Wednesday, December 1, 2010

අයවැය සුළඟ බත්පතට කුණාටුවක්


1977 - ජේ.ආර්
"පෝෂ්‍ය‍දායක ධාන්‍ය රාත්තල් අටක් දෙනවා......"

1970 - සිරිමා
" හ‍‍‍ඳෙන්  හරි ගෙනත් හාල් සේරු දෙක දෙනවා...."
2005 - මහින්ද
" දුප්පතුන්ට ආහාර මල්ලක්, ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක්, දරුවන්ට කිරිපිටි සඳහා  රු. 200 ක්  දෙනවා....."
සුළඟ නිසි අතට හමනු ඇතැයි එක් ඇමතිවරයෙකු කියා තිබුණේ දෙවන පදවි ප්‍රාප්තිය සඳහා ජනපතිට සුභ පතමිනි. කිව්වත් වාගේ සුළං හමන අත හොඳින් හඳුනාගත හැකි අයවැයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. මේ සුළං දුප්පතුන්ගේ බත්පතට කුණාටුවක් වී  මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූ පැලැන්තියට සිසිල් මඳපවනක් වී ඇති සැටි පැහැදිලිය. 2010 ජනපතිවරණයේදී රජයේ සේවකයින්ට රුපියල් 2500 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන බව ප්‍රකාශ කළේය. 2010 මහ මැතිවරණයේදී නැවත පුන පුනා ප්‍රකාශ කළේ 2010 නොවැම්බරයේ එය ලබා දෙන බවය. එහෙත් අවසානයේ රු. 11730/- අවම වැටුපක් ලබන රාජ්‍ය ‍සේවකයාට රු.586.50 ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබේ. 2010 අයවැය කෙරෙහි මෙරට දිළිඳු ජනයා අති විශාල අපේක්ෂාවන් දල්වා බලා සිටියේය.

පසුගිය වසර තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ 200%කින් වැඩි වූ අවස්ථා තිබේ. එදා වේල හොයා ගන්නා මිනිසුන්ට ජිවන බර දරාගත නොහැකිය. පාන් ගෙඩිය රු.50 කි. පොල් ගෙඩිය රු.48 කි. ළදරු කිරිපිටිවල අධීක මිල ගණන් නිසා දරුවන්ට කොත්තමල්ලි පොවන තැනට සාමාන්‍ය ජනයා පත්ව සිටි, යම් සහනයක් අපේක්ෂා කළෝ ඔවුහු ය. එහෙත් ආණ්ඩුව සලකා තිබෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවටය. දේශීය ව්‍යවසායකයා දිරි ගැන්වීම සඳහා 35% දක්වා බදු සහන අනුමත කර ඇත. රු. ලක්ෂ 5 දක්වා ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම පිණිස 12% බදු අඩු කර ඇත. අපනයන අංශවල බදු අඩු කිරීම 10% කි. අමාත්‍ය සරත් අමුණුගම කියන්නේ ඉදිරිකාලය තුළ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට හිමිවන බවය. රජයේ මහ බැංකුව කියා තිබුණේ පස් දෙනෙකු ජිවත්වන පවුලක දළ මාසික වියදම රු. 34920/- ක් විය යුතු බවය.

ලංකාවේ රජයේ සේවකයින් ලක්ෂ 12ක් සිටිති. ආණ්ඩුව 5% ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙන්නේ ඔවුන්ටය. අර්ථ සාධක අරමුදල් ගෙවන පුදගලික අංශයට අයත් සේවකයින් ලක්ෂ 45 ක් සිටිති. අයවැය ඔවුන් ගැන කිසිවක් කතා කර නැත. රජයේ ගණන් හිලව් වලටම අනුව ස්වයං රැකියා කරන ජනතාව ලක්ෂ 26 කි. ඔවුන් ගැනත් කතා කර නැත. එදා වේල සොයා ගැනීමට කුලී වැඩ කරන, ඉදල් මිටි, පලා මිටි, කඩයප්පන් හිසින් රැගෙන පාරක් ගානේ ඇවිදින අසරණයින් ගැන බලා නැත. රට වටා මහසයුර සම්‍ඟ හැපෙන ධීවරයන් ගැන හෝ අලි-මිනිස් ගැටුම් මැද මහ පොළොව සමඟ හැපෙන ගොවි ජනයා ගැන ද නායකයා සංවේදී නැත.රජය පුන පුනා කියන්නේ ඇ. ඩො.2000ක ඒක පුද්ගල ආදායම 4000 දක්වා නැංවීම රජයේ අරමුණ බවය. ආණ්ඩුවේ ඉහල පෙළේ උදවිය උපයා ගන්නා ආදායම් පිළිබඳව සලකන විට එම ඉලක්කය පහසුවෙන් ජය ගනු ඇත.
30 ට බස්සනවාය කී කැබිනට්ටුව දැනටමත් 62 කි. නියෝජ්‍ය ඇමතිවරු ද සමඟ මෙය 95 ක් වී තිබේ. එහි වරද ජනතාව පිට පැටවෙනු ඇත.  මෙයින් පැහැදිලි වන්නේ ජනතාවට කෙසේ  වෙතත් පාලකයින්ට නම් සුබ අනාගතය පහළ වි ඇති බවය. 
18 වන ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කිරීමේ දී ඇල්ලූ අපූරු කස්තිරමට හිලව්වන්නට වාසුදේව නානායක්කාර සහෝදරයාට ද මෙවර ඇමති ධුරයක් ලැබී තිබේ. 72 වන වියේ පසුවන ඔහුට ද විප්ලවීය ජිවිතයේ සැදෑ සමය සැනසිල්ලේ ගත කළ හැකිය. මේ නිමේෂයේ දී ජනතාව විශ්වාසය තබා සිටින්නේ සංවිධානය වූ කම්කරු පන්තියේ ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහිය. ඊට හේතුව තව දුරටත් බෙලහීනව පවතින විපක්ෂය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙමින්  පැවතීමයි.       
                                                                                                                                                                                                                                                                                                            

No comments: