Monday, January 17, 2011

පාලම් කඩා පාලම් තැනීම.................

සන්ගුපිඩ්ඩි පාලම මිලියන දහසකට වඩා වියදම් කරමින් රජය විසින් ඊයේ 15.01.2011 දින විවෘත කළේ එය හුදු භෞතික සංවර්ධනයක් හැටියට සලකා ගෙන බැව් පෙනුන ද එම ක්‍රියාව තුළ අපට දැනුනේ උතුරේ සහ දකුණේ ජීවත්වන සිහල-දමිල සියළු ජනයාගේ හදවතට එය යම් අධ්‍යාත්මික ගැස්මක් ඇති කළ බවයි. පාලම විවෘත කිරීම හරහා A – 32 මන්නාරම්-යාපන මාර්ගය  කි.මි. 110 කින් අඩු කර ඒ සඳහා ගමන් කාලය පැය 03 කින් පමණ අඩුවීමක් ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණි. පාරිභෝජනවාදයේ අර්ථයෙන් වේගවත් ගමන් සහ කාලය ඉතිරි කර ගැනීම, මුදල් ඉතිරි කර ගැනීමකි. එහෙත් අපට නම් එය මිනිසුන්ගේ සම්බන්ධකම්වලට ලංවීමක් සඳහා ප්‍රයෝජනයට ගත යුතු දෙයකි.

            සන්ගුපිඩ්ඩි පාලම විවෘත කළ ද මෙතෙක් පැවති ශක්තිමත් මිනිස් සම්බන්ධකම් පාලම් කඩා දැමීමට රජය ගෙන ඇති උත්සාහය නිසා මෙම නව පාලම හුදු භෞතික සංවර්ධනයකට පමණක් ලඝු වී ඇති බව පෙනී යයි. දමිළ භාෂා‍වෙන් ජාතික ගීය ගැයීමට තිබූ ඉඩ ප්‍රස්ථාව ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා එම පාලම ද, දමිළ ජනයාගේ නිදහස් ජීවත්වීමට හා මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නැති කර දැමීම වෙනුවෙන් ආරක්ෂක ගම්මාන මෙන්ම  නව ඝාතන හා පැහැර ගෙන යෑම් ආරම්භවීම නිසා ගොඩනැගීමට තිබූණු නව පාලම් ද ඇණ සිට ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම පමණක් නොව එය පැත්තකට  දැමීම නිසා බලය බෙදා ගැනීම සඳහා තිබුණ එම පාලම ද කැඩී බිඳී යාමට සලස්වා ඇත. පිළිගත් ද්‍රවිඩ නාම සහිත ප්‍රදේශ නැවත සිංහල අර්ථකතනවලට ලක් කිරීම, ඒවාට බෝඩ් ගසා ප්‍රදර්ශණය කිරීම නිසා උතුරු දකුණු තිබූ තවත් පාලම් ද පුපුරා යෑමට  ද සලස්වා ඇත. 1988-89 පැවති වර්ගයේ භීෂණයක් නැවත ඇති නොවීමට ඉඩ කඩ සැලැස්වූ  කොමිසම හරහා යෝජිත සුළු පක්ෂ නියෝජනයේ අවස්ථා අඩු කිරීම මගින්ද උතුරු නැගෙනහිර සුළු පක්ෂවලට අනුව තිබුණු තවත් පාලමක් ද පිපිරවීමට ක්‍රියා කරගෙන යෑමක් දක්නට ඇත.

            මෙලෙස බොහෝ පාලම් කඩා පුපුරුවා දමා සන්ගුපිඩ්ඩි පාලම පමණක් හුදු සංවර්ධනය පමණක් මුල් කොට ගෙන විවෘත කිරීම නව ලෝක දැක්මේ අර්ථයෙන් සංවර්ධනයක් නොවනු ඇත. සංවර්ධනය යනු සමස්ථ සංවර්ධනයක් මිස එය කොන්ක්‍රීට්වලින් පමණක් ඉදිකල නොහැකි බව තේරුම් ගැනීමට වත්මන් පාලකයින්ට කොම්ස්වලින් තොර දෑසක් පහල වේවායි ද ඉත සිතින් සීතල දුරුත්තේ 2011 දී ප්‍රාර්ථනා කරමු.    

3 comments:

Anonymous said...

didnt get what you are trying to say...
දමිළ භාෂා‍වෙන් ජාතික ගීය ගැයීමට තිබූ ඉඩ ප්‍රස්ථාව ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා එම පාලම ද,
how the earth 2 kind a national anthem help to build one nation ?

Ravi said...

හරියට හරි, වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට් පාලම් නොව මිනිස්කමේ පාලමක් බව අවබෝධ කරගන්නා තෙක් මේ ගැටලුව නොවිසඳී පවතිනු ඇත, භෞතික පාලම් ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි වුවද මිනිස් සිත් වල සැදුනු මිනිස්කමේ පාලම් දිවි ඇතිතුරා පවතිනු ඇත.

charmi said...

හොඳ සටහනක් සහෝ.
කොන්ක්‍රීට් සහ යකඩ වලින් පමණක් සියල්ල පිරවිය හැකිද?