Wednesday, November 10, 2010

සටහන

ඉකුත් වසරේ මැයි මාසයේ සිදු වූ ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ ස්වකීය ප්‍රතිවාදී අනෙකා අහිමි වී යාම නිසා වඩාත්ම අසීරුවට පත්ව සිටින්නේ අන් කවරෙකු හෝ නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බව ඉතා පැහැදිලියි. බරපතල සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව ඉකුත් මාස කිහිපය ගත කළේ ජීවන වියදම ඉහලයාම ඇතුළු ජනතා‍වගේ ප්‍රශ්න විසඳුම් සඳහා සංයුක්ත වැඩ පිළිවෙලක් නිර්මාණය කර ගනිමින් නොවේ. එක් පැත්තකින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාපිත බලය තව තවත් ශක්තිමත් කර ගත් ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිමි වූ ප්‍රභාකරන්ට විකල්ප පොදු හතුරා නිර්මාණය කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක යෙදී සිටී.

        ජාතික වශයෙන් මෙරට ජනයාට එරෙහි ප්‍රධාන හතුරා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා නම් කළ ආණ්ඩුව ඔහුට එරෙහිව උසිගන්වනු ලැබූ මහජන මතයට මුවා වෙමින් මාස දෙක තුනක් ඇද ගන්නට සමත් විය. එම මතවාදය දුර්වල අඩියකට පත් වෙමින් ජෙනරාල් වෙනුවෙන් අනේ අපොයි! කියන තැනට ජනතාව එන විට ආණ්ඩුව කළේ විමල් වීරවංශ ඇමතිවරයා ඉත්තෙකු ලෙස යොදා ගනිමින් U.N.O. ආයතනයේ ප්‍රධාන ලේකම් බැංකි මූන් මහතා ප්‍රධාන හතුරා ලෙස හැඳින්වීමයි. අවසානයේ එම ව්‍යායාමය හාස්‍යජනක විගඩමක් බවට පත් විය.

        ආණ්ඩුවේ ආශ්චර්යය නිසා පීඩාවට පත් ජනයා නගන අ‍ඳෝනාව වෙනතකට යොමු කරවා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණාවකි. මෙවර අනෙකා ලෙස නම් කර තිබෙන්නේ විශ්ව විද්‍යාල සිසු පරපුරයි. මර්වින් සිල්වා ඇමතිවරයාගේම අනෙකා ලෙස හැඳින්විය හැකි එස්.බී. දිසානායකට උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරි නැමූ ආණ්ඩුව සිදු පරපුරට එරෙහිව ඒ මහතා උසි ගන්වා ඇත.

        මේ මොහොතේ ජනතාව කතා කරන්නේ ඉහළ ගිය පාන් ගෙඩියේ පොල් ගෙඩියේ හෝ හාල් කිලෝවේ මිළ ගැන නොවේ. සරසවි සිසුන්ගේ සැහැසිකම් නිසා බිඳ වැටෙනවා යැයි කියන අධ්‍යාපනය ගැන ය. ලබන නොවැම්බරයේ ඉදිරි පත්කළ යුතු අය-වැය හා මැතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ රු. 2500 යේ වැටුප් වැඩි වීම හෝ අත්‍යවශ්‍ය බඩුවල මිළ සහනය ගැන කිසිවකු කතා කරන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය මෙන්ම ජාතියේ අවාසනාවට අටවා ගත් පුද්ගලික මාධ්‍ය ද අද පැය 24 පුරාම කතා කරන්නේ අන්තරේ ත්‍රස්තයින්ගෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බේරා ගැනීම ගැන ය. සිදු වෙමින් පවතින අභාග්‍ය සම්පන්න යථාර්ථය හඳුනා ගන්නා ලෙසත් මේ මොහොතේ වඩාත්ම අවදියෙන් සිටින බලවේගය වූ සිසු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහාත් ගුරු දෙමාපිය සියල්ලන් නැණ නුවණින් විමසා බැලීම වටී. 

1 comment:

Anonymous said...

අයියෝ මේ මොහොතෙ නං බෑ. අපි මේ පෝන් ස්ටාර් වල නොම්බර තෝරනවා. යකෝ අපි දැනං හිටියේ නෑනෙ මෙච්චර.......
-සමරෙ