Sunday, November 27, 2011

තරු ඇල්ලීමට යන ගමනේ හඳ අතර රැඳීම..........

නොවැම්බර් 07 දින පදනම් ආයතනයේදී පවත්වන ලද විමල් වීරවංශ‍ගේ දේශනයේ පෝස්ටරය වම නොදන්නා වමේ අවුල ලෙස මාතෘකා ගත කරන ලදී. සමහර වෙබ්වල මෙය මම නොදන්න මගේ අවුල ලෙස ප්‍රචාරය කර තිබුණි. ජ.වි.පෙ. බහුතර සංවිධාන කණ්ඩායම් රැස්වීම්වල දී, ජ.වි.පෙ. පමණක් සහභාගී සහෝදරවරුන්ට  අමතරව වෙනත් විකල්ප පිරිස්ද වැඩි ප්‍රේක්ෂක පිරිසක්  ලෙස ඔවුන් වටා එකතු වී සිටින බව දැක ගත හැකි විය.  ඵම කරුණ සමඟ විමල් වීරවංශ ඉක්මන් වී තිබුණේ අනුර කුමාර විසින් පුවත්පතකට සපයන ලද ප්‍රකාශයක් නිසාය. පරිවාස ආණ්ඩුව සෑදීම, රාජපක්ෂලාට උදව් කිරීම, ‍ෙෆාන්සේකාට උදව් කිරීම යන කාරණාවලදී ජ.වි.පෙ.පෙර ක්‍රියාමාර්ග වැරදි බව අනුර කුමාර පිළිගෙන තිබුණි. ජ.වි.පෙ. හා ජ.වි.පෙ. තුළ සිටි විමල්ගේ අරගලය න්‍යායිකව ප්‍රකාශ කරන්නේ නම්, ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය ලෙස ඔහු විසින් අර්ථකථනය  කර තිබුණි. විජේවීර පමණක් නොව චීනය, වියට්නාමය, කියුබාව, වෙනියුසිලාව ද ඔහුගේ මේ සඳහා වූ උදාහරණ විය. ඒ අනුව ජ.වි.පෙ. පසුගිය වකවානුව පුරා පෙනී සිට ඇත්තේ ඒ සඳහා බව කී ඔහු, බටහිර හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමට ජ.වි.පෙ. උදව් කිරීම යුගයේ ජාතික විමුක්ති සටන ලෙස හඳුන්වා තිබුණි. වර්තමානයේදී ද පශ්චාත් ගඩාපි තත්වය නිසා අධිරාජ්‍ය විරෝධි අරගලයට සූදානම් වීමට අවශ්‍ය ලෝක තත්වයන් නිර්මානය වී ඇති බවත් ඒ සඳහා  අනුරගේ ප්‍රකාශය අවලංගු වන්නේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ උපාය මාර්ග වැඩ පිළි‍ෙවලට අනුව තේරීමේ දී, ජ.වි.පෙ.  පරිවාසය හා මහින්දට උදව් කිරීම නිවැරදි බවද විමල් ප්‍රකාශ කළේය.
            
ලෝකයේ සෑම තැනකම අධිරාජ්‍ය විරෝධී අරගල පැවතියේ එහිම වූ සුවිශේෂී ගුණයක් නිසා නොව එය බොහෝ විට සමාජවාදී හා වාමාංශික පක්ෂ විසින් එයට ජවය හා ශක්තිය සැපයූ නිසාය. ලංකාවේ ශ්‍රී.ල.නි.ප. අධීරාජ්‍ය විරෝධී ධනපති පංතිය ලෙස නාමකරණය වුවද සම සමාජ හා කො.ප ජාතික විමුක්ති අරගලයට එහා විහිදුනු සමාජවාදය පෙරදැරිව න්‍යාය පත්‍රයක සිටි නිසා එහි ජවය, ජීවය, පරිත්‍යාගය, අවංකත්වය මත අතීත ලංකාවේ  වැවයි දාගැබයි සංකල්පය ලෙස වර්තමාන‍ෙය් සෞඛ්‍යය හා නිදහස් අධ්‍යාපනය සංකල්පය හා එය රැක ගැනීමේ අරගලයට ද වාමාංශිකයන් සුවිශේෂ දායකත්වයක් සැපයීය.ඉපැරණි සම සමාජ හා කො.ප යට සමාජවාදය ගොඩ නැගීමට නොහැකි විය. එහෙත් අධිරාජ්‍ය විරෝධී අරගල මෙන්ම සමාජවාදයෙන්මෙහා වූ ඉල්ලීම් පුමාණයක් සපුරා ලීමට අවශ්‍ය ආර්ථික, සමාජ, දේශපාලන  තත්වයන් උදා කරවීමට ඔවුනට පුළුවන් විය. එලෙසම යූ.ඇන්.පිය බලයෙන් වෙනස් කර නැවත ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ ද සම සමාජ කො.ප. නිසාය. වර්තමානයේ ද යූ.ඇන්.පී. ආණ්ඩු බිඳ වට්ටවා පරිවාස හා සන්ධාන ආණ්ඩු පිහිටුවීමට හැකි වූයේද පැරණි  ජ.වි.පෙ. නිසාය. සම සමාජ, කො.ප. ‍ෙමන්ම ජෙ.වි.පෙ. යද  ජාතික විමුක්ති අරගලයට එහා‍ ගිය සමාජවාදී න්‍යාය පත්‍රය වෙනුවෙන් තම මතවාදය, න්‍යාය, සංවිධාන ක්‍රමය පරිත්‍යාගය, අවංකත්වය, සෘජුභාවය සඳහා කැපවෙන කේඩරයක් සහිත අර්ධ බොල්ෂෙවික් පන්නයේ පක්ෂයකි.  1971 හා 88-89  රටම වෙලාගත් කැරලිවල අසාර්ථකත්වයන් සහිත වුවද ඒවා තුළ තිබූ සංවිධානමය ශක්තිය වූයේ සමාජවාදී වැඩ පිළිවෙලකට ගොනු වූ සහෝදරත්වයක නිර්නායකයන්ය. ඒවා මොන දේශප්‍රේමී  හෝ බෙදුම්වාදය පරදවන ශක්තිය ලෙද හැඳින්වුවද කිසිදු දමිළයකු මැරීම හෝ ජාතිවාදයෙන් තොරව ක්‍රියාත්මක වූ සංවිධානයක් බවට ජ.වි.පෙ. හෘද ස‍ාක්ෂිය වී තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හෝ දේශප්‍රේමී පෙරමුණු නම් ලෙස කුමන නාමකරණයක් වීද  උපක්‍රමික අර්ථයෙන් ක්‍රියාකාරී වූ කේඩරයේ මුල් ප්‍රවේශයන් හා ඔවුන්ගේ පවත්වාගෙන යෑම වූයේ සමාජවාදය සූරාකෑම අහෝසි කිරීම හා පන්ති රහිත සමාජයක් වෙනුවෙන් වූ අධ්‍යාපනයයි. සමාජවාදය සඳහා සාමූහිකත්වය පිළිබඳව අදහසින් පෝෂණය ලැබූ හා  සමගාමීව රුසියන් සාහිත්‍යයෙන් ලැබූ පන්නරය ද ශක්තිමත් ජවයකට හිමිකම් පෑහ. අධිරාජ්‍ය විරෝධී හෝ ජාතික විමුක්ති ලෙස සිටි ශ්‍රී.ල.නි.පය යනු සැමදා වාමාංශික සහ සමාජවාදී න්‍යාය පත්‍රය සහිත පක්ෂ විසින් අවදි කළ බලවේගය විය. ශ්‍රී.ල.නි.පය තම කිසිදු ශක්තියක් අධිරාජ්‍යවාදයට එරෙහිව තනිව කළ සංවිධානයක් නොවීය. එසේම 1975 සමගි පෙරමුණු රජයෙන් පළමුව සම සමාජ හා පසුව කො.ප. වෙන්වූ පසු නිදහස් ආර්ථික ප්‍රතිපත්ති පළමු වරට ක්‍රියාවට නැඟීමට ෆිල්ක්ස් ආර් බණ්ඩාරනායක මුදල් ඇමති මගින් සැලසුම් කළ පක්ෂය විය. 1977 ජේ.ආර්. ඉදිරියට ගෙන ගියේ ශ්‍රී.ල.නි.පය කෙටුම්පත් කළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සීඝ්‍ර ලෙස ක්‍රියාත්මකවය. සම සමාජ කො.ප. හෝ ජ.වි.පෙ. ජාතික විමුක්තිය සඳහා තම මතවාදය හෝ න්‍යාය ප්‍රතිපත්තිය සකස් කළ පක්ෂ නොවීය. ඔවුන්ට එය හමු වන්නේ අතර මගය. සූරා කෑමේ පන්ති පීඩනයන්ට ලක්ව ඇති පංතීන්ගේ හා ඔවුන්ගේ අව‍ෙශ්ෂ ස්ථරවලින් පක්ෂවල කේඩරයන් සකස්ව ඇත. සමාජවාදය පිළිබඳ තරු ඇල්ලීමට යෑම නිසා  ඉන් මෙහා වූ හඳ අතර රැඳීමටද එම නිසා ඔවුන්ට පුළුවන් විය. එහි ප්‍රායෝගික උදාහරණ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වෙතින්ම උරුම කර දිය හැකිය. සමාජවාදය සඳහා වූ යන ගමනේ ලැබුණු අතිරේක ප්‍රතිඵල සෞඛ්‍යය, සුභසාධනය හා අධ්‍යාපනය ලංකාවේ ශක්තිමත් පදනමක්ම (පසු විකෘතිව වුවද) දක්නට ඇත්තේ එම නිසාය. ඒ වෙනුවෙන් කළ අරගලය බැඳී තිබුනේ සමාජවාදයේ වූ සාමූහික සංකල්පයට මිස ධනවාදයේ නිදහස් අධ්‍යාපනය සංකල්පයට කිට්ටුව නොවේ. බෙදුම්වාදය ගැන ජ.වි.පෙ. කියවන විට එය ජාතික විමුක්ති ප්‍රවේශයකින් ගෙන විස්තර කිරීමට වඩා එහි තිබුණේ ජනතාව පංතිය බෙදීමේ ක්‍රියාදාමය වෙනුවට එක්ව සිටීමක් ගැන වූ සමාජවාදී ප්‍රාර්ථනයයි. සෑම දෙයක්ම සමාජවාදය හරහා කියවා ගැනීමකට සම සමාජ, කො.ප. හා ජ.වි.පෙ. උත්සාහ කළේය.  විමල් කී පරිදි ජාතික විමුක්තිය  මෙම පක්ෂවල ප්‍රවේශය වූයේ නම්, ජාතික විමුක්තිය ගැන කතා කළ ශ්‍රී.ල.නි.පයට යෝධ ශරීරයක් සහිතව වැතිර සිටීමට පමණක් සිදුවූයේත් එහි ජවය බවට සමාජවාදය ගැන කතා කළ පක්ෂ හා එහි සිරස බවට පත්වූයේත් ඇයිද යන්න විමසා බැලිය යුතුය. ජ.වි.පෙ. ජාතික විමුක්ති සටනට සූදානම් කළ පක්ෂයක් වූයේ නම් පමණක්  එයට මෙතරම් දේ කළ නොහැකිව තිබුණි. එහි ජනප්‍රියම උදාහරණය නම්, බෙදුම්වාදය හා කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිංහල හඬ අවදි කළේ සිංහල උරුමයට හෝ ශ්‍රී.ල.නි.පයට වඩා සමාජවාදී ප්‍රාර්ථනය සහිත බොල්ෂෙවික් ආකාරයකට සංවිධානය වූ ජ.වි.පෙ. සංවිධානය වෙතින්ය. එම නිසා ජංවිංපෙ. සම්බන්ධයෙන් වූ විවේචනයේදි ජ.වි.පෙ. සමාජවාදය පෙරදැරිව කළ අධ්‍යාපනය, පක්ෂ කේඩරයන් සකස් කිරීමත් එහි ජවයත් දියාරු වී තිබූ ශ්‍රී.ල.නි.පයට හෝ වත්මනෙහි විමල්ගේ නිදහස් පෙරමුණට කළ හැකි දෙයක් බවට පත්වීමට පුළුවන. අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙමින්ම එහෙත් මූලික මානව හිමිකම් ගැන කතා කිරීමත් එකක් ලෙස සමාජවාදය හඳුනා ගැනිම නිසා එය වඩාත් ඵලදායි තැනකට ගෙන යෑමට ව්‍යාජ අධිරාජ්‍යවාදී හඬ නැගූවද එහෙත් මානව විරෝධීන්ට වඩා ජ.වි.පෙ. හි හැකියාව හඳුනා ගත යුතුය. කැරලිකාර කණ්ඩායම මේ දෙක අතර සීරු මාරුව සමාජවාදීන් ලෙස තේරුම් ගෙන සිටිමින් කටයුතු කිරීම පැරණි ජ.වි.පෙ. ට අභියෝගයකි. විමල්ගේ ඒක පාක්ෂික අධීරාජ්‍ය විරෝධී පමණක් වන සටනින් තම රටේ ජනතාවට කිසිත් ලැබෙන්නේ නැත. පංති අරගලයන් යට කර දමන හඬක් මතුකර අධිරාජ්‍යවාදී ආර්ථික කොන්දේසි අකුරටම පිළිගෙන කටයුතු කරන රාජපක්ෂලා ගේ මතවාදී අධිරාජ්‍ය විරෝධය වෙනුවෙන් පමණක් උදව් ලබා දීමට විමල් උත්සාහ කරයි. ගඩාපි සැබෑ දේශප්‍රේමියෙක් නම් තම රටේ ජනතාවගේ වෛරයට මෙතරම් පාත්‍රවූයේ ඇයිද  යන්න ප්‍රශ්ණයකි. භාග දේශප්‍රේමීන්ගේ ඉරණම ගඩාපි ගෙන් පැහැදිලි වන්නේ එම නිසාය. ජනතාව සැබෑ අධීරාජ්‍ය විරෝධී අරගලයට ගැනීමට නම් එම ජනතාව රටේ පාලක දේශප්‍රේමීන් කරන ආර්ථික ඝාතන හා අවැඩ ගැන ද කතා කළ යුතුය. මේ මොහොතේ දෙමළාට එරෙහිවම පමණක් වන හෝ බටහිරට විරුද්ධ කතාබහක යෙදෙන අරගලයක් නම් එය භාග දේශප්‍රේමී අරගලයකි. කෙසේ වෙතත් ජ.වි.පෙ. සද්ශ ප්‍රේමයට වඩා තම අතීතයේ සිටම තම පක්ෂ කේඩරය ශක්තිමත් කළේ සූරාකෑම හා පංති අසාධාරණත්වය මතය. අසමාන සම්පත් බෙදී ය‍ෑමේ ගම-නගර වෙනස තුළ ගම්වල ජ.වි.පෙ. ක්‍රියාකාරිත්වය වැඩි වූයේද එම නිසා බව විමල්ට මතක් දිය යුතුය. විමල් ජාතික විමුක්ති අරගලය පළමුව කරවන්නට යන ගමනේ ප්‍රේක්ෂක පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සිටියේ ජවයන් සහ හැඟීම් සහිත ජනතාවක් නොව ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන් හා නිවාස ණය ලබා ‍ෙදමින් ප්‍රාදේශීයව රැස් කර ගෙන්වා ගත්  නිවාස ණය ලාභීන්ය. ජාතික විමුක්ති අරගලය සඳහා විමල් විසින් ජනයා පාරට බස්සවන දිනක දී නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයට නිවාඩු දී ඔවුන්වත් තව තවත් නිවාස ණය දෙන බව කියමින් ධනපති පක්ෂවල ‍ෙමන් වරදාන ලබන රැස්කරන ජනතාවක් සිටිය යුතුය. මේ නිසා ජ.වි.පෙ. සමාජවාදය පෙරදැරිව ගොඩනැගූ කේඩරයන්ගේ ශක්තිය මතින්ම තම තත්වය රැකගෙන ඇති විමල්,  ජ.වි.පෙ. තමන්ව ගොඩ නැගීම සඳහා ලබා දුන්නා වූ සමාජවාදයේ හා මාක්ස්වාදයේ මුල් උරුමයන්ට මීට වඩා ගරුත්වයකින් කථා කළ යුතුව ඇත.      

No comments: