Friday, October 29, 2010

සිසුන්ගේ හඬ අයුක්ති සහගත ද?

2010 ඔක්තෝම්බර් 26 වෙනිදා මෙරට ජනමාධ්‍යවල ප්‍රමුඛ ප්‍රවෘත්ති සිරස්තල කිහිපයක් මෙසේය.

‘විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා......’
-         ජනාධිපති මහින්ද රාජපක්ෂ.
 ‘අන්තවාදීන්ගෙන් ළමයි බේරා ගන්න....’
-         ඇමති අනුර යාපා.
 ‘කැලණි විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයේ 300 ක් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගත්තා......’
-         පොලිස් මාධ්‍ය ප්‍රකාශක
 ‘මේ හැම දෙයක්ම කරන්නේ ජ.වි.පෙ. අන්තරය කියන නීති    විරෝධී සංවිධානයයි....’
-         උසස් අධ්‍යාපන ඇමති එස්.බී.

සැබෑ ලෙසම මේ මොහොතේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවන්නේ කුමක්ද?හදිසියේම සරසවි ශිෂ්‍ය ප්‍රශ්න මහපාරට ආවේ කොහොමද වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියලයි.මැතිවරණ ප්‍රකාශවල තිබුණෙත් එහෙමයි.අපට බලය දෙන්න.අපි බලයට ඇවිත් පුද්ගලික විශ්ව විද්‍යාල අරිනවා කියල මේ ආණ්ඩුවේ කිසිම නියෝජිතයෙක් කීවේ නෑ. නමුත් බලයට ඇවිත් සති දෙකක් යන්න කලින් උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළා,පෞද්ගලිකවිශ්ව විද්‍යාල 6 ක් අරින බව.රජය මෙහෙමකියන ගමන් වසරක් පාසා ලංකාවේ පාසැල් අධ්‍යාපනයට වෙන් කළ මුදල කප්පාදු කළා.

2005 එක්ක සන්සන්දනාත්මකව බලපුවාම පසුගිය අවුරුදු 4 දි අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල 50%කින් කපලා.දැන් ලංකාව හැම දවස් 5 කටම වරක් රජයේ පාසලක් වසා දමන රටක්.නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමේ ප්‍රතිපත්තියකට ආණ්ඩුව ඇවිත්.මේක ශිෂ්‍යයෝ දන්නවා.දෙමාපියන්,රටේ ජනතාව ඒක දන්නේ නෑ.ශිෂ්‍යයෝ අරගල කරන්නේ මේ අසාධාරණයට විරුද්ධව.ඔවුන් ප්‍රශ්න කරනව,130 ක් අරන් ජිනීවා යන්න සල්ලි තියෙන ආණ්ඩුවක්,iifa (අයිෆා)එකට කෝටි ගණන් වියදම් කළ ආණ්ඩුවක් අධ්‍යාපනය කප්පාදු කරන එක සාධාරණ ද කියල.දැන් මොනවද සිද්ධ වෙලා තියෙන්නෙ.
            
විවෘත කරපු ගොඩනැගිල්ලක් නැවත විවෘත කරන්න පේරාදෙණියට ගිය ඇමතිට හූ කීව වරදට සරසවි සිසුන් 4 ක් දැන් මාසයක් තිස්සේ හිරගෙදර.රජරට සරසවියේ නාට්‍යයක් සංවිධානය කළාට සිසුන් 2ක් හිරගෙදර, 5 දෙනෙකුගේ පන්ති තහනම්. ජපුර සරසවියේ 60 දෙනෙකුගේ පන්ති තහනම් කරලා. ඔක්. 12 වෙනි දා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඇතුළු වීමේ වරදට සිසුන් 21 ක් හිරගත කළා.රුහුණු සරසවියේ උපකුලපතිට පහර දුන්නා යැයි තවත් සිසුන් 6 දෙනෙක් සිරගත කරළා.අද මුළු සරසවි පද්ධතියම අවුල් ජාලයක් කරලා.සරසවි සිසුවා පිළිබඳ අපකීර්තියක් ඇති කිරීමේ කොන්ත්‍රාත්තුව පොදුවේ සියළුම රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන භාර අරන්.ආණ්ඩුව ස්වකීය මතයට එරෙහි සෑම ක්‍රියාවකටම නිර්දය ලෙස පහර දෙන ප්‍රතිපත්තියක කටයුතු කරනවා.හෙට වැඩි පඩි ඉල්ලනකම්කරුවන්ටත්,සහතික මිලක් ඉල්ලන ගොවියන්ටත්,ජීවන වියදම අඩු කරන ලෙස ඉල්ලන ජනතාවටත් ආණ්ඩුව බෙදන්නේ ශිෂ්‍යයින්ට අද බෙදන මේ හැන්දෙන් ම බව තේරුම් ගන්න අමුතුවෙන් හිතන්න ඕනෙ නැහැ.
            
අනෙක් කාරණය මොන්ටිසෝරියේ සිට විශ්ව විද්‍යාලය දක්වා සිසු පරපුරේ විනය ගැන රටේ පාලකයින් සැලකිලිමත්වීම ඉතා යහපත් ප්‍රවණතාවයකි.නමුත් ගැටළුවක් වන්නේ පාර්ලිමේන්තුවේ සිට පහළට සමස්ත රාජ්‍ය ව්‍යුහය තුළම විනය බිඳ වැටී ඇති රටක,මහජන නියෝජිතයින්ට නීතියමායිම් නොකොට රජයේ නිලධාරීන් ගස් බැඳීමට අවසර ඇති රටක,උත්තරීතර අධිකරණය විසින් දිවි ඇති තෙක් සිරගත කළ පසු පෑල දොරින් නිදහස් කර යවන රටක,ජනාධිපති පොදු සමාව යටතේ මරණීය දණ්ඩනයට නියම වූවන් ගෙදර යවන රටක,සියල්ලෝ එක්සත්ව එක්සිත්ව පාසැල් ශිෂ්‍යයා දඬු ක‍ඳේ ගැසීම යුක්ති සහගත දැයි විමසා බැලීම වටි.

උදේනි සමන් කුමාර    
  

No comments: