Tuesday, November 2, 2010

'සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මනුෂ්‍යත්වයට යම් ප්‍රමිතියක් අත්කර දීලා තියෙනවා....'

ආරම්භයේ පටන් ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් බෙදීමක් තිබුණා.සරල අර්ථයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු,
                                       1. නිදහස
                                       2. යුක්තිය
                                       3. සහෝදරත්වය

නිදහස  :-   දේශපාලන නිදහස, සිවිල් නිදහස, ‍පෞද්ගලික නිදහස

යුක්තිය :-   සමානාත්මතාවය ක්‍රියාත්මක කිරීම
                                        1. දේශපාලන සමානාත්මතාවය
                                        2. නීතිය ඉදිරියේ සමානාත්මතාවය
                                        3.  සම්පත් දැරීම, බෙදා හැරීම, භුක්ති විඳීම, 

සහෝදරත්වය :-   මානවයා හැමවිටම සාමූහික සත්වයෙක්.මානවයා ක්‍රියාත්මක කරන්නේ මානව අභිමානය  කියන සංකල්පය. ඒ මානව අභිමානය හා සාමූහිකත්වයට ගරු කරන්න නම් සහෝදරත්වය                       තිබිය යුතුයි. එකිනෙකාගේ ප්‍රශ්න ගැන සංවේදී හා ඒවාට මැදිහත් විය යුතුයි. 
                                      
දාර්ශනික මූලයන් දෙස බැලුවහොත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නූතනත්වය, (Modernity) කියන වේදිකාවේ ඇති වුන ප්‍රධාන දේශපාලන දර්ශන  තුනෙන් එකක්. ඒ තුන තමයි,
                                          1.  ලිබරල්වාදය
                                          2.  මාක්ස්වාදය
                                          3.  සමාජ ප්‍රජාතන්ත්‍රවාදය

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට,ආරම්භයේ පටන්ම මාක්ස්වාදය සමඟ තිබුනෙ ඉතා කිට්ටු සම්බන්ධයක්.ඔවුන්, කොමියුනිස්ට් ප්‍රකාශනය දාර්ශනිකව පිළිගන්නවා.නමුත් එය යම් තැනක දි වෙන් වෙනවා.බර්න්ස්ටයින් කියන ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා සමඟ ඊට පෙර රෝසා ලක්සර්ම්බර්ග්,කෞව්ට්ස්කි රුසියාවේ ප්ලැකනොව් වැනි අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථානගත කළේ කොමියුනිස්ට් ප්‍රකාශනය හරහා. ඒ තුළ තමයි විප්ලවය ගැන කතාබහක් ව‍ගේම බොල්ෂෙවික් ව්‍යාපාරය ගැන සාකච්ඡාව ගෙන ගියෙත්.නමුත් මුල්වරට බර්න්ස්ටයින් කිව්වා,කොමියුනිස්ට් ප්‍රකාශනය කියන්නේ හුදු සදාචාරවාදී ලියවිල්ලක්.ඉන් එහා ප්‍රායෝගිකව බලද්දි නිදහස, යුක්තිය හා සමානාත්මතාවය කියන තැනින් ගොඩනැඟීම් කළ යුතුයි කියල.

 සමාජ ප්‍රජාතන්ත්‍රවාදය,වම/දකුණ ලෙස බෙදෙන්නේ මෙන්න මේ තැනදි.රෝසා ලක්සර්ම්බර්ග්,කෞව්ට්ස්කි වාමධාරාව ලෙස වෙන් වෙන කොට බර්න්ස්ටයින් මුල්කර ගෙන දක්ෂිණාංශය ගොඩ නැ‍ඟෙනවා.ඒ දක්ෂිණාංශික කඳවුර තමයි අද වෙනකොට ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ස්වීඩ්න් සමාජ ප්‍රජාතන්තුවාදී පක්ෂය ලෙස ගොඩනැඟී තිබෙන්නේ.රෝසා ලක්සර්ම්බර්ග් වැනි අය කිව්වේ මේ අය සංශෝධනවාදීන්,ධනේශ්වර ක්‍රමයට විකල්ප හොයනවා වෙනුවට පැලැස්තර දානවාය කියලා.නමුත් වාමධාරින් අතරත් ඒකමිතියක් තිබුනේ නැහැ.උදා:-ප්ලැකනොව් සහ ලෙනින් අතර බරපතල ගැටළු ඇති වෙලා.ලෙනින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් එළියට ගිහින් බොල්ෂෙවික් කණ්ඩායම ලෙස ඉදිරියට යනවා.විශේෂයෙන්ම සුළු ධනේශ්වරය අරභයා ගත යුතු පියවර සම්බන්ධයෙන් තමයි ඔවුන් අතර ගැටළු ඇති වෙන්නේ. මේක තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාද‍යේ ඉතිහාසය. මේ ඉතිහාසයේ දිගුවක් ලෙස ගන්න පුළුවන් ජර්මන්, ස්වීඩන් වැනි ස්කැනේඩියානු රටවල පවතින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්.
  උදා:- ස්වීඩනයේ අවුරුදු 60ක් තුළ පූර්ණ වශයෙන් බර්න්ස්ටයින්ගේ ආභාෂයෙන් ගොඩනැඟුණු සමාජවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනකොට ඊට ඉඳුරාම වෙනස්ව පැවති වාමධාරාව මිය ගියා. ඉතින් මෙතන දී අප බලන්න ඕන බර්න්ස්ටයින් කියන මේ අර්ථ ක්‍රමය මොකක්ද කියලා. මාක්ස් සහ ඇඩම් ස්මිත් යන දෙන්නම එකඟ වුන දෙයක් තමයි ඉල්ලුම සහ සැපයුම අතර ගැලපීමේ දී ඇතිවන තරඟය තුළ ලාභය අඩුවෙන බව. ඒ ලාභය අඩුවෙලා ගිහින් එක් තැනක දි සංවෘත අවස්ථාවකට එනවා.මේ සංවෘත අවස්ථාව ලිබරල් ධනේශ්වරයත්,මාක්ස්වාදයත් දෙකම එකඟවෙන අවස්ථාවක්.කාර්මික විප්ලවයෙන් පසු මුල්වරට මේ සංවෘත අවස්ථාවට ආවා එවිට ලෙනින් කීවා ධනේශ්වරය උපරිම අවධියට එනවිට අධිරාජ්‍යවාදය බිහිවෙනවා කියලා. නමුත් ඒක එහෙම වුනේ නැහැ. නැවත1940 ගණන්වල දෙවන ලෝක යුද්ධයත් එක්ක මේ කියන සංවෘත අවස්ථාවට ආවත් කම්කරුවෝ කැරළි ගැහුවේ නැහැ. ධනේශ්වරය ඒ ‍‍වෙනුවට කළේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කියන ආයතන දෙක හදලා මුළු ලෝක ආර්ථිකයම ඩොලර්වලට ගැට ගැහුවා.නැවත 1970 දි සංවෘත අවස්ථාවට එන‍කොටලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කළේ රත්තරන් අවුන්ස 22 කට ඩොලර් එක කඩලා  ඩොලරය පාවෙන්න ඉඩ හැරිය එක. 1980 ගණන්වලත් මේ තත්වය ඇති වෙන කොට තමයි නව ලිබරල් ආර්ථික ක්‍රමය හඳුන්වල දුන්නෙ.
            
මෙහි දී අපට පැහැදිලි ‍වෙන කාරණාව තමයි, ධනේශ්වර ආර්ථිකයේ අර්බුදයක් තියෙනවා, නැහැ නෙවෙයි. නමුත් ඔවුන් ඒකට ප්‍රායෝගික විසඳුම් හොයාගෙන තියෙනවා. නමුත් මාක්ස්වාදීන්ට බැරිවෙලා තියෙනවා කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් එහාට ගිහින් මේකට පිළිතුරක් හොයන්න.නව ලිබරල්වාදය කියන්නෙ අර කියපු සංවෘත අවස්ථා‍වෙන් මිදෙන්න ධනේශ්වරය ගිහින් තියෙන උපරිම දුර.මේ සමඟ එන සංකල්ප දෙකක් තියෙනවා.
1.      වෙළඳපල ආර්ථිකය - Real Economy
2.      මූල්‍ය ආර්ථිකය  - Financial Economy
නව ලිබරල්වාදය තුළ වුනේ අර සංවෘත අවස්ථාවෙන් මිදෙන්න භාණ්ඩ හා සේවා වෙළඳපොල (Real Economy) හකුළුවලා මූල්‍ය ආර්ථිකයක් (Financial Economy) ගොඩ නැඟුවා. ඒ තුළ තමයි විශාල වශයෙන් ලාභ ගන්න පුළුවන් Credit card, Heijin, Leasing වැනි මූල්‍යමය උපකරණ ගොඩක් හදලා එළියට දාන්නේ. මේ තුළ සැබෑ ආර්ථිකයට වඩා ප්‍රසාරණය වූ ආර්ථිකයක් හැදුනා.
උදා:- ඇමෙරිකාවේ ට්‍රිලියන 3 ක් ණය. ඒ ණයවල හිමිකරුවන් තමයි ක්‍රෙඩිට් කාඩ් හිමියන් සහ වෙනත් රාජ්‍යයන්. මේ ආර්ථිකය තමයි කඩාගෙන වැටෙන්නෙ.
        දැන් අපි ඉදිරියේ අභියෝග දෙකක් තියෙනවා.
  1. සැබෑ ආර්ථිකය (භාණ්ඩ හා සේවා වෙළදපොල) නැවත ස්ථාපනය කරන්නෙ කොහොමද?
  2. මූල්‍ය ආර්ථිකය හකුළුවන්නේ කොහොමද?

ඒ වගේම සමාජ ආර්ථිකවාදීන් මුහුණදෙන තවත් අභියෝගයක් තමයි මේ කියන මූල්‍ය ආර්ථිකය තුළ සම්පත් සාධාරණව බෙදී යන වැඩ පිළිවෙලක් ඇති කරන්නේ කොහොමද කියන එක.මේ තුළ ඇතිවන ගැටළු තමයි,
        1.  දුප්පත්කම
        2.  විරැකියාව
        3.  මන්දපෝෂණය
        4.  ශ්‍රමය ගලා යෑම

මෙතනදී අපට පේනවා මිනිසාගේ සාමූහික පැවැත්මට අදාල කාරණා ගණනාවක් ආර්ථිකය තුළ ඉෂ්ට නොවන බව.සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ අභියෝගය තමයි වෙළඳපල ආර්ථිකයක් තුළ මේවාට උත්තර හොයන්නේ කොහොමද කියන කාරණාව. මෙතන දි අපි ‍මෙහෙම ගනිමු.

  *   නව ලිබරල්වාදයේ ප්‍රධාන සංරචක මොනවාද?
1.      විවෘත ආර්ථිකය   (රාජ්‍යයට පැවැත්මක් නැත)
2.      නිර්බාධකරණය   (රාජ්‍ය විසින් ආයාත හා නිර්යාත පාලනය නොකරයි)
3.      පෞද්ගලිකකරණය
4.      පොදු යහපතට මිලක් ඇත.
5. මානව හිමිකම් යනු පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවන සිවිල් හා දේශපාලන  අයිතීන්  පමණි.
    
 එම සංරචක පිළිබඳව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයන් මොනවාද?
1.  විවෘත ආර්ථිකය පිළිගනී. නමුත් වෙළඳපලට තමන්ව සීමා කර ගත නොහැක. එම
                 නිසා රාජ්‍යය විසින් වෙළඳපල පාලනය කළ යුතුය. එහි දී,
i.   ඒකාධිකාරයන් වැළැක්විය යුතු ය.
ii.  රාජ්‍යය, මහජන සුභ සාධනයට අදාල දිගුකාලීන ආයෝජනවලට මැදිහත් විය   යුතු ය.
iii. යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් විය යුතු ය.

මේ කරුණු තුන අත්‍යවශ්‍ය වන අතර මේ තුළ රාජ්‍යයට විවෘත වෙළඳපල නියාමනය කළ හැකි ය.
           
       2. නිර්බාධකරණය නොපිළිගනී. සමාජ ප්‍රජාතන්තුවාදීන් නිදහස් වෙළදාම (Free Trade)‍ නොව සාධාරණ  වෙළඳාම (Fair Trade) පිළිගනී.
උදා:- Fair Trade කියන්නේ පමණක් වෙලාවට රටවල් තුළ තමන්ගේ නිෂ්පාදන කළ හැකියි. 
උදා:- සහල්
මෙහි දී (WTO) ලෝක වෙළඳ සංවිධානයට මැදිහත් විය නොහැක.

3.  පුද්ගලීකරණය
පමණක් තැන්වල කළ හැකි වුනත් සමහර තැන්වල කළ නොහැකි විය යුතුයි.මෙහි නිර්ණායකය විය යුත්තේ සමාජ සාධාරණත්වය හා සඵලදායකත්වය පවත්වාගෙන යාම යන කරුණු,නව ලිබරල්වාදය තුළ කියන 100%ක් පුද්ගලීකරණය කළ යුතුයි කියන එකටත් 100%නොකළ යුතුයි කියන දෙකටම අපි විරුද්ධය.
      
        4. පොදු යහපත  යනු තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමට එපිට ඇති දෙයකි.ඒවා වෙළඳපලට යට කළ නොහැකි ය. සුභ සාධනය අනිවාර්ය අවශ්‍යතාවයකි.

       5. මානව හිමිකම් යනු සිවිල්, දේශපාලන,ආර්ථික,සමාජීය මෙන්ම සංස්කෘතික අයිතීන් වන අතර මානවයාට එය අනිවාර්යයෙන්ම ලැබිය යුතු ය.

ඇත්තෙන්ම මේ සියළු තත්වයන් තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කතා කරන්නෙ ග්‍රාමීය සහ නාගරික දිළිඳු ජනතාව ගැන.නගරයට සාපේක්ෂව ගමේ ඉන්නෙ බලය රහිත මිනිසුන්.සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නේ මේ බලය රහිත මිනිසාට.දැනට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව ක්‍රියාත්මක වන ආදර්ශ ගණනාවක් තියෙනවා. පින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වගේ රටවල. ඒ රටවල අවම වැටුප තීරණය කරන්නේ ව්‍යවසායකයා. රජය හා සංවිධිත කම්කරු පන්තිය එකතුව කරන සාකච්ඡාවකින්. නමුත් අපි වගේ රටවල කම්කරු පංතිය ශක්තිමත් නැහැ. ඇත්තටම මේක සමාජගත කිරීම අපහසු නැහැ. අපි කතා කරන භාෂාවේ යම් අඩුපාඩුවක් තමයි ඇත්තෙ. නමුත් අපි වගේ රටවල අර වාමවාදී ධාරාව වැඩුනෙත් නැහැ. මාක්ස්වාදය තුළ පිළිතුරු තිබුනෙත් නැහැ. ඒ නිසාම කම්කරු පන්තියකුත් නැහැ.ඒ තුළ මේ කියන ප්‍රතිලාභ ලැබුනෙත් නැහැ.නමුත් ලෝකය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් මනුෂ්‍යත්වයට යම් ප්‍රමිතියක් අත්කර දීලා තියනවා. ඒක මිනිසුන් භුක්ති විඳිනවා.අපි දැකලා නැති වුනත්. මේ රටේ මිනිසුන්ට නිදහස,යුක්තිය හා සහෝදරත්වය රැගෙන ඒමට ප්‍රායෝගිකව විසඳුම තියෙන්නේසමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය තුළ විතරයි, අපි දකින හැටියට.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව වෙනුවෙන්,
ශිරාල් ලක්තිලක.
සකස් කළේ නිරංජලා ආරියවංශ.


      




3 comments:

Anonymous said...

wikara.

Anonymous said...

ඔයාල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්න ගන්නකොටම වාගේ ලංකාවේ ප්‍රංශ,ජර්මන්,ඇමරිකා තානාපති කාර්යාල වලින් එකම මාසයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන රැස්වීම් වගයක් කලා. අනේ මන්දා මේවා මෙහෙම වෙන්නෙ ඇයිද කියලා?

Anonymous said...

ශයාල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේකට නම් අනේ අපොයි ඔයාලගෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය.....