Wednesday, November 17, 2010

පළාත් පාලන මැතිවරණ සංශෝධන යෝජනා

පළාත් පාලනය උදෙසා වූ යෝජනා සහිත කෙටුම්පතක් ඉදිරිපත් වී ඇත. එය බොහෝ තැන්වල විවේචනයට ලක් වී ඇති අතර එහි සුළු ජාතීන්ගේ නියෝජනය නොතකා හැරීම හා වෙනත් වෙනස්කම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉල්ලීමේ යොමුවීමක් ද දැනට පවතී.

ලැයිස්තු ක්‍රමයක් 
කලක සිටම බෙහෙවින් විවාදයට ලක් වූ කරුණක් වූ සමානුපාතික නියෝජනය වෙනස් කොට කොට්ඨාශ ක්‍රමයට පැමිණීම ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. එසේ වුව ද කොට්ඨාශ ක්‍රමයෙන් අපේක්ෂා කළ වඩා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය අහෝසි කොට සමානුපාතික ක්‍රමයට සමාන පදනමක් හඳුන්වා දී ඇත. සමානුපාතික ක්‍රමයේත්, කොට්ඨාශ ක්‍රමයේත් තිබුණු යම් බලවත් පක්ෂවලට හිතකර ලක්ෂණ පමණක් මිශ්‍රකොට හදා ගැනුණු ලැයිස්තු ක්‍රමයකි. පවතින පිළිකුල් සහගත දේශපාලන පක්ෂ ක්‍රමයට පටහැනිව අලුත් දේශපාලන මතයක් දරන තනි පුද්ගලයෙකුට හෝ දෙතුන් දෙනෙකුට තරඟ කළ නොහැකිය. ඔවුන් අදාළ ලැයිස්තුවකින් ස්වාධීන ලෙස තරඟ කළ යුතුය. එහෙයින් තරඟ කිරීම ලැයිස්තුව මත පදනම් වේ. කොට්ඨාශයට නම් කරනු ලබන එක් අපේක්ෂකයෙකු බැගින් සමස්ත පළාත් පාලන ආයතනයටම නම් ලැයිස්තුවක් තිබිය යුතුය. සමානුපාතික නියෝජනය සඳහා වෙනම ලැයිස්තුවක් වේ. කොට්ඨාශ ක්‍රමයෙන් බලාපොරොත්තු වූ තනිව හෝ තරඟ කිරීමේ පුළුල් ඉඩකඩක් සමානුපාතික ක්‍රමයෙන් සැලසුණු සුළු පක්ෂ හෝ කණ්ඩායම් නියෝජනයට තිබුණු ඉඩකඩත් යන දෙකම මෙයින් තව දුරටත් සීමා වේ. තැන්පත් මුදල වැඩි කිරීමෙනුත් සමානුපාතික ක්‍රමයට ගණන් බැලෙන ආකාරයෙනුත් එය යළිත් සීමා වේ.

            කොට්ඨාශ නිර්ණය

කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයා බැගින් පත්වීම තහවුරු කර ඇත. එහි දී පළාත් පාලනයට අදාළ කොට්ඨාශ ‍වෙන් කිරීම සිදුවන ආකාරයට අනුව, 18 වන සංශෝධනයෙන් කැටි කොට ගත් බලය, ප්‍රාදේශිය ලෙස ද තහවුරු කර ගැනීම මෙහි දී සිදුවේ. එනම් කොට්ඨාශ වෙන් කිරීම සම්බන්ධ පූර්ණ බලධරයා පළාත් පාලන ඇමතිවරයාය. (සංශෝධන පනත් කෙටුම්ප‍තේ 2 වගන්තිය) මේ අනුව එම කටයුත්ත සඳහා, පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුව පත් කරන්නේ ඇමතිවරයාය. 18 වන සංශෝධනයේ සඳහන් ජනාධිපති විසින් පත්කරනු ලබන සීමා නිර්ණය කොමිෂන් සභාව සමඟ සම්බන්ධයක් මෙහි දක්වා නැත. කොමිසන් සභාව, ජාතික කමිටුව, දිස්ත්‍රික් කමිටුව වශයෙන් වෙන් වෙන්ව හඳුනාගත යුතුය. ඇමතිවරයා පත් කරන ජාතික කමිටුවේ නිර්දේශය අනුව කොට්ඨාශ ගණන, මායිම්, නම් සහ අංක ද යොදනු ලැබේ. (3 ආ(1) බහු සභික කොට්ඨාශ (වාර්ගික පදනම මත වෙන් විය හැකිය.)නම, අංකය, සහ සභිකයන් ගණන ප්‍රසිද්ධ කරනු ලැබේ.(3 ඇ)
ජාතික කමිටුව විසින් නියම කරන කොට්ඨාශ මායිම් ඇමතිවරයාට අවශ්‍ය නම් වෙනස් කළ හැකිය. ඒ සඳහා පස් දෙනෙකුගේ කමිටුව පත් කරන්නේ ඇමතිවරයාය. ඇමතිගේ තීන්දුවට නීතියෙන් අභියෝග කළ ‍නොහැකියයි දක්වා ඇත.

ජාතික කමිටුවේ ඉහත සඳහන් කාර්යය සඳහා සහභාගීවීමට දිස්ත්‍රික් කමිටුවක් ඇත. දිස්ත්‍රික් ලේකම්වරයා එහි ප්‍රධානියා වන අතර තවත් පස්දෙනෙක් වෙති. මැතිවරණ දෙපාර්තුමේන්තුවේ, පළාත් සභාවේ, මිනුම් දෙපාර්තුමේන්තුවේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ නියෝජිතයින් සහ ඇමතිවරයාගේ නියෝජිතයෙකු වශයෙන් හය දෙනෙකි. ජාතික කමිටුවේ අධීක්ෂණය යටතේ මෙම කමිටුව ක්‍රියාත්මක වේ. පළාත් පාලනය පළාත් සභාවට අයත් විෂයකි. එහෙත් ඊට විවිධාකාරයෙන් මෙතෙක් ආණ්ඩුව කළ ඇඟිලි ගැසීම් නිශ්චිතව සඳහන් වන තැනකි මේ. පළාත් සභා නියෝජිතයාට අමතරව ඇමතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීම මගින් එය තහවුරු වේ. බලය කැටිකර ගැනීමේ භාවිතයන් හා ව්‍යවස්ථා මගින් කළ දේ පළාත් පාලනයේදී මධ්‍යගත කර ගැනීම ඇමතිවරයාට දී ඇති බලතලවලින් පැහැදිලි වේ. (3 ඉ(1))

            ස්ත්‍රී හා තරුණ නියෝජනය          

කලින් ස්ත්‍රී නියෝජනය ගැන විවිධ අදහස් තිබුණ ද 1974 සිට පැවැත් වූ මැතිවරණවල දී ස්ත්‍රී නියෝජනය අනිවාර්ය ප්‍රතිශතයක් නොතිබීමත්, ඒ සඳහා නිසි දිරිගැන්වීමක් නැති නැතිකමත්, නිසා අදත් එය එදා තිබුණු තත්වයේම පවතී. පසුගිය මැතිවරණ වලදී පවා අනිවාර්ය නොවීම නිසා පාර්ලිමේන්තුවේ 5.8. පළාත් සභාවේ 4.1 පළාත් පාලනයේ 1.8 ප්‍රතිශතය මත පවතී. එය 1947 සිට වර්ධනය වී නැත. ඒ අතර තිබුණු ප්‍රමාණයත් අඩුකොට 25% තරුණ හා ස්ත්‍රී නියෝජනය ගැන සඳහන් වේ. එය ද ‍විය හැකිය යනුවෙන් දියාරු කොට දැක්විමෙන් එම සංඛ්‍යාව අඩු වුනාට කමක් නැත යන අදහස දී තිබේ.ඊටත් වඩා සැලකිය යුතු කරුණ නම් ස්ත්‍රී හා තරුණ එක කණ්ඩායමක් ලෙස දැක්වීමයි. මේ කොටස වෙන වෙනම දේශපාලන නියෝජනය උදෙසා විවෘත ඉඩකඩ තිබීම රටේ කැරලි, ආරවුල්, ආදියට විසඳුමක් වේ. එය නොතකා හැරීම බරපතළ අඩුවකි. (22(4)2 ආ) නාම යෝජනා බාර දෙන විට තරුණ බව ඔප්පු කිරීමට උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ දිවුරුම් සහතිකයක් ඊට ඇමිණිය යුතුය. එසේ නැති විට නාම යෝජනා ලැයිස්තුවම අහෝසි නොවී එම නම පමණක් අහෝසි වෙයි. (25(3)ආ) එම නම වෙනුවට වෙනත් නමක් නොයෙදිය හැකි අතර ඇප මුදල රාජ සන්තක වේ.
           අධික තැන්පත් මුදලක්
මෙතෙක් පළාත් පාලන අපේක්ෂකයා පක්ෂයකින් ඉදිරිපත් වූ විට මුදලක් තැන්පත් කළ යුතු නැත. එහෙත් එය රු. පන්දහසක් කොට ඇත.ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු රු.250ක මුදල රු. විසිදහස දක්වා වැඩි ‍කොට ඇත.මේ මගින් ද සුළු පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයින්ගේ පත්වීම් සීමාවේ. කොලඹ නගර සභාව වැනි ආයතනයකට නාමයෝජනා දීමේ දී ස්වාධීන කණ්ඩායමක් නම් රු.අට ලක්ෂයක් තැන්පත් කළ යුතුය. ඔවුන්ට අ‍නෙක් නීතිවලින් ඇති සීමා නිසා එම තැන්පත් මුදල රාජසන්තක වීම වැළැක්විය නොහැකිය. සභිකයන් ගණන අඩු පළාත් පාලන ආයතනයකට වුවද තරග කොට ජය ගැනීම නිදහස් තරඟකරුවන්ට දුෂ්කර කාර්යකි.
            නාමයෝජනා කාල සීමාව
නාමයෝජනා කාල සීමාව දින 21 නොදී දින එකහමාරකට සීමා කිරීම හොඳ පියවරකි. නාම යෝජනා දීමේ කාලයේ සිට අපේක්ෂකයන් ගැන අධික ප්‍රචාරඝෝෂා අඩු විය හැකිය. එහෙත් පවතින දේශපාලන සංස්කෘතිය අනුව ඉන් පෙරත් ඉන් පසුත් එයම කළ හැකිය. (20 ව) සති 5-6 තුළ නාමයෝජනා දීමෙන් පසු එළඹෙන සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීමට නීති පැනවීම ද යහපත් පියවරකි. මේ නිසා පාසැල් සහ රජයේ ආයතන පැවැත්වීමට බාධාවක් නොවීමෙන් නාස්තිය අඩුවනු ඇත.  (29 ව)
වත්කම් ප්‍රකාශ කිරීම.                                      
සංශෝධන පනතේ 22(7) අනුව නාම යෝජනා බාර දීමෙන් පසු මාස තුනක් ඇතුලත වත්කම් හා බැරකම් නීතිය (1975/1) යටතේ ප්‍රකාශයක් කළ යුතුය. මෙය වඩාත් සුදුසු වන්නේ නාමයෝජනා දෙන විටම ප්‍රකාශ කිරීම ය. නොයෙක් දේශපාලන වංචා සිදුවන රටක ජයගත් පසු බලයේ සිටින පක්ෂයට කුමක් කළ නොහැකිද? ඒ ඇරත් එසේ ප්‍රකාශ නොකළහොත් සිදුවන්නේ කුමක් දැයි පනත් කෙටුම්පතේ නොදැක්වේ. කලින් මැතිවරණ කොමසාරිස් තුමාගේ නියෝග පරිදි එසේ කළ යුතු වුවද වත්කම් ප්‍රකාශ නොකළ අය බොහෝ වූහ. ප්‍රකාශ කළ අයගේ තොරතුරු මහජනයාට ලබා ගැනීම සඳහා විවෘත නැත. පොතේ තිබෙන නීති ක්‍රියාත්මක නොකරන දේශපාලන භාවිතයන් ඇති නිසා හොඳ ලක්ෂණයක් වුවද වැරදියට භාවිතා කළ හැකිය. (22(7))තනතුරු හා පත්වීම් දීම තහනම්ය.
මෙය ද යහපත් පියවරකි. නාම යෝජනා දිනයේ සිට ඡන්දය දෙනු ලබන දිනයට පසු දින දක්වා ඡන්ද දායකයාට බලපෑමක් ඇති විය හැකි පරිදි රජයේ තනතුරු හා පත්වීම් ලබා නොදිය යුතු බව (60(1)අ) සඳහන් වේ. මේ සඳහා නීතියක් පැනවීමෙන් එය වළකීද? පසුගිය කාලයේ එවැනි පත්වීම් දුන්නේ විධායකයේ අනු දැනුම ඇතිව මැති ඇමතිවරුන් විසිනි. නීතිය තිබියදීම එසේ කළොත් කුමක් කළ හැකිද? කළ යුතුද? යනු සඳහන් නොවේ. සඳහන් කිරීම අවශ්‍ය නැත. නොකර හැරීමට නීතියට ඉහළින් සිටින විධායකය අධිෂ්ඨාන කර ගැනීම සෑහේ. (60(1)ආ) හි සඳහන් පරිදි ඡන්දය දෙන හෝ ගණින අවස්ථාවන්හි දී එම ස්ථානයට ආණ්ඩුවේ හෝ පළාත් සභාවේ ඇමතිවරයෙකු ඇතුළු නොවිය යුතුය.ඡන්දදායකයෙකු වශයෙන් පමණක් ඇතුළු විය හැකිය. එහෙත් එසේ ඇතුළු වුවහොත් එතැන සිටින පොලිස් නිලධාරියා ඔහු අත් අඩංගුවට ගතහොත් හෝ ඡන්ද ස්ථානාධිපති ඔහුට එතැනින් පිටවන ලෙස අණ කළොත් එම නිලධරයන්ට මේ දේශපාලන සංස්කෘතියේ ඇති ආරක්ෂාව කුමක්ද? ඔවුන්ට ඇති එකම ආරක්ෂාව නම් එවැන්නක් සිදු නොවූවා සේ සිටීමය. දැනට සිදුවන්නේ ද එයම‍ය.
            ඡන්දය ගණන් කිරීම                        
ඡන්දය දීම සඳහා හැඳුනුම්පතක් තිබිය යුතුය. මෙතෙක් ජාතික හැඳුනුම්පත් නැති අයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරිමක් හඳුන්වා දි තිබිණ. එය නැවතත් ක්‍රියාත්මක වේ. එසේ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ඉඩකඩ භාවිතා කොට ඡන්ද දූෂණ සිදු වූ බව පසුගිය මැතිවරණවල දී නිරීක්ෂණය වූ කරුණකි. විශේෂයෙන් එය වතුකරයේ දී විශාල වශයෙන් සිදුවිය.                                                          සංශෝධන පනතේ 7 වන උප ලේඛනයේ සඳහන් පරිදි ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාවක් දීම ප්‍රතික්ෂේප කිරීම ගැන පිරවිය යුතු ආකෘති පත්‍රයේ වලංගු අනන්‍යතා ලේඛනයේ හෝ අනන්‍යතාව තහවුරු නොකිරීමයනුවෙන් සඳහන් වේ. ඒ අනුව පසුගිය කාලයේ හොර ඡන්ද දැමීමට යොදා ගැනුණු තාවකාලික හැදුනුම් පත ද වලංගු ලේඛනයක්බවට පත්වේ. 1973 සිට අවුරුදු 37 ක් ගතවන තුරුත් හැඳුනුම් පත් දීම කර ගත නොහැකි වීම තව දුරටත් එසේ තබා ගැනීම දේශපාලන වාසියක් වි ඇත.
            ඡන්දය ගණන් කිරීම                                    
මෙවර ඡන්දය ගණන් කිරීම සිදු වන්නේ එම ඡන්ද පොලේ දීමය. ඡන්ද ස්ථානාධිපතිවරයාම ඡන්දය ගණන් කිරීමේ නිලධරයා වන්නේය. (39 ව) එම ඡන්ද පොළේ දීම ගණන් කොට ප්‍රතිඵල ප්‍රකාශ කිරීම නිසා ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත හැකි වන අතර තැන තැන සිදුවන කාලගෝට්ටි අඩුවනු ඇත. එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා බාධකයන් නිසා ගණින ස්ථානය වෙනස් කළ හැකිය. සහකාර තේරීම් භාර නිලධරයා විසින් එසේ වෙනස් කිරීම තීන්දු කරනු ඇත. (40 ව) ගණන් කිරීමේ නියෝජිතයින් වශයෙන් අපේක්ෂකයකු විසින් නියෝජිතයන් දෙදෙනෙකු පත් කළ යුතුය. කලින් මුළු ප්‍රදේශයටම සිටියේ දෙදෙනෙකි. මෙවර කොට්ඨාශයට දෙදෙනෙකි. (41 ව)
කොට්ඨාශයට 70%      සමානුපාතික 30%      
මෙම කෙටුම්පත අනුව වෙන් කරනු ලබන පළාත් පාලන ආයතන ප්‍රදේශයේ සභිකයන් සංඛ්‍යා‍වෙන් 70%කට සමාන කොට්ඨාශවලට එක සභිකයෙකු බැගින් තෝරා ගැනේ. ඒ සඳහා එක් එක් දේශපාලන පක්ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායමෙන් එක් අපේක්ෂකයෙකු බැගින් නාම යෝජනා පත්‍රයක් භාරදිය යුතුය. අනෙක් 30% කට සමාන අපේක්ෂක සංඛ්‍යාව නම් කොට සමානුපාතික ලැයිස්තුව භාරදිය යුතුය. ජයග්‍රාහී සභිකයන් තෝරා ගැනෙනු‍යේ එම ලැයිස්තු වලිනි. ඡන්ද ප්‍රමාණයට අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා එම කොට්ඨාශයට නම් කරනු ලැබේ. වැඩිම ප්‍රමාණයක් සභිකයන් පත්වන පක්ෂයේ ඡන්ද අනුපාතය අනුව සමානුපාතික සභිකයෝ පත්වෙති. මෙයින් වැඩි වාසි හිමි විය හැක්කේ ප්‍රධාන පක්ෂවලටය. සුළු පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට අවාසියක් සිදුවන අවස්ථාවක් ද සමානුපාතික ක්‍රමයේ ඇත. එනම් ඡන්ද විමසීමේදී 5% කට අඩුවෙන් ගත් අයගේ සංඛ්‍යාව මුළු ගණනින් අඩු කිරීමෙන් පසු 5% ට වැඩි එහෙත් පරාජිත සංඛ්‍යාවන් අනුව සමානුපාතික ආසන සංඛ්‍යාව බෙදේ. ප්‍රධාන පක්ෂවල 5%කට අඩුවෙන් ගන්නා අය අඩුවිය හැකිය. එම කොටසට ඇතුලත් විය හැක්කේ සුළු පක්ෂ හා කණ්ඩායම්ය. එහෙයින් ප්‍රධාන පක්ෂවලට ඇති ඉඩකඩ වැඩිය. සුළු පක්ෂ හා කණ්ඩායම් ඉබේම කැපීයාම සිදුවිය හැකිය. එහෙයින් විසම්මුතික දේශපාලනය සීමා වෙයි.
   නගරාධිපති හෝ සභාපති තෝරා ගැනීම                       
ප්‍රධාන  පක්ෂවල ජාතික දේශපාලනය කොට්ඨාශ මට්ටමින් තහවුරු කරන තවත් අවස්ථාවක් ඇත. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩියෙන් ලබා ගත් අවස්ථාවේදී එම දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම්වරයා විසින් එම පළාත්පාලන ආයතනයේ නගරාධිපති හෝ සභාපති තෝරා ගැනේ. සියයට පනහට අඩුවෙන් ඡන්ද ලබා ගත් විට සභාවේ පළමු රැස්වීමේ දී සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා ගනු ලැබේ. ප්‍රධාන දේශපාලන පක්ෂ කොට්ඨාශ මට්ටමින් ඇඟිලි ගැසීම විකල්ප දේශපාලන මත මර්ධනයට යෙදේ.
අයවැය ලේඛනය සම්මත නොවූ විට                     
දැනට පවතින තත්වය අනුව අයවැය ලේඛනය සම්මත නොවූවද සභාපතිට හෝ නගරාධිපතිට පාලනය පවත්වා ගෙන යා හැකිය. එහෙත් අලුත් නීතිය අනුව නගරාධිපති/සභාපති ඉවත් විය යුතුය. මෙය ද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.             
මෙසේ බලය කැටි කර ගැනීමේ වැඩි අවස්ථා අතර යහපත් යැයි සැලකිය හැකි ලක්ෂණ කීපයක් ද මේ නීතියේ පවතී. එහෙත් ඒ යහපත් ලක්ෂණ වෙන වෙනම ගත් විට එයින් යහපතක් සිදුවිය හැකි ද යන ප්‍රශ්නය පැන නගී. මක් නිසා ද ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මූලික කරුණු වූ මූල්‍ය පාලනය, පොලීසිය, රජයේ සේවකයන් සහ මැතිවරණ දෙපාර්තුමේන්තුව ඇතුළු සියළු බලතල ජනාධිපති යටතේ පවතී. එවිට අතනින් මෙතනින් පෙන්නුම් කළ හැකි යහපත් කරුණුවලින් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු නොවේ. සමස්තය තනි බලයක් යටතේ තිබෙන විට සිදු නොවිය හැකි වරද කුමක්ද? වරදකට වග කියන්නා කවරෙක්ද?
ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ ප්‍රකාශයක් වන ප්‍රජාතන්ත්‍ර පුවත් පතට එහි සංස්කාරක නීතීඥ එස්.ජී. පුංචිහේවා මහතා විසින් ලියන ලද ලිපියක් (2010 නොවැ. කලාප අංක 123) අප අහස් ග‍ඟ උපුටා දක්වන්නේ පළාත් පාලන මැතිවරණ සංශෝධන යෝජනා දෙස මැදහත්ව බලා විවේචනාත්මක ලෙස සකසා ඇති මෙම ලිපියේ විෂය අප පාඨකයා දැනුවත් කිරීම පිණිස වන නිසාය.   



                                                           


No comments: