Wednesday, November 3, 2010

විශ්ව විද්‍යාල අර්බුදය කවරක්ද?

වර්තමානයේ මතු වී ඇති විශ්ව විද්‍යාල අර්බුදයේ දී ආණ්ඩුව තම වගකීමෙන් මිඳීම සඳහා එම ප්‍රශ්නයේ මුළු ක්‍රියාවම  ජ.වි.පෙ. මතම පැටවීමට කරන උත්සාහයක් දැකිය හැකිවන අතර, උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ උඩඟු ප්‍රකාශනත්, සිසුන් හා සමානවම විශ්ව විද්‍යාල නිසි බලධාරීන්ද  සිසු විරෝධයන්ට දක්වන  අපරිනත ප්‍රතිචාර නිසා උග්‍රවන විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසඳා ගැනීමේ අවම සීමා මට්ටමට වඩා ඉක්මවා යන බවක් දැකිය හැකිය. අධ්‍යාපන ප්‍රශ්නය එහි මූලයන්, ස්වරූපයන්, දිශානතීන් හා පිළිතුරු ගැන විශ්ව විද්‍යාල විද්‍යාර්තීන්ගෙන් අසා දැන ගත් කරුණු ආශ්‍රිතව රාවය පුවත්පතේ 31 ඔක්. 2010 (ඉරිදා) පළවූ සටහනකින් උපුටා ගත් කොටස්වලින් මෙම ලිපිය සකස් වී ඇත.


මේක සංකීර්ණ තත්වයක්.
....මොනවා වුණත් ආණ්ඩුවට ඕන‍වෙලා තියෙනවා මුහුණට මුහුණ ගැටෙන ගැටුම්කාරී තත්වයක් වර්ධනය කර ගන්න. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන්නේ නවකවදය වැළැක්වීමේ පනත. මට පේන හැටියට මේ පනත රජය හා රාජ්‍ය විරෝධී තරුණ කොටස් ගැටෙන රඟබිම බවට පත්වීමට ඉඩ තියෙනවා. මොකද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් රජයට ගැටෙන්න දැන් එල්.ටී.ටී.ඊ. එකක් නෑනෙ. ඒ නිසා නවක වදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් විදියට රජය විසින් ප්‍රසාරණය කරන බව තමයි පේන්න තියෙන්නෙ. කණගාටුවට වගේ මේ උගුල ශිෂ්‍යයන් විසින් තේරුම් ගන්න බවක් පේන්නත් නෑ........

.....විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සුජාත වූ ප්‍රශ්න කොච්චරක් තියෙනවද? ආර්ථික ප්‍රශ්න, පහසුකම් පිළිබඳ ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, සහ සම්පත් හිඟය පිළිබඳ ප්‍රශ්න වගේ ප්‍රශ්න රාශියක් ඒ අතර තියෙනවා. ඒ සුජාත ප්‍රශ්න නිසා තමයි විවිධ බලවේගවලට ශිෂ්‍යයන් මෙහෙයවන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ නිසා ආණ්ඩුව මුලින්ම කරන්න ඕනෙ ඒ ප්‍රශ්න විසඳන එකයි......

-          ආචාර්ය ලියනගේ අමරකීර්ති.


ශිෂ්‍යයන්ගේ අනාගත බලාපොරොත්තු නැතිවෙලා.
"........අද වන විට තවත් අතකට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන පිරිසට රැකියා දුලබ වෙලා තියෙනවා. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ අයගෙ තත්ත්වය ඊට වෙනස්. අද දේශපාලනඥයෝ කියන්නෙ ඉංග්‍රීසි දන්නව නම් රැකියා ගන්න පුළුවන්. අපි ඒ නිසා විශ්ව විද්‍යාල තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න කටයුතු කරනවා කියලා. නමුත් දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් සහ දැක්මක් නැතිව මේ වගේ වැඩ පිළිවෙලක් කරන්න ඔවුන් හිතු ලෙස කටයුතු කළහොත් තත්ත්වය මීට වඩා බරපතළ වෙන්න පුළුවන්..........

-         මහාචාර්ය ආරිය රාජකරුණා.

ඉස්සෙල්ලා ප්‍රශ්න නැති කරලා ඉන්න ඕනෙ.
          ........අනිත් කරුණ තමයි දැන් කියන පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කතාව. අපි දන්න විදිහට දියුණු රටවල තියෙන විශාලතම විශ්ව විද්‍යාල කියන්නේ රජයට අයත් ඒවා. එංගලන්තය බලන්න. එහෙ තියෙන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ඇතුළු විශාලතම සහ හොඳම විශ්ව විද්‍යාල අයිති වෙන්නෙ රජයට මිස පෞද්ගලික අංශයට නෙමෙයි.
            නමුත් අද අපේ රටේ විශ්ව විද්‍යාල කඩා වැටෙන්න ඉඩ දීලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුවොත් ගැටලුවක් වෙනවා. ඒ නිසා මූලික වශයෙන් කරන්න ඕනෙ පේරාදෙණිය, මොරටුව, කොළඹ ඇතුළු මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ල අංක එකේ විශ්ව විද්‍යාල බවට පත් කරන එක. ඊට පස්සෙ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තෙ........

-         මහාචාර්ය කුමාර් ඩේව්ඩ්



ජනතා විමුක්ති පෙරමුණ කරනවා කියලා කියන්න බෑ.
            .......ශිෂ්‍ය ක්‍රියාකාරකම් කියන දේවල් කවදත් පැවතුණේ පවතින රජයත් එක්ක ඝට්ඨනයක් සමඟ කියන එක තමයි යථාර්ථය. මේ වෙලාවෙදි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මතු කරන චෝදනාව තමයි, තමන් ශිෂ්‍ය ප්‍රජාවගේ පරම යහපත වෙනුවෙන් කරන මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ කඩාකප්පල් කරනවා කියන එක. නමුත් මගේ විශ්වාසය තමයි ජනතා විමුක්ති පෙරමුණ සතු බලය එතරම් ප්‍රබල නැති බව. ඒ නිසා රජය විශ්ව විද්‍යාල පිළිබඳව දරන ආකල්පය මීට වඩා නම්‍යශීලි වෙන්න ඕනෙ. මට හිතෙන්නෙ අද වන විට විශ්ව විද්‍යාල තුළ උද්ගත වෙලා තියෙන්නෙ අභ්‍යන්තර අර්බුදයක්. ඒ අභ්‍යන්තර අර්බුදය හැම විශ්වවිද්‍යාලයකටම සාපේක්ෂයි. මං කොහෙත්ම හිතන්නෙ නෑ ඒක ඇමතිවරයෙකු බලය තුළින් නිරාකරණය කරන්න පුළුවන් එකක් කියලා. එත් එක්කම කියන්න ඕනෙ දෙයක් තමයි අද මූලික උපාධිය හැර අන් සියළුම උපාධි ලබා ගන්න වෙලා තියෙන්නේ මුදල්වලට කියන එක. එහෙම තත්ත්වයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව ශිෂ්‍යයන් නඟන චෝදනාව ද තරමක් ප්‍රශ්නකාරීයි........

-         මහාචාර්ය සරත් විජේසූරිය.

දිගුකාලීන අර්බුදයක ප්‍රතිඵලයක්.
          .......පසුලිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කළ ව්‍යාපාරයත් ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ඔවුන් වෙනත් මතවාදයක් වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නෑ. එල්ටීටීඊ සංවිධානය ක්‍රියා කළෙත් ඔහොම. ඔවුනුත් වෙනත් දෙමළ සංවිධාන සහ මතවාදයන් සියල්ල මර්දනය කළා. අද ජනතා විමුක්ති පෙරමුණෙ මුවාවෙන් කරන ශිෂ්‍ය අරගලයේදී ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැතිවෙලා ඉන්නේ ඒකයි.
            ආණ්ඩුව උත්සාහ දරන්නේ වෙනත් මතවලට ඉඩ දෙනවා කියලා තමන්ට පක්ෂ සංවිධාන විශ්ව විද්‍යාලය තුළ ඇති කරන්න. එහෙම කළා කියලා ළමයින්ගෙ ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ. මොකද කඩේ යන ශිෂ්‍ය ව්‍යාපාරවලට ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ, හැමදාමත් තම අයිතීන් වෙනුවෙන් රජය එක්ක සටන් කරන කේවල් කරන සංවිධාන....

-         ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

 මේකට විරුද්ධ අයම තමයි වග කියන්න ඕනෙ.
          ......මෙතන තියෙන උත්ප්‍රාසය තමයි මේ කැරලිවලට විරුද්ධව නැඟී එන පිරිසම මේවා ඇති වීම සඳහා වගකියන්න ඕනෙ කියන එක. දැනුත් විශ්ව විද්‍යාල බලධාරින් සහ ආණ්ඩුවේ බලධාරින් ඉතාම තදබල මහන්සියක් ගන්නවා අතිශය බරපතළ කලහකාරී තත්ත්වයක් රට තුළ ඇති කිරීමට.
            සාමාන්‍යයෙන් මේ තත්ත්වයන් වළක්වන්න විශ්ව විද්‍යාල, විශ්ව විද්‍යාල බවට පත්කරන්න ඕනෙ. මේවා ඇතුළෙ කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒවාගේ ශාස්ත්‍රීය නිදහස, සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීමේ නිදහස ආදිය තිබිය යුතු වෙනවා.
            විශ්ව විද්‍යාල බලධාරීන් කියමින් ඉන්නෙ තමන් නිදි මරාගෙන ගම්වලින් දුප්පත් දරුවන් වෙනුවෙන් වැඩ කරනවා කියලා. නමුත් ඒක අමූලික බොරුවක්නෙ.....

                                - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.


         

                                     
       

No comments: