Monday, January 3, 2011

.


ඔබ කළ යුතු දේකිරීමට 
සමහර විටක ඔබට සිදුවේ......

2004 ට පෙර පැවති x කණ්ඩායමේ කලාව සම්බන්ධයෙන්  තිබූ අධිපති සම්ප්‍රදායික විචාර කලාවට වෙනස්ව, ඉන් ඉවත්  වූ පිරිසක් විසින් ලන්ඩන් සඟරාවේ 2005 - මාර්තු - අප්‍රේල් කළාපයේ පළ වු මෙම සිනමා විචාර ලිපිය  අහස්ගඟ පාඨකයන් වෙනු‍වෙන් අපි ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
            පුළුල් සමාජ වෙනසක් ප්‍රාර්ථනය කරන්නන් සියළු දෙනාටම හමුවන හා ඔවුන් ගොදුරුවන ප්‍රධාන  කරුණක්  නම්, පවතින සමාජය විසින් ම අප වෙත ඉදිරිපත් කර ඇති දෛවයිත සම්බන්ධයන්ගෙන් එක් ස්වරූපයක් වෙනුවෙන් පෙනී සිටිමින්  සමාජය වෙනස් කිරීමට ක්‍රියා කිරීමය.  එය ද පවතින සමාජය විසින් ම නිර්මානය කර දුන් දෙයක් වූ විට, අප වෙනස් කිරීම යන්නට දෙන අර්ථය කුමක්ද යන්නයි. මෙම සමාජ-දේශපාලන ගැටළුව ගැන සිතීමකට ද මෙම ලිපිය අපව යොමු කරවයි.  

                            DOGVILLE

ඩොග්විල් චිත්‍රපටය ආදරය හා පාවාදීම පිළිබඳ සදාචාරවත් කතාවක් බවට පත් වීමෙන් ගැලවෙන්නේ යන්තමිනි. පාවුලෝ කොයියෝගේ නවකතා ජනප්‍රියත්වයට පත් වි ඇති ආකාරය සැලකිල්ලට ගන්නා විට කෙනෙකු ග්‍රේස් සමඟ පහසුවෙන් අනන්‍යවනු ඇත. ඒ මනුෂ්‍ය යහපත් බවෙහි පරමාදර්ශී  සාරය ලෙස ඇය හඳුනා ගැනීමෙනි. එහෙත් පැහැදිලි ලෙසම මෙය කළ නොහැකි වන්නේ චිත්‍රපටයේ අවසානයේ ඇති භයංකර හිංසාකාරිත්වය නිසාය. චිත්‍රපටිය අවසාන ජවනිකාව තුළ, ඊළඟ සංචාරකයාට, ඊළඟ පලා එන්නාට ඉතිරි වන්නේ ඩොග්විල්හි බල්ලා පමණකි. (මේ බල්ලා උත්ප්‍රාසාත්මක ලෙස මෝසෙස් යනුවෙන් නම් කරනු ලැබ ඇත.) මීටත් වඩා වැදගත් ලෙස අප මෙහිදී නොතකා නොහැරිය යුතු කරුණ වන්නේ මෙම චිත්‍රපටය, නැවත ගලවා ගත නොහැකි මනුෂ්‍ය පහත්භාවය ගැන චිත්‍රපටයක් නොවන බවයි. මන්ද එය එසේ වූවා නම් එය හුදෙක්ම කණපිට පෙරලන ලද සදාචාරවාදී කතාවක් පමණක් වනු ඇත. මෙම චිත්‍රපටය හොඳ/නරක, ස්වභාවධර්මය/සංස්කෘතිය වැනි, අත්තනෝමතික සංස්කෘතික වටිනාකම් මත පදනම් වූ සදාචාර වර්ගීකරණයන් අවධාරණය කරන දෛවයිත සම්බන්ධයන් ඉක්මවා යයි. ඒ අතරම එය, ව්‍යාජ- බහුත්වයක් ඉදිරිපත් කරමින් ස්ථාවරයක් ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන නව- ලිබරල් පළායම්වාදය ද ඉක්මවා යයි. මෙහිදී අපගේ තර්කය වන්නේ, මෙම චිත්‍රපටිය සංස්කෘතියෙහි ගැලවිය නොහැකි සිරවීම ඉදිරිපත් කරන බවයි; අප සංස්කෘතික වීම නිසාම (අප සංකේතීය පිළිවෙලට ඇතුළු වී ඇතැයි යන නිශ්චිත අරුතින්) අප ඛණ්ඩනය වූ සත්ත්වයන් බව, එනම් ‍හොඳ හා නරක අතර හෝ ස්වභාවධර්මය සහ සංස්කෘතිය අතර ඛණ්ඩනය වී නොව අපගේම සවිඥානික සහ අවිඥානික පැවැත්ම අතර ඛණ්ඩනය වී ඇති බවයි. මෙම චිත්‍රපටිය, අවසාන අර්ථයේ දී සාකච්ඡා කරන්නේක්‍රියාව (the act) විසින්, සංස්කෘතික අස්ථාවර භාවයට පත් කොට, එය විප්ලවවාදී වෙනසකට භාජනය කරන්නේය යන්න පිළිබඳව බවයි.

ඩොග්විල් ප්‍රජාවට ග්‍රේස් නියෝජනය කරන්නේ කුමක්ද? මෙම චිත්‍රපටිය ආරම්භ වන්නේ ඩොග්විල් ප්‍රජාවගේ එදිනෙදා ජීවිතය පිළිබඳව, ඔවුන් කවුරුද, ඔවුන් කරන්නේ මොනවාද, ඔවුන් පැමිණියේ කොහි සිටද, යනාදිය පිළිබඳව  කෙරෙන විස්තරයකිනි. ඩොග්විල් යනු ඒ අර්ථයෙන් ඉතාම සාමාන්‍ය, සාමකාමී නගරයකි. මෙම ප්‍රජාව තුළ කිසියම් ආකාරයක සංවාදයක් සහ විවාදයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ ටොම් නම් ලිබරල් දාර්ශනිකයා පමණි. එහෙත් සතිපතා දේශන පවත්වමින් මෙම නගරයෙහි ජනතාව තුළ දාර්ශනික සහ සදාචාරමය ගැටළු පිළිබඳව උනන්දුවක් ඇති කිරීමට ඔහු දරන උත්සාහය ඉතාම දුඃඛිත ලෙස අවසාන වේ. දරුණු මැර කල්ලි නායකයෙකුගෙන් පළායන්නියක වන ග්‍රේස් ආරක්ෂාව පතා ඩොග්විල් වෙත පැමිණෙන්නේ මේ මොහොතේ දීය. ටොම් එකවරම ඇයගේ ආරක්ෂකයා බවට පත්වී, අපට සිතාගත හැකි පරිදිම සුන්දර ග්‍රේස් (නිකොල් කිඩ්මන්) සමඟ පෙමින් වෙලී, ග්‍රේස් වෙනුවෙන් නගරයේ ප්‍රජාව ඉදිරියේ පෙනී සිටින්නා බවට පත්වෙයි. ඇය ඔවුන්ට කිසිදු හිරිහැරයක් නොකරන බවට පමණක් නොව, ඇය ඔවුන්ගේ වැඩ කිරීමටත් කැමති බව ඔහු ඇය වෙනුවෙන්ම ඔවුන්ට සහතික වෙයි. ටොම්, ග්‍රේස් සහ නගරයේ ජනයා අතර කේවල් කරන්නා බවට පත් වෙමින්, ආගන්තුකයෙකු වෙත තමන්ගේ ඉවසීම ප්‍රකාශ කිරීමට නගරයට ලැබෙන හොඳම අවස්ථාව මෙය බව නගරයේ ප්‍රජාවට පෙන්වා දෙයි. නගරයේ ප්‍රජාව මෙයට එකඟ වන අතර ග්‍රේස් ඔවුන්ගේ වැඩ කිරීමට පටන් ගනී. එහෙත්, මුලදී ඉතාම සාමකාමී ස්වභාවයක් දරන නගරය සහ ග්‍රේස් අතර වන සම්බන්ධතාවය, ඉක්මණින්ම කෘරත්වය පිළිබඳ සිත කැළඹෙනසුලු ස්වභාවයකට හැරීමට පටන් ගනියි. සෑම කෙනෙක්ම කෙමෙන් කෙමෙන් තම සීමාව ඉක්මවා යාම අරඹන අතර, මෙය ග්‍රේස් වඩාත් වෙහෙස වී වඩා දිගු කාලයක් වැඩ කළ යුතු යැයි අණ කිරීමේ සිට, ඇය වෙත කරන ලිංගික පීඩා දක්වාම දිගු වෙයි. ටොම් පවා මේ වන විට ග්‍රේස් සොයා නගරයට පැමිණෙන මැර නායකයාගේ දුරකථන අංකය විසි නොකර ප්‍රවේසම් කර තබා ගනියි. නගරය පළිගන්නා සුලු ආකාරයකින් ග්‍රේස් වෙත හැරෙන අතර, ග්‍රේස් පලා යෑමට උත්සාහ දරතැයි යන චෝදනාව මත (ඇය වරක් එය උත්සාහ කර අසාර්ථක වෙයි), ඇය අනතුරුදායකයැයි පවසමින් ඇයව විශාල යකඩ කුට්ටියකට තබා මාංචු දමයි. ග්‍රේස්ට වැඩ කරන විටත්, ඇවිදින විටත්, ඉතා බර මේ යකඩ කුට්ටිය ඇදගෙන යාමට සිදුවේ. ඇයගේ ගෙලට බල්ලෙකුගේ ගෙලට දමන වර්ගයේ යකඩ පටියක් දමනු ලබන අතර, මේ වන විට ග්‍රේස්ගේ පෙම්වතා වන ටොම් ද නගරයේ ප්‍රජාවගේ මෙම කුරිරු ක්‍රියාවන්ට  පාර්ශවකරුවෙකු වෙමින්, ඒවා සාධාරණීකරණය කරයි. චිත්‍රපටිය අවසානයේ දී ග්‍රේස්ව නැවත මැර කල්ලි නායකයාට භාර දීමට ටොම් ඔහුට දුරකතනයෙන් අමතයි. මැර නායකයා ග්‍රේස් අල්ලා ගැනීමට ඩොග්විල් වෙත පැමිණෙයි. කතාව අනපේක්ෂිත පැත්තට හැරෙන්නේ මෙහිදීය: මේ මැර නායකයා ග්‍රේස්ගේ සතුරෙකු නොවනවා පමණක් නොව (ඔහු ඇයගේ පියා වෙයි), අපට ඉක්මනින් හෙළි වන්නේ ඔවුන් අතර බැඳීම ඉතාමත් ගැඹුරු බවයි. ග්‍රේස් ඔහුගෙන් පළායාමට  දරන උත්සාහය යනු ඇත්ත වශයෙන්ම,  ඔහු සම්බන්ධ වී සිටින හිංසාකාරිත්වයෙන් පලා යාමට දැ‍රෙන උත්සාහයකි. එහෙත් අවසාන දර්ශනයේ දී ග්‍රේස් විසින්ම ඩොග්විල් නගරය විනාශ කිරීමට අණ දෙන අතර, ඇයම ටොම්ට වෙඩි තබා මරා දමයි.


    චිත්‍රපටය මුල දී ග්‍රේස් විසින් ඩොග්විල් නගරයට සිය ඉවසිලිවන්තභාවය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දෙනු ලබයි. එහෙත්, ඉක්මණින්ම ඔවුන්ව ඔවුන්ගේ සීමාව වෙත රැගෙන යයි. මෙම වෙනස ඇති කිරීමට හැකි ග්‍රේස් තුළ ඇති දෙය කුමක්ද?  මුලදී, ග්‍රේස් යනු අහිංසකත්වයේ ප්‍රතිමූර්තියයි. ඇය පැමිණෙන්නේ උදව් ඉල්ලමිනි. ඒ මොහොතේ ටොම් යනු අහම්බෙන් වාසනාවක් හිමි වූ දාර්ශනිකයාය. තම ප්‍රජාවට ඉවසිලිමත්භාවය ඉගැන්විය හැක්කේ කෙසේ දැයි ඔහු කල්පනා කරමින් සිටින මොහොතේදීම, අනතුරට භාජනය වී, අසරණ වී සිටින ග්‍රේස් නගරය වෙත පැමිණෙයි. ඇය මෙහි දී ටොම්ගේ පාඩම ඉගැන්වීමට සජීවි නිදර්ශකයක් සපයයි. ඉක්මණින්ම නගරයේ ප්‍රජාව ඔවුන්ගේ ලිබරල් ඉවසීම හා දරා ගැනීම ප්‍රදර්ශනය කිරීමට පටන් ගනී. ග්‍රේස්ට නගරය අවශ්‍ය වූවාට වඩා නගරයට ග්‍රේස්ව අවශ්‍ය වූවාක් මෙනි. කලින් ඡායා වැනි වූ චරිත ඉක්මණින්ම සජිවි බවට පත් වී ග්‍රේස්ගේ පැමිණිමෙන් පසුව ඔවුන් වඩා නිශ්චිත පුද්ගල චරිත බවට ස්වභාවයක් අත්පත් කර ගනී. ග්‍රේස් ඇතුළත සිටින්නා සහ පිටත සිටින්නා යන දෙකම බවට පත් වන විට, ඇතුළත සහ පිටත අතර සීමාව වඩ වඩාත් ප්‍රශ්නාර්ථයක් බවට පෙරළෙයි. මෙම ප්‍රජාව ග්‍රේස්ව පිළි ගත්ත ද ඇයට කිසිවටකත් එහි ඇතුළත සිටින්නෙකු බවට පත්විය නොහැකි වන්නේ, ඇය නගරයට පැමිණියේ මෑතකදී වීම නිසාම නොව ඇය එහි සිටින ගැහැණුන්ගෙන් සහ පිරිමින්ගෙන් රැඩිකල් ලෙස වෙනස් වන නිසාය. ඩොග්විල්හි නතර වීමට ග්‍රේස්ට අවසර දීමෙහි අරමුණ වූයේ නගරයේ ඉවසිලිවන්තභාවය ප්‍රදර්ශනය කිරීම නම්, අපට දිගින් දිගටම ඒ වෙනුවට ‍පෙනී යන්නේ නගරයේ කෲරත්වය ග්‍රේඕ තුළ ඇති පුදුම සහගත හැකියාවයි. ඇතුළත හා පිටත අතර ඇගේ නිරන්තර මාරුවීම, චිත්‍රපටිය තුළ නිරූපනය වන්නේ පරිකල්පිත බිත්ති රේඛා තුළිනි. මේවා මිනිසුන් සහ නිවාස වෙන් කරන අතරම, ඒවා විනිවිද දැකීමට ද ප්‍රේක්ෂකයාට ඉඩ ලබා දෙයි. එසේ නම්, ග්‍රේස් හා ඩොග්විල් අතර සම්බන්ධය කුමක්ද? 

ඕනෑම සංකේතීය ඒකීයත්වයක් ගොඩනැගෙන්නේ අභ්‍යන්තර, අවිඥානික හඹායාමක් මර්ධනය කිරීමෙනි. සංකේතීය නීතිය හා පිළිවෙළ ආශ්‍රයෙන් අප අර්ථ සහිත සම්බන්ධයක් ගොඩනගන විට ඇත්ත වශයෙන්ම අප කරමින් සිටින්නේ අපගේම ප්‍රමෝදයට සීමා පනවා ගනිමින්, සහ එය පාලනය කරමින්, සියල්ල ඇතුලත් කර ගන්නාසුලු යථමය පැවැත්මක් වෙත ඇති අභ්‍යන්තර හඹා යෑම මර්ධනය කිරීමයි. එනම්, සංස්කෘතිකකරණයට යටත් වී ඇති ඕනෑම මනුෂ්‍යයෙකු ඔහුගේ /ඇයගේ සවිඥානික සහ එබැවින් පරිකල්පනිය පැවැත්ම සහ ඔහුගේ/ඇයගේ යටපත් කරන ලද සහ එබැවින් සංකේතීය පැවැත්ම අතර ඛණ්ඩනය වී ඇත.  මෙම අභ්‍යන්තර බෙදීමට මුහුණ දීමට විෂයට සංකේතීය ආරක්ෂණයක් අවශ්‍ය වන්නේ, එය මගින් විෂයට මෙම අභ්‍යන්තර ඛන්ඩනය පිටතට ප්‍රක්ෂේපනය කිරීමට හැකිවන නිසාය. එවිට සොයා ගන්නා පරිකල්පනීය සතුරෙකු විෂයේ පවතින මෙම අභ්‍යන්තර ඛන්ඩනය දරා සිටින්නෙක් බවට පත්වේ. විෂයට තමා තුළ සිටින අමුත්තා, තමාගේ සමස්ථ පැවැත්ම විනාශ කිරීමට තර්ජනය කරන මෙම භයංකර අනෙකා පිළි ගැනීමට, දරා ගැනීමට නොහැකි බැවින්, මේ අභ්‍යන්තර බෙදීම දරා සිටිය හැකි අනෙකකු සොයා ගැනීමට සිදුවේ. සෑම සමාජයක් සතුවම තමන්ගේම යුදෙව්වා (හෝ ගැහැණිය) පවතින්නේ එබැවිනි.

එම නිසා ග්‍රේස් යනු, හුදෙක්, ඩොග්විල් සමාජයෙහි මර්ධිත අනතර්ගතය ප්‍රක්ෂේපනය කරනු ලබන අනෙකා පමණි;  දන්නා දෙය තුළ සිටින අමුත්තා, ශිෂ්ට ඩොග්විල්හි මර්ධිත යට පැත්ත නියෝජනය කරන බාහිර නියෝජිතයාය. ග්‍රේස් යනු ඩොග්විල් ශිෂ්ට කිරීමට හෝ විනාශ කිරීමට පැමිණෙන පිටස්තරයෙකු නොව, ශිෂ්ට ඩොග්විල් සමාජයෙහිම මර්ධිතයයි. ඩොග්විල් හුදෙකලා වූ  කොහේ පවතින්නේ දැයි සිතා ගත නොහැකි නගරයක් වුවද අපට නිතරම දැනෙන්නේ එය මැර නායකයන්ගෙන් සහ මැරයන්ගෙන් වට වූ ඔවුන් විසින් එහි පවතින සාමය විනාශ කිරීමේ තර්ජනය නිතරම පවතින නගරයක් බවයි. මෙම මැරයන්ගේම ප්‍රතිවර්තිත (reversed) නියෝජිතයා ග්‍රේස් වන අතර, ඔවුන් යනු ඇත්ත වශයෙන්ම, ඩොග්විල් සමාජයේ මර්ධිත හිංසාකාරිත්වයයි. ඔවුන් මෙහි බාහිර මායිම පමණක් නොව එහි පදනමේ පවතින අභ්‍යන්තර සීමාවයි, එහිම අභ්‍යන්තර ශේෂය, මර්ධිත යථ වෙයි. මේ අර්ථයෙන් ග්‍රේස් එබඳු මැර නායකයෙකුගේ දියණියක් හැර වෙන කිසිවෙක් විය නොහැකිය. ග්‍රේස්ගේ නමෙහි සිටම (ග්‍රේස් යන්නෙහි ශ්‍රියාවත්, නිහතමානී සහ දිව්‍යමය යන අර්ථ ඇත), ඇය පිළිබඳ සියළු දේ පිරිසිදු සහ අහිංසක වේ. ඇය එය වරදක් වන දුරටම යටහත් පහත් වන අතරම ඇය වෙත යොමු කරන හිංසාකාරිත්වය ඇය අක්‍රීයවම පිළිගනී. ප්‍රතිවිරෝධයක සේයාවකදු නොමැතිව, ඇය වෙත එල්ල ‍වන පහර පිට පහර ඇය දරා ගනී. පසු ආවර්තනයෙන් ගත්කල, පළා යෑමට ඇය දරන උත්සාහය මවා පෑමක් වන්නේ එය ඩොග්විල් නගරය විසින් ඇයට යදම් දැමීමට ගන්නා තීරණය සාධාරණීකරණය කරන බැවිනි. (මනෝ විශ්ලේෂණයේ අපට හුරු පුරුදු පසු ආවර්තනය නම් සංකල්පය ඇසුරින් ගත්කල, ග්‍රේස් පලා යෑමට තැත් කරන නිසා ඇයට යදම් දැමුනා නොව  ඇයගේ පළා යෑම ඩොග්විල් විසින් කොහොමටත් කිරීමට ඉඩ තිබූ දෙය සාධාරණීකරණය කළේය) වෙනත් වචනවලින් කියනවා නම් පළා යෑමට ඇය දරන උත්සාහය වූ කලී, මෙම ඉතා සාමාන්‍ය සමාජයේ ක්ෂතිමය හිංසාකාරිත්වයට (ඔවුන්, බල්ලෙකුගේ පටියක් සිහිපත් කරවන යකඩ පටියකින් ඇයව බැඳීමේ ක්‍රියාවලියට) මුහුණ දීමට අපට හැකියාව ලබා දෙන ආඛ්‍යානයයි. මෙසේ බදිනු ලැබ, සම්පූර්ණයෙන්ම යටහත් පහත් වන ග්‍රේස්, ඇයව යටත් කෙරෙන ශාරීරික හා මානසික හිංසාකාරිත්වයට සම්පූර්ණයෙන්ම නිර්වින්දනය වේ. උත්ප්‍රාසාත්මක ලෙස ‘mission hall’ යනුවෙන් නම් කර ඇති ටොම් ගේ ශ්‍රාවක සමූහයේ කැපී පෙනෙන ලක්ෂන නම්, ඔවුන් සියළු දෙනාම ඉතාම යහපත්, කරුණාබර සංවේදී පුද්ගලයන් වීමය. වේරා ඇගේ දරුවන් සිහිපත් කරන විට හඬයි; අන්ධ මිනිසා වඩා යහපත්ව පැවති දවස් ගැන සිහින දකියි; වක් නිහඬ වුවත් කෲර නොවෙයි; ග්ලෝරියා සෑම විටම ටොම්ට සහ ග්‍රේස්ට උදව් කරයි. කෙටියෙන් කියතොත් ග්‍රේස් ඔවුන්ගේ සීමාව පරික්ෂාවට ලක් කරන තෙක්ම ඔවුන් අපට සිතාගත හැකි ඉතාම යහපත් සාමාන්‍ය මිනිසුන් වේ. එහෙත් මුල දී මානුෂික සැකයන් හා කුඩා කෲරකම් ලෙස පවතින දෙය, හදිසියේම සිතාගත නොහැකි භයංකර දෙයක් බවට පත්වන්නේ මෙම මතුපිට, සාමාන්‍ය බවට යටින් ඇති හිංසාකාරිත්වය අනාවරණය කරමිනි. පෝල් වර්හාගේට අනුව හිංසනය යනු බියෙහි ස්වභාව ලක්ෂනාත්මක ප්‍රකාශමාන වීමකි. ඩොග්විල් නගරය බිය වද්දන ග්‍රේස් තුළ ඇති දෙය කුමක්ද? ඩොග්විල් නගරය බියෙන් අලලවන, ඇයව හොඳින් ආරක්ෂිත ලෙස මාංචු දැමීමෙන් මෙහා නතරවිඹට නොහැකි තත්වයකට පත් කරන, ග්‍රේස් විසින් ඉදිරියට ගෙන එනු ලබන ‍ඩොග්විල්හි ම ඇති දෙය කුමක්ද?  ලැකාන් සැබෑ ගැහැනිය ලෙස හඳුන්වන දෙයෙහි  ස්වභාවය අනුව යමින් ග්‍රේස් ඩොග්විල්හි රැඩිකල් ඛණ්ඩනය ඉදිරියට රැගෙන එයි. මේ අනුව ඇය කණපිට පෙරළන ලද මීඩියා කෙනෙකි. මිඩියා, පේසන්ගේ ඛණ්ඩනය/අඩුව ඉදිරියට රැගෙන එන්නේ ඔහු තුළ කිසිවිටක පුරවා ලිය නොහැකි සිදුරක් විදීමෙන් නම්, ඒ ආකාරයටම ග්‍රේස් ඩොග්විල්හි යහපත්, ගෞරවාන්විත මිනිසුන්ගේ මතුපිට මානසිකත්වය විනාශ කර දමයි. ඇයගේ අවසාන හිංසාකාරී නැවත පැමිණිම සිදුවන්නේ ඇය හරහා ඩොග්විල් නගරයට එහිම සීමාව හමුවන බැවිණි. අවසානයේ දී තීරණාත්මක දුරකතන ඇමතුම දෙනු ලබන්නේ ඉවසිලිමත්භාවය ගැන දේශනා කරන ටොම් විසිනි. මෙහිදී අප උගත යුතු පාඩම නම්, ඔබ කෙරෙහි හිංසනය පනවන්නන් දඬුවමට ලක් කරනු ලබන තෙක්ම ඔවුන්ගේ හිංසනය නිහතමානී ලෙස පිළිගත යුතුය යන්න නොවේ. මීට ප්‍රතිපක්ෂ ලෙස මෙහි අවධාරණය වන සත්‍යය නම් ඕනෑම සංකේතීය පද්ධතියක් තමාගේම අතිරික්කය නිර්මාණය කරන බවත්, කිසියම් දිනක එය යථ තුළ නැවත පැමිණෙන බවත්ය. ඩොග්විල් තුළ, මේ නිසා මැර නායකයගේ දියණිය සහ කෲර ඝාතකයෙකු ලෙස කෙරෙන ග්‍රේස්ගේ නැවත පැමිණිම වූ කලී අවසාන ආචාර ධර්මීය ක්‍රියාවයි. (Ethical Act). එනම් යටපත් කරන ලද දෙයෙහි නැවත පැමිණිමට ඇති හොඳම උදාහරණයයි. ග්‍රේස් යනු, එම නිසා, ඩොග්විල් වලට ඇති බාහිර තර්ජනයක් නොව, එහිම රෝග ලක්ෂණයයි.

එසේ නම්, ග්‍රේස් දරා සිටින අවකාශ වන්නේ  ශරීරය හා මනස (අපගේ යථාර්තයෙහි සමාජ/සංකේතීය ජාලය) අතර වන හිදැසයි. මනෝ විශ්ලේෂණයේ නිතර කතා කරන හිදැස වන්නේ මෙයයි. අපගේ මානුෂික පැවැත්ම සළකුණු කරමින්, අපව සතුන්ගෙන් වෙන් කරමින්, අපගේ හඹායෑම ක්‍රියාත්මක වන්නේ මේ හිදැස තුළය. හඹායෑම යනු සතුන්ට අයත් ලෙස තේරුම් ගනු ලැබූ දෙයක් වුවද, එය අපගේ මානුෂික ගුණාංගයයි. හඹායෑම වෙත පවරනු ලබන මෙම තිරිසන් භාවයෙහි සෘණාත්මක හැඟවුම යනු ආවේනික ලෙසම අප අපගේ මර්ධිත ප්‍රබෝධයට මුහුන දෙන ආකාරයයි: නිර්වචනාත්මකවම හමා යෑම යනු, මා පිළිගැනීමට අකමැති මා තුළ පවතින දෙයයි. මේ අර්ථයෙන් හඹා යෑම යනු, අනෙකා සමඟ වන පරිපූර්ණ සම්බන්ධයකට හෝ අනෙකා සමඟ වන පරිපූර්ණ පරාරෝපනයකට යොමු වූ බාහිර ප්‍රමෝදයක් වෙත ඇති මගේ අභ්‍යන්තර නැමියාවයි. මා තුළම සිටින සියල්ල ගිල ගන්නා අනෙකා ගේ තර්ජනයෙන් ගැලවී, මට විෂයක් ලෙස පැවතීමට ආරක්ෂන යන්ත්‍රයක් අවශ්‍යය. හඹායාමේ තේරුම්ගත නොහැකි තර්ජනය හමුවූ විගසම විෂය ආශාවේ ආරක්ෂාව වෙත පළායෑමේ පුදුමයක් නොවේ. මේ දෙක අතර කේවල් කිරීමේ ලක්ෂ්‍යය වන්නේ කාංසාවයි. පලා යන විෂයේ ගැලවුමට විෂය අයත් කණ්ඩායමට හෝ ප්‍රජාව පැමිණෙන්නේ මේ මොහොතේ දීය. පොදු නීති ස්ථාපනය කිරීම මඟින් ප්‍රමෝදය පරිපාලනය කර, අභ්‍යන්තර හඹායෑම දුරස්ථව පවත්වා ගැනීමට විෂයට උදව් කරන ප්‍රජාව, එයින් නොනැවතී, මෙම අභ්‍යන්තර ඛණ්ඩනය, එනම් ඊරෝස් සහ තැනටෝස් වෙත විෂය තුළ ම ඇති හඹා යෑම දරා ගෙන සිටින බිහිර අනෙකෙකු නිර්මාණය කර ගැනීමට අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක උපකරණ ද සපයයි. විෂයට විෂයක් ලෙස පැවතීමට උදව් කරන්නේ මෙම ආරක්ෂණ යන්ත්‍රණයයි. ඩොග්විල් තුළ ග්‍රේස් යනු මෙම අභ්‍යන්තර ඛණ්ඩනයේ බාහිර ප්‍රකාශමාන වීමක් පමණක් වන අතර, ඇය එක්තරා අකාරයකට, වෙස්වළා ගත් දෛව ස්ත්‍රියකි[2].

මාගේ පූර්ණත්වය පිළිබඳ අදහස ඩොග්විල් නගරයට පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන ෆැන්ටසි ආධාරකය ග්‍රේස්ගේ යටහත්භාවයයි. නමුත් මේ භූමිකාව වඩ වඩාත් අන්තයට යන විට ඇය විසින් වඩ වඩාත් මතු කරනු ලබන්නේ ඩොග්විල්හි මර්ධිත හිංසාකාරිත්වයයි.  ඩොග්විල්හි සදාචාරමය ඛණ්ඩනය  ඉදිරියට ගෙන යනු ලබන්නේ ඇයගේ යටහත්භාවයේ ක්‍රියාව විසින් වන අතර, එය භෞතිකව විනාශ කරනු ලබන්නේ ඇයගේ හිංසාකාරී පිළීගැනීමේ ක්‍රියාව විසිනි.

අප මෙහි දී මග ම හැරිය යුතු උගුල නම් ඩොග්විල්හි ප්‍රජාවට මෙම අවසානය ළඟාවීම යුක්තිසහගත දැයි ප්‍රශ්න කිරීමයි. කොතරම් වේදනාකාරී වුවද ග්‍රේස්ව යකඩ පටියකින් බැඳ දැමීම අවශ්‍ය නරකක් දැයි ප්‍රශෟන කිරීමට ප්‍රධාන කාරණාවෙන් පිටත පවතී, මෙම කුඩා නගරය අපගේ බොහෝ ඈතක පවතින්නාක් නොවන නිසා (චිත්‍රපටය අවසානයේ දී පෙන්වන ඡායාරූපවලින් අපට දක්ෂ ලෙස මතක් තර සිටින ආකාරයටම), අප  ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, අප මෙතනින් යා යුත්තේ කොතැනටද යන්නයි.

ඩොග්විල් චිත්‍රපටිය මෙම ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැත. එහෙත් එය අප නොකළ යුත්තේ කුමක්දැයි අපට කියයි: එනම් ලිබරල් සම්මුතීන් තුළ සිර නොවිය යුතු බවයි. සැබෑ අනතුර පහළ වන මොහොතේ දීම, ටොම් තම පියා පිටුපස සැඟවෙමින් කෲර ලෙස ග්‍රේස්ව අත් හරියි. මෙවැනි මිනිසුන් බියසුළු මිනිසුන් වන්නේ, ඔවුන් බියවන දෙය නම් ඔවුන්ගේම සත්‍යය වීම නිසාය. ඔවුන්ගේ පරමාදර්ශය වෙනුවෙන් අරගල කිරීමට ඔවුන් තුළ ඇති නොහැකියාව ටොම්ගේ ලිංගික බෙලහීනත්වය විසින් කියාපානු ලබයි. මෙවැනි සම්මුතීන්ගේ ගැටළුව වන්නේ කිසිදු දෙයක් ගැන නිශ්චිත ස්ථාවරයක් ගැනීමේ අවශ්‍යතාවය විනාශ කිරීම මගින් ඒවා විසින් දේශපාලනය  සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කිරීමය. එය බියකරු සම්මුතියක් වන්නේ, කලින් දේශපාලනය ලෙස සැලකූ සෑම ාදයම ඒවා විසින් අතුගාදමනු ලබන බැවිනි. මේ අර්ථයෙන් ගත් කල ග්‍රේස්ගේ නැවත පැමිණීම අනිවාර්යතාවයකි.

යථාර්තවාදී නොවන, අඩු ආලෝකයෙන් යුතු වේදිකාවක් බඳු පසුබිමක් මත විකාශනය වන ඩොග්විල්  චිතුපටයේ සත්‍යය අප වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරයි. චිත්‍රපටියෙහි මෝහනීය දුඃඛිතභාවය මතුවන්නේ එය විසින් ග්‍රේස්ව විනාශ කරන්නේත්, ග්‍රේස් විසින් විනාශ කරනු ලබන්නේත් වසර දහස් ගණනක් ශිෂ්ට කිරීමේ ව්‍යාපෘතිය බව අපට අවබෝධ කරවන නිසාය. ග්‍රේස් යනු, වචනාර්ථයෙන්ම විය නොහැකි පැවැත්මකි. (impossible existence). මෙයටත් වඩා දරුණු දෙය නම්, දැන් ආපසු හැරීමක් නැතැයි අපට අවබෝධ වීමයි. අතීත වේදනාව විසින් මෙම විනාශය වඩාත් ඵලදායක හා කාර්යක්ෂම කරයි. ටොම් ග්‍රේස් ගෙන් අසන කායික ශ්‍රමය ඔබට ප්‍රශ්නයක් දැයි යන්න මෙහි දී උත්ප්‍රාසාත්මකය. ග්‍රේස් මෙයට අවසානයේදී  පිළිතුරක් දෙන්නේ සමහර විටක අපට කළ යුතු දේ කරන්නට සිදුවෙනවා යනුවෙනි. මෙම ප්‍රශ්නය සහ පිළිතුර අතර සම්බන්ධය නොතේරෙන අයට සිසැක් පිළිතුරු දෙනු ඇත්තේ මෝඩයා එය දේශපාලන ආර්ථිකයයි යනුවෙනි.


1.        මේ දිනවල විවාදාත්මක මාතෘකාවක් වෙමින් පවතින true woman පිළිබඳ සංවාදය ගැන කෙටි සටහනක් නොතබාම බැරිය. True woman පිළිබඳව ෂාක් ඇලන් මිලර්ගේ නිර්වචනය පහත පරිදිය: ලැකාන්ට අනුව, සැබෑ ගැහැණියකගේ ක්‍රියාව අත්‍යවශ්‍යයෙන්ම මීඩියාගේ තරම් අන්තවාදී විය යුතු නැති වුවද, එම ව්‍යුහයම  එය සතුව පවතී. එනම් කිසිවිටක පිරවිය නොහැකි සිදුරක් පිරිමියෙකු තුළ විදීම සඳහා ඇය තමාට වඩාත්ම වටිනා දෙය පරිත්‍යාග කරයි.


2.        සම්ප්‍රදායික noir චිත්‍රපටිවල එන දෛව ස්ත්‍රිය වූ කලී, පවතින පීතෘ මූලිකත්වයට නෛසර්ගික උල්ලංඝණයක් බව සිසැක් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් මෙම සම්ප්‍රදායික දෛව ස්ත්‍රිය  පිළිබඳ රූපය වනාහි ලිංගිකව තෘප්තිමත් කළ නොහැකි, බලවත් පිරිමන්ව ලිංගික ආකර්ශණය හරහා පාලනය කරන ස්ත්‍රියක් පිළිබඳ රූපයයි. මෙම රූපය වූ කලී, සිසැක් පිරිමි ස්වපීඩක-පැරනොයික ෆැන්ටසිය ලෙස හඳුන්වන දෙයෙහි ප්‍රක්ෂේපණයකි. එවැනි තර්ජනාත්මක, සිය ප්‍රමෝදය පමණක් හඟින ස්ත්‍රියක පිළිබඳ ෆැන්ටසිය විසින් අවසානයේදී කරන්නේ පීතෘමූලික සංකේතීයත්වය තව දුරටත් පවත්වා ගැනීමයි. ග්‍රේස්ගේ රූපය සහ විලාශය මෙම සම්ප්‍රදායික රූපය ප්‍රක්ෂේපනය කරන්නක් නොවූවද, ඇය යටහත්භාවය විසින් කරනු ලබන්නේ ඩොග්විල් නගරයට තමාව ආරක්ෂා කර ගත යුතු සතුරෙකු වශයෙන් ඇයව වඩ වඩා තහවුරු කිරීමට ඉඩ ලබා දීමයි. ග්‍රේස් එක්තරා ආකාරයකට වෙස්වළා ගත් දෛව ස්තියක් වන්නේ මේ අර්ථයෙනි.

ආශ්‍රිත ග්‍රන්ථ:
1.        Sexuation, ed. Zizek, Slavoj and Salecl. Renata, Duke University Press.2000
2.        Beyond Gender from subject to Drive. Verhaeghe, Paul, other Press 1999
3.        Love in a Time of Loneliness : Three Essays on Drive and Desire, Verhaeghe, Paul, other Press 1999
4.        Ticklish Subject, Zizek, Slavoj, Verso Books : ( June 2000)
5.        The Art of the Ridiculous Subtime, on David Lynch’s Lost Highway, The Walter Chapin Simpson Center for this Humanities, 2000


                                                                                                                               - ප්‍රභා මනුරත්න. 


No comments: