Sunday, March 27, 2011

ගඩාපිගේ මානව හිමිකම් සහ ඇමෙරිකාවේ Human Right


 මැද පෙරදිග ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සංවිධානය කර තිබූ දේශන දෙකකින් එකක මාතෘකාව වුනේ අධිරාජ්‍ය විරෝධි පාලකයන් ඒකාධිපතියන් වීම අනිවාර්යක් ද  යන්නයි. එම දේශනය සඳහා පැමිණි වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊට දින කිහිපයකට පෙර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරයකටද සම්බන්ධ වෙමින් මාධ්‍ය වෙනුවෙන් අදහස්  දැක්වූවෙක් ද විය. ලිබියානු නායක ගඩාපිගේ වත්කම්වලින් බොහෝ ප්‍රමාණයක් ඇමෙරිකානු බැංකුවල තිබීම ගැන ද එම මහතා අදහස් දක්වා සිටියේය. පැරණි වමේ බොහෝ අය රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන බැවින් රාජපක්ෂ රෙජීමය ලිබියානු  නායකයාව දේශපාලනිකව හා පෞද්ගලිකවත් භාර ගන්නා බැවින්  වාමාංශිකයන්ට ද එම පාරේ ගමන් කිරීමට සිදුවිය. ඊට  අමතරව අධිරාජ්‍ය විරෝධියෙකු වූ පමණින් ගඩාපි සාධනීයව භාර ගන්නන් බවට ද ඔවුන් පත් වී සිටිය හ. 88-89 සිවිල් කැරැල්ලක් ලෙස සන්නද්ධ ත්‍රස්තවාදයක් තුළ ද කටයුතු කළ ජ.වි.පෙ. එවකට පැවති යූ.ඇන්. පී. රජය විසින් කළ මර්ධනය ද හෙලා දැක් වූ වර්තමාන පාලකයන් හා එයට සම්බන්ධ වාමාංශිකයන් පොදු ජන නැගීමක් ලෙස ලිබියාවේ පැන නැඟුණ සාමකාමී විරෝධයට ගඩාපි රජය විසින් ගුවන් යානා යොදාගනිමින් තම රට තුළ කළ සිවිල් වැසි ඝාතනය හෙළා දැක්කේ නැත. ඒ වෙනුවට ඔවුන් ලිබියාවට පවන් සලමින් කටයුතු කළ හ. සාමකාමී ලෙස ඇදී ගිය ජනයාගේ සිවිල් හා මානව හිමිකම් ගැන කිසිදු සඳහනක් නොකළ ලෝකය පුරාම සිටි ජනතාවට එරෙහි පාලකයින් ගඩාපිගේ පිල නියෝජනය කළහ. සුන්නි සහ ෂියා ලෙස ද අධිරාජ්‍යවාදී හා අධිරාජ්‍ය විරෝධී ලෙසද, වම සහ දකුණ ලෙස ද පෙරදිග හා අපරදිග ලෙස ද  වර්ග ජාති ආගම් පිල් ලෙස බෙදුණු පාලකයින්ගේ දෘෂ්ටිවාදය තුළ හිර වූ ජනයා ද ගඩාපි පාලනයේ ජනතා මර්ධනයට  විවිධ අයුරින් ප්‍රතිචාර දැක්වූහ. අධිරාජ්‍යවාදීන්ට පමණක් වියුක්තව විරෝධය දක්වන්නන්, ගඩාපි පාලනය විසින් ජන ඝාතන අවි වලින් තමන්ගෙම ජනතාවක් මරා දමන විට මුනිවත රැක ගත්හ. තම තමන්ගේ රටවලද නිරායුධ ජනයා තොග පිටින් මරා දැමුණු ටිබෙටය ආක්‍රමණය කළ චීනයත් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ රුසියාවත් එක පිලකට වී කටයුතු කරත්දී පෝක්ලන්තය, ඉරාකය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ බ්‍රිතාන්‍යයන් ලෝකය පුරා යුධ හා න්‍යෂටික කඳවුරු පවත්වාගෙන යන ඉරාකය හා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ ඇමරිකාවත් එක පිලකට වී ඇත.

            ගඩාපි විසින් තම රටේ ජනතාව මරා දමන විට මානව හිමිකම් ගැන කිසිදු සඳහනක් නොකර මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවට බණ දෙසූ දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය නැමති අංශභාගීයා (එක පැත්තක මනව හිමිකම් ගැන පමණක් කථාකිරීම) විසින් ඇමෙරිකාව විසින් ලිබියාවට පහර දෙන විට බටහිර මාධ්‍ය මානව හිමිකම් ගැන දක්වන නිහඩත්වය ගැන ප්‍රශ්ණ කරයි. ඒ අනුව යමින් මේ වන විට බොහෝ දෙනා ලිබියාවට පහර දීම ගැන අංශභාගී නිවේදන ප්‍රතිචාර, විරෝධතා සඳහා සූදානම් වනු ඇත. තමන්ගේ පාලකයින් තම රටේ ජනතාව ඝාතනය කිරීම අභ්‍යන්තර ප්‍රශ්නයක් වන විට පිටරටකින් එම ප්‍රශ්නය ආශ්‍රයෙන් මැදිහත්වීම නිසා බාහිර ප්‍රශ්නයකින් මැරෙන ජනතාවක් බවට පත්වේ. අභ්‍යන්තර මරා දැමීම මානව හිමිකම් කොටසට අදාල නොවන විට බාහිර ප්‍රශ්නය  Human Right වලට අදාල කර ගත හැකිය. මේ දෙකෙන්ම මැරෙන්නේ මිනිසුන් නිසා Human Right හෝ මානව හිමිකම් මරණ ලෙස වර්ග නොවන්නේ ඒ කෙසේ වෙතත් නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම කිසිදු පාලකයෙකුට දෙවියන් දුන් වරමක් හෝ කිසිදු සදාචාර නීතියකට හෝ එය එකඟ නොවන නිසාය.

            ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ගඩාපිගේ ජනඝාතන ප්‍රහාරවලට විරුද්ධ වූවන්ට තවත් අවස්ථාවක් ලැබී ඇත. එනම් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ද ගොස් දක්වන විරෝධතාවයකටය.  අංශභාග විරෝධතා වෙනුවට කවුරුන් කෙසේ කොහොම කුමන අරමුණකට කොතනකදී හෝ සිදු කරන මිනිස් හිමිකම් උල්ලංඝනය හා ජනඝාතනවලට විරුද්ධවීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සැබෑ ක්‍රියාවක් වනු ඇත්තේ එවිටය.

    

   

2 comments:

පුලස්ති said...

සාමනේරලා හා සෙමෙනේරි බෝඩර්ලාගේ මානව හිමිකමුත් ගඩාපිගෙ මානව හිමිකම් තරම්ම වැදගත් කියල කාටවත් හිතෙන් නැත්තේ ඇයි?

http://pulasthigetheeruwa.blogspot.com/2011/03/blog-post.html

ගිනි කුරුල්ලා said...

සිරාවට බන්. ඇමරිකන්කාරයා හිතන් ඉන්නේ ඌ හරි කෙරුමා කියාලා..