Thursday, December 9, 2010

මුවාට මුවා වී මුවා මැරූ සොලමන්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010  ජනාධිපතිවරණයේ දී වැඩ කරන රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වූ රු. 2500 ක පඩි වැඩි කිරීම වෙනුවට දවසකට රු. 20කින් පමණක් පඩිය වැඩි කර බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පනවා ජනතාවට හුස්ම ගැනීම පවා අපහසු කරවා ඇත. පෙර  ලෙසම අයවැයෙන් කළ බොරුවද අමතක කරවීමේ සෙප්පඩ මාධ්‍ය විජ්ජාවක්  මගින් සති දෙකකට වරක් කොටි, යුද්ධ, ජාතිමාමකත්වය දේශප්‍රේමය අධිරාජ්‍යවාදයකේන්ද්‍ර කොටගෙන ප්‍රචාරය කරවයි. බෑන් කී මූන්ට එරෙහි විහිඵ විරෝධය මතු වූ විට ජ.වි. පෙ. ප්‍රකාශ කළේ  (තමන්ට ද අතහැර ගැනීමට බැරි අධිරාජ්‍යවාදයකට ගැට ගසා) ජනතා ප්‍රශ්න අමතක කරවීම සඳහා, ආණ්ඩුව විදේශ බලවේගත් එකතුව මෙවැනි කුමන්ත්‍රණ කරනවාදැයි සැක ඇති බවය. ඒ අනුව මෙවර අයවැයට පසු ජනතාව ජීවත්වීමේ අමාරුව ගැන මැසිවිලි නඟද්දී බ්‍රිතාන්‍ය රජය හා ලංකා ආණ්ඩුව එක්ව ඔක්ස්ෆර්ඩ් ඝෝෂාව ඇති කළා දැයි සොයා බැලීමට විකිලික්ස් කේබල් පණිවිඩවලට ද එබී බැලිය යුතුය.

ඔක්ස්ෆර්ඩ් දේශනය ජනාධිපතිට නොලැබීමේ ඝෝෂාව ඉහලට ගොස් පිටි, පාන්, අල, ළුණු, පරිප්පු, සීනි ඝෝෂාව පහළ බැස ‍ ජනතාවගේ  ප්‍රශ්න විසඳී,  හැපීමට පාන් වෙනුවට ඔක්ස්ෆර්ඩ් ලැබී ඇත.  ඝෝෂාව වැඩියෙන්ම ඇති කරවන්නේ රජයේ මාධ්‍ය විසින්ය. එවිට ආණ්ඩුවේ අසාර්ථකත්වය හා කැබිනට් ඇමති වරපුසාද ලොකු කර ගැනීම සඳහා වූ  විවේචන යට ගසා ගෙන සිටිය හැකිය.යුධ අපරාද කර නැත්නම් කළ යුත්තේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර ඇති නිසා ඒවා මත විමර්ශණය කරවන්නන්ට මුහුණ දීමටය. මෙය කාටත් තේරෙන සරල කාරණයකි. එහෙත් යුද අපාරාධ යනු ලංකා ආණ්ඩුවට සිඟන්නාගේ තුවාලයයි. එම චෝදනාව කරන්නේ විදේශ කුමන්ත්‍රණ, කොටි, N.G.O. බළල්, හිකනළුන්, හූනන් ලෙස හඳුන්වා දෙමින් පාලකයින් උත්තර බඳින්නේ ලංකාවටය. එය සන්ධාන ආණ්ඩුවේ එදා වේල දේශපාලනයේ හැටිය. ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට එංගලන්තය, ඔක්ස්ෆර්ඩ්, රැජින, ලන්ඩන් ගැන ඇත්තේ පාලකයින් ඒ ගැන දක්වන උනන්දුවේ ඝෝෂාවන් පමණි. LTTE ය සන්නද්ධව පරාජය කළ ආණ්ඩුවට ලක්ෂ 60 ක  ජනතාවක් ඡන්දය දුන් පසු එම ජනතාවට තමන් පෙළු කොටි, ඩයස්පෝරා, හදිසි නීති විවාදවලින් එතරම් වැඩක් නැත. ඒවා පාලකයන්ගේ වුවමනාවන් ය. සාමාන්‍ය ජනයාගේ සිහිනයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන්, බ්‍රිතාන්‍ය නැත. ඒවා සමඟ පටලැවී සිටින්නේ බටහිර සියළු දේ අනෙකා කර ගත් පාලකයන් සහ ඔවුන්ගේ ඉහළ තීරුවල ප්‍රජාවන් පමණි. ආසියාවේ ආශ්චර්යයන් ගැන කියමින්, පාලකයින් හිතේ අමාරු වැඩි කර ගන්නේ යුරෝපය දෙස බලමින්ය. මෙම දෙබිඩි බව නිසා කිසිදා බටහිර පැරදවීමට  තබා ඔවුන් ගෙන් තොරව සිතීමකටවත් නලින්ද සිල්වාගේ අර්ථයෙන් පාලකයන්ට නොහැකි වනු ඇත.
            
විමල් වීරවංශගේ ලාබ භාෂාවෙන් කියන්නේ නම් දේශපාලනය එහෙම තමයි. එහෙම නම් සාමාන්‍ය මිනිසුන් ලෙස අපි ඒ ලණුව කන්නේ මොන ඉලව්වකට ද යන්න ඇසිය යුතුය. ඔක්ස්ෆර්ඩ් ඝෝෂාව ගැන ඇසිය යුත්තේ සරල ප්‍රශ්නයකි.
            
බටහිර, දේශද්‍රෝහී, කොටි සුරතල් කරණ, අධිරාජ්‍යවාදී යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන මිලි බෑන්ඩ්ලාගේ රටේ විශ්ව විද්‍යාලයකින් දේශනයකට අඬ ගගසන විට දුවන්නේ ඇයිද යන්නත් නොලැබූ පසු ඒ තරමටම හිගේ අමාරු ඇති කර ගන්නේ ඇයිද යන්නත්ය. අනාගත ආසියාවේ චීනය හා ඉන්දියාවේ විශ්ව විද්‍යාලයකින් දේශනයක් ඉල්ලා ගෙන  සාර්ථක Tele prompter කතාවක් ද කරමින් කිසිදු කෙනෙහිලි කමක් නොවිද, ආපසු යහතින් ලංකාවට විත් පොළෝ තලය සිප ගැනීමට තිබූ ඉඩකඩ නැති කර ගත්තේ මන්ද යන්නයි.
            
ලක්ෂ 10-12 ක් අතර ප්‍රමාණයක් මැද පෙරදිග රැකියාවලට ගොස් ඇණ ද ගසාගෙන විඳවන මිනිසුන් තම ළමයින්ට යුරෝපයේ අධ්‍යාපනය හෝ වෙනත් කිසිදා තමන්ටවත් වීසා එකක් ලබා ගැනීමට තැත් නොකරන්නේ එය ඔවුන්ට වඩාත් දුර සිහිනයක් වී ඇති නිසාය. එහෙත් බොහෝ ජාති මාමකයන්, දේශ ප්‍රේමින්ගේ සිහිනය තම දරුවන් හා තමන් ද යුරෝපය‍ට ‍පැන ගැනීමට දිවා රෑ වෙහෙසී වැඩ කරන අන්දම දැකිය හැකිය. එම නිසා ඔක්ස්ෆර්ඩ් දේශණයෙන් වඩා අමාරුවට පත්වන්නේ  මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ලක්ෂ ගණනක ජනතාව නොව මහින්ද රාජපක්ෂලා වර්ගයේ අය ය. සාමාන්‍ය මිනිසුනට ඔක්ස්ෆර්ඩ් පිළිබඳ වගේ වගක් නැත. එහෙත් මහජරාට සිදු වූ අපහසුතාවය ගැන කේවට්ටයින් යමක් නොකළේ නම් රජාව බැලන්ස් කිරීමට නොහැක. එමෙන්ම වෙනත් වරප්‍රසාද රජා‍ගෙන් ලබා ගැනීමට ද මහා ඝෝෂාවක් ඇති කළ යුතුය. එහි වාසි දෙකකි. එකක් මිනිසුනට සම්බන්ධ නැති ප්‍රශ්ණයක් වටා ගෙතී මාධ්‍ය මඟින් ඒවාට ලබා දෙන ප්‍රචාරය නිසා ප්‍රශ්න අමතක කරවීමත් හා එසේ ක්‍රියා කිරීමේ දී තමන්ට ලකුණු දා ගැනීමත්ය. මෙම ව්‍යාපෘතිය තව තවත් සජීවි වන්නේ ලංකාවේ සමාජයෙන්ද කීපදෙනෙක් බටහිරට සම්බන්ධ හතුරන් ලෙස නම් කර ගැනීමෙන්ය.
            
රොකට් ලොන්චර් සහිත LTTE සංවිධානය පරාජය කළ පසු සතුරෙක් නැති ලංකා ආණ්ඩුව ඊළම් කොඩියටත් බිය වී ඇත. පිටරට පැවැත්වෙන උද්‍ඝෝෂණවලටත් බිය වී ඇත. එහෙත් බටහිර ආයෝජකයින්ට අත වනන විට ලංකාව සැක බිය නැති සාමය සහිත රටකි. හදිසි නීති සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට ලංකාවේ තත්වය තරම් භයානක රටක් ලෝකයේ තවත් නම් නැත. ආයෝජකයින් මෙයින් පිළිගත යුත්තේ කුමන අදහස ද? පාලකයින් විසින් ඇති කරන යුද්ධ කේන්ද්‍රී මානසිකත්ව ප්‍රචාරක බොරුව සමඟ අප තව කොතෙක් කල් පටි තදකර ගැනීමට බඩක් නැතිව ජීවත් විය යුතු ද?   

- මැක්කා      

No comments: