Monday, November 8, 2010

සසර කලකිරිම භා සසර චුන් වීම අතර "මත" වෙනස

එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ දින ජාතිය අමතා කතා කළ ජනපතිතුමා තමාගේ ඊළඟ ත්‍රස්තවාදී මෙහෙයුම ලෙස හැඳින්වූයේ මතට තිත සංකල්පයයි. ජාතික හෙළ උරුමය, යහපත පිළිබඳ සිතුවිලි බොහොමයක් අලෙවි කරමින් කරන ලද දේශපාලනයේ ජනප්‍රියම දේශපාලන අලෙවි භාණ්ඩය වුයේ මතට තිතයි. එය කොතරම් ජනප්‍රිය ලෙස ඔවුන් සමාජ ගත කළා ද කිවතොත් අදට වඩා සමාජය යහපත් ලෙස පැවති, 70 දශකයේ චිත්‍රපටවල දුම්, මත් බීම් හා අසැබි ලෙස හාමුදුරුවරු සැලකූ සෑම රූප රාමුවකටම කොටු දමා ඉවත් කිරීම දක්වාම එය දිගු විය. අලිංගික යැයි අප හිතන හාමුදුරුවරු ලිංගික ගිහි ජීවිත පාලනයට දේශපාලනිකව මැදිහත් විය. යහපත්, සිංහල, අමද්‍යප, සුචරිත,  බෞද්ධයෙක් හදා වඩා ගැනීමෙන්, අමද්‍යප එල්.ටී.ටී.ඊ.යේ කුරිරු ත්‍රස්තවාදයට මෙන් අධිරාජ්‍යවාදයටත්එකවිට මුහුණ දීමට අවශ්‍ය සාරය ඒ තුළ ඇති බව දවල් මිගෙල් රෑ දනියෙල් ගිහියන්ගෙන් හා සසර කලකිරී මහණ වූ හාමුදුරුවරුන් වෙතින් පමණක් නොව රු.40,000/ 50,000 'තායි සිල්ක්" සිවුරු පළදින සසර චූන්වු හාමුදුරුවරු විසින් ද දේශනා කොට වදාළ හ. කන්න ඕන වූ විට කබරගොයා තලගොයා නොව තෝර පෙත්තක් තරමටම හඳුන්වා දෙමින් ජනපතිවරණයේ දී ජනපති මැදුරේ දී ජනයාට සංග්‍රහ කළ මධ්‍ය -සාරය අනුමත කළ හෙළ උරුමයේ නායක හාමුදුරුවරු ඉන් පිටත, මතට තිත දේශපාලනය ව්‍යාපෘතිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා සමාන  ලෙස මැදිහත් වෙමින් ක්‍රියා කළ හ.
           ණය: ණයට පොලී, පොලියට පොලී ගෙවීමට ඇති රජය ඉදිරි සංවර්ධන කටයුතුවලට අදාලවත් යුද්ධයෙන් පසු විදේශ විනිමය ලබා ගත හැකි සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම දැන් අරඹා ඇත. ලෝකයේ උතුම් රට අපි, අපිවම හඳුන්වා ගන්නා අර්ථයෙන් ලංකාවට විදේශිකයන් නොපැමිණෙන නිසා පැමිණෙන විදේශිකයන්ගේ විවිධ වුවමනාවන්භා වින්දන සංස්කෘතිය වෙනුවෙන් පරිසරය සකස් කළ යුතුව ඇත. ඒ සඳහා යුද්ධයේ පසු පෙරමුණ හරහා තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනිම සඳහා ගෙන එන ලද මූලධර්මවාදී තහනම්, වර්තමාන ආණ්ඩුවේ එදා වේල වෙනුවෙන් ඉවත් කර ගැනීමක් පසුගිය දින කිහිපය තුළ දැක ගැනීමට සිදු විය. අරක්කු තැබෑරුම් විවෘත කිරීම සඳහා තිබූ තහංචි, පුජනිය ස්ථාන භා පාසැල් දුර සීමාව ඉවත් කිරීමත් රේස් ඔට්ටු සඳහා කලාපයන් වෙන් කිරීමට ‍නීති යෝජනා කිරීමය. දෙවැනි ත්‍රස්තවාදය ලෙස හැඳින් වූ මතට තිත හා සමාජ සාරධර්ම රැකීමේ වුවමනාවේ මන්තරය වෙනුවට මින් පසු, විදේශික සුද්දන්ගේඋවමනාවන්ට ලංකාව තුළ ඉඩකඩ හදා දෙමින් ආණ්ඩු‍‍වේ ඊනියා සංවර්ධන ඉදිරි පෙරමුණ විසින් සන්ධාන අමද්‍යප, අනගාරික, සුචරිත, ධර්ම රාජ්‍යය සාරධර්ම සංකල්ප පෙරටු කොට ගත් පෙරමුණ පසුපසට තල්ලු කර ඇත. ධර්ම රාජ්‍ය වෙනුවට ලිකර් සහ බුකී ප්‍රාදේශීය ලෙස විමධ්‍යගත කර ඇත. දමිළයන්ගේ සංස්කෘතික උවමනා‍වන් සඳහා ප්‍රාදේශීය බලයන් බෙදීමට එරෙහි වූ බෙදීමි පිටරැටින්ගේ සංස්කෘතික වුවමනාවන් සඳහා  බෙදීමට සූදානම්ව ඇත. එභෙත් ලාංකිකයන්ගේ වින්දන සංස්කෘතිය දියුණු කළ 70 දශකයේ චිත්‍රපට අපට තවමත් කොටු දමා බලාගෙන සිටීමට සිදුව ඇත. 70 දශකයේ තරුණ මාලනී ෆොන්සේකාගේ වටොර නොපෙන්වීමට මූලධර්ම බලධාරින් ගත් තීන්දුව දැන්වත් ඉවත් කිරීමට මන්ත්‍රීනී මාලනිගෙන්වත් උපදෙස් ගෙන කටයුතු කළ යුතු ය.
           අපේ රටේ දොර ඇරෙන්නේ විදේශිකයන්ගේ වින්දන සංස්කෘතිය වෙනුවෙන් පමණක් නම් එය ස්වදේශිකයන්ගේ වින්දනයට කරන අසාධාරණයකි.  එසේ නොවුනොහොත් මෙම සන්ධාන ආණ්ඩුව විදේශිය ගැති ආණ්ඩුවක් ලෙස ජාතියේ පංචායුධය වු විමල් වීරවංශ ඇමති විසින් හඳුන්වන දවස වැඩි ඈතක නොවනු ඇත.  

එම්.ඒ. කේ. පෙරේරා                                                                                                                            

No comments: