Tuesday, November 16, 2010

සටහන

මහින්ද රාජපක්ෂගේ දෙවන ධූරාකාලයේ ආරම්භය නිමිත්තෙන් යළිත් වරක් රට තුළ සැණකෙලි තත්වයක් මතුකර ගැනීමට ආණ්ඩුව වෑයම් කරන බව පැහැදිලිය. මහ පාරේ කිරිබත් කන උදවියට නොවැම්බර් 19 වන දා නැවත වරක් කිරිබත් කැවීමට ආණ්ඩුව කටයුතු යොදනු ඇත. එහෙත් නොවැම්බර් 10 දින රාත්‍රිය පුරා ඇද හැලුනු මහා වර්ෂාව හේතුවෙන් උන් හිටි තැන් අහිමි වූ 40000 කට ආසන්න කොළඹ ජනයා තවමත් සිටින්නේ තාවකාලික රැඳවුම් වාසස්ථාන වලය. එදින හටගත් වැසි වතුර ජල ගැල්ම අන් කවරදාකටත් වඩා කොළඹ නගරයට බලපෑවේය. 65000ක් පැල්පත් වාසීන්ගේ නිවාස පමණක් නොව හෝර්ටන් පෙදෙස, රජමාවත හා කොළඹ 07 ද වතුරෙන් යට විය.

            කොළඹ නගරයට ආශ්චර්යය උදා කිරීම පිණිස තමන් ජීවත් වූ පැල්පත්වලින් නෙරපා හරිනු ලැබූ මිනිසුන්ද, පදික වේදිකාවේ වෙළඳාමෙන් පලවා හරිනු ලැබූ ජනයා ද, පාන් ගෙඩිය හා පොල් ගෙඩිය රු.48 ක් වීම නිසා ඉහළ නැගි ජීවන බර දරාගත නොහැකිව ලතවන තම්කරු ජනයා ද ඇතුළු ‘”සුභ අනාගතයක් වෙනුවෙන් පාරේ කිරිබත් කෑ මිනිසුන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ආණ්ඩුව කෙරෙහි කලකිරීමට පත්ව සිටින බව ආණ්ඩුව තේරුම් ගෙන සිටී. එහෙත් ඒ පිළිබඳව  එතරම් සැලකිල්ලක් නොදක්වන ආණ්ඩුව දිගින් දිගටම භාවිතා කළ උපාය මාර්ගය වූ ජනතාව ඇන්දවීමේ ක්‍රියා මාර්ගය කෙරෙහිව විශ්වාසය තබා සිටින බව ‍ෙපනේ. එළඹි සතිය මුල නොවැම්බර් 09 දින කැසිනෝ සූදු පොළවල් රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා සූදු විශේෂ විධි විධාන පනතක් සම්මත කර ගත් රජය නොවැම්බර් 19 දින සියළුම රාජ්‍ය ආයතනයන්හි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වන ලෙස නියෝග නිකුත් කිරිමෙන් පෙනී යන්නේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව ඇන්දවීමේ ද්විත්ව රංගනයක යෙදී සිටින බවය. පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් කොළඹ ගොඩනැගිලි විදුලි බුබුලින් නැහැවෙන විට ගිනි කන වැටෙන ජනතාව තමන්ගේ ප්‍රශ්න තාවකාලිකව අමතක කර දමන බව ආණ්ඩුවට විශ්වාසය.

            18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර දීම සඳහා ආණ්ඩුවට එකතු වූ එ.ජා.ප. මන්ත්‍රීන්ගේ පිහිටෙන් ලබා ගත් තුනෙන් දෙකක බලය ඉතා සාහසික ලෙස තොරොම්බල් කරන රජය රට වියරු ඒකාධිපතිත්වයක් කරා ඇදගෙන යන දරුණු අණ පනත් ගණනාවක් කඩි මුඩියේ සම්මත කර ගත්තේය. කවුරු වටහා නොගත්තත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙතෙක් පැවති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දමා තිබේ. නව ව්‍යවස්ථා සංශෝධනයන් සමඟ රාජ්‍ය සේවාව උඩු යටිකුරු වී ඇති අතර අද රජයේ නිලධාරීන් වගකිව යුත්තේ කැබිනට් මණ්ඩලයට පමණි. විධායක ජනාධිපති බලතල විසින් කැබිනට්ටුව රාජපක්ෂ රෙජිමයේ පුද්ගලයින් කීප ‍ෙදනෙකු විසින් හසුරුවන ආයතනයක් පමණක් බවට පත් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තිබූ මහජන නියෝජිතයින්ගේ වැදගත්කම අහෝසි වී යමින් පවතී. මහජනයාද, මහජන නියෝජතයින්ද ප්‍රතිපත්ති රාමුවෙන් පිට හුදු අසන්නන් හා දකින්නන් බවට පත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළිවලින් සැරසූ ආණ්ඩුවේ ඒකාධිපතිත්වය වටහා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අසමත් වීම මේ මොහොතේ අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වී තිබේ. මේ තීරණාත්මක කඩ ඉම පැනයාමට නම් ප්‍රධාන විපක්ෂ බලවේගයන්ගේ සිට සියලු ප්‍රජාතන්ත්‍රවාදින් එකම රාමුවක පෙළ ගැස්වෙන එකමුතුවක් කරා ගමන් කළ යුතුය. මේ වන විටත් ආණ්ඩුව සමඟ යහන්ගතව සිටින ඇතැම් කොටස් රාජපක්ෂ හෙජමොනියෙන් විතැන් කොට ඔවුන්ගේ හෘද සාක්ෂිය අවදි කළ හැක්කේත් ආණ්ඩුවේ අත්තනෝමතිකත්වය පරාජය කළ හැක්කේත් එවැනි පුළුල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවකට පමණි.                 

No comments: