාලෙ එහෙමනෙ යුද්ධ කරන්නෙ.

එළාර/ නැහැ. යුද්ධය වේලාසනින්ම ඉවර කරන්න මට ඕන වුනා. අවු. 44ක් ගොඩ නැගුව නුවර මගේ ඇස් ඉදිරිපිටම විනාශ වෙනව දකින්න මට ඕන වුනෙ නැහැ.අනික දෙපැත්තෙම ජීවිත.

ප්‍ර/මව/ අපේ එකා ඔය එකකටවත් කැමති වුනෙ නැහැ.. ඒකටත් හේතු තියෙන්න ඇති. අපිව හැමදාමත් රැවට්ටුවලු, මගදි කිසි දෙයක් ලැබෙන්න නැති බවත් එයා කිව්ව.

එළාර/ ලැබුණු දේවල් ඔක්කොමත් විනාශ වුනා නේද?

ප්‍ර/මව/ දැන්බෝලෙ තියෙන්නෙ යුද්ධය ඉවර කල අනිත් පැත්තෙනෙ. ඒගොල්ලන් දැන් දේවල් කරන්න ඕන.
එළාර/ ඒක තමයි ගැමුණුගෙයි දැන් ඉන්න උන්ගෙයි තියෙන වෙනස. ගැමුණු යුද්ධෙන් පස්සේ  හරිම කණස්සල්ලෙන් හිටියෙ. නැති වුණූ ජීවිත ගැන. ඒක ඇත්තටම මිනිහෙකුට බලපාන දෙයක්. ඒකයි යුද්දෙන් කිසි කෙනෙක් දිනන්නෙ නැහැ කියන්නේ. ගැමුණු ඒ තත්වයත් එක්ක, මගේ සෙහොනෙන් පටන් ගත්තම තවත් විශාල දේවල් කළා. සාධාරණ රජෙක් විදියට. රුවන්වැලිසෑය හදල ඒකෙ කොටසක සුළු ජන වර්ගයක් වූ "ගාඩි වංශිකයන්ගේ"ගේ පූජා වස්තු තැන්පත් කිරීමට චෛත්‍යයෙම කොටසකුත් වෙන්කරා. ‍වතාවත්වලටත් ඉඩ සැලසුව. ඒ අයගෙ ඇදහිල්ලක් වු රත්නමාලි රුක්දේවාතාවියගෙ නම චෛත්‍යයට දැම්ම. හරියට කසාදයක් කර ගත්තෙත් නැහැ. රජකම දෙන්න පරපුරක් හැදුවෙත් නැහැ.. යුද්දෙන් පස්සේ එච්චරටම එයා හොඳ වුනා.

ප්‍ර/මව/ දැන් ඉන්න පාලකයො සාධාරණ නොවෙන හින්දද අපට කිසි දෙයක් ලැබෙන්නෙ නැත්තෙ. අඩුම ගානේ අපේ සොහොන් වලටවත්.

එළාර/  ඒගොල්ල කල්පනා කරන්නෙ මැරිලත් ඒ අයගෙ සොහොන් විතරක් තිබුණම ඇති කියල. දුටුගැමුණුට සොහොනක්වත් නැහැ. ඒ තරමටම එයා සැබෑ අර්ථයෙන් අල්පේච්ඡ බෞද්ධයෙක් වුනා. තණ්හාව නැති කර ගත්ත. මේ ළඟදි දවසක එයා දිව්‍ය ලෝකයක ඉන්නව මට හමුවුනා. මං ඇහුව ඇයි ළඟදි ආවේ කියල. එයා කිව්ව, මැරුණු ජීවිත නිසා අපායෙ මෙච්චර කල් ඉන්න වුනා කියල.

ප්‍ර/මව/ ඇයි හාමුදුරු කෙනෙක් දුටුගැමුණුට කිව්වෙ යුද්දෙන් මැරු‍ණෙ ජීවිත 11/2 ක්  විතරයි කියලා නේද?

එළාර/  බුදු බණ නොවෙයි ඒ යුද බණ. ඒ ලණුව කාලා තමයි එයා හිටියෙ. හාමුදුරුවො බණ කිව්වට දඬුවම් දෙන්නෙ වෙන කට්ටියක්නෙ. ඒගොල්ලො එක එක පැතිවලට අදින්නෙ  නැහැ. ගැමුණුට දඩුවම් විඳින්න සිද්ධ වුනා. වෙන අය කිව්ව දේවල් දිගටම ඇහුව නම් එයා තාමත් අපායෙ. පස්සෙ එයාම හිතල කරපු දේවල් නිසා තමයි එයා ගොඩ ගියෙ.

ප්‍ර/මව/ අපේ පුතා කොහේ ඉන්නව ඇතිද?

එළාර/ යුද්ධ කරපු උනුයි, උන්ට උඩ ගෙඩි දීපු උනුයි කවද්ද දිව්‍යලෝකවල ගියෙ.  අවි  ගත්තෝ අවියෙන් නැසෙති කියල තමයි බුදුන් දේශනා කළේ. ඒත් මේ යුද්ධ වලින් වැඩියෙන්ම මිය ගියේ අවි නොගත්ත අයමයි.


              -  මුණසිංහ

Wednesday, February 23, 2011

තරුණ “කාල් මාක්ස්” තම පියාට යැවූ ලිපිය

අවුරුදු 17 ක තරුණයෙක් ව සිටි මාක්ස් තම පියාට ලියන ලද සාහිත්‍යමය ලිපියක දේශපාලනික කියවීමකට යොමු කිරීමක් සහිතව ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් පරිවර්තනය කොට ඇත. මාක්ස් ගේ දැනුම හා අත්දැකීම් කැටිකර ගත් මේ ලිපිය එම වයසේ අය පමණක් නොව ඕනෑම විෂයක් ගැන දැනුමක් ඇති පරිණත අයෙකු තුළ වුව ද ආකර්ශණයක් ඇති කරයි. එහෙත් එහි අවදානම ඇත්තේ මාක්ස්ට නිසඟයෙන් වූ උරුමයක් ලෙස එය මාක්ස්වාදීන්මත් සමහර විට සිතන නිසාය. තරුණ හේගල්වාදියෙකු වූ මාක්ස් හේගල් ගේ දාර්ශනික සීමාව ලකුණු කළේ තමන් තුළ තිබූ ශක්‍යතාවයන් තම කියවීම් හරහා පෝෂණය කර ගත් නිසාය. මානුෂිකවාදයක් සමඟ කලවම් කර තිබූ මාක්ස්වාදය විද්‍යාවක් ලෙස වෙන් කර ගෙන තරුණ මාක්ස් හා පරිණත මාක්ස් අතර ඉරක් ගසා වෙන් කළේ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සිටි ලුවී අල්තුසර් නැමති මාක්ස්වාදී  රචනාවන් කළ දාර්ශනිකයාය. ප්‍රාග්ධනය හා එහි ක්‍රියාකාරිත්වය ගැන මාක්ස් තරම් සියුම්ව හා ගැඹුරට අදහස් දැක් වූ කිසිවෙක් ඒ වන විට මුළු යුරෝපය පුරා නොසිටියේය. තරුණ මාක්ස් කවිය, සාහිත්‍ය ගැන බොහෝ දේ ලිවීය. මෙම පරිවර්තනයේ ඇති ‍සියළු කලාවන් ජෙනී තරම් නොවේ යන්න ලෙස ලිවීමට මේ තරුණ මාක්ස් ජෙනීගේ ආලයෙන් ප්‍රකම්පිතව සිටියේය.
 අනාගත ඝණ (ප්‍රජා) සමාජයේ සාමූහිකත්වය ගැන මාක්ස් විසින් කළ රචනාවල විද්‍යාවේ කොටස මෙන්ම එහි සෞන්දර්යයේ කොටසක් ද දැකිය හැකිය. එම සෞන්දර්යය පරිණත මාක්ස් විසින් තරුණ මාක්ස්ගෙන් ගත් සුසංයෝගයක් වී තිබීම නිසා වියළි ලෙස අර්ථකතනය කළ මාක්ස්වාදයේ අනාගත දිශාව සෞන්දර්ය ලෙසත් සංකල්ප ගත කර ගැනීමේ අවස්ථාවක් ඇති කර ගත හැකිවේ.        
                                                                                                                     
          ධනේෂ්වර සමාජය විප්ලවකාරී ලෙස පෙරළා දැමීමේ අපෝහක භෞතිකවාදී විග්‍රහය ඉදිරිපත් කරනු ලැබූ චින්තකයා ලෙස කාල් මාක්ස් ඉතිහාසයට එකතු වී තිබේ. ඔහු ගැන විවිධ නිර්වචනයන් ලබා දෙන සමහරුන් හඳුන්වන්නේ කාල් මාක්ස් දාර්ශනිකයෙක් විද්‍යාඥයෙක් හා චින්තක‍යකු ‍ෙලසයි. මේ නිර්වචනයන් කෙසේ වුවත් මාක්ස්  විප්ලවවාදි‍යෙකු ලෙස අර්ථගැන්වීම වඩාත් නිවැරදි යැයි සිතමු.

            කාල්මාක්ස් තරුණ වියට එළඹීමත් සමඟ තම පියාට ලියා තැබූ ලිපිය කියවීමෙන් එම ප්‍රඥයාගේ දැනුම් සම්භාරයේ පෙර නිමිති සළකුනු වී තිබූ බව පෙනේ. පහත සඳහන් වන්නේ කාල්මාක්ස් වයස අවුරුදු  17 දී තාත්තාට ලියා ඇති ලිපියයි.
                                                                                                                                                           
ආදරණිය පියාණෙනි,

කිසියම් යුගයක සීමාවන් හා ඒත් සමඟම  නව දිශෘවකට පැහැදිලිවම මෙහෙයවන්නා වූ අවස්ථාවන් නැතිනම් මොහොතවල් ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ දක්නට ලැබීම ස්වභාවිකය.

එබඳු සංක්‍රමණීය අවස්ථාවක දී අපේ සැබෑ තත්වය හඳුනා ගැනිම සඳහා චින්තනයේ උකුසු ඇසින් වර්තමානය පිරික්සීමට අපි පෙළඹෙන්නෙමු.  ආපසු ගමන් කරන ලෙස හෝ එක තැන නිශ්චලව තිබෙන්නා සේ පෙනෙන මෙම තොග ගණන් ගැනීමට (stocktaking) නැතිනම් අන්තරාවලෝකනයට, එසේත් නැත්නම් ආත්ම පරීක්ෂාවට ඉතිහාසය පවා කැමැත්තක් දක්වයි. එහෙත් මෙහි දී  සිදුවන්නේ හුදෙක් එය තමන්ව ඇඳි පුටුවක හිඳුවා තමන් තේරුම්  ගැනීමට හා තමන්ගේම මානසික ක්‍රියාවලිය බුද්ධිමත් ලෙස තේරුම් ගැනීමට වෑයම් කිරීමකි.

කෙසේ වෙතත් ඕනෑම පුද්ගලයෙක්, එවන් මොහොතක භාවගීතමය (lyrical) තත්වයකට පත් වෙයි. ඊට හේතුව නම් සෑම වෙනස් වීමක්ම තවම එතරම් පැහැදිළි නැති එහෙත් දීප්තිමත් වර්ණවලින් සැරසී මතුවීමට තතනන වීර වාක්‍යයක (epic) අවසාන හංස ගීතය (Swan Song) හෝ ප්‍රාරම්භ වාදනය බවට පත්වෙයි. අපගේ අතීත අත්දැකීම්වලට, අයත් ක්‍රියාවන් තුළින් තමාට අහිමි වූ ස්ථානය අපගේ හැඟීම් නැත්නම් භාවයන් තුළ සොයා ගැනීමට ඉවහල් වන්නා වූ ස්මාරකයක් තැනීමට අපට අවශ්‍ය වෙයි. මෙම ස්මාරකය ගොඩනැගීමට අපගේ දෙමාපියන්ගේ හදවත්වලට වඩා සුදුසු වෙනත්පුජනීය ස්ථානයක් නොමැත. ඔවුහු ඉතාමත් කාරුණික විනිසුරුවෝය. ඉතාමත්ම  සුහද හිතවතුන්ය. ඔවුන් අපගේ උත්සාහයන්හි අභ්‍යන්තරය උණුසුම් කරන අග්නිජාලාවන්ගෙන් යුත් ආදරයේ හිරුය.

            අවශ්‍යයෙන්ම අත්‍යවශ්‍ය තත්වයන් යටතේ ඇති වූ ප්‍රතිඵලයක් වශ‍ෙයන් පෙනෙන අවස්ථාවකට වඩා ඉතාමත් පහත්, සමහරවිට නින්දනීය කටයුතුවලට සමාව හා නිදහස ලබා ගත හැකි මීට වඩා හොඳ ක්‍රමය කුමක්ද? එසෙත් නැත්නම් නිතරම අයහපත්, අහඹු සිදුවීම් හා සිතෙන් වන වැරදි විකෘති ආත්මයක නිෂ්පාදනයන් ලෙස සිතෙනු ලැබීමෙන් කෙනෙකු බේරෙන්නේ කෙසේද?

            මේ නිසා මම, මා මෙහි ‍ගත කළ පසුගිය අවුරුද්ද ප්‍රත්‍යවේක්ෂණය කරමි.  දයාබර පියාණෙනි, ඔබ එම්ස් (Ems)  හි සිට එවන ලද අනගි ලිපියෙහි විද්‍යා, කලා හා පෞද්ගලික යන සෑම අංශයකින්ම කුමුදිතවන බුද්ධීමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් නිරන්තරයෙන් වර්ධනය වන මගේ තත්වය සහ පෞරුෂය ද සළකා බලමින් පිළිතුරක් එවීමට මට අවසර දෙන්න.
 ජෙනී
            මා ඔබෙන් සමුගෙන ආවාට පසු, මා සඳහා නව ලොවක් ඉදිවීම ආරම්භ වූ අතර එය එයටම උරුම වූ අපේක්ෂාභංගත්වය හා ආශාව සමඟ පළමුව කරනු ලැබුවේ මගේ ආදර ලෝකය උදුරා ගැනීමයි. වඩා වෙනස් තත්වයන් යටතේ මට ඉමහත් සතුටක් ගෙන දීමට ඉඩ තිබූ බර්ලින් ගමන ඇත්ත වශ‍ෙයන් ‍ෙසාබාදහම අගය කරන ප්‍රමාණයට මා උද්වේගයට පත් කළා පමණක් නොව තියුණු ජීවිත ආශෘවකින් මා උද්යෝගිමත්කළේය. ඒ සමඟම එය මා දැඩි කම්පනයකට ද පත් කළේය. එපමණක් නොව, පුදුමයකට මෙන් එම ගමන මානසික වශයෙන් මා පීඩනයකට ද පත් කළේය. ඒ මන්ද යත් මා දුටු පාෂාණයෝ මගේ ආත්මයේ භාවයන්ට වඩා දැඩි සහ කර්කෂ නොවූ අතර ඒවා වඩා රළු නොවූහ. සුවිසල් නගර මගේ රුධිරයට වඩා ජීවයෙන් නොපිරුණි. අතරමග තිබූ අවන්හල් තුළ තිබූ මේස, මා කැටුව ගමන්ගත්  මගේ මන:කල්පිත මායාවන්ට වඩා පිරි තිබුනේ නැහැ.නොදිරවිය හැකි තත්වයක් එහි නොවීය. අවසන් වශයෙන් කිසිදු කලාත්මක නිර්මානයක් ජෙනී තරම් සුන්දර නොවීය. (ජෙනී වනාහි මාක්ස්ගේ පෙම්වතිය සහ පසුව ආදරබර බිරිඳ වූ කාන්තාවයි - පරිවර්තක)

            බර්ලින් නගරයට පැමිණියාට පසු එතෙක් කල් පවත්වාගෙන ආ සියළු සම්බන්ධතා බිඳ වැටීමෙන් කලාතුරකින් මෙන්ම අකැමැත්තෙන් වුවද මම යම් යම් ගමන් ගියෙමි. ඒ අතර විද්‍යා හා කලා විෂයයන්හි ගැඹුරු දැනුමක් ලබා ගන්නට ද වෑයම් කළෙමි.

            එකල පැවති මගේ මානසික තත්වය ගැන සලකා බලන කල් හි භාවගීත කාව්‍ය ( Lyric Poetry) මගේ පළමුවන ව්‍යාපෘතිය වීම වැළැක්විය නොහැකිවූවා පමණක් නොව එය ඉතාමත්ම ප්‍රියමනාප ළඟාවීමට පහසුම දේ බවත්, මට පෙනී ගියේය. එහෙත් මගේ ආකල්ප හා මගේ මුල්කාලීන වර්ධනයන් මගින් එය තනිකරම විඥානවාදී (idealistic) තත්වයට පත් කෙරිණ. මගේ දෙව්ලොව හා මගේ කලාව ද මගේ ප්‍රේමය මෙන්ම මට දුරින් වූ නැතිනම් ඈතින් තිබෙන දෙයක් බවට පත්විය. සෑම සත්‍ය දෙයක්ම බොඳ වී යාමටත් ඒවායේ සීමිත බව නැතිව යාමටත් පටන් ගති. මම වර්තමානයට පහර ගැසුවෙමි. පාලනයකින් හෝ අකෘතියකින් තොරව හැඟිම් ප්‍රකාශ කෙරුවෙමි. කිසිවක් ස්වභාවික නොවූ අතර සෑම දෙයක් ම සඳ පහනින් (Moon light) සෑදුනාක් මෙන් විය. පවතිනු‍ෙය් කුමක් ද? (what is) හා පැවතිය යුත්තේ කුමක්ද? (what ought to be) යන දෙක අතර පූර්ණ ප්‍රතිවිරෝධතාවක් ඇතැයි මම විශ්වාස කළෙමි. සමහර විට එක්තරා ප්‍රමාණයකට උනුසුම් හැඟිම් හා පිරී ඉතිරී යාමේ ආශාවක් තිබුණත් කාව්‍යමය සිතුවිලි අලංකාරාත්මක පරිකල්පයන් කෙරෙහි බලපාන්නට වූහ. මා මුල දි ජෙනීට යැවූ කාව්‍යය සංග්‍රහ තුනේම  ඇතුලත් නම්වල  ප්‍රධාන ලක්ෂණ මෙබඳු විය. සීමා මායිම් කිසිත් නැති දැඩි ඇල්මක සමස්ත ස්වරූපය නොයෙකුත් ආකෘතිවලින් ප්‍රකාශ වූවා පමණක් නොව කාව්‍යයේ පුළුල් බවක්ද එමගින් ඇති විය.

එහෙත් කාව්‍යය හුදෙක් අතිරේක කරුණක් පමණක් විය. මට නීතිය හැදෑරීමට සිදු වූ අතර අන් සියල්ලටම වඩා දර්ශනය අවබෝධ කර ගැනීමට මා උත්සාහ දැරිය යුතු විය. මේ විෂයයන් දෙකම දැඩි අන්තර් සම්බන්ධයකින් යුක්ත වූ නිසා මම හෛයිනෙමියස්, තිබෝ සහ වෙනත් මූලාශ්‍ර, පාසල් ශිෂ්‍යයෙකු මෙන්, සමහර විට අවිචාර පූර්වකව පරීක්ෂා කළෙමි. මේ අතරම පැන්ඩෙක්ටිගේ මුල් කෘති දෙක ජර්මන් බසට පරිවර්තනය කළෙමි. එසේම එම කාලය තුළ සමස්ත නීති ‍ක්ෂේත්‍රයම ආවරණය වන දර්ශනයක් ගොඩනැඟීමට ද වෑයම් කළෙමි. ඊට පූර්විකාවක් වශයෙන් අධිභෞතික ප්‍රස්තූත (metaphysical propositions) කීපයක් ඉදිරිපත් කළ අතර සමහර විට මේ පිටු තුන් සියයකින් යුත් අප්‍රසන්න කෘතිය පොදු නීතිය (Common Law) තෙක් ලිව්වෙමි.

මෙහි ද ප්‍රධාන හා විශේෂ ලක්ෂණය වුයේ විඥානවාදයේ (idealism) ආධිපත්‍යමය සහ විනාශකාරී ලක්ෂණය වන පවතින හා විය යුතු (is and ought) යන දෙක අතර විරෝධතාවයි. විෂය ක්ෂේත්‍රය පිළිබඳව මතු දැක්වෙන නිරර්ථක හා සාවද්‍ය බෙදීම පහළ වූයේ  මේ නිසාය. මා ඉතා උදාර ලෙස නීතියේ අධිභෞතික විද්‍යාව (Metaphysics of Law) යනුවෙන් නම් කළ දේ පළමුවැන්න විය. එනම්, ප්‍රධාන මූලධර්ම ප්‍රත්‍යවේක්ෂණයෙන් සැබෑ නීති සියල්ලෙන් හා සියලු ආකාරයේ ම සැබෑ නීතිවලින් වෙනස් වූ නිරුක්තීන් (ෆිෂේගේ කෘතිවල දක්නට ලැබෙන අන්දමේ එහෙත් මෙහි වඩා නූතන, හරය අතින් අඩු, කිසියම් විෂයයක් වටේ කැරකෙමින් ඒ පැත්තට මේ පැත්තට තර්ක නඟමින් ඒ විෂයයටම ඊට අයත් සාරවත් සජීවි ගුණාංග මතු කරන්නට ඉඩ නොදෙන කිසිදු දෙයකින්) ග්‍රහණය කිරිම වළක්වන, අවිද්‍යාත්මක ගණිත විද්‍යා මත මුලසිටම බල පෑ බවයි. ගණිතඥයා, ත්‍රිකෝණය ගොඩ නඟා එය ඔප්පු කරයි. එහෙත් එය අභ්‍යවකාශයේ ශුද්ධ වියුක්තයක් සේ පවතින අතර ඉන් ඔබ්බට එම ත්‍රිකෝණයේ වර්ධනයක් සිදු නොවේ. අනතුරුව එය වෙනත් දෙයක් අසලින් තැබිය යුතු මුත් එසේ කිරීමේ දී එය වෙනත් තත්වයකට පත්වන අතර එයට විවිධ සම්බන්ධතා හා සත්‍යන් ලබා දෙනු ලබන්නේ විවිධ දේවල් මෙසේ එකිනෙකට සමිපව තැබීමෙන් පමණි. නීතිය, රාජ්‍යය, ස්වභාවධර්මය පමණක් නොව සමස්ත දර්ශනයම අන්තර්ගත වන්නා වූ අදහස් පිළිබඳ සජීවි ලෝකයේ ප්‍රායෝගික ප්‍රකාශනය තුළ වස්තුවක් අධ්‍යයනය කළ යුත්තේ ඊටම අයත් වර්ධනය තුළින් මිස එයට හිතුවක්කාර බෙදීම ඇතුළත් කිරීමෙන් නොවන බව මම පසක් කර ගතිමි. ඒවා ඒවායෙහිම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් තුළින් දියුණු වී ඒවා තුළම ඒකීයභාවය සොයා ගැනීම සඳහා පදනම් විය යුත්තේ ඒ වස්තුවේම ප්‍රමාණය (raffia) මතමය. දෙවැනි කොටස නීතියේ දර්ශනයෙන් සමන්විත වූ අතර මා එකල දරූ මතයට අනුව, සාධනීය රෝම නීතිය (Positive Roman Law) තුළ අදහසවල වර්ධනය පිළිබඳ සාකච්ඡාවක් (එහි නිර්මල, නියත අර්ථය මම මෙයින් අදහස් නොකරමි) සාධනීය නීතියේ අදහස්වල වර්ධනය, නීතිය පිළිබඳ සංකල්පයේ හැඩ ගැස්මට වඩා කිසියම් ආකාරයකින් වෙනස්විය හැකි දැයි යන්න මා විසින් පළමුවන කොටසේ ඇත්තටම සාකච්ඡා කළ යුත්තක් විය.

ලුවී අල්තුසර්

තව දුරටත් මම, මේ කොටස රූපික (formal) හා භෞතික නීති ධර්මය (material legal doctrine) වශයෙන් කොටස් දෙකකට බෙදූ අතර මින් පළමුවැන්න එහි බෙදීම සහ ‍ක්ෂේත්‍රය ද ඇතුළුව එහි සංස්ථිතික වර්ධනය (consistent development) තුළ ක්‍රමයේ පවිත්‍ර ආකෘතිය විස්තර කරනු ලබයි. දෙවැන්නෙන් අදහස් කරන ලද්දේ ඊට අයත් සංධාරය නැතිනම් අන්තර්ගතය (content) තුළ ආකෘතියේ ස්වයං උත්පත්තියයි. (self incamation) මෙය වී සැවිනි (Savigny) මහතා හා මගේ පොදු වැරැද්දකි. දේපොළ පිළිබ්‍ඳ ඔහුගේ කාතියේ එය තිබෙන බව මම පසුව දැන ගතිමි. එකම වෙනස නම් අදහස පිළිබඳ නිර්වචනයේ දී ඔහු මෙසේ දක්වා තිබීමයි. එනම්, (කල්පිත) රෝම ක්‍රමය තුළ ඒ ඒ ධර්මයට හිමි තැන සොයා ගැනීම මෙන්ම භෞතිකව මෙසේ අර්ථකතනයකරන ලද සංකල්පයක රෝමවරුන් ඇතුළත්කළ සාධනීය අන්තර්ගතයේ (positive content) ධර්මය ලෙසය. එහෙත් මා ආකෘතිය යන්නෙන් අදහස් කළේ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමේ අවශ්‍ය ව්‍යුහය හා කාරණය මෙන්ම ඒ සඳහා ප්‍රකාශනයන්හි ගුණයයි. මෙහි වරද නම් එකක් අනකෙන් ස්වාධීනව වර්ධනය විය යුතු බව මා විශ්වාස කිරීමයි. එසේම මේ අනුව මට සැබෑ ආකෘතියක් ලබා ගත නොහැකි විය. එහෙත් ඒ වෙනුවට මට ලබා ගත හැකි වූයේ මේසයක් වූ අතර මම එහි ලාච්චු වැලිවලින් පිරෙව්වෙමි.

මේ අතරවාරය තුළ මම ටැසිටස්ගේ ජර්මේනියා (Tacitus’s Germania) සහ ඕවිඩ්ගේ ට්‍රිස්ටියා (Ovid’s Trissca) පරිවර්තනය කළෙමි. එසේම තනිවම ඉංග්‍රිසි සහ ඉතාලි භාෂා එතරම් හොඳින් ප්‍රගුණ වී නැත. තව ද කෙලින් ගේ අපරාධ නීතිය (Kelin’s Criminal Law) හා වාර්ෂීක වාර්තා නම් කෘති ද (Annals) අලුත්ම සාහිත්‍යය කෘතීන් සියල්ලම ද කියෙව්වෙමි. එහෙත් සාහිත්‍ය කෘති කියවනු ලැබූවේ අතිරේක වශයෙනි. වාරය අවසානයේ දී මා නැවතත් ම්‍යුසස් (Muses) ගේ නැටුම් හා ස්ටයර්ස් (Styrs) ගේ සොයා ගිය අතර මා ඔබට එවූ අන්තිම කාණ්ඩයේ (Scorpion and Felix) නම් කෘතියේ එන අනුචිත උපහාසයද  ඖලනෑම් (Oulanem) හි එන විසංකල්පිත අද්භුත නාට්‍යමය භාවය ද යන මේවා අවසානයේ දී සම්පූර්නයෙන් වෙනස්වන විඥානවාදය තුළින් ඊට සම්බන්ධ කර ගෙන ඇත. එය වෙනස් වන්නේ සිත ඇදී යන අන්දමේ අදහස්වල වර්ධනයක් හා ඊට ආභාසය ලබා ගත හැකි වස්තුන්ගෙන් තොර තනිකරම රූපික කලාව (formal art) තුළට දියවි යාම මගිනි.

පරිවර්තනය: මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

Saturday, February 12, 2011

ලෝකය අත හරින මොහොතක නිමවන අළුත් ලෝකය.

ජෝසි, මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඇය අවිවාහක දෙදරු මවක්. ඇගේ පෙම්වතා ඇයට පහර දෙනවා. ඔහුගෙන් ගැලවීමට ඇය තම පුතා සහ දියණීය ට්‍රක් රථයේ දමා ගෙන මිනසෝටා ප්‍රාන්තයේ සිටින ඇගේ දෙමව්පියන්ගේ නිවසට යනවා. ඒත් ඇගේ පියාට ඇය නොමග ගිය දියණියක්, ඇගේ වැඩිමහලු පුතා ඉපදුනේ ඇය පාසල් යන වයසෙදිමයි. ඇය සැලූනයකට වැඩට යනවා. එහිදී ඇයට පරණ මිතුරියක වන ග්ලෝරි මුණ  ගැ‍ෙහනවා. ග්ලෝරි වැඩකරන්නේ ජෝසිගෙ පියා වැඩ කරන ටැකොනයිට්  පතලේමයි. එයා වෘත්තීය සමිති නායිකාවක්, ජෝසිටත් පතලේ වැඩට එන ලෙස ඇය ආරාධනා කරනවා. ඒත් පතලක වැඩ කරන එක පිරිමි රස්සාවක්. ජෝසිට ඒවගේ රැකියාවක් කරන්න පුළුවන් වෙයිද? අනිත් අතට පතලේ වැඩට ගියොත් ජෝසිට එයාගෙ තාත්තා උපයන පඩිය ලබා ගන්න පුළුවන්. ඒකෙන් පුතාව පාසැල් යවන්න, සිඟිති දුවගේ මූණට හිනාවක් ගේන සෙල්ලම් බඩු අරන් දෙන්න, පොඩි රෙස්ටුරන්ට් එකකින් එයාලට ලොකු. උණු කෑම වේලක් අරන් දෙන්න පුලුවන්. දැන් ජෝසි තොරා ගත යුත්තේ කුමක්ද?

සමහර ගැහැණු අයට අයියා හරි තාත්තා හරි නැතුව ‍‍ගෙදරින් එළියට යන එකත් නොගැලපෙන වැඩක්. තව සමහර ගැහැනු අයට බඩේ බෝම්බයක් බැඳගෙන ගිහින් සෙනඟ මැද්දේ පුපුරුවා ගන්න එක ජීවිතයේ අනිවාර්යයක්.

කෙනෙක් කියාවි ගෑණු කෙනකුට සුදුසු රැකියාවක් නෙවෙයි පතල් රැකියාව - වෙන රස්සාවල් ඇත්තෙම නැද්ද කියලා. ජෝසිගේ පියා වගේම එයාගෙ ගමේ අනික් අයත් හිතුවෙ එහෙමයි. ඒ ගමේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි පතලේ වැඩට යන එක. ජෝසිගේ ජීවිතය කියන්නේ එයාගෙ දරුවන්. එයාට ඕනි කොහොම හරි  මොනවා හරි කරලා දරුවන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න. ජෝසි පතලේ රැකියාවට යන්න තීරණය කරනවා. බලාපොරෙත්තු වෙන්න පුළුවන් විදියටම පතලේ වැඩ කරන පිරිමි අය ගැහැණු අය පතලේ වැඩට එනවට කැමති නෑ. ජෝසිටත් පතලේ වැඩකරන අනිත් අයටත් සිදුවෙනව ශාරීරික වධහිංසා, ලිංගික අතවර වල සිට නින්දා අපහාස අඩන්තේට්ටම් දක්වා සියලු හිරිහැර විඳ දරා ගන්න.

            එක අතකින් මෙතන නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා. ගැහැණුන්ට ගැලපෙන වැඩ, පිරිමින්ට ගැලපෙන වැඩ කියන දේවල්වලට එක එක කාලවල එක එක සංස්කෘතීන්වල තිබිලා තියෙන්නෙ වෙන වෙන තේරුම්. අපේ රටේම උණත් බැලුවොත් සමහර ගැහැණු අයට අයියා හරි තාත්තා හරි නැතුව ‍ෙගදරින් එළියට යන එකත් නොගැලපෙන වැඩක්. තව සමහර ගැහැනු අයට බඩේ බෝම්බයක් බැඳගෙන ගිහින් සෙනඟ මැද්දේ පුපුරුවා ගන්න එක ජීවිතයේ අනිවාර්යයක්. කතාවේ තව පැත්තක් තියෙනවා. මේ චිත්‍රපටියට පසුබිම්වන ප්‍රජාවේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය පත‍ෙල් වැඩට යන එක. ඉතින් පතලේ රැකියාවලට සැපයුම වැඩි වෙනවට කවුරුත් කැමති නෑ. පතල්හිමියට කවුරුත් විරුද්ධ වෙන්නේ නෑ. මොකද පතල වැහුවොත් හැමෝටම රැකියා නැති වෙනව. අනික මේ පතල් කම්කරුවන් විතරක් නෙවෙයි එයාලගෙ වෘත්තීය සමිතියත් චින්තනයෙන් හරිම සම්ප්‍රදායිකයි. පසුගාමියි. ඔවුන්ට පුළුවන් වෙයිද ජෝසිව මනුෂ්‍යයෙක් විදියට පිළිගන්න?

            ජෝසිට විඳින්න වෙන ලිංගික හිරිහැර කෙළවර වෙන්නේ ජෝසි මේ පතල් හිමි කොම්පැණීයට විරුද්ධව වැඩකරන ස්ථානයේ ලිංගික අතවර කියන චෝදනාව යටතේ නඩු පවරලා. දැන් මුලු ගමටම, ජෝසිගෙ පියාට පවා ජෝසි පාවා දෙන්නියක් වෙලා ඉවරයි. පතල් හිමි කොම්පැණියෙ නීතිඥවරිය ජෝසිට විරුධව ගන්නා නඩු උපක්‍රමය තමයි ඇගේ අතීත ලිංගික ජීවිතය උදාහරණයක් විදියට අරගෙන ඇගේ චෝදනා නිශ්ප්‍රභා කරන එක. ජෝසි වෙනුනේ පෙනී සිටින්න කවුරුත් නෑ. තාත්තා එයා එක්ක තරහයි. වෘත්තිය සමිතියේ හිටපු මිතුරිය තදින් රෝගාතුර වෙලා රෝහලේ. වෘත්තීය සමිති රැස්වීමෙදි එයාට කතා කරන්න දෙන්නවත් අනෙක් කම්කරුවන් කැමති නෑ. අනෙක් ස්ත්‍රී කම්කරුවන්ට එල්ලවන චෝදනා දෙගුණ වෙලා. ඒ නිසා ඒ අයත් වරද පටවන්නේ ජෝසිට. උසාවියෙදිත්, වැඩපොලේදිත්, පාරේදිත්,ජෝසිගේ පුතාගෙ බේස්බෝල් තරගය වෙලාවෙදිත් හැම කෙනෙක්ටම ජෝසි පේන්නේ අඩු වයසින් නොමඟ ගිය වල් ගැහැණියක් විදියට විතරයි. පාසැලේදී සිදුවන නින්දා දරා ගන්න බැරුව ජෝසිගේ පුතා එයා එක්ක තරහා වෙනවා.

            ඇයි මෙතනදි  ජෝසිට සිදු වූ අසාධාරණය ඉක්මවලා ඇගේ ලිංගිකත්වය ඉස්සරහට එන්නේ? අප හැමෝම දන්න දෙයක් තමයි සමාජයේ හැම  කෙනෙක්ම කැමතියි අනික් අයගෙ ලිංගිකත්වය ගැන අහන්න. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම කවුරු හරි සමලිංගිකයෙක් හරි වල් ගෑණු කෙනෙක්හරි කියලා හංවඩු ගහන එක, එයාගෙ ලිංගික ජීවිතය ගැන විස්තර කියන එක. (ඒවායේ ඇත්ත නැත්ත කෙහොම වුණත්) එයා නරක ජනාධිපති කෙනෙක් කියනවට වඩා බලපෑමක් ඇති කරන්නේ ඒ නිසා. අපි හැම කෙනෙක්ගෙම පැවැත්මේ අවසාන හරය ලිංගිකයි කියලා ‍ෙෆ්‍රායිඩ් කියනවා. අපි හැමෝගෙම ප්‍රසිද්ධ පොදු ජීවිතය නිර්මාණය වෙන්නෙ මෙන්න මේ ලිංගික කොටස යටපත් කරලා. ඒත් ඒ ලිංගික කොටස ගැන කතා කරන එකට හැමෝම ආසයි. මේකට හොඳම උදාහරණය තමයි පිරිමි ටිකක් එකතු වුනාම කතා කරන දේවල්. ඒ සංවාද හැම වෙලේම කැරකෙන්නේ ගැහැණු ශරීර වටා. ඒ වගේම තමයි ගැහැණු අය කතා කරන කොට ඒ සංවාද හුඟක් වෙලාවට කැරකෙන්නේ ආදර ලිංගික සම්බන්ධකම් වටා.....ඒ විතරක් නෙවෙයි කෙනෙක්ට තමන්ගේ ලිංගික ජීවිතය ගැන කියල නින්දා කරනකොට...එයින් තදින්ම රිදෙන්නේ, ඒ කියන දේ තමන් තුළ තියෙන තමන්ටවත් තේරුම් ගන්න බැරි, ඒත් තමන්ගේ අනන්‍යතාවය එක්ක තදින් බැඳිලා තියෙන දෙයක් නිසා. මේක පිරිමින් ගැහැණුන් කියන දෙගොල්ලටම අද‍ාළයි. ඉතිං ජෝසිත් මේකෙ ගොදුරක්.

මේ වධ හිංසා හැම විටම මිනිසුන්ට සහ ගැහැණුන්ට අළුත් ජීවිතයකට යන්න දොරක්  විවර කරනවා. නිදහස කියන්නේ අහිමිවෙන්න කිසිවක් ඉතිරි වී නැති වීමට යයි ජැනිස් පොප්ලින් කියන්නේ මේ නිසා. තමාට අනෙකා ඉදිරියේ මවා පාන්න දෙයක් නැති වුනාට පස්සේ, දිනාගන්න යමක් මිසක් අහිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ.
 හැබැයි අපි මෙතනදි මතක තියා ගන්න අවශ්‍ය දෙයක් තමයි, කෙනෙක් සමාජීය ප්‍රශ්නයක ගොදුරක් වූ පමණින් එයාගෙ ගමන එතනින් නවතින්නේ නෑ. ජෝසිගෙ විශේෂත්වය තියෙන්නේ එතන. එයා කාටවත් කියන්නෙ නෑ, එයාගෙ පුතා ඉපදීම පිටිපස්සෙ තිබුණ ඇත්ත කතාව. මේ කතාව නිසා සමාජ සාධාරණයක් ඉල්ලන එක නෙවෙයි එයගේ පරමාර්ථය. එයා ඉල්ලන්නේ හැම කෙනෙකුටම වධ හිංසාවලට ලක් නොවී තමන්ගේ රැකියාව කරන්න තියෙන අයිතිය.මෙතනදී ගොදුරු මානසිකත්වයකට ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරමින් ඉන්න මානසික ක්‍රීඩාව හා ජෝසිගේ ජිවිතය අතර විශාල පරතරයක් තිනෙවා. ඒ වගේම තමයි සමාජයේ ඇත්තට තියෙන පීඩනය අපට හුදෙක් ගොදුරු මානසිකත්වලට ලඝු කරන්න බෑ. මේ දෙක අතර සියුම් උනත් ඉතා විශාල වෙනසක් තියෙනවා. අන්තිම විග්‍රහයෙදි ගත්තොත් ලිංගික හිරිහැරවලින් තොරව ජීවත්වෙන එක ලිබරල් බුර්ෂුවා අදහසකට වඩා විශාල දෙයක්. ඒ වගේම පැමිණිලි කරමින් සිටින ගොදුරු මානසිකත්වය විප්ලවීය අරගලයක් කරා අපව ගෙන යන්නේ නෑ. මෙතන දී  ලිංගික නින්දා කරන කෙනෙක් මතක තියාගන්න ඕනි ප්‍රධාන දෙයක් තියෙනවා. මෙවැනි හිංසාවක් නිසා ඊට යටත් වෙන කෙනා අනෙකා (සමාජය) ඉදිරියේ සම්පූර්ණයෙන් නිරාවරණය වෙනවා. එතනින් පස්සෙ තමා අනෙකා සමඟ කලින් හදාගෙන තිබූ පරතරය  බිඳ වැටෙනවා. මේ වධ හිංසා හැම විටම මිනිසුන්ට සහ ගැහැණුන්ට අළුත් ජීවිතයකට යන්න දොරක්  විවර කරනවා. නිදහස කියන්නේ අහිමිවෙන්න කිසිවක් ඉතිරි වී නැති වීමට යයි ජැනිස් පොප්ලින් කියන්නේ මේ නිසා. තමාට අනෙකා ඉදිරියේ මවා පාන්න දෙයක් නැති වුනාට පස්සේ, දිනාගන්න යමක් මිසක් අහිමි වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ.

මේ චිත්‍රපටියේ වැදගත්ම මොහොත් තමයි, නඩුව අහන්න උසාවිය තීරණය කරන මොහොත. මේ නඩුව අහන්න නම් ජෝසි උසාවියට ඔප්පු කරන්න  ඕනි මේක එයාට විතරක් සිදුවුන දෙයක් නෙවෙයි පතල් කොම්පැණිය තුළ පීඩනය ක්‍රමානුකූලව සිදුවන දෙයක් කියලා. ඒකට අනෙක් ස්ත්‍රී කම්කරුවන් තුන් දෙනෙක්වත් උසාවිය ඉදිරියේ තමන් විඳින පීඩනය ගැන කියන්න ඕනි. රෝගාතුරව ඉන්න ග්ලෝරිට උසාවියට එන්නත් බෑ. නඩුව විභාගයට ගන්නෙවත් නැතිවම ඉවත්වෙන තත්වයක් තියෙන්නේ. කෙනෙක් තමන් මෙතෙක් කල් ආරක්ෂා කරගෙන හිටපු ආරක්ෂිත බැමි අතහැරලා තමන්ගෙ අයිතිය වෙනුවෙන් නැගිටින ආශ්චර්යමත් මොහොත තුළ විතරයි සමාජය වෙනස් වෙන්නේ. ජෝසි එයාගෙ අනෙක් සහෝදර ස්ත්‍රී කම්කරුවන්ට, ග්ලෝරිට පවා ගේන අභියෝගය මේකයි. මේ අභීයෝගය ගැහැණු පිරිමි හැමෝටම අදාලයි. අපි ඒ අභියෝගය බාර ගත්තොත් ඒ එක නි‍ෙම්ශය විසින් මුලු ලෝකයම වෙනස් කරාවි. හැම මනුෂ්‍යයෙකුටම ගෞරාන්විත ජීවිතයක් ලැබේවි.

දැන් කාට හරි කියන්න පුළුවන් ඕවා චිත්‍රපටිවල තියෙන ඒවා. ඕවා ඉතින් ඇත්තට වෙන්නෑනෙ කියලා. ඒකත් ඇත්ත තමයි. චිත්‍රපටිවල තියෙන දේවල් නෙවෙයි ඇත්ත ජීවිතේ තියෙන්නේ. චිත්‍රපටි හැම වෙලාවෙම තියෙන්නේ ඇත්ත ජීවිතේට පිටිපස්සෙන් කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වේවිද? ජෝසිගේ චරිතයට පදනම් වූ ඇත්ත චරිතය ලුයිස් ජෙන්සන්. එයාගේ කතාව චිත්‍රපටියේ කතාවට වඩා හුඟක් අරගලකාරීයි. ලුයිස් එයාට සිදුවන හිරිහැර ගැන පළමු පැමිණිල්ල කරන්නේ1984 දී.  මේ නඩුව දාන්නේ 1987 දී. අන්තිම නඩු තීන්දුව ලැබෙන්නේ 1998 දී. මේ ඇමරිකා එක්සත් ජනපදයේ  වැඩපොලේ දි සිදුවන ලිංගික හිරිහැරවලට විරුද්ධව ගේන class action නඩුවක්. (පොදු පරමාර්ථයක් සහිතව සාමූහිකව දමන නඩුවක්) ඒ කියන්නේ පුද්ගලිකවම තමන්ට හිරිහැර වෙනවා කියලා නඩුවක් දානවා වෙනුවට තමාට සිදුවන හිරිහැරවලට ආරක්ෂාව කොම්පැණීය විසින් ලබා නොදී ඉන්නවා කියලා සාමූහිකව දාන නඩුවක්. ජයග්‍රහණය කරන පළමු අවස්ථාව. මේකෙන් පස්සෙ ගැහැණු අයට හිරිහැරවලින් තොරව රැකියාවේ නියැලෙන්න නීතිමය රැකවරණ ලැබුනා. ජෝසිගෙ අහිමිවීම ලක්ෂ ගණනක් ගැහැනුන්ගේ අයිතිය තහවුරු කරන්න පාදක වුනේ ඒ විදියට. ඇත්තටම, මනුෂ්‍ය ශ්‍රේෂ්ඨත්වය තියෙන්නේ චිත්‍රපටියෙන් එහා නේද?

ප්‍රභා මනුරත්න.

LLP සගරාවේ දෙවන කළාපයේ
පළ වූ ලිපියකි.

Friday, February 4, 2011

ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්...නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩෝ


Can you hear the drums Fernando?
I remember long ago another starry night like this
In the firelight Fernando
You were humming to yourself and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar

They were closer now Fernando
Every hour every minute seemed to last eternally
I was so afraid Fernando
We were young and full of life and none of us prepared to die
And I'm not ashamed to say
The roar of guns and cannons almost made me cry

There was something in the air that night, the stars were bright, Fernando
They were shining there for you and me for liberty, Fernando
Though we never thought that we could lose, there's no regret
If I had to do the same again, I would my friend, Fernando
If I had to do the same again, I would my friend, Fernando
[ From: http://www.elyrics.net/read/a/abba-lyrics/fernando-lyrics.html ]

Now we're old and gray Fernando
Since many years I haven't seen a rifle in your hand
Can you hear the drums Fernando?
Do you still recall the faithful night we crossed the Rio Grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

There was something in the air that night, the stars were bright, Fernando
They were shining there for you and me for liberty, Fernando
Though we never thought that we could lose, there's no regret
If I had to do the same again, I would my friend, Fernando

There was something in the air that night, the stars were bright, Fernando
They were shining there for you and me for liberty, Fernando
Though we never thought that we could lose, there's no regret
If I had to do the same again, I would my friend, Fernando
Yes if I had to do the same again, I would my friend, Fernando
If I had to do the same again, I would my friend, Fernando

ෆර්නෑන්ඩෝ
ඔබට රණ බෙර නාදය ඇසෙනවද ෆර්නෑන්ඩෝ
මට සිහිවෙනව ඈත අතීතයේ දිනක
මෙවැනිම තරු පිරි රාත්‍රියක්...
ගිනි මැලයක් ළඟ ෆර්නෑන්ඩෝ
ඔබ ඔබටම මුමුණමින් ඔබේ ගිටාරය සෙමින් වයමින් සිටියා
මට ඇහුණා ඈත රණ බෙර නාදයක්,
ඈතින් ඇදී එන හොරනෑවක නාදයක්‍

ඔවුන් දැං ළඟ ළඟම ෆර්නෑන්ඩෝ
හැම හෝරාවක්ම, හැම කල්පයක්ම වගේ මට දැනුනා
මම බයේ ගැහී ගැහී හිටියෙ ෆර්නෑන්ඩෝ
අපි ගොඩක් තරුණයි, ජීවිතයෙන් පිරිල, ජීවිතය නැති කර ගන්න
සූදානම් වෙලා හිටියෙ නෑ අපි කිසිවෙක්...ම
මම ලජ්ජා වෙන්නේ නැහැ මේක කියන්න තරම්
වෙඩි හ‍‍ඬේ ගිගිරුම මාව හැඩෙව්ව තරම්..

එදා රෑ අහසේ කුමක් හෝ අමුත්තක්
තරු එළිය ප්‍රභාවත්, ෆර්නෑන්ඩෝ
ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්
නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩෝ
කිසිදා අප පැරදෙන බවක් මම නොසිතුවත්,
තිබුනෙ නැහැ කිසි පසුතැවිල්ලක්
ඒ දේ යළි කළයුතු වූවා නම්
මම එය කරාවි මගේ මිත්‍රය, ෆර්නෑන්ඩෝ
ඒ දේ යළි කළයුතු වූවා නම්
මම එය කරාවි මගේ මිත්‍රය, ෆර්නෑන්ඩෝ

දැන් අපි මහළුයි ෆර්නෑන්ඩෝ
දැකල නැහැ මම වසර ගණනකින් ගැවසෙනව ඔබේ අත රයිෆලයක්
ඔබට රණ බෙර නාදය ඇසෙනවද ෆර්නෑන්ඩෝ?
රියෝ ග්‍රෑන්ඩ් තරණය කළ ඒ බියජනක රාත්‍රිය සිහි කරනවද ඔබ තවමත්?
මම දකිනව එය ඔබේ දෑසෙහි
ඔබ කොතරම් අභිමානවත් වුනා ද යන බව
සටන් වදින්නට මේ භූමිය නිදහස වෙනුවෙන්..

එදා රෑ අහසේ කුමක් හෝ අමුත්තක්
තරු එළිය ප්‍රභාමත්, ෆර්නෑන්ඩෝ
ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්
නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩෝ
කිසිදා අපි පැරදෙන බවක් මම නොසිතුවත්
තිබුණෙ නැහැ මට පසුතැවිල්ලක්
කළ යුතු වූවානම් ඒ දේ යළි දිනෙක
ඔබ එය කරාවි, මගේ මිත්‍රය ෆර්නෑන්ඩෝ

එදා රෑ අහසේ කුමක් හෝ අමුත්තක්
තරු එළිය ප්‍රභාමත්, ෆර්නෑන්ඩෝ
ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්
නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩෝ
කිසිදා අපි පැරදෙන බවක් මම නොසිතුවත්
තිබුණෙ නැහැ මට පසුතැවිල්ලක්
කළ යුතු වූවානම් ඒ දේ යළි දිනෙක
ඔබ එය කරාවි, මගේ මිත්‍රය ෆර්නෑන්ඩෝ

මෙම ගීතය 1975 වසරේදී ස්විඩන් ජාතික සංගීත කණ්ඩායමක් වන ඇබා සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයකි. මෙක්සිකෝවේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් වැදුණු විමුක්තිකාමින් දෙදෙනෙකු තමන්ගේ මහළු වියේ දී එම සටන පිළිබඳ කරන සිහි කිරීමක් මෙම හැඟීම්බර ගීතයේ තේමාව වේ.