Thursday, January 27, 2011

"සෝම හිමි" වරදකාරිත්වයේ වන්දිය = හෙළ උරුමය


.....ක්‍රිස්තියානි මූලධර්මවාදී මිෂනාරි බලවේගවල කුමන්ත්‍රණයකට හසුව උන්වහන්සේ අපවත් කරණු ලැබූවද, බෞද්ධ ජනතාව තම කඩා හැලෙන කඳුලින් යුතුව උන්වහන්සේ සිහිපත් කරති......
    සක්හඬ  ජාතික   හෙළ උරුමයේ නිල පුවත්පත.
                                2011 ජනවාරි කලාපය.

ඉහත ප්‍රකාශය සෝම හිමියන්ගේ හත්වන ගුණ සැමරුව වෙනුවෙන් සක්හඬ මුල් කවරයේ ලිපියක කොටසකින් උපුටා ගැනුණි.
ලංකාවේ අධිකරණයක දී සෝම හිමියන්ගේ මරණය ඝාතනයක් ‍ෙනාවන බවට විවෘත තීන්දුවක් දී තිබිය දී  එයට වෙනස්ව තම දේශපාලන අරමුණු සඳහා එය ඝාතනයක් බව පුන පුනා කියමින් ඒ හරහා පාර්ලිමේන්තු ආසන 09 ක් ද ලබා ගැනීමට හෙළ උරුමය සමත් විය. මෙම ප්‍රකාශය හෙළ උරුමය විසින් නිරන්තරයෙන්ම ප්‍රකාශයට පත්කිරීම එක් අතකින් එම හිමියන් නිසා තමන්ට වූ දේශපාලන වාසිය වෙනුවෙන් සෝම හිමි තම නායකයා නොවූවද එම හිමිට කෘතගුණ සැලකීමකි. ජ.වි.පෙ. තම නායකයා වූ විජේවීර මරා දැමූ ආකාරය ගැන කොමිසමක් හෝ ඉල්ලා නොසිටීම (පරිවාස සන්ධාන රජයේ සිටියදීම) හා කථා නොකිරීමට තරම් පරිස්සම් වීම හා සසඳා බලන කල, ජාතික හෙළ උරුමය ඉදිරියෙන් සිටියි.

            සෝම හිමියන් ජීවත්ව සිටිය දී එවක සිංහල උරුමයේ දේශපාලනය ගැන අබමල් රේණුවකින්වත් සෝම හිමි, එය අනුමත කළ අයෙක් නොවීය. සෝම හිමියන්ගේ මුල් ආගමනය තුළ ඉතා වේගයෙන් එම හිමියන් ජනප්‍රිය වුව ද අපවත්වීමට පෙර අවු.02 ක පමණ කාලයක සිට එම ජනප්‍රියතාවය තිබුණේ නැත. එවකට මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රාෆ් මහතා සමඟ සිදුකළ ප්‍රසිද්ධ T.N.L.රූපවාහිනි සංවාදයක දී එම හිමියන් බොහෝ කාරණා නොදැන ජනප්‍රියකම උදෙසා පමණක් සිංහල හා බෞද්ධයන්ගේ ප්‍රාථමික හැඟීම්වලට කතා කරන බව ඔප්පු විය. ඉන්පසු  එවැනි වැඩ සටහන් සඳහා එම හිමියන් පෙනී සිටීම ක්‍රමයෙන් අත් හැරියේ තිබුණ ජනප්‍රියකම හීනවයැමෙ හේතුන් අතර  එයද. හේතුවක් වු නිසාය
           මිෂනාරී කුමන්ත්‍රණකාරී ඝාතනයක් ලෙස සෝම හිමියන්ගේ අපවත්වීම හුවා දක්වන විවිධ පිරිස් සෝම හිමියන්ට පිදෙන ආචාර්ය උපාධිය සඳහා එම මිෂනාරී ආයතන වෙතට යෑම කොතරම් දුරට අනුචිත ද යන්න ගැන සළකා බැලුවේ නැත. ක්‍රිස්තියානියේ එක ප්‍රභේදයක් පමණක් වන ආධාර තුළින් වෙනත් ආගමිකයන් තම ආගමට සම්බන්ධ කරවීමක් නිසා සිදුවන අවැඩ නිසා  සමස්ථ ආගම්වලට ගසන පහරක් බවට ද වෙනත් අය පත්කර ගත්හ. දේව විශ්වාසය හා ඇදහිලිවලට එරෙහිව සෑම කාලයකමත් විරෝධයන් පැවතිය ද (හේතුවාදී සංගමය මේ සඳහා දෙවි බලය නැත යැයි කියාපෑමට ගිනි පෑගිම් සඳහා ද ඉදිරිපත් වී 1970 ගණන්වල විශාල ආන්දෝලනාත්මක දෙයක් බවට එය පත් කළහ.) මිනිසුන්  සෘජු දෙවියන් හෝ ඇදහිලි විශ්වාස නොකළ ද සියළු සමාජයන් හා ප්‍රජාවන් ඔවුන් අතර එකඟතා සඳහා ඇදහිලි විශ්වාසයන් පවත්වාගෙන යයි. ඒවා මිත්‍යාවන් නොවුනද. නූතන මිනිසා අතර ද ස්වභාවික කර ගත් එවැනි මිත්‍යාවන් පවතින නිසා ග්‍රෝතික සමාජයේ විශ්වාසයන් තුළ එකට බැඳ තිබූ ප්‍රජාවන් ලෙසට නූතන සමාජයන්ද වෙනත් විශ්වාසයන් මත තම ප්‍රජාවන් සකස් කර ගෙන ඇත. ඒවා ආගමික මෙන්ම ආගමික නොවන දේවල් වෙනුවෙන් ද පැවතී ඇත.  කන්‍යාභාවය ස්වභාවිකයි ලෙසද අදහන විශ්වාස කිරීම් නූතන මිනිසාගේද ගෝත්‍රික ඇදහිලි කමට සමානකමක් දැකිය හැකිය. එය ද කාන්තා ශරීරය ගැන වු භෞතික අදහසක් නොව ප්‍රජාවන්ගේ එකඟතා සංස්කෘතීන් සඳහා  ඇති කරගත් මිත්‍යාවක්ය. සෝම හිමියන් ප්‍රාථමික විශ්වාස ගැන කියමින් අපගේ සංස්කෘතික විශ්වාස  රැකීමට උදව් වෙන ආකාරයේ බණ පමණක් වදාලහ. එම නිසා එම හිමියන් මිත්‍යාවන් වලට පහර දුන්නේ තම ආගමට වෙනස් අන් ආගම් හා සමාජවල විශ්වාසයන්ට පමණය. සෝම හිමියන් සමාජය වෙනුවෙන් අළුත් දෙයක් හෝ අළුත් බණක් නොකී ලෙසම ප්‍රාථමික කාරණා සඳහා සරල ඉදිරිපත් කිරීම් කළ අයෙක් විය. මෙම ප්‍රාථමික හා සරලත්වය ඒ වන විට ලාංකීය සමාජයට අවශ්‍ය දෙයක් වුයේ එයට අවශ්‍ය ආර්ථික දේශපාලනික තත්වයන් නිර්මාණය වී තිබීම නිසාය,  දෘශ්‍ය මාධ්‍යයේ  ව්‍යාප්තිය නිසා ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් හිමිව සිටි පානදුර අරියධම්ම හිමියන්ටත් වඩා සෝම හිමි ජනප්‍රිය විය,70 දශකයේ අග බාගයේන්  පසු ඇති වූ විවෘත වෙළඳාම මත වූ භාණ්ඩ ප්‍රසාරණය හා ඒවා අත්පත් කර ගැනීමට විවෘත වූ ආදායම් ව්‍යාප්තිය නිසා බිහි වූ සරල මධ්‍යම පන්තික පහළ හා ඉහළ තීරුවල ප්‍රසාරණයත් එයට සාධක විය.

            මුදල් හා බඩු එකතු කිරීමේ නොනිත් ආශාවකින් පෙළුනු ද  එතෙක් ඒවාට මාර්ග නොමැති නිසා බලෙන් අල්පේච්ඡ වීමට සිදු වූ 80 ට පෙර ලාංකීය ජන සමාජයට ඒවා ලබා ගැනීමේන් පසු සිදුවු ආගමික වරදකාරී හැඟීම  සුවපත් කර ගැනීමේ මානසික වුවමනාවට ස්ථාන ගත වුයේ ද සෝම හිමියන්ය. පසුව එයද කානිවල් මට්ටමක හා මහා පරිමාණ බණ උන්මාදයක් බවට ද පත් විය. සිංහල ජාතිය වඳවන බවට ප්‍රකාශ කරමින් සිංහල දරු උපත් සදහා  සෝම හිමි උනන්දු කළ ද මිනිසුන් හා ගැහැනුන් එය භාරගත්තේ ප්‍රායෝගිකව ළමයින් සෑදීමෙන් නොව එය මැතිරීමට පමණක් මානසිකව එකඟ වෙමිනි.දේව ඇදහි වලට විරුද්ධව සෝම හිමි කොතෙක් බණ කීවද  කතරගම පුජ වට්ටි පෝලිම් වල ද අඩුවක් නොවීය. බණ, එක අතකින්පරිබෝජන වාදයේ ගිලී සිටි අයට සහන පෙත්තක්  ද විය. සෝම හිමි කී දෙය නොකිරීමේ වරදකාරිත්වය සහිතව සිටි ජනතාවගේ එම මධ්‍යම පංති තීරුව එහි සමා වන්දිය ලබා දුන්නේ සෝම හිමිට කිසිදු සම්බන්ධයක් නොදැක්වූ ජාතික හෙළ උරුමයටය. ඡන්ද දානයක් දී  තමන්ගේ යුතුකම අපවත්වීමෙන් පසුව සෝම හිමි වෙනුවෙන්  පින් අනුමෝදනාවක්ද කලේය, සෝම හිමි වරක් ජනාධිපතිවරණයකට ද ස්වාධීනව තරඟ කිරීමට කැමැත්තක් දක්වමින් සිටියහ.

            ඉරාකයට පහර දීමට පෙර ඒ සඳහා පහර දීමේ හේතුවක් ඇමෙරිකන් ජෝර්ජ් බුෂ් රජය සෙවීය. භයානක රසායනික අවි  එහි ඇති බවට චෝදනා කළ පසු එවැනි අවි නැති බවට පරීක්ෂා කිරීමට ඉරාක රජය එ.ජා. ගේ නියෝජිතයන්ට අවසර දුන්හ. ඔවුන් කීවේ එවැනි අවි ඉරාකයේ නොමැති බවයි. එසේ වුවද ඇමෙරිකන් රජය ඉරාකයට පහර දුන්හ. ඉරාකය යටත් කර ගත් පසුව ද එවැනි අවි ඉරාකයේ ඇති බව සොයා ගැනීමට ඇමෙරිකාවට නොහැකි විය. එහෙත් ඇමෙරිකාව අද ද පවසන්නේද ඉරාකයේ එවැනි අවි නිසා පහර දුන් බවයි. රසායනික අවි  එය ඇමෙරිකන් මානසික උවමනාවයි.

            සෝම හිමිගේ අපවත්වීම ලංකාවේ ජන සමාජයට කොතෙකුත් අවධාරණයෙන් එය ක්‍රිස්තියානි මූලධර්මවාදී මිෂනාරි බලවේගවල කුමන්ත්‍රණයක් වැනි දෙයක් නොවේ යන්න කුමන ආකාරයෙන් පැවසුවද එය ඝාතනයක් ලෙස විශ්වාස කිරීම, ඇමෙරිකන් ඉරාක උවමනාව ලෙසම අපගේ මානසික වුවමනාව ද වී ඇත. ඇමෙරිකාවට අත් වු වාසි මෙන් ජාතික හෙළ උරුමයට ද ඒ සඳහා වාසි රැසක් ලැබී ඇති නිසා ඔවුන් එසේ කීවාට වරදක් නැත. එහෙත් අපි ද මානසික වාසි වෙනුවෙන් එසේ විශ්වාස කිරීමට ඇති  කැමත්ත තේරුම් ගත යුතුය. විශ්වාසය යන්න, සෝම හිමි පැවසූ ලෙසට අතීත හුදු දේව විශ්වාසයකටම  ලඝු නොකර ගෙන, සිතිය යුත්තේ එම නිසාය.

කල්‍යානන්ද පෙරේරා.  

1 comment:

සමරෙ said...

නියමයි කල්‍යා.