Saturday, October 29, 2011

අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා.

0001

1988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ, උතුරේ LTTE සන්නද්ධ ව්‍යාපාරයෙන් ආකර්ශනය වූ දමිල ජාතිකවාදීන්  ලෙසම දකුණේ සිංහල ජාතිකවාදීන් ඇතුළු එවකට සිටි යූ.ඇන්.පී ආණ්ඩු විරෝධීන්ගේ ද  සහයෝගය ජ.වි.පෙ. ට ලැබෙමින් තිබුණි. එම වකවානුවේ දී විශ්ව විද්‍යාලවල සිටි ජ.වි.පෙ. මෙන්ම ජ.වි.පෙ. නොවන අයගේ ද සහයෝගය මත ආවරණයක් ගොඩ නගාගෙන සිටි ජ.වි.පෙ. තමන් පිළිබඳ වූ එම අධි තක්සේරුව මත සිරිමා බණ්ඩාරනායක සමඟ "දේශප්‍රේමී ආණ්ඩුවක්" ගොඩනගා ගැනීමට තිබූ අවස්ථාව මඟහැර එවකට අවුරුදු 11 ක් පිළුනු යූ.ඇන් පී. ආණ්ඩුවක් වෙනුවෙන් යැයි පවසා 88 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතා දිනවීම සඳහා ක්‍රියා කළේය. ප්‍රේමදාස ජනපති වීමෙන් පසු ඊළඟ මොහොත විප්ලවය සඳහා වන සූදානමක බලාපොරොත්තු තම කේඩරයට ලබා දී සන්නද්ධව තව දුරටත් ක්‍රියාත්මක විය. ජ.වි.පෙ. කපටි න්‍යාය පත්‍රය නිසා කිපුණු සිංහල ජාතිකවාදීන් සියළු දෙනාම තමන්ව ජ.වි.පෙ. විසින් කඩේ යැවූ බවට කෙඳිරි ගාමින් නිහඬ විය. පසු කලෙක පරිසරයට ආදරය කිරීම, ජාතිකවාදී මුහුණුවරක තවරා ගොඩ නගා ගත් 'ජනතා මිතුරෝ' සංවිධානයේ ප්‍රබලයන් වුනේ පෙර කී ලෙස ජ.වි.පෙ. විසින් කඩේ යවන ලද විශ්ව විද්‍යාලය තුළ සිටි ජ.වි.පෙ. නොවන ශිෂ්‍ය නායකයන්ය. 

1994 වන විට තව තවත් පිළුණු වෙමින් තිබූ යූ.ඇන් පියේ ආර්ථික දේශපාලන ක්‍රමවේදය තුළ පස්සට තල්ලු වී ගිය ‍ දේශීය සංස්කෘතික හා ආගමික අධ්‍යත්මයන්ගේ නියෝජනයන්ද චන්ද්‍රිකා පෙරමුණේ තීරුවක නියෝජනය විය.  යුද්ධයේ මුහුණුවර දෙමළාට එරෙහි වූවක් ලෙස ගැනීමේ පහසු මාර්ගය දකුණේ සිංහල ඡන්දවලට පමණක් නොව තම පක්ෂවල අසාර්ථකත්වයන් මඟහැරීමෙන් පසු පැවැත්මේ පහසු මාර්ගය ද විය. චන්ද්‍රිකා  රජය ප්‍රගතිශීලින්ගේ හා ජාතිකවාදීන්ගේ කඳවුරු දෙක තුළ දෝලනය වීමේ පැවැත්මේ කොන්දේසි සමඟ අවසන වූයේ නැවත ජාතිකවාදී කඳවුර ශක්තිමත් වීමට අවශ්‍ය තත්වයන් සකස් කරමින්ය.  දෙමළ ජාතිවාදී ප්‍රභාකරන්ගේ දකුණේ කැඩපත වූ ජ.වි.පෙ. ලෙසම තම සංවිධානය ගැන වූ අධි තක්සේරුව සමගින් අතරමග කිසිදු සහයෝගීතාවයකට ඉඩ නොතබා ඊළම් සිහිනය සමඟම ඔහු මිය ගියේ සිංහල ජාතිකවාදීන්ද ප්‍රභාකරන්ගේ එවැනි ඝාතනය වීමක් නොසිතූ ලෙසින්ය.

















LTTE ය අනෙකා කර ගත් ජාතිකවාදීන්ගේ දේශපාලන මැදිහත්වීමට සෘජු සතුරෙක් වර්තමානයේ නොවන විට ආණ්ඩු බලය හිමි ප්‍රධාන පක්ෂයේ ඉලක්කය සංවර්ධනයේ තේමාව බවට පත්වන්නේ ජාතිකවාදය තුළ පෙර ලෙස ප්‍රතිඵලයන්ම අත් කර ගැනීමේ වර්තමාන දේශපාලන අසීරුව නිසාය. වාර්ගික ප්‍රශ්නය සඳහා බටහිරින් මැදිහත්වන විට ආණ්ඩු පක්ෂ හා එයට සම්බන්ධ සෙසු සියළු පක්ෂ වලට එය ප්‍රභාකරන්ට එරෙහිව වූ මතවාදී යුද්ධය තරමට ශක්තිමත්ය. එහෙත් වෙළදාම සඳහා ආර්ථිකය වෙනුවෙන් බටහිරුන්ගේ  ආර්ථික ‍කොන්දේසි පිළිගන්නා විට  ආණ්ඩු පක්ෂ තුළ සිටින සියළු ජාතිකවාදීන් හා වාමාංශිකයින්ද කෙඳිරිල්ලක්වත් නැගිය නොහැකි තරමට අසරණය. සිංහල උරුමය තම තේමා පාඨය ලෙස

මර බිය             නැති     
කුසගිනි            නැති
ගහ කොළ        ඇති      
දැහැමි              දැයක් 
සිහළ                රටක් 

ලෙස තේමා පාඨයන්ගෙන එන විට එය පෙර යූ.ඇන්.පි.යට එරෙහිව ප්‍රබලව මතු කර ගත හැක. 

එහෙත් මෙම තේමා පාඨය ඔවුන් අද ද තම සංවිධානයේ තේමාව ලෙස ගත්විට අක්කර 5000 ක් සෝමාවතිය රක්ෂිතය කපා එළි කරන විට ද එලෙසමය. මහා පරිමාණ ලෙස දැව කොල්ලයන් පමණක් නොව නිත්‍යානුකූල ලෙස කරවන කැලෑ එළි කිරීම් ද හෙළ උරුමය ලෙස ඉවසා සිටියි. නව ලිබරල්වාදයේ නාමයෙන් සංවර්ධන ලෙස සිදුකරන කිසිවක් ජනතාවට නොලැබෙන බව මෑතක දී තම පොත දොරට වැඩුම දා ගුණදාස අමරසේකර එම පොතෙන්ම පෙන්වා දී තිබුණි. ජනතාවට ලැබෙන්නේ අත පල්ලෙන් ලැබෙන යමක් පමණක් බව ඔහු කියා ඇත.  ලක්බිම පුවත්පත සමඟ සම්මුඛ සාකච්ජාවේ මාතෘකාව "අපට අවශ්‍යව ඇත්තේ විජාතික නොවන විපක්ෂයක් යැයි පවසා ඇත. ඔහුට අමතක වී ඇති දෙය නම් ඔවුන් සියළුදෙනා එකතුව විජාතික විපක්ෂය බලයට පත් කල බවය. තව දුරටත් ඔහු පවසන්නේ ප්‍රභාකරන්ව අපි පැරදුවේ මේ දේවල් සඳහා නොවන බවයි. රටේ සිදුවන මහා පරිමාණ හොරකම් වංචා දූෂණ ගැන ද ඔහු පවසමින් සිටින්නේ මේවා තව දුරටත් බලා සිටිය යුතුද කියාය. 

නලින්ද සිල්වා මහතා සියළු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා බටහිර මිෂනාරි ක්‍රිස්තියානි බලවේගය ශක්තිමත්වන බව පවසමින්ම මේ රජය ඉන් රැකිය යුතු බව කියමින්ම අනෙක් අතට 'නව ජාතික ව්‍යාපාරයක්' ගොඩනැගිය යුතු බව පසුගිය ඉරිදා නොනවත්වාම ඔහු විසින් දිවයින පත්තරයට ලියන කොළමෙන් කියා ඇත. අතුරලියේ රතන හිමියන් ආසනික් විරෝධී හඬ ඉහලින්ම රජයට විරුද්ධව මතු කරන විට අපට හැඟී යන්නේ මේ රජය යූ.ඇන්.පී. රජයක් බවය. මැතිවරණවලදී සන්ධානය විසින්ම තම අපේක්ෂකයන්ට පහර දෙන ආකාරය ඔවුන්ගේ සක් හඬ පුවත්පතේ පළ කරන විට අපට පෙනී යන්නේ වෙනත් පක්ෂයකින් ඔවුන්ට පහර දී ඇති බවයි. මේ සියළු දෙනාම දැන් මේ කථාවන් කියන්නේ මහජනයා වන අපටය. හරියටම ජනයා ආණ්ඩුව කරන බව සිතමින්ය. ඇමරිකන් පුරවැසියන් වූ ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ මහතුන් ගේ න්‍යායට අනුව සියළු ප්‍රශ්න විසඳන්නේ ඔවුන්ට අනුව සංවර්ධනය යැයි කියන දෙයට අනුවය. එහෙත් අමරසේකර‍ගේ, චම්පිකගේ,  නලින්ගේ අනෙකුත් ජාතිකවාදින්ගේ ප්‍රාර්ථනය එය නොවූවද දැන් සිදුවන්නේ ජාතිකවාදය තුළ සමස්ථ අදහසක් තුළ රට ගොඩනැගීමක් ගැන අදහස් දැක් වූ අයගේ රංගනය නොව ඒ කිසිත් නොදන්නා ආර්ථික සංවර්ධන බටහිර නව ලිබරල් සංවර්ධනය තුළ ස්ථානගත කරවන බැසිල්, ගෝඨාභයලාගේ සංවර්ධනයන් ය. 

කොළඹට මිලින්ද මොරගොඩ එන්නේ ද හුදු සංවර්ධන දෙස පමණක් බලා සිටින ඔහුගේ කේවට්ටයන් වන නව ලිබරල් යූ.ඇන්.පි.යට ගැලපෙන ආර්ථික න්‍යායවේදීන් වූ රොහාන් සමරජීවලාගේද උදව් ඇතිවය. සිදුවෙමින් පවතින්නේ යූ.ඇන් පී. සංවර්ධනය ජාතිකවාදී මතවාදය සහිතව ජනතාව දිනා ගනිමින් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වීමය. එහෙත් එය තමන්ට එරෙහිවීමක් ලෙස මේ ‍මොහොතේ බොහෝ දෙනෙකුට නොදැනෙන්නේ අමරසේකරලා ඇතුළු පිරිස් විසින් හිරිවට්ටවා සිටින ජාතිකවාදය නිසාය. මෙම හිරි වැටීම ඉවර වූ පසු වේදනාව එන්නේ දෙගුණ තෙගුණ වෙමින්ය. 


එහි කෙඳිරිය අමරසේකරලා වෙතින් මුලින්ම පැමිණිම ගැන අපට සතුටු විය නොහැකිය. රටට දැන් අවශ්‍යව ඇත්තේ  අමරසේකරලාගේ බණ නොව පරිභෝජනවාදයෙන්, සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තම විස්තෘත පවුලේ නඩත්තුව වෙනුවෙන් පොදි ගසන රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමය. මෑතක දී මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි  මෛත්‍රිපාල සිරිසේන වෙනත් කරුණක් ගැන පැහැදිලි කිරීමට ගත් උදාහරණයකින් මෙය අවසන් කරන්නට සිත් විය. "තල වවා මුං බලාපොරොත්තු විය නොහැක." පවුලක් නඩත්තු කිරීමට පැමිණි රාජපක්ෂ රෙජීමයෙන් ජාතිකවාදය නොව සංවර්ධනය පවා බලාපොරොත්තු විය හැකිද ?

මර බිය             නැති    
කුසගිනි            නැති
ගහ කොළ        ඇති     
දැහැමි              දැයක්  බලාපොරොත්තු විය හැකිද?

මැක් පෙරේරා

3 comments:

Sabith said...

බොහොම සංවේදී කාලීන ලිපියක්!

mayya said...

don't ask Liliputs to preform Guliver's work. JHU only has 100,000 votes in this country.....

maayya said...

this template is irritate to eyes..!!! friendly suggetion!!!