Monday, May 2, 2011

සිවිල් යුද්ධයක දී අපරාධ කළ හැකිද?


යුද්ධයක් යන්නම ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. එහෙත් ලෝකය පුරා නොඑකඟතා සහිත මිනිසුන් අතර පුද්ගලයෙකුගේ, කණ්ඩායමක, පක්ෂයක, ජාතියක, ආගමක, රජයක මතවාදයක් අන් අය මත තහවුරු කිරීම වෙනුවෙන් බලහත්කාරයක් යොදා ගනිමින් සිටී. තව ද ආර්ථික, දේශපාලන සංස්කෘතික යටත්  කිරීම් සහිතව ද එය ක්‍රියාත්මක වනු දක්නට ඇත. පුද්ගල අරගල, සාමූහික අරගල, වාර්ගික ආගමික හා බලවතා දුබලයා යටත් කර ගැනීම් ක්‍රියාවලින් නිසා ගැටුම යථාර්තයක් වී ඇත. ඒවා අවම කර ගැනීම සඳහා කොතෙකුත් ක්‍රම ඇති කළ ද එම සිදුවීම් ලෝකය පුරා ඇතිවීම වළක්වා ගත නොහැකි තත්වයක් ද දක්නට ලැබේ. එම තත්වය පිළිගනිමින් යුද්ධයක දී වුවද එය කළ යුතු ආකාරය ගැන සම්මුති ගිවිසුම් ශිෂ්ට සම්පන්න ලෝකයා අතර එකඟතා ඇති කර ගෙන ඇත. එම සම්මුති සමඟ බැඳී නැති රාජ්‍යයක බලයක් නැති හෝ ඇති, අරගල කරන කණ්ඩායම් මෙම සම්මුති අදාල නොකර ගනිමින් කටයුතු කළ ද, LTTE ය විසින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 600 ක් මරා දැමුහ. පැරිෂුට් මගින් බිමට බසින සොල්දාදුවන් ගුවනේදිම මරා දමමින් ද ලෝක යුධ  නීති උල්ලංඝනය කලහ.  මිනිස් හිමිකම් ගැන උනන්දුවන්නන් එම කාරණා ද සැලකිල්ලට ගනිමින් සිටියි.

ලෝක සම්මුතියන් පැවතිය ද ඒවා එක එක රටවලට අදාල කර ගැනීමේ දී එය ඒ අයුරින්ම රැකීමට නොහැකි අපහසුවක් ගැන ද අසන්නට ලැබේ. දරුවන්ට පහරදීම ළමා අයිතිවාසිකම් තුළ දෙමාපියන්ව හා ගුරුවරුන්ව ද නීතිය හමුවට පැමිණවිය හැකි වරදක් ලෙස ලෝක සම්මුතීන් විසින් එකඟතාවයක් සාදා  ගෙන ඇති විටක ආසියාවේ හෝ ලංකාවේදී එම ක්‍රමය අනුගමනය කිරීමට යෑමෙන්, පැවති දෙමාපිය දූ දරු ව්‍යුහයක් තුළ  නව ගැටළු පැන නැගිය හැකිය. එහෙත් සම්මුති ප්‍රතික්ෂේප කිරීම් වෙනුවට ඒ වෙතට ළඟාවිය හැකි ක්‍රමවේදයන් සාදා ගන්නේ කෙසේද යන්න සළකා බැලිය යුතුය. බෑන් කී මූන් විසින් ලංකාවේ 2009 උතුරු ප්‍රදේශයේ සිදු වූ සිවිල් ජනයා ඝාතනයට ලක්වීම ගැන කළ යුතු පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් පිළියෙල කොට ඉදිරිපත් කිරීම ගැන විශාල කලබැගෑනියක් ලංකාව තුළ මතුව ඇත.  මෙයට  දශක හතරකට පමණ පෙරද විද්‍යුත් මාධ්‍ය ව්‍යාප්ත නොවූ මානව හිමිකම් ගැන හෝ සිවිල් අයිතිවාසිකම් ගැන පොදු ජනයා තුළ එතරම්ම අදහසක් නොතිබූ කාලයක පවා ලංකාව මුහුණ දුන් මෙවැනි ප්‍රශ්නයන් විදේශ මැදිහත්වීම් වලින් තොරව අපම විසින් විසඳා ගෙන තිබුණි. ඒ 1971 සහ 88-89 වර්ෂවල ලංකාවේ දකුණේ සිදුවූ ප්‍රධාන සිද්ධීන් දෙකක් සම්බන්ධවයි. 70 බලයට පත් සමගි පෙරමුණු රජයට එරෙහි ජ.වි.පෙ. විසින් දියත් කළ 71 කැරැල්ලේ දී කතරගම දී වෙඩි තබා මරා දැමූ ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය හා ඇඹිලිපිටියේ දී වල දමා තිබූ පාසැල් සිසුන් 23 දෙනාගේ සිද්ධියයි. මෙම සිද්ධි දෙකේදිම කිසිදු ජාත්‍යන්තර හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තබා ලංකාවේද කිසිදු මානව හිමිකම් සංවිධානයක් මැදිගත් නොවී එම ප්‍රශ්ණය ලාංකිකයන් ලෙස අපි විසඳාගත් ආකාරයයි. පැවති රජයන්ට පහරදීමට මොවුන් පැමිණිය ද එහි දී දෙපැත්තෙන්ම සිදුවූ අකටයුතුකම් ගැන සාක්ෂි සහිතව ඔප්පු කර  ගත හැකිව තිබුණි නම් ඒවාට එරෙහිව රජයේ හමුදාවන්ට ද නඩු පවරමින් දඬුවම් ලබා දීමට පසුබට වූයේ නැත. කතරගම රූමතිය වූ ප්‍රේමවතී මනම්පේරි ජ.වි.පෙ. සාමාජිකාවක්  වුවද අත් අඩංගුවට ගැනීමෙන් පසු මරා දැමීම ගැන සහ ඇයට දුන් අමානුෂික වද වේදනා සමිබන්ධයෙන් එවකට පැවති සමගි පෙරමුණ රජය විසින් තමන්ගේ හමුදා නිලධාරින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියේ නැත. එයට සම්බන්ධ වූ නිලධාරින් සඳහා අවුරුදු ගණන්වලින් සහ එය මෙහෙය වූ පොලිස් නිලධාරියාට ජීවිතාන්තය දක්වාද සිර දඬුවම් ලබා දුන්හ. කිසිවකු විසින් රජය එය නොකළ යුතුව  තිබු දෙයක් බව අද මෙන් පවසා සිටියේ නැත. මේ හේතුන් නිසාම සිරිමා බණ්ඩාරනායක රජය 71 සිවිල් යුද්ධය අසාධාරණ ලෙස මර්දනය කළ දෙයක් නොව සාධාරණ මානුෂියව ලෙස සිදුකළ දෙයක් ලෙස ඒත්තු ගන්වා රජයේ ප්‍රසාදය වැඩි කර ගත්හ. එමෙන්ම අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව මගින් ජ.වි.පෙ. කැරලිකරුවන්ට පොදු දඬුවම් ලබා දුනි. විශේෂ අපරාධ කර ඇති අයට සිවිල් නීතිය යටතේ දඬුවම් දීමෙන්ද කැරලිකරුවන් පමණ ඉක්මවා මානව නීතිය උල්ලංඝනය කළ තැන්වල දී ඔවුන්ට ද හමුදාවේ නිලධාරින්ට මෙන්ම දඬුවම් ලබා දීමට කටයුතු කළේය.


ඇඹිලිපිටියේ ඝාතනය වූ පාසැල් සිසුන් ජ.වි.පෙ. ට සම්බන්ධ අයද යන්න සළකා බැලීම වෙනුවට එම අපරාධය සිදු කළ ආකාරය ගැන සළකා බලමින් රජය විසින් එයට සම්බන්ධ වූවන්ටද දඬුවම් ලබා දුනි. එහි දී රජය තම රාජ්‍ය සේවක විදුහල්පතිවරයා බේරා ගැනීම වෙනුවට සිවිල් යුද්ධයක දී සිදු වී ඇති අපරාධය ගැන පමණක් සළකා බැලූහ. උතුරේ සමුහ මිනි වලවල් ගැනද පරික්ෂණ පැවැත්විය. විදේශීය කිසිදු මැදිහත්වීමකින් තොරව මෙවැනි ප්‍රශ්න අපම සිවිල් යුද්ධවලදී විසඳා ගෙන ඇති නිසා උතුරේ සිදු වූ සිවිල් යුද්ධයේ දී මෙවැනි අපරාධ සිදු වී ඇත්නම් ලංකාව කිසිදු අධිරාජ්‍යවාදීන්ගේ හෝ වෙනත් කිසිදු බළල් අතකට හෝ එවැනි සංවිධානයකට යටත් නොවෙමින් කටයුතු කිරීමේ ආදර්ශය අපටම ලබා දිය හැකිය. හමුදාව තුල යුද්ධය සාධාරණය ලෙස කළ බොහෝ රණවිරුවන්වද මෙම අපරාධ ‍චෝදනා වලින් බේරා ගැනීමේ එම මග හැර අන් මඟක් නොමැති බව රජය තේරුම් ගත යුතුය.  

 

No comments: