Thursday, October 21, 2010

ආශ්චර්යමත් සංවර්ධනයේ නාමයෙන් දුප්පතුන් අනාථ කොට පළවා හැරීම

 
        කොළඹ නගරයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරැවන් යැයි කියන 60.000 පමණ පිරිසකට නගරයෙන් පිටස්තර නිවාස තනා දීමට අදහස් කරන බව කියැවේ.මේත් සමග කියැවුණු තවත් පුවතක් වූයේ,කොළඹ මහ නගර සභාව විසුරැවා හැරීමටත් එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ,ඒක පුද්ගල අධිකාරියක් බවට පත් කිරීමට අදහස් කරන බවත් ය.එහෙත් ටික දිනකින් පසුව අධිකාරිය පිළිබද එබදු අදහසක් නැතැයි ද කියැවිණ.මේ දෑ පිළිබදව සත්‍යය කුමක් ද?යන්න විසදා ගැනීමට මෙහි සුලමුල සොයා බැලිය යුතු ය.
       
කොළඹ නගරය දියුණු වාණිජ අගනුවරක් බවට පත් කිරීමේ කතාව මීට අවුරැදු 30 කට පමණ පෙර ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ආරම්භ වූවකි ඒසදහා බොහෝ පියවර ගනු ලැබිණ.අධිකවියදම් දැරිණි. මහ කොළඹ සංවර්ධනවැඩපිළිවෙල නමින් එයඇරඹිණ. පාර්ලිමේන්තුව,අමාත්‍යාංශ ආදී පරිපාලන මධ්‍යස්ථාන කොළඹින් පිටතට ගෙන ගොස් ලංකාවේ පරිපාලන අගනුවර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කරා ගෙන යනු ලැබීය.බැංකු ගොඩනැගිලි,හෝටල් සංකීර්ණ ආදිය තැනිණ.වරාය කන්ටේනර් පහසුකම් සහිත සහිත සුවිසල් නවීකරණය වූ වරායක් බවට පත් කෙරිණ.කටුනායක ගුවන් තොටුපොල මහාමාර්ගය අලුත් කෙරිණ.මේ සියල්ල කරනු ලැබූයේ මහජනතාවට වඩා හොද සේවාවක් සැලසීම සදහා ද? නොඑසේ නම් රටේ සංවර්ධනයේ නියමුවන් ලෙස නම් කෙරැණු දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ට වැඩි පහසුකම් සලසනු සදහා දයන්න විමසා බැලිය යුත්තකි.

        1978 සිට ඇරඹුණු අධීවේගී,නවලිබරල්වාදී සංවර්ධනයෙහි ප්‍රථම අවධානය වූයේ රටට හැකි තරම් විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීම ය.1978 සිට මේ දක්වා කුමන පක්ෂ බලයේ සිටියත් මේ මාවත නොවෙනස් විය.එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාව අපනයනය මූලික කොටගත් වේගවත් සංවර්ධන මාවතක් කරා යොමු කොට රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම විය. එහි අපේක්ෂාව වූයේ රටේ ආර්ථික වර්ධනය වසරකට 10% පමණ දක්වා වැඩිකොට රට ඉක්මනින් පොහොසත් කිරීමත්,ඒ පොහොසත්කම පහළට කාන්දු වී දුප්පත්කම අඩු කිරීමත් බව ප්‍රකාශ කෙරිණ.ඒ සදහා තව බොහෝ හානිකර ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගනු ලැබිණ.සියළු විධායක බලතල එක් පුද්ගලයෙකු යටතට ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ ඒ සදහා ය.     

මෙය ජේ.ආර්.හැදින්වූයේ සිංගප්පූරැ මොඩලය යනුවෙනි.එය හොංකොන් මොඩලය යනුවෙන් ජී.එල්.පීරිස් වරක් හැදින්වීය. රනිල් වික්‍රමසිංහ එයට ආසියාවේ රන් දොරටුව’(Golden gate to Asia) යනුවෙන් හැදින්වූ අතර,චන්ද්‍රිකා මැතිණිය එයට කීවේ ශ්‍රී ලංකාව ආසියාවේ මූල්‍ය හා වෙළෙද කේන්ද්‍රය හෙවත් Hub of Asia යනුවෙන් හැදින්වීය.මේ සියළු ප්‍රයත්නයන් මේ දක්වා අපේක්ෂා කල ප්‍රතිඵල අත් කර දුන්නේ නැත.

        2002 දී චන්ද්‍රිකා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දිළිදුභාවය අඩු කිරීම,වර්ධනය සමග සම්බන්ධ කිරීම යන සැලසුම් ලියැවිල්ලම 2003 දී රනිල් වික්‍රමසිංහ විසින් අනාගතය යළි පුබුදමු ශ්‍රී ලංකා (Future; Regaining Sri Lanka) යන නව නමකින් ඉදිරිපත් කරන ලදී. මෙම PRSP (Poverty Reduction Strategy Papers) හැදීම ලෝක බැංකුව 1999 දී ඉල්ලා සිටි කොන්දේසියකි. එම සැලසුම් ලියවිලි සැබවින්ම සකස් කරන ලද්දේ ලෝක බැංකු උපදේශකයින් විසින්ම බවත්, ඒවා ශ්‍රී ලංකාවේ අයිතියට පත් කරනු සදහා රජයට බාර දුන් බවත්, රහසක් නොවේ. එම ලියවිලිවල දී ශ්‍රී ලංකාව අපේක්ෂා කළ වර්ධන වේගය ලබා නොගත් බවත්,එය කොහෙත්ම පහළට කාන්දු වී නොමැති බවත් පිළිගන්නා ලදී. යළි පුබුදමු ශ්‍රී ලංකා සැලැස්මේ උත්සාහය වූයේ මෙම ප්‍රතිඵල කඩිනම් කිරීමයි. ඒ සදහා තව තවත් විශාල ණය ගැනීම් ද, අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැගීම, ජලය වෙළෙද භාණ්ඩයක් බවට හරවා පෞද්ගලික ව්‍යාපාරිකයන් මගින් විකිණීම, ග්‍රාමීය ගොවි ජනතාව සතුව තිබූ රජය විසින් ලබා දී තිබූ ඉඩම් විකිණීම පහසු කරනු සදහා ඒවාට වෙළද ඔප්පු ලබා දීම, ආදිය ඇතුළත් විය.මේ සියළු යෝජනා අතර තවමත් සාර්ථක කර ගත නොහැකි වූ එක් යෝජනාවක් වූයේ කොළඹ නගරයේ පදිංචි වී සිටින දුප්පත් ජනතාව පැල්පත් හා මුඩුක්කුවාසීන් නගරයෙන් පිටමං කර ගැනීමයි.

කොළඹ නගරයේ පදිංචිකරැවන් අතරින් 50% කට අධික සංඛ්‍යාවක් පැල්පත් හා මුඩුක්කුවාසීහු වෙති.ඔවුහු නගරය අලංකාර කිරීමට බාධාවක් වනවා පමණක් නොව ඔවුන් පදිංචිව සිටින ඉඩම් ඉතා වටිනා මිළ අධික, ඉඩම් බවට පත්ව ඇත.

මෙම ලෝක බැංකු හා ජාත්‍යන්තර ධනවාදයේ සැලසුම් පිටු දැකීමට පොරොන්දු වී මහින්ද චින්තනය සකස් කළ වත්මන් ජනාධිපතිවරයා දැන් තම තනි බලය තහවුරැ කොට ගෙන අවසන් ය. ඔහු මහින්ද චින්තනය ඉදිරිමග’ නමින් ඉදිරිපත් කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට හරවන බවට පොරොන්දු දී ඇත්තේ ජේ.ආර්.ගේ සිංගප්පූරැ මොඩලය හා සෙසු ජනාධිපතිවරැන්ගේ එබදුම මොඩලයන් අනුගමනය කිරීම සදහාම මිස අන් යමක් නොවේ.ඉතින් කොළඹ නගරයෙන් දුප්පත් පැල්පත් හා මුඩුක්කුවාසීන්  නෙරපා හැරීම සදහා කෙරෙන මෙම යෝජනාව අන් යමක් නොව, සිය අධිකාරී බලය යොදවා, ඒ දුප්පතුන් තව තවත් අනාථභාවයට පත් කිරීමේ යෝජනාවක් විය.
       
කොළඹ නගරයෙන් මෙසේ දුප්පතුන් පළවා හරිනු අතර,ගම්බද ගොවි ජනතාව ගම්වල ඔවුන්ගේ කුඩා ගොවිබිම්වලින් පළවා හැරීම ද, මුහුදු වෙරළ තීරයේ පදිංචිව සිටින කුඩා ධීවරයින් එම වෙරළින් ඔබ්බට පළවා හරිමින් වෙරළ තීරය සංචාරක ව්‍යාපාර හා මහා ධීවර ව්‍යාපාර සදහා පවරා ගැනීම ද සිදු කෙරේ. සුනාමියෙන් විපතට පත්වූ ධීවර ජනතාව යළි වෙරළ තීරයේ පදිංචිවීම වළකාලනු පිණිස TAFREN ^රට ගොඩ නැංවීමේ කාර්ය සාධක මණ්ඩලය) විසින් දැරෑ උත්සාහය ද මතක ඇත.උතුරැ නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවත ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවීම ප්‍රමාද කෙරෙනුයේ ද,ඒවා මෙම ව්‍යාපාරිකයින්ට පවරාදීමේ උවමනාව හේතුවෙන් යැයි අපි සිතමු.

        රටේ සංවර්ධනය වේගවත් කිරීමේ නාමයෙන් නගරයේ දුප්පතුන් නගරයෙන් පළවා හැරීම, ගමේ දුප්පතුන් ගමේ ගොවිතැනින් පළවා හැරීම,ස්ත්‍රීන් ලාභ ශ්‍රමිකයන් ලෙස මැදපෙරදිග ගෘහ සේවයට ගාල් කිරීම, වතු කම්කරැ ජනතාව ලාභ ශ්‍රමිකයන් ලෙස අන්ත දිළිදුභාවයට පත්කර තිබීම ආදී සියල්ල එකවර සිදුවේ.

        මෙසේ වූ කල, රටේ ධීවරයින්, ගොවීන්, නාගරික දිළින්දන්, ස්ත්‍රීන්, කම්කරැවන් සිය වාසභූමිවලින් හා ජීවන මාර්ගවලින් පළවා හැරීමත්, ඔවුන් තලා පෙලා මන්දපෝෂණයට ලක්කොට උදුරා ගන්නා සම්පත් ණය ගෙවීම සදහා වැයකිරීමත්,මේ සියල්ල රටේ දේශීය හා විදේශීය ව්‍යාපාරිකයින්ගේ වාසිය සදහා පවරා දීමත් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ සිහිනය වෙනුවෙන් ඉඩ දිය යුතු ද?

        රටේ සියළු ජනතාවට වෙනත් රටක් සදහා සටන්කිරීමට බලකිරීමක් මෙයින් සිදු නොවන්නේ ද?

- සරත් ප්‍රනාන්දු
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය.

No comments: