Tuesday, November 8, 2011

අප නොරක්නා උරුමය ......

0002
පලමුවන පෝස්ටරය රෝහණ විජේවීරයන්ගේ, අප රක්නා උරුමය. දේශනය ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත සහෝදරයා ඔක්තෝම්බර් 25 සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාලයේදී 'වමේ අපි' අධ්‍යන කේන්ද්‍රය

දෙවන පෝස්ටරය අවස්ථාවාදය ද, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද නැවත මුද්‍රණය, ස්ථානය වෙලාව.  එම.‍

ජ.වි.පෙ. අභ්‍යන්තර අර්බුදය නිසා පැන නැඟී ඇති තත්වය මත දෙකඩ වූ කණ්ඩායම් විසින් ජනතාවට කරුණු දැක්වීම  සඳහා සංවිධානය කරන ලද දේශන මාලාවල එක් පෝස්ටරයක් ඉහත ආකාරයට මුද්‍රණය කොට අලවා තිබුණි. ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත කියා සඳහන් කර තිබූ නිසා යම් වික්ෂිප්තභාවයක් ඇති විය. සංවිධානය ලෙස වමේ අධ්‍යයන කවයක් ලෙස නම් කර තිබූ නිසා ජ.වි.පෙ.න් ඉවත් වූ බහුතර සංවිධාන කණ්ඩායම විසින් මෙය සංවිධානය කරන්නට ඇතැයි සිතුණි.  බහුතර සංවිධානය ලෙස සිතුණු දෙවන කාරණය වූයේ දෙවෙනි පෝස්ටරය හේතුවෙන්ය. දින දෙකක් තුළ පළවෙනි පෝස්ටරයට පසු දෙවෙනි පෝස්ටරය ඇලවිණි පසුගිය අවුරුදු 30 ක පමණ කාලය තුළ ජ.වි.පෙ. ප්‍රකාශන අතර නොතිබුණු පොත් දෙකකින් එක් පොතක් වූයේ රෝහණ විජේවීර විසින් 1970 ගණන්වල අග භාගයේදී සිරගතව සිටින කාලයේදී රචනා කරන ලද අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද නැමැති පොතය.  අනෙක් පොත නම් ඔක්තෝම්බර් විප්ලවයේ පාඩම් පොතය.

දේශනය පැවැත් වූ චමීර විසින් විජේවීරගේ උරුමය තමන්ගේ අනාගත දේශපාලන දැක්ම, උපාය මාර්‍ගය, ප්‍රායෝගිකත්වය හා තම අධ්‍යාත්මික ජවය වෙනුවෙන් අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න පැහැදිලි කළේය. එවකට පැරණි වම ලෙස නම් වූ සම-සමාජ, කොමියුනිස්ට් ප්‍රධාන පක්ෂ ඇතුළු වමේ පක්ෂවලට ගෙන ආ විවේචන අතර ප්‍රධාන වූ සභාග දේශපාලනය විජේවීරගේ විවේචනවල ප්‍රධාන දෙයක් වීය. ජ.වි.පෙ. බිහිවීමේ ‍ඓතිහාසික තත්ත්වය වූයේද, ඉතිහාසය තුළ කියවෙන පරිදි, 1964 දී පැරණි වමේ පක්ෂ සිරිමා රජය අසීරුවට  පත් වූ විට එය ආරක්ෂා කිරීමට ඇමතිකම් 3 ½ කට සභාගයකට ඇතුල් වූ බවට ගෙන එන විවේචනය මහා පාවාදීම ලෙස හැඳින්වේ. ''අවස්ථාවාදය ද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?'' පොතෙන් තව දුරටත් වම ස්වාධීනව සංවිධානය කර ධනපති පක්ෂවල ආඥාදායකත්වය කරා පංතිය මෙහෙයවීම ගැන සඳහන සමගින්,  ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සභාග දේශපාලනයේ එවැනි අභාවාචික  අත්දැකීම් ද සහිතවද, කොන්දේසිවලින් තොරව තම රටේ ස්වාධීනත්වය සඳහා ඉදිරිපත් කරයි.

 වෙන්වීම වෙනුවෙන් සටන් කරන බොහෝ රාජ්‍යවල සටන්කාමී අරගලවලට සහයෝගය දීමක් ගැන ද එම පොතෙන් පැහැදිලි කළ විජේවීර ලෝක බලතුලනයේදී ධනපති රාජ්‍යවලට උදව් කරමින් එම සටන්වලට උදව් කරමින් එම රටවල සටන්කාමීන් හා අරගල වින‍ාශ කිරීමට චීනය හා රුසියාව උදව් කරන ආකාරය ගැන දැඩි විවේචනයක් ද පොතෙහි අඩංගු වේ. 1971 ලංකාවේ ජ.වි.පෙ. මර්‍ධනය කිරීමට චීනයේ සහයෝගය හා රුසියාවේ උදව් ගැන ද පොතෙහි සඳහන්ය.







එම පොත මුල්වරට ජ.වි.පෙ. සහෝදරවරු අතරට ආ කාලවකවානුවේ දී හා පොත ලියමින් සිටින කාලවල පැතිර ගිය එක් ප්‍රවාදයක් වූයේ විජේවීර ට්‍රොස්කිවාදියෙක් වී ඇති බවයි. ඒ තරමටම එම පොතෙන් පැරණි වමේ හා ජාත්‍යන්තර වමේ ව්‍යාපාර වල අවස්ථාවාදයන් ගැන  දැඩි විවේචනයට ලක් කෙරිණි.  එම කරුණු පදනම් කරගෙන ක්‍රියා කිරීම නිසා 1970 ගණන්වල අගභාගය වන විට පැරණි වමේ ක්‍රියාකාරින් බොහෝ දෙනෙක් ද ජ.වි.පෙ. වෙත ආකර්ෂණය විය. කො.පක්ෂය එවකට පවත්වා ගෙන ගියේ සෝවියට් පොත් ආධාර හා වෙනත් ශිෂ්‍යත්ව මත යැපීම නිසා   අවස්ථාවාදය ගැන සිල්ලර උදාහරණ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ජ.වි.පෙ. ගොඩනැගීමට තවත් උදව්වක් විය. 1977 නිදහස් වී පැමිණි හා 1976 තහනම ඉවත් කළ  ජ.වි.පෙ. 1979 ජූනි වන විට කොළඹ මහා නගර සභා මැතිවරණයට මුහුණ දෙමින් කොළඹ ආසන 5 න් ඡන්ද 14503 ක් ලබා ගැනීමට ස්වාධීනව සමත් වූයේ සම-සමාජ, කො.ප. හවුල් සන්ධානය 04 වෙනි තැනට පත්කරමින්ය. ශ්‍රී.ල.නි.ප. හා සසදන විට සෑම ශ්‍රී.ල.නි.ප.  ඡන්ද 1/3 අනුපාතයක් ලැබීය. 1979 ගාල්ල අතුරු මැතිවරණයේ දී ද ඡන්ද 3300 ගාණක් ජ.වි.පෙ. ට ලැබෙන විට ආණ්ඩු බලය අවු.03 කට පෙර හෙබ වූ ශ්‍රී.ල.නි.ප. යට ලැබුනේ ඡන්ද නමදහස් ගණනකි. ජ.වි.පෙ. ස්ථාවරයන් නිසා ජ.වි.පෙ. සමඟ අමනාපකම්  තිබිය දී වාමාංශික බොහෝ අය ද ජ.වි.පෙ. ප්‍රගතිශීලි පැතිමාන දෙස බලා කොන්දේසි විරහිතව ජ.වි.පෙ. ට සහයෝගය දීමට ඉදිරිපත් විය. ජ.වි.පෙ. කට්ටිවාදය නිසා එම තත්වය ඉදිරියට ගැනීමට තව දුරටත් සහයෝගය දීමට ඔවුනට පසුව නොහැකි විය. වාමාංශිකයකු වීමට අවශ්‍ය දැනුම, ක්‍රියාකාරිත්වය පැරණි වමේ නායකයන් තම මෝටර් රථය ගෙන යා හැකි දුරට පමණක් එය සීමා කරද්දී විජේවීර ඈත ගම් දනව්වලට එය රැගෙන ගිය බව ද චමීර සිහිපත් කළේ විජේවීර සලකුණ ලාංකීය සමාජයට දුන් ඉතා විශිෂ්ට දෙයක් ලෙස සලකමින්ය. එහෙත් එතැන නැවතිය යුතු නැති බවත් විජේවීර සර්ව සම්පූර්ණයෙකු ලෙසට භාර ගැනීම පමණක් නොව එහි සීමාවන් ද තිබෙන බවත් දැකීම නිසා විජේවීරගෙන් එහාට යෑමට ද අවශ්‍ය බවත් කියා සිටියේය.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊළමට විසඳුම කුමක්ද? පොත තුළ පිළිතුරක් ගොනු කළ බව ද දෙමළ ජාතිවාදය පැරදවිය යුතු බව විජේවීර කියා තිබූ බවත් පැවසුවේය. ප්‍රශ්නය නම් උතුරේ අරගලය ජාතිවාදී වූ ලෙසට සිංහල ජාතිවාදයේ බලය, වජේවීර දෙමළ ජාතිවාදය ගැන ගෙන ආ සංවාදය තරම්ම බලවත් කිරීමට අසමත්වීමය. පිලිතුර යුදමය වශයෙන් ගෙන ඒමේ දී ජ.වි.පෙ. සිංහල මහා ජාතියේ දෘෂ්ටිවාදය තුළ පිහිටා එය පරාජය කළ පාලකයන්ව නියෝජනය කළහ. ජ.වි.පෙ.න් ගැලවුණු විශාල පතුරක් ඒ හා ප්‍රමාණයකින් පවත්වාගෙන යෑමේ අමාරුව සහ එය සමතුලිත කර ගනිමින් නව ප්‍රවේශයන් ගැනීමක් කළ යුතුව ඇති නිසා විජේවීර උරුමයත් එහි විශේෂනීය පැත්තක් ගැන කතා කිරීම සංවිධාන බහුතරය හිමි ජ.වි.පෙ. ට අසීරුම කරුණකි. පෝස්ටරයේ තිබූ විජේවීර නාමය පුස්තකාල වේදිකා බැනරයේ  විජේවීරයන් වී තිබුණේය. සමාන මනුෂ්‍යයෙකු ලෙස (සහෝදරයා) භාර ගැනීමේ උවමනාව නව ජ.වි.පෙ.යට තිබිය යුත්තක් වුව ද පැරණි පක්ෂයේ අගතීන්වලින් මිදීමේ හා තව දුරටත් ඒවා සහිතව සිටින සාමාජිකත්වය රැකීම ද යන දෙපැත්ත හදිසි නොවී සීරු මාරු කළ යුත්තක් ලෙස දැනුණා විය හැකිය.

සභාග හා  ධනපති පෙරමුණු දේශපාලනය දැඩිව විවේචනය කළ චමීර කොස්වත්ත එය විජේවීරගේ උරුමයක් ලෙස පවසද්දී අපට 88-89 උපක්‍රමයක් ලෙස ප්‍රේමදාසට ජනාධිපතිවීමට ඒ අවස්ථාව සැලසීමට විජේවීරට  සිදුවූ අයුරු සිහියට නැගේ.

මුල් මුද්‍රණයෙන් පසු 'අවස්ථාවාදයද? නිර්ධන පංති ආඥාදායකත්වයද?' පොත නැවත මුද්‍රණය කිරීම නැවතුණේ විජේවීර ජීවත්ව සිටි කාලයේදී වීම මතක් කර දිය යුතු කරුණකි. පොතේ ප්‍රධාන ලෙසම මතු කර දැක්වු‍ණේ ජාතීන්ගේ ස්වයංතීරණ අයිතියයි. ඒ අනුව ලෝකය පුරා සටන් කරන බොහෝ සංවිධානවලට වෙන්වීමේ අයිතිය එහි දී දැඩිව පිළිගෙන තිබුණි. කෙසේ වෙතත් යුද්ධය ඉවර වි ගිය පසු, මෙම පොතෙහි සඳහන් ජාත්‍යන්තර කාලීනත්වය ගැන සංවාදයට ගත යුතුය. ඉතිහාසය මැකීම නොකළ යුත්තක් වන්නේ එය කුමන හෝ අර්ථකථන වෙනුවෙන් තබා තිබිය යුතු බැවින්ය. ස්ටාලින් යුගයේදී ඉතිහාසයේ බොහෝ දේ මකා දමා තිබූ බැවින් එය සමාජවාදය, ඛේදනීයත්වයක් බවට සහ එහි පසුඋරුමකරුවන්ට ලඟාකර දුනි. කෙසේ වෙතත් ධනවාදය පිළිබඳ අදහස හා එහි ක්‍රමවේදය ලෝකය මත ඇති කර තිබෙන ප්‍රශ්න ප්‍රමාණය හා එහි අමානුෂීක ඛේදනීයත්වය නිසා නැවත වරක් සමාජවාදය විය හැක්කක් බවට පත්වනවාටත් වඩා ධනවාදය අවසන් කළ යුතු දෙයක් බවට ලෝකය පුරාම නැ‍ඟෙන හඬ ඇමරිකාවේ wall street හරහා දෝංකාරය දෙමින් තිබෙන විට ලංකාවේ ප්‍රගතිශිලි හා වාමාංශිකයන්ගේ එක් ආකාරයක නාභිගත වීම ජ.වි.පෙ. සංවිධාන බහුතර කණ්ඩායම කෙරේ යොමුවීම වැළකිය ද නොහැක. ජ.වි.පෙ. "පැරණි වම" ලෙසත් පැරණි වම "ඉපැරණි වම" ලෙසත් හැඳින් වූ පසු නව වම ජ.වි.පෙ. න් ම පමණක් සාදා ගැනීමේ සීමාකම් ගැන ද දැනුවත් වෙමින් කටයුතු කිරීම නව ජ.වි.පෙ. සිතා බැලිය යුතුය. අවස්ථාවාදය ද පොත නැවත නිකුත් වන්නේ විජේවීරගේ උරැමයට පමණක් නම්, එය සීමාකමකි.  ඉන් එහා විහිදුනු සංවාදයක් එම පොත ආශ්‍රිතව සියළු ප්‍රගතිශීලින්ට හා වාමාංශිකයන්ට කිරීමට ඉඩක් සාදා ගත යුතුය.    

මැක් පෙරේරා

No comments: