Friday, October 29, 2010

සටහන.................


ප්‍රභාකරන්ගේ මරණයෙන් ඉනික්බිතිව ලංකාවේ දේශපාලනය තුළ දිගු කලක් පැවති සන්දර්භයන් මුළුමනින්ම වෙනස් වුණා. එය සුවි‍ශේෂී හැරවුම් ලක්ෂ්‍යක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරේත් දකුණේත් ජනතාව නිදහසේ හුස්ම ගත හැකි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ සහිත සමාජයක්, අළුත් ලෝකයක් අපේක්ෂා කළා. වසරක් ඇවෑමෙන් අද වන විට ජනතාව මූලධර්මවාදී අගති සහගත දේශපාලනයක කටුක ප්‍රතිඵල අත් විඳිමින් සිටිනවා. ජීවන වියදම අහස උසට ඉහළ නගිද්දී පාලකයින් ‘ආශ්චර්යයක්’ ගැන කතා කරනවා. ඉකුත් මාසය තුළ පාන් පිටි මිළ දෙවෙනි වතාවටත් ඉහළ ගියා. දුප්පත්කම, මන්දපෝෂණය, උග්‍ර වෙමින් පවතිනවා. අද ලංකාව මැද පන්තියේ මිනිසුන් පවා රාත්‍රියේ නිරාහාරව නින්දට යන රටක්. මුදල් නොමැති අයට ආහාර, බේත් හේත් පවා නොලැ‍බෙන රටක්. ඩෙංගු වසංගතයෙන් පමණක් සිදු වූ මරණ සංඛ්‍යාව 22% ක්. එය පාලනය කරන්න රජය අපොහොසත් වුණා.

           
ජනපතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයාට එරෙහිව මුදාහල වෛරී දේශපාලනය රජය ජාත්‍යන්තර අපකීර්තියට පත්කර තිබෙන නමුත් සිරගත කළ ජෙනරාල් සරත් ‍ෆොන්සේකා පසුපස ලුහුබඳිමින් සිටිනවා. උතුරේ ජනතාව එල්.ටී.ටී.ඊ.ය යටතේ මුහුණ දුන්නාට නොදෙවෙනි ඛේදවාචකයකට ගොදුරු වී ඇති අතර, ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට කිසිදු පිළිසරණක් නැහැ.ඔවුන්ගේ දරුවන් තවමත් සිරගෙවල්වල සහ අනාථ කඳවුරුවල.

            පාලකයින් මේ සියළු ආකාරවල නොපහත්කම්වල නිරත වන්නේ විපක්ෂයේ මැදිහත් වීමෙන් ලබා දුන් පාර්ලිමේන්තුවේ 3/2 ඉක්ම වූ බලය ආශිර්වාදයක් කර ගනිමිනි.18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය තුළ පැහැදිලි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් වීම පිළිබඳ අවසන් අපේක්ෂාව බිඳ වැටුණු බවයි.

            තත්වය මෙසේ නම් රටේ අනාගතය පිළිබඳ සැලකිය හැකි නිගමනය කුමක්ද? අප ඉදිරියේ බරපතළ ප්‍රශ්නයක් පැන නැ‍ඟෙනවා.ප්‍රධාන උභතෝකෝටිකය වන්නේ ජනතාව තුළ නිසි ප්‍රතිචාර දක්නට නොලැබීමයි. මේ වටාපිටාව ඇතුළේ ඔවුන් තවමත් යුද උන්මාදයෙන් පෙළෙමින් සිටිනවා යැයි කෙනෙකුට චෝදනා කරන්න පුළුවනි.නමුත් ඒක එහෙමද කියන ප්‍රශ්නය මතු වෙනවා.මොකද විපක්ෂය ජනතාවට අවශ්‍ය නායකත්වය හාමඟ පෙන්වීම සිදු කිරීමට අපොහොසත් වෙලා.විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වූ එ.ජා.ප.ය ව්‍යවස්ථා සංශෝධනයේ දී හැසිරුනේ ළදරුවෙක් හැටියට. ජනතාව තුළ විශ්වාසය ගොඩනගන්න හැකි ආකාරයට ක්‍රියා නොකළාක් මෙන්ම ස්වකීය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙන්න ක්‍රියා කළෙත් නැහැ.මෙයින් ගම්‍ය වන්නේ ජනතාවගේ ඇල්මැරුණු ස්වභාවයට ප්‍රධාන හේතුව ඔවුන්ගේ නොදැනුවත්භාවය නොව විපක්ෂයේ දියාරු භාවිතය බවයි.

            අනෙක් අතට අපට දැනෙන සුවිශේෂී කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ විපක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් දක්නට නොලැබීමයි.ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අද රටේ ජනයා තුළ ඇත්තේ ඉච්ඡා භංගත්වයක්.ජනතාවට සුවිශේෂී ප්‍රශ්නයන් තිබෙනවා.ඔවුන් අසාධාරණ පාලනයට විරුද්ධව නැඟී සිටින්නේ, පෙනී සිටින්නේ කා සමග ද කාගේ නායකත්වයෙන් ද කියන එක. පවතින සමාජ දේශපාලන අර්බුදයට සංයුක්ත පිළිතුරක් ගොනු කර ගැනීමට බුද්ධිමතුන්,කලාකරුවන් ඇතැම් දැනුවත් සමාජ තීරු අපොහොසත්ව සිටින්නේ විපක්ෂයේ ව්‍යාජ භාවිතය නිසයි.

            ලංකාවේ විපක්ෂය කවදත් පෙනී සිටියේ බලය මාරු කර ගැනීම සඳහා වූ අවස්ථාවාදී ව්‍යාපෘතිවලයි. ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාමාර්ගවලට ඔවුන්ගේ විසඳුම්වලම පදනම වූයේ තමන් බලයට පැමිණි ජනතාව මුදවා ගැනීමේ ප්‍රතිඥාවයි.නමුත් බලයට පැමිණි කිසිදු විපක්ෂයක් මෙරට දේශපාලනය තුළ ජනතාවාදීව ක්‍රියා කර නැහැ.ආණ්ඩුව නෛතික වශයෙන් ගත්තමත් භාවිතාවේ පෙන්නුම් කරන මෙවැනි වකවානුවක විපක්ෂය තව දුරටත් අනාගත සුරංගනා ලෝකයක් ගැන කතා කිරීමේ තේරුමක් නැහැ.මේ මොහොතේ ජනතාව ගලවා ගැනීම සඳහා වූ යෝධ නායකත්වයක්, යහපත් භාවිතාවක් පෙන්විය යුතුයි. ප්‍රශ්න දඩමීමා කරගනිමින් බලයට ඒමට කෙටි මං සෙවීම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට ආශිර්වාදයක් මිස බලපෑමක් වන්නේ නැත.

No comments: