Wednesday, November 24, 2010

දෙවන පදවි ප්‍රාප්තිය හෙවත් ගෙදරට මරගාතේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලය නොවැම්බර් 19 වනදා ආරම්භ විය. ඒ නිමිති කොට පැවැත්වුනු  රාජ්‍ය උත්සවය සඳහා රජය රු. මිලියන 200 ක් වැය කරන ලද බව වාර්තා විය. ඊට අමතරව සියලුම රාජ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කළ බව සතියක් පුරා පැවැත්වූ සැණකෙළි හා සංදර්ශනවලින් පැහැදිලි විය. බොහෝ අමාත්‍යාංශවල විදුලි බුබුලින් සරසා උත්සව සිරි ගන්වා තිබූ අතර සර්ව රාත්‍රික පිරිත් හා දාන මාන සත්කාරක සේවා ද ඒවායේ පැවැත්වීය. ඉකුත් වසරේ මැයි 18 වන දා ඇරඹි මහපාරේ කිරිබත් කෑම නොවැම්බර් 18 වන දා නැවත දැකිය හැකි විය. මෙදා පාර පාරේ කිරිබත් කෑමට අමතරව නිදහස් චතුරශ්‍රයේ ද ලෝකයේ ලොකුම කිරිබත දේශමාන්‍ය පබිලිස් සිල්වා මහතා අතින් පිසින ලදුව මැති ඇමතිවරු ද ඔවුන්ගේ අඹු සිඟිත්තෝ ද රස බලන අයුරු දැක ගත හැකි විය.එකී කිරිබත ගිනස් වාර්තා ‍‍පොතට ඇතුලත් කෙරෙන බව අසන්නට ලැබීම තවත් ආශ්චර්යයකි.
            මිනිත්තු 11 ක් තුළ පැල එකළොස් ලක්ෂයක් සිටුවීම මෙම උත්සව මාලාව තුළ රජය විසින් ඉටුකළ වැදගත් කටයුත්තකි. අගතිගාමිත්වයෙන් තොරව අප එසේ කියන්නේ රුක් රෝපණ වැඩ සටහන දියත් කර තිබූ ආකාරය අනුව අවම වශයෙන් හෝ පැල ලක්ෂ එකොළහෙන් පැල ලක්ෂ තුනක්වත් පැලවේ යැයි උපකල්පනය කිරිමෙනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රථම ධුරකාලය තුළ ගත වූ  වසර හයේ දී ලංකාවේ වන ගහනයෙන් හෙක්ටයාර්  දස දහස් ගණනක් රජයේ සෘජු මැදහත් වීමෙන් රටට අහිමි කර තිබේ. සිදුකර ඇති වන විනාශය හා එයින් දැනටමත් මතු වෙමින් පවතින අලි-මිනිස් ගැටුම් හා පාරිසරික තුලනය බිඳ වැටීම ගැන සැලකිල්ල යොමු කරනවිට මෙම රුක් රෝපණ වැඩසටහන ඊට යන්තමින්වත් හිලව් නොවන බව පැහැදිලිය. එහෙත් කෝටි 52 ක් වියදම් කල අයිෆා සහ කෝටියක් වියදම් කළ නිවාස ඇමතිගේ තුන් කල් දැක්ම වැනි මහජන මුදල් කාබාසිනියා කළ ව්‍යාපෘති සමඟ සන්සන්දනය කළ විට මෙය යහපත් එකකි.එයට වැය කළ මුදල ලක්ෂ 200 න් කවර පංගුවක් දැයි තවමත් ප්‍රසිද්ධියට පත්ව නැත.
            
රජය වන විනාශයට දායක වී ඇති අන්දම පැහැදිලි කර ගත හැකි තොරතුරු කීපයක ජනතා‍වගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නේ නම් හම්බන්තොට උඩමත්තල ගුවන් තොටුපල ව්‍යාපෘතිය සඳහා වනාන්තරය  ඉවත් කිරීම හෙක්ටයාර් 2000කි. මොරගහකන්ද මෙගා ව්‍යාපෘතියට හෙක්ටයාර් 1000කි. විල්පත්තු ජාතික වනෝද්‍යානය මැදින් කි.මී.60ක මහා මාර්ගයක් කැපීමෙන් හෙක්ටයාර් සිය ගණනකි. සෝමාවතී අභය භූමිය මැදින් සේරුවිල මාර්ගය කැපීමට හෙක්ටයාර් සිය ගණනකි. දුම්බර මිටියාවතේ කැලෑ ඉඩම් ගොඩ කිරීම, නකල්ස් රක්ෂිතයේ හෝටලයක් ඉදි කිරීම, කෝකිලායි කලපුව දෙපස රක්ෂිතය එළි කිරීම, මින්නේරිය අභය භූමිය තුළ හෝටල් දෙකක් ඉදි කිරීම, දැයට කිරුල ප්‍රදර්ශනයට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කයෙන් විවිධ ව්‍යාපෘති සඳහා ඉවත්කළ වනබිම් ආදිය සඳහන් කළ හැකිය. මහජන මුදල් නාස්ති කරන ප්‍රචාරකවාදී රුක් රෝපණ ව්‍යාපෘති වෙනුවට රට පුරා සිදු කෙරෙන වනාන්තර මංකොල්ලය නැවැත්වීමට තීන්දුවක් ගැනීමට පාලකයින්ට බුද්ධිය පහළ වෙන්නේ නම් වඩා යහපත්ය.
            ඇමරිකානු ඩොලර් මිලියන 360 ක් වැයකොට ඉදිකරන හම්බන්තොට වරායේ ප්‍රථම අදියර ලෙස කරගම් ලේවායේ හෙක්ටයාර් 43 ක භූමියේ චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිකල තටාංගනය දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව සිදුකෙරිණි. රාජ්‍ය මාධ්‍ය පවසන අන්දමට දැන් ලෝක සිතියමෙහි හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි වී තිබේ. මෙතැන් පටන් එය මෙරටට විදේශ විනිමය ගලන මහා උල්පත වනු ඇත. එ‍හෙත් සත්‍ය ලෙසම සිදු වූයේ කොළඹින් සේරුවිල නෞකවට පටවන ලද භාණ්ඩ කිහිපයක් හම්බන්තොටට ගොඩ බා නැවත ලොරි මඟින් කොළඹට ගෙන ඒමත් ටැන්ජරීන් මගී නැව කුලියට ගෙන හම්බන්තොටට ට්‍රිප් එකක් යාමත් පමණි. වරායේ මූලික අදියරේ කටයුතු අවසන් කරන්නට තවත් කාලයක් ගතවනු ඇත. එහෙත් මේ සිදු වන්නේ මැතිවරණ කාල සටහනට අනුව යුද්ධය මෙහෙය වූවාසේ ප්‍රචාරකවාදී ඉලක්ක සම්පූර්ණ කර ගනු පිණිස සිදුකරන කඩිමුඩි වැඩය. ඒවා කරදියවර මංගල්‍යය මෙන්ම ජනතාවට හාස්‍යය උත්පාදනය කරවන්නේය.
            දෙවන පදවි ප්‍රාප්තිය හේතුවෙන් දින ගණනාවක් කොළඹ කලාප කිහිපයක පාසල් වසා දැමීය. එම පාසල්වල මේ දිනවල පැවැත්වියයුතු අවසාන වාර විභාගය නැවතත් සංවිධානය කිරීමට සිදුවේ. පාරවල් වසා දැමීමෙන් එදිනෙදා කටයුතු අවුල් වී තිබිණ. නොවැම්බර් 10 දින ඇති වූ ගංවතුරෙන් උන් හිටි තැන් යටවීම නිසා පීඩාවට පත් ජනයා සම්බන්ධ කතාන්දරය ද දේශපාලනඥයන්ට මුළුමනින්ම අමතක වී ගියේය.ජිවන බර දැඩි ලෙස පොකැට්ටුවට දැනෙද්දී මිනිස්සු නිහඬව සිටිති. අසල්වැසියා සමඟ හෝ කතා නොකරන නිර්වින්දනයක ගිලී සිටිති. සියල්ල යහපත් අයුරින් සිදු වෙමින් පවතින්නේ යැයි පාලකයින් සිතා සිටින බව පෙනේ. අවසාන විග්‍රහයේ දී රැවටෙන්නේ කවුදැයි මැන ගැනීමට යම් අදහසක්දෙවන පදවි ප්‍රාප්තිය දවසේ රජයේ දිනමිණ පුවත්පත කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වටහා ගත හැකිය. රු.20ක් මිළ නියමකර ඇති දිනමිණේ නොවැ. 19 දින පිටු සංඛ්‍යාව 104කි. ජනපතිට සුභ පතා පළ කර ඇති සම්පූර්ණ පිටුවේ දැන්වීම් ප්‍රමාණය 73 කි. එයින් 15 ක් පෞද්ගලික අංශයේ දැන්වීම්ය. ඉතිරි දැන්වීම් පිටු 58 පළකර තිබෙන්නේ රජයේ අමාත්‍යාංශ විසිනි. බුද්ධ ශාසන, සංස්කාතික, උසස් අධ්‍යාපන, නිවාස වැනි බංකොලොත් ආර්ථිකතාවයක පවතින අමාත්‍යාංශ ජනපතිට ආවැඩීමේ දී ඉදිරියෙන්ම සිටිති. සුබ පතන පෞද්ගලික අංශයේ ආයතන15 ද ඔවුන්ටම සම්බන්ධ ඒවා බව පැහැදිලිය. මේ කිසිදු කටයුත්තකට රටේ කවර තරාතිරමක හෝ ජනතාවගේ සහ සම්බන්ධතාවයක් නැති බව පෙනේ. 

No comments: