Monday, February 28, 2011

එළාරට ප්‍රභාගේ මව හමුවෙයි. දුටුගැමුණු කදුළු සලමින් ඉකිබිඳියි.


ප්‍ර/මව/   මම මැරුණු දවසේ රාත්‍රියේ බල්ලන් තුන් දෙනෙක් මරල මගේ සෙ‍හොනෙ දමල ගිහිල්ල තිබුණ.

එළාර/ වැරදි ගණනාවක් කරල තියෙනව. මාතෘත්වය නොසැලකීම. සත්ව හිංසාව, මිනියකට ගරු ‍නොකිරීම, මනුෂ්‍යත්වයට නිගා කිරීම, මේක වැරදි ආදර්ශයක්.

ප්‍ර/මව/ මගේ මිනි අළු ටික ගෙනියන්න බැරි විදියට සෙහොන උඩ බුල්ඩෝසරයක් යවල විනාශ කරලත් තිබුණ.

එළාර/ මගේ සොහොනට කිසි දෙයක් සිදුවුනෙ නැහැ. ඒක හැදුවෙත් දුටුගැමුණු, යන එන හැමෝම මම දැක්ක මගේ සොහොන ළඟදි ඒ අයගේ හිස් වැසුම් පවා ඉවත් කරනව.

ප්‍ර/මව/ ඒක තිබුනේ ඒ පැත්තෙනෙ. මෙහේ තිබුණ නම් වෙන සොහොන් වගේම ඒකත් බුල්ඩෝසර් කරල මුහුදට තල්ලු කරල දානව.

එළාර/ අපි ද්‍රවිඩ සම්භවයක් ඇති අය. අවිහිංසාවාදය අපේ පරම ආයුධය අපේ සම්ප්‍රදායේ අපට උදව් කරන සතෙක්වත් මරන්නෙ නැහැ.

ප්‍ර/මව/ මගේ පුතාගෙ සංවිධානයෙන් ඒ සියල්ලම වෙනස් වුනා. යුද්ධයේදි විතරක් නෙවෙයි. යටත් වුණු බොහෝ අයව පවා එයාගෙ සංවිධානයෙන් මරල දැම්මා. බිමට බැහැල යුද්ධ කරන්න පෙර පැරෂුට්වලින් අහසේ සිට බහින හමුදාවේ අයටත් එයා වෙඩි තිබ්බා.හරියට සුදු කොඩි අරගෙන යටත් වෙන්න ආපු කට්ටියට වෙඩි තිබ්බ වගේ.

එළාර/ මම කවදාවත් එහෙම කරල නැහැ.මම අවු. 44 ක් පාලනය කළා. බෞද්ධ හෝ වෙනත් ආගමික අජීවී පුරා වස්තු කැටයමක්වත් විනාශ කරන්න දුන්නෙ නැහැ.අත් වැරදි කරපු මගේ පුතාටත් මම දඬුවම් දුන්න.

ප්‍ර/මව/ දුටුගැමුණු  හොඳ කෙනෙක් වෙලා එයාගෙ මුණුපුරෝ ඇයි මෙහෙම කරන්නෙ.

එළාර/ අපි අතර සිංහල දෙමළ කියල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මගේ හමුදාවේ වැඩිපුර හිටියෙ සිංහල අය. දුටුගැමුණුගෙ වැඩි හරියක් දෙමළ.

ප්‍ර/මව/ ඇයි දැන් සිංහල අසාධාරණ අයත් දුටුගැමුණුව ඔච්චර උඩ දාන්නෙ. ප්‍රභා නම් ඔයා ගැන කිසි දෙයක් කිව්වෙ නැහැනෙ.අපි එච්චර ගණන් ගත්තත් නැහැ ඔයාව.

එළාර/ ඉස්සර ප්‍රශ්න නෙවෙයි දැන් ප්‍රශ්න. අපේ කාලෙත් දුටුගැමුණුට යුද්ධ කරන්න උවමනාවක් තිබුනෙ නැහැ. කාවන්තිස්ස, ගැමුණුගෙ තාත්තා ඒ පැත්ත පාලනය කළා. හරිම හොඳ යහපත් මනුෂ්‍යයෙක්. මම මේ පැත්තෙ හිටියෙ. මම "මහා විහාරයට" විශේෂ උදව් කළේ නැහැ. හැමෝටම එක විදියෙ සාධාරණත්වයක් ඉෂ්ට කළා. ඒ අයට ඒක දිරෙව්වෙ නැහැ. විහාර මහා දේවි උපාසකම්මවත් ඒකට පොළඹවගෙන තමයි, ගැමුණුව form කළේ. පන්සල්වලින් තමයි එදා වගේ ම අදත් සිංහල දෙමළ කියල මේ ප්‍රශ්ණ වැඩි කළේ.

ප්‍ර/මව/ මම දන්නව. ඔයාගෙ ගතිගුණ අපේ එකාට ගෑවිලවත් තිබුණෙ නැහැ. ඔයා වගේ හොඳ කෙනෙක් එක්කත් ඒ අය ගහගත්ත එකේ අපේ වසවර්තිය එක්ක යුද්ධ කරපු එක අහන්නත් දෙයක්ද?

එළාර/ මම අහල තියෙනව ඔයාගෙ පුතා ගැන. එයා හරි හිතුවක්කාරයලු නේද? තමන්ගෙම අය කියපු දේවල් පවා එයා ගණන් ගත්තෙ නැහැ. ගැමුණු දිගටම යුද්ධ කරගෙන එනකොට, ඇතිවෙන දේපල, ජීවිත විනාශ‍යේ තරම අත්දැකීම් තියෙන රජෙක් විදියට මම දැක්ක. ඒකයි මම ඉස්සරහට ඇවිල්ල කිව්වෙ අපි දෙන්න විතරක් සටන් කරල දිනන කෙනාට දිනුම දෙමු කියල.

ප්‍ර/මව/ ගැමුණු ඒකට කැමති වුණාද?

එළාර/ ඔව්! මට එතකොට වයස අවු. 74යි. ගැමුණුට අවු.34යි. නාකි මමනේ අකමැති වෙන්න ඕනා. ඒත් මම කැමති වුනා.

ප්‍ර/මව/ හැබැයි ඒ කාලෙ එහෙමනෙ යුද්ධ කරන්නෙ.

එළාර/ නැහැ. යුද්ධය වේලාසනින්ම ඉවර කරන්න මට ඕන වුනා. අවු. 44ක් ගොඩ නැගුව නුවර මගේ ඇස් ඉදිරිපිටම විනාශ වෙනව දකින්න මට ඕන වුනෙ නැහැ.අනික දෙපැත්තෙම ජීවිත.

ප්‍ර/මව/ අපේ එකා ඔය එකකටවත් කැමති වුනෙ නැහැ.. ඒකටත් හේතු තියෙන්න ඇති. අපිව හැමදාමත් රැවට්ටුවලු, මගදි කිසි දෙයක් ලැබෙන්න නැති බවත් එයා කිව්ව.

එළාර/ ලැබුණු දේවල් ඔක්කොමත් විනාශ වුනා නේද?

ප්‍ර/මව/ දැන්බෝලෙ තියෙන්නෙ යුද්ධය ඉවර කල අනිත් පැත්තෙනෙ. ඒගොල්ලන් දැන් දේවල් කරන්න ඕන.
එළාර/ ඒක තමයි ගැමුණුගෙයි දැන් ඉන්න උන්ගෙයි තියෙන වෙනස. ගැමුණු යුද්ධෙන් පස්සේ  හරිම කණස්සල්ලෙන් හිටියෙ. නැති වුණූ ජීවිත ගැන. ඒක ඇත්තටම මිනිහෙකුට බලපාන දෙයක්. ඒකයි යුද්දෙන් කිසි කෙනෙක් දිනන්නෙ නැහැ කියන්නේ. ගැමුණු ඒ තත්වයත් එක්ක, මගේ සෙහොනෙන් පටන් ගත්තම තවත් විශාල දේවල් කළා. සාධාරණ රජෙක් විදියට. රුවන්වැලිසෑය හදල ඒකෙ කොටසක සුළු ජන වර්ගයක් වූ "ගාඩි වංශිකයන්ගේ"ගේ පූජා වස්තු තැන්පත් කිරීමට චෛත්‍යයෙම කොටසකුත් වෙන්කරා. ‍වතාවත්වලටත් ඉඩ සැලසුව. ඒ අයගෙ ඇදහිල්ලක් වු රත්නමාලි රුක්දේවාතාවියගෙ නම චෛත්‍යයට දැම්ම. හරියට කසාදයක් කර ගත්තෙත් නැහැ. රජකම දෙන්න පරපුරක් හැදුවෙත් නැහැ.. යුද්දෙන් පස්සේ එච්චරටම එයා හොඳ වුනා.

ප්‍ර/මව/ දැන් ඉන්න පාලකයො සාධාරණ නොවෙන හින්දද අපට කිසි දෙයක් ලැබෙන්නෙ නැත්තෙ. අඩුම ගානේ අපේ සොහොන් වලටවත්.

එළාර/  ඒගොල්ල කල්පනා කරන්නෙ මැරිලත් ඒ අයගෙ සොහොන් විතරක් තිබුණම ඇති කියල. දුටුගැමුණුට සොහොනක්වත් නැහැ. ඒ තරමටම එයා සැබෑ අර්ථයෙන් අල්පේච්ඡ බෞද්ධයෙක් වුනා. තණ්හාව නැති කර ගත්ත. මේ ළඟදි දවසක එයා දිව්‍ය ලෝකයක ඉන්නව මට හමුවුනා. මං ඇහුව ඇයි ළඟදි ආවේ කියල. එයා කිව්ව, මැරුණු ජීවිත නිසා අපායෙ මෙච්චර කල් ඉන්න වුනා කියල.

ප්‍ර/මව/ ඇයි හාමුදුරු කෙනෙක් දුටුගැමුණුට කිව්වෙ යුද්දෙන් මැරු‍ණෙ ජීවිත 11/2 ක්  විතරයි කියලා නේද?

එළාර/  බුදු බණ නොවෙයි ඒ යුද බණ. ඒ ලණුව කාලා තමයි එයා හිටියෙ. හාමුදුරුවො බණ කිව්වට දඬුවම් දෙන්නෙ වෙන කට්ටියක්නෙ. ඒගොල්ලො එක එක පැතිවලට අදින්නෙ  නැහැ. ගැමුණුට දඩුවම් විඳින්න සිද්ධ වුනා. වෙන අය කිව්ව දේවල් දිගටම ඇහුව නම් එයා තාමත් අපායෙ. පස්සෙ එයාම හිතල කරපු දේවල් නිසා තමයි එයා ගොඩ ගියෙ.

ප්‍ර/මව/ අපේ පුතා කොහේ ඉන්නව ඇතිද?

එළාර/ යුද්ධ කරපු උනුයි, උන්ට උඩ ගෙඩි දීපු උනුයි කවද්ද දිව්‍යලෝකවල ගියෙ.  අවි  ගත්තෝ අවියෙන් නැසෙති කියල තමයි බුදුන් දේශනා කළේ. ඒත් මේ යුද්ධ වලින් වැඩියෙන්ම මිය ගියේ අවි නොගත්ත අයමයි.


              -  මුණසිංහ

1 comment:

9XM said...

I saw this blog post here. someone posted your article
http://www.lankaenews.com/Sinhala/news.php?id=16474