Monday, March 7, 2011

ස්ත්‍රීවාදයට එහා ගිය.....


කාන්තා දිනයක් ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබුණත්, ජාත්‍යන්තර හැම දෙයටම ඊනියා ලෙස විරෝධය පාන ලංකා ආණ්ඩුව පවා එම දිනය සැමරීමට වන සූදානම හැම තැනම දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් යන අදහස අසන විටම පරලවන දේශ ප්‍රේමි කට්ටිය කියන්නේ මේක බටහිර දෙයක් නිසා ලංකාවට මෙය අදාල නොවන බවයි. එහෙත් එසේ කියන අයගේ දරුවන්ගේ ජීවිත බටහිර අධ්‍යාපන හා සංකල්ප හරහා ගොඩනංවා ගැනීමට (හොඳම දේ දරුවන්ට) තම ගෙවල් දොරවල්, ආදායම් සියල්ල පවා යොදමින්  පමණක් නොව මහජන දේපල සොරකම් කරමින් ද ලක්ෂ 30,40 විදෙස් විශ්ව විද්‍යාල සඳහා ගෙවමින් එම කටයුත්තවල් සාර්ථක කර ගැනීමට කටයුතු කරති. ප්‍රභාකරන්ගේ මරණයේ වර්ෂය දක්වා අවුරුදු පතා වැලන්ටයින් දිනය ට ලෝකල් අර්ථයක් එකතු කරමින් අළුත් අදහසක් වෙනුවට තරුණ තරුණයින් විහාර මහා දේවි උද්‍යානයට ගෙන්වා සුපුරුදු ශීල ව්‍යාපාර අමා වැස්ස නමින් පැවැත්වූ හෙළ උරුමය මෙවර එය සැමරීම අත්හැර දැම්මේ පෙර දී තම දේශපාලන න්‍යාය පත්‍රයට අදාල කරුණක් ලෙස සළකා එය කළ නිසා මිස, එය අද වෙනත් දෙයකට අදාල නොවන නිසාය.

            1980 දශකයේ ස්ත්‍රීවාදය (Feminism) ලංකාවට හඳුන්වා දීමට එවකට සිටි ස්ත්‍රී ක්‍රියාකාරිනියන් උත්සාහ ගන්නා විට, ලංකාවේ ප්‍රධාන පෙළේ සියළු දේශපාලන සංවිධාන පමණක් නොව සමහර වාමාංශික සංවිධානවලටද  දැනුනේ එය කුණුහරුපයක් ලෙසටය. ප්‍රගතිශීලි ලේඛකයෙක් ලෙස හඳුනාගෙන සිටි අයද, ඩබල් මීනින්ස් කතා ලියමින්  මෙම ස්ත්‍රිවාදි කතිකාව දරුණු අපහාසයට ලක් කළහ. මෙම දිනය මාර්තු 8 ලෙස නම් කළේ ජර්මන් සමාජ ප්‍රජාතන්තුවාදී ව්‍යාපාරගේ විප්ලවය පිළිබඳ රැඩිකල් අදහස් වෙනුවෙන් පෙනී සිටි රෝසා ලක්සම්බර්ග් ඝාතනය වූ දිනය වෙනුවෙන් බවවත් මොවුන් නොදැන සිටියේය. බටහිර ආර්ථික දේශපාලන, සංස්කෘතික, නූතන  සන්දර්භයන් තුළ බිහි වූ ස්ත්‍රීවාදී අදහස ලංකාවට හඳුන්වා දීම නිසා පෙර දී මෙලෙස හඳුන්වා දුන් සියළු සංකල්ප ගර්හිත වූ ආකාරයටම එම ස්ත්‍රීවාදී අදහස්   ධනාත්මක හා සෘණාත්මක බාරගත් සියලු දෙනාම තුල අද ද එම ගර්හිත බව ලිහාගෙන නැති බවක් හැ‍‍ඟේ. ධනාත්මකව එම අදහස බාරගත් අය එය හුදු පුද්ගලික පුරුෂ විරෝධයකට හා ස්ත්‍රී සමලිංගිකත්වයකට ඌනනය කරමින් එහි මුල් අවධියේ පෙනී සිටියහ. තවත් විටෙක ස්ත්‍රිය යන්න ජීව විද්‍යාත්මක ශරීරය ලෙස හඳුනා ගනිමින් එවැනි ශරීරයක් හිමිවීම පමණක් නිසා ස්ත්‍රීවාදයේ සියළු අර්ථකතන ඒ හරහා ක්‍රියාත්මක කළහ.  පිරිමි ගුණය (masculinity) ඇති ස්ත්‍රීන්ට ද  තම ශරීරයේ ආවරණය නිසා ස්ත්‍රී ගුණය  (Feminine) විරෝධි දේවල් පවා සාධාරණය කරගෙන කටයුතු කළහ. තවමත් නිරාකරණය කර නොගත් මේ ගැටළුව නිසා ස්ත්‍රීවාදයට විරුද්ධව අදහස් දැක්වූවන්ට තම ග්‍රාම්‍ය විවේචනයන්ට සුජාත බවක් ලැබිණ. ස්ත්‍රීවාදී අදහස් ලංකාවට හ‍ඳුන්වා දුන් අයගේ පසු ක්‍රියාකාරිත්වය N.G.O. ව්‍යාපෘති බවට පමණක් පත්වී තිබීම නිසා එයට එරෙහි වූ ඊනියා දේශප්‍රේමී පාර්ශවයන්ට තව තවත් එය පොඩිකර දැමීමට අවශ්‍ය ආයුධ සැපයිණි. එම නිසා ස්ත්‍රීවාදය +බටහිර+දේශද්‍රෝහි (LTTE)+ NGO+ වී ගියේය.

මෙලෙස කිසිදු අදහස් නැති නිසා ස්ත්‍රීන්ට ගේ සුපුරුදු වෘත්තීන්වලට උදව් කරන ව්‍යාපෘති සඳහා වන ව්‍යාපෘතියක් බවට එම දිනය ලංකාව තුළ අද පත්කර ගෙන ඇත. ලිබරල් යූ.ඇන්.පි.යට පවා එම දිනය හෝ එම ව්‍යාපෘතියට අදාල වෙනත් යමක් වෙනුවෙන් වූ පෙනී සිටීමක් නොකළහ. වාමාංශික සංවිධානයක් වූ ජ.වි.‍ ‍ෙප. කාන්තා සංවිධාන තුළින්ද ‍‍කෙරෙන්නේ පක්ෂ න්‍යාය පත්‍රයට අවශ්‍ය පිරිමින් කරන කටයුතුවලට උදව් කරන රතු සාරි හැට්ට ඇඳගත් සුපුරුදු කාන්තාවගේ ක්‍රියාකාරිත්වය පමණක්ය.

ස්ත්‍රීවාදය යන්න මනුෂ්‍යත්වය පිළිබඳ වන ගැටළුවක් ලෙස හඳුනාගෙන, මීට අවුරුදු  100කට පමණ පෙර නොර්වේ ඔස්ලෝ නගරයට කි.මී. 160 ක පමණ ඈතින් වෙරළබඩ ස්කයින් නැමති ප්‍රදේශයේ ජීවත් වූ හෙන්රික් ඉබ්සන්ගෙන් අපේ ස්ත්‍රි සංවාදයේ ධන සෘණ අවුල ගැඹුරින් තේරුම් ගත හැකිය.
 
Doll House නාට්‍යයේ ජවනිකාවක්

බෝනිකි ගෙදර  Dolls House ලෙස නිර්මාණය වූ නාට්‍යයේ නෝරාගේ චරිතයට පණ දෙන දරුවන් ති‍දෙනෙකු‍ගේ මවක් හරහා මෙම නාට්‍යකරුවා ස්ත්‍රීවාදය පිළිබඳ අදහස් දියුනු වි නැති කාලයක අපට හඟවන්නේ කුමක්ද? 

පීතෘමූලික සමාජයේ විශේෂ වශයෙන්ම පීඩාවට පත්වන්නේ කිසියම් වියුක්ත ගැහැණියක් නොව මවයි.
ගැහැණුන් සහ පිරිමින් අතර ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම්වල අවසාන හරය දරුවන් බිහි කිරීමට ගැහැණියට ඇති හැකියාව නම්, මාතෘත්වය හැම ස්ත්‍රීවාදී ව්‍යාපාරයකටම වැදගත් තේමාවක් විය යුතුය.

            මේ නාට්‍යයේ බෝනිකි ගෙදර නම විසින් ම ඉඟි කරන අයුරින් හා අවසානයේ නෝරා තමා විසින් කියා සිටින පරිදි, විවාහය හා මාතෘත්වය ඇයට දිග් ගැස්සුනු බෝනිකි සමයක් විය. දරුවෝ ඇයට සෙල්ලම් බෝනික්කෝ බඳු වූහ. එලෙසින්ම ඇයද සැමියාටත් ඊට පෙර පියාටත් බෝනික්කෙක් වූවාය. සැබෑ පරිණතභාවය අත්පත් කර ගැනීම උදෙසා ඇය මේ ජීවිතය අත්හැර දැමිය යුතුය.

            ඔවුන්ට මේ ජරා නාඩගම රඟන්නට සිදුවන්නේ තමන් ආදරය කරන අය වෙනුවෙනි. නෝරා වසර ගණනාවක් විවාහය තුළ ජීවත්වන්නේ තමන් ගෙවන මානුෂීය වන්දිය ගැන දැනීමක් නැතිව අවිඥානිකවය. සබඳතා රැක ගැනීමට නොයෙක් අයතා ක්‍රම සොයා ගැනීමට නෝරාට සිදු‍වෙයි. ඉන්පසු ජීවිතය ගෙවන්නට ඔවුනට සිදුවන්නේ බැඳි වෙස් ගැලවේය යන බියෙනි. මේ දරුණු බිය නිසා නෝරා ආදරවන්තිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබන මධ්‍යකාලීන නයිට්වරයෙක් මෙන්, තමාගේ සැමියා නොපැකිල තමා වෙනුවෙන් ඉදිරිපත්වී තමා අරක්ෂා කරනු ඇතැයි යන විශාල සිහිනය නිර්මාණය කර ගනිති.

ආශ්චර්යමත් දේ පිළිබඳ තම සිහිනය කෙතරම් නිසරු දැයි හෙළිවන මොහොතේ නෝරාගේ මනස තමා සිරවී සිටින ජීවන උගුලෙන්  ගැලවීමට මෙතෙක් නොසෙවූ විකල්ප මාවත් ගැන කල්පනා කිරීමට තරම්, ගැඹුරු නිදහසක් ලබන්නේය.  ඒ මොහොතේ නෝරා, ඉබ්සන් නිර්මාණය කළ ගැහැණු චරිත සමුදායය අතර පුද්ගල නිදහසට එරෙහි බාධක කිසිවක් මායිම් නොකිරීම පිළිබඳ අර්ථයෙන්, වඩාත්ම අදීන මනසින් යුත් චරිතය ලෙස දැවැන්තව නැඟී සිටින්නේය. එබඳු ඈ, තම ජීවිතය සැමියාට බැඳ ඇති රැහැන් සියල්ල කපා දැමීමට අදිටන් කරයි. නමුත් ඇය මනා ලෙස දක්නා පරිදි නිදහස අන්‍යොන්‍ය විය යුතු ය. අපි දෙන්නම සම්පූර්ණයෙන්ම එකිනෙකාගේ බන්ධනයෙන් නිදහස් වෙන්න ඕන. ඇය මෙලෙස ඔහුටද නිදහස දෙන්නේ ඔහුටද වෙනත් මිනිසෙකු වීමට අවකාශ ඇති කරනු බලාපොරොත්තුවෙනි. දැන් එලෙස පරිවර්තනය වීමට සූදානම් හෙල්මර්ටයි ඇය අපේක්ෂාවේ පිදුරු ගසක් දිගු කරන්නේ. ආශ්චර්යයන් අතරින් ලොකුම ආශ්චර්යය!(121 පිට) එතැනදි නාට්‍යය නිසැකින්ම උටෝපියානු දිශානතියක් දරන්නේය. අනාගතයේ යම් දිනක ඔවුන් නැවත හමුවීමට ඉඩ ඇත. ඒ සම බිමක පය තබා සෘජුව ඇවිදින අදීන හා නිදහස් පුද්ගලයන් දෙදෙනෙකු වශයෙනි!

            බෝනිකි ගෙදරට පසුගිය ශත වර්ෂය මුල් භාගය පුරා එල්ල වූ දරුණු විවේචනයක් වන්නේ එයින් ගැහැණිය ආත්මර්ථකාමී ආවේශයන් හා අරාජික අරගලයන් කරා යොමු කිරීමට තැත් දරන්නේය යනුවෙනි. නමුත් එම විවේචනය පසුබිමේ ඇති පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටිය විසින් නාට්‍යයේ වැදගත් මානයක් ග්‍රහණය කර ගැනීමට බාධා කර ඇති බැව් පැහැදිළිය.  පුද්ගල නිදහස දිනා ගැනීමේ නෝරාගේ අරගලය ඉලක්කයක් රහිත හුදු අරාජික කැරැල්ලක් නොවේ. නාට්‍යයෙන් ඉතා පැහැදිළිව ඉඟි කරන පරිදි මෙකී නිදහස වනාහි මනුෂ්‍යයෙක් ලෙස වැඩීමට සිය විභවයන් හා ශක්‍යතාවයන් පුබුදුවා  ගැනීමට, ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයෙක් ලෙස තමාගේ විනිශ්චය ඉදිරියේත් අනෙකා ඉදිරියේත් නැඟී සිටීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් පමණය. ඇගේ ගවේෂණය විසින් හෙළි කරන තිත්ත සත්‍යය නම් ඇය මෙතෙක් ජීවත් වී ඇත්තේ කිසි වැදගැම්මකට නැති පුද්ගලයෙක් ලෙස බවයි. ඒ නිසරු  ආත්ම ස්වභාවය  වෙනස් විය යුතුය. අර්ථාන්විත මනුෂ්‍ය ජීවිතයක් සඳහා ඇයට අයිතියක් ඇත. ලබා ගන්නා නිදහස ඇය භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ එය ගොඩනඟා ගැනීමටයි. 

ළමයින්ට, පුරුෂයාට ආදරය කරන්නන්ට ආදරය කිරීම ආදරය ‍ලෙස හඳුනා ගනිමින්ම නෝරා එම ආදරය අපට ඉතිරි කර ආදරය වෙනුවෙන් නික්ම ගියේය.

ඉබ්සන්ගේ නාට්‍යක් නරඹන්න යන එක දත් දොස්තර කෙනෙක් ගාවට යනවා වගේ හරිම උද්වේගකාරියි.....ඒ වගේම වේදනාකාරිය.

- බර්නාර්ඩ් ෂෝ   ‍

මෙහි සිටින ඔබගෙන් කිසිවෙක් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නාට්‍යය කියවා ඇත්දැයි මා කල්පනා කළා. එහෙමනම් ඔබටම මෙතනදී බෝනික්කා යන වචනය පාවිච්චි කිරීමෙන් මතු කරන්නට අදහස් කරන අරුත් වඩා තියුණුව වැටහේවි. ඉන්දියාවේ අනාගතය බෝනික්කන්ට හා ක්‍රීඩා භාණ්ඩවලට පවරන්න කොහෙත්ම බැහැ. ජනගහනයේ භාගයක් අනෙක් භාගයේ බෝනික්කන් වී සිටිනවා නම් අපට කිසි විටෙක ප්‍රගතියක් අත්පත් කර ගත හැක
                                                                 -         ශ්‍රී ජවහාල් ලාල් නේරු
                                                    ඉන්දීය කාන්තා විද්‍යාලීය සභාවක් අමතා 1928 දී දිල්ලියේදී


උපුටා ගැනීම-  බෝනිකි ගෙදර නාට්‍ය පිටපත
පරිවර්තක- සුනිල් විජේසිරිවර්ධන


සටහන- කල්‍යානන්ද පෙරේරා. 





2 comments:

TG said...

You can tell the condition of a nationa by looking at the status of its Women - Jawaharlal Nehru

Unknown said...

Excellant Kalya!
Priyadarshanie