Friday, January 14, 2011

ජී.ඇල් පීරිස්ගේ රාජතාන්ත්‍රික අලකලංචිය

සිවිල් යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ දී බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවී ද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට උපදෙස් ලබා ගැනීම 

පිණිස පත් කළ ත්‍රී පුද්ගල කමිටුව කරුණු විභාග කිරීම සඳහා මෙරටට පැමිණිමට තවමත් ඉඩ තිබෙන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් හේසර් මහතා ජනවාරි 5 වන දා ප්‍රකාශ ‍කළේය. එකී කමිටුවට ලංකාවට පැමිණිමට වීසා ලබා දෙන බවත් නමුත් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රති සංවිධාන කමිටුව හමුවීමට පමණක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙම U.N.O.උපදේශක කමිටුව පත්කළ අවස්ථාවේ විදේශ අමාත්‍ය ජී. ඇල්.  පීරිස් මහතා අවධාරණයෙන් කියා සිටියේ එම කමිටුවට ලංකාවට ඇතුළුවීමට ලංකාණ්ඩුව කිසිසේත් ඉඩ නොදෙන බවයි.

            කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ජී. ඇල්. පීරිස් මහතාගේ තීන්දු තීරණ සම්පූර්ණයෙන් පරස්පර විරෝධී  ස්වරූප ගන්නේ අවස්ථා එකක දී දෙකක දී නොවේ. ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දකින්නට ලැබෙන සංසිද්ධියකි. 1994 සිට 2010 දක්වා වසර 16 ක් වග කිවයුතු අමාත්‍යධුර ආවරණය කළ ඔහු එක් වරක් පමණක් මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු අනෙක් සෑම අවස්ථාවකම පත්කළ මන්ත්‍රීධුරයක් ලැබ කැබිනට් මණ්ඩලයට ඇතුළු වීය. විශේෂත්වයක් වන්නේ එ.ජා.ප.ය, පො.එ.පෙ. , එ.ජ.නි.ස. හා ජවිපෙ පරිවාස ආණ්ඩුවේ ද ඔහු අවුලකින් තොරව ඇමතිකම් දැරීමය. දැනට ලංකාවාසීන් මුහුණ දී සිටින සියලු දුක්ඛ ‍දෝමනස්ස සහිත සමාජ-ආර්ථික ගැටළු නිර්මාණයෙහි ලා ඔහුගේ සෘජු මැදිහත්වීම ඔහු දරන ලද වගකීම් අනුව මොනවට පැහැදිලි වේ.

            එතුමා 2010 ඔක්. 07 වනදා පාර්ලිමේන්තුවේ දී මෙසේ කියා ඇත.
            ...ගරු කතානායකතුමනි, මම එක අදහසක් පමණක් ඉතාම කෙටියෙන් සඳහන් කරනවා.  මම තමුන්නාන්සේලාට කියන්නේ මගේ ජීවිතයේ සෑම කාලයකම මහන්සි වෙලා වැඩ කරලා තිබෙන බවයි. මා ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන් විශ්ව විද්‍යාල තුනෙන්ම ඉහළම ගෞරව සම්මාන ලබා ගත්ත ‍කෙනෙක්.  ඇත්ත වශයෙන්ම ඒ තුනෙන්ම ගෞරව සම්මාන ලබා ගත් කෙනෙක් ලංකාවෙත් නැහැ. දකුණු ආසියාවෙත් නැහැ. ඒවා අහම්බෙන් කෙරුණ වැඩ නෙවෙයි. මහන්සි වෙලා කර ගත්ත දේවල්. මම ඒ ලබා ගත්ත දැනුම මේ රටේ පරම්පරා දෙකකට ලබා දී තිබෙනවා. මේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ සිට මහේස්ත්‍රාත්වරුන් දක්වා අයගෙන් සියයට 50 කට මම නීතිය උගන්වා තිබෙනවා. ...
            පාර්ලිමේන්තු විවාද 2010 ඔක්. 07.

ජී. ඇල්. ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ඒ දැනුම රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළා ද අගතිය වෙනුවෙන් යෙදුව්වේද කියන කාරණයයි. එතුමා 1993 ශ්‍රී.ල.නි.ප.යට එකතුවන අවස්ථාවේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිව්වේ,
            ...අපට රටක් වටින මිනිහෙක්, උගතෙක්, බුද්ධිමතෙක්, ලෝකය පිළිගත්ත මනුෂ්‍යයෙක් හෙට අනිද්දා එකතු වෙනවා.... කියලයි. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගේ ආණ්ඩුවේ
ප්‍රබලම කැබිනට් ඇමතිවරයා වූ හෙතෙම වරෙක සාමයටත් වරෙක යුද්ධයටත් බර වූ දේශපාලන ක්‍රියාදාමයන්හි මග හසුරුවන්නා හැටියට කැපී පෙනුණා. එපමණක් නොව විවෘත ආර්ථිකයට මානුෂීය මෙහෙවරක් දෙන බව පවසමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, විදුලිය, ඛණිජ තෙල් හා ටෙලිකොම් ආයතනය වැනි ආර්ථික මර්මස්ථාන පුද්ගලීකරණයට මග පෑදූ මුදල් හා ක්‍රමසම්පාදන නි. ඇමතිවරයාද වූයේ එතුමායි. 

  එක්සත් ජාතික පක්ෂය 2002 බලයට පත් වූ විට ජී.ඇල්. නැවත යූ.එන්.පි. යට එක් වූයේය. උතුරේ වාර්ගික යුද්ධයට විසඳුම කිසිසේත්ම යුද්ධය නොවන බව ප්‍රකාශ කළ ඔහු එල්. ටී. ටී. සංවිධානය සමඟ එදා අත්සන් තැබූ සටන් විරාම ගිවිසුමේ නිර්මාපකයා වූයේය. රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුමට අත්සන් තබන අවස්ථාවේ පසෙකින් සිටියේ ජී. ඇල්, පීරිස් මහතාය.  ඔහු එදා දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටියේය. එම මතය ජාත්‍යන්තරයට ද ගෙන ගියෝය.

2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟ ඔහු කිසිම හිරිකිතයක් නැතිව ස්වකීය මතය 360 කණපිට හරවා  ප්‍රභාකරන්ට  පිළිතුරු දිය යුත්තේ යුද්ධය තුළින්ම පමණකැයි කියා සිටියේය. එම ආණ්ඩුව ආරම්භයේදී ක්‍රියාත්මක කළ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලන විසඳුමක් වෙනුවෙන්ද පෙනී සිටියේය. විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් යෝජනා කළ ජී. ඇල්. 2009 මානුෂීය යුද්ධය කරළියට ගෙනාවේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිහිසුණු ලෙස වියැකී යමින් තිබූ වටාපිටාවක ඔහු නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට බලයේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියේය.

....ජී.ඇල්. පීරිස් ඇමතිතුමා මහින්ද රාජපක්ෂ රජයේ විදේශ කටයුතු ඇමතිවරයා හැටියට යනකොට අර චන්ද්‍රිකා ආණ්ඩුවේ, රනිල් විකුමසිංහ ආණ්ඩුවේ වගේ නෙවෙයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිනී මැරුම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම්, ඒ සියල්ලටම උත්තර දෙන්න සිදු වී තිබෙන්නේ එතුමාටයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එතුමා කර උඩ තියාගෙන යනවා. එදා එතුමාට මේ වගේ ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ ආණ්ඩු දේශපාලන විසඳුමකට කැප වෙලා හිටියා. ලක්ෂෟමන් කදිරගාමර් මැතිතුමා සියළු දේශපාලන ජාත්‍යන්තර ගිවිසුම් පිළිගත්තා.  ICCPR එක පිළිගත්තා.  Optional protocol පිළිගත්තා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ සියළු ජාත්‍යන්තර ගිවිසුම්වලට පයින් ගහලයි ඉන්නේ.
-         ලක්ෂ්මන් කිරිඇල්ල , පාර්ලිමේන්තු විවාද  2010 ඔක්. 07  පිටු 316

රාජතාන්ත්‍රික පරිණතභාවයෙන් යුත් විශිෂ්ඨ බුද්ධිමතෙකු වශයෙන් හදුන්වන මෙතුමාගේ එම පරිණතභාවය ජනතාවගේ මූලික මිනිස් අයිතීන් වැළලී ගිය කිසිම අවස්ථාවක එළියට පැමිණි බවක් දකින්නට ලැබී නැහැ. 2004 දී සුනාමි ආපාදාවත් සමඟ යුරෝපා කොමිසම ඇමෙරිකන් ඩොලර් කෝටි 2200 ක GSPසහනයක් කර්මාන්ත රැක ගැනීම සඳහා ලංකාවට ලබා දුන්නේය. එදා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා වශයෙන් එය ලබා ගැනීමට ක්‍රියාකල ජී.ඇල්. දිගින් දිගටම රට තුළ සිදුවන සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීමට විරෝධය දක්වා යු‍රෝපා කොමිසම 2010 දී එම සහනය අත්හිටුවන විට විදේශ ඇමතිවරයා වශයෙන් කියා හිටියේ ආර්ථික ශක්තිමත් බැවින් ඉදිරියට GSP Plus අනවශ්‍ය බවය.

            ...යුරෝපීය කොමිෂන් සභාවේ මේ විෂයට අදාල කොමසාරිස් වරිය වන කැතරින් ඈෂ්ටන්ආර්යාව විසින් මේ රටේ විදේශ ඇමති හැටියට මට ලියුමක් එව්වා. මේ ලිපියේ එතුමිය සඳහන් කරනවා  අපි මේක දෙන්න සූදානම්. හැබැයි කොන්දේසිවලට යටත්ව කියලා කොන්දේසි 15 ක් එතුමිය සඳහන් කර තිබුණා. ඒ ලිපියේ දිනය 2010 ජූනි 17 ජූලි 01 දාට පෙර මේ කොන්දේසි පිළිගන්නවා. මේ අනුව කටයුතු කරනවා කියලා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මා ලිඛිත ප්‍රකාශයක් කරනවා නම් GSP Plus සහනය ලබා දීම ගැන ගැටලුවක් නැති බව එතුමිය පැහැදිලිව කියා තිබුණා. මොනවද මේ කොන්දේසි. හදිසි නීති රෙගුලාසි හකුලාගන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කරන්න ඕනෑ. හදිසි නීති යටතේ අත්අඩංගුවේ ඉන්න අය නිදහස් කරන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට විරුද්ධව විදේශීය අධිකරණයකට යෑමට මේ රටේ පුරවැසියන්ගේ ඉඩ දෙන්න ඕනෑ. ඒව තමයි කොන්දේසි. ආත්ම ගෞරවයක් ඇති රජයකට ඒවා කිසිසේත් පිළිගන්න බෑ. අපි ඒවා ප්‍රතික්ෂේප කළා....
 -         මහාචාර්ය ජී. ඇල්. පීරිස්  පාර්ලිමේන්තු විවාද  2010 ඔක්. 07  පිටු 376

ජී. ඇල්. පීරිස්  විදේශ ඇමතිවරයාගේ තවත් විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශණයක් පැවැත්වීමේ අවස්ථාව පිළියෙළ කර දීමයි. මහා  බ්‍රිතාන්‍යයට ගිය ජනාධීපතිවරයාත් විදේශ ඇමතිවරයාත් අවසානයේ යළි ආපසු ආවේ රටත් ජනතාවත් හෑල්ලුවට ලක් කරමිනි.  එකී හාස්‍යජනක සිදුවීම මැකී යන්නටත් ප්‍රථම මාධ්‍ය හමුවක දී  ජී. ඇල්. කීවේ නේපාල රජය ඔවුන් මුහුණ දී සිටින ගැටලු  විසදාගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ඉල්ලා ඇති බවය.  නේපාල රජය වහාම පුවත්පත්වලට කියා සිටියේ එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් වන අතර මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගැනීමේ කිසිදු අදහසක් නේපාල රජයට නැති බවය.

            මෙවැනි සිදුවීම් විමසා බලන විට පැහැදිලි වන්නේ එක් පුද්ගලයෙකු ස්වකීය අභිමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ග හා පනින පිමි හේතුවෙන් රටත් ජනතාවත් අවුලෙන් අවුලට පත්වන ආකාරයයි

No comments: