Monday, December 20, 2010

අප සීඊඊඊඊ......ලංකා නමෝ නමෝ නමෝ මහතා......

 මානව හිමිකම් ගැන කියන විට ඒ හා සමානව නිතැතින්ම පැණ නඟින ප්‍රශ්නයක් බොහෝ අයට ඇත. එනම් එය විදේශිය දෙයක් බවයි. ජනතාවට අවශ්‍ය අල්පෙනෙත්තේ සිට යුධ හමුදාවට අවශ්‍ය රොකට් ලොන්චර් දක්වා පිටරටින් ආනයනය කරමින් සියරට දේ සිරි සැපදේ අපි වවමු රට නගමු පාඨයක් තුන්වෙනි පන්තියේ සිටින ළමුන්ට මෙන් මුළු මහත් ජනතාවටම කට පාඩම් කිරීමට පමණක් උගන්වන ආණ්ඩුව, ලංකාවේ තෙවෙනි අපනයන බෝගය ද පිටරටින් ගෙන්වීමට නොබෝදා තීරණය කළේය. එලෙස පිටරට පොල් පෙන්වා එයට ද බද්දක් අය කරගෙන එම බද්දෙන් තවත් මන්ත්‍රීන් පිරිසකට ප්‍රාඩෝ රථ තීරු බදු රහිතව ලබා දීමටත් කටයුතු යොදනු ඇත. මානව හිමිකම් යනු ද පිටරට සංකල්පගත දේවල්ය. ඒවා කවුරුන් හෝ ආනයනය කිරීමට ගන්නා උත්සාහය අධිරාජ්‍යවාදීන්ට කත් ඇදීමක් හෝ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස යුරෝපය අනෙකා කර ගත් පාලකයින් විසින් ම නම් කර ඇත.

            ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමේ තීරණය ගැන පසුගියදා ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා තම නොදන්නාකම නිසා සඳහන් ක‍ළේ ලෝකයේ කිසිදු රටක ජාතික ගීය එම රටේ තිබෙන විවිධ භාෂාවලින් ගායනා නොකරන බවයි. ලෝකයේ කිසිම රටක නැති දේවල් අපේ රටේ පමණක් තිබිම සුවි‍ශේෂයක් ලෙස ගෙන වෙනත් අවස්ථාවල දී කථා පවත්වන වීරවංශ මන්ත්‍රීවරයා මෙම කරුණේ දී පෙනී සිටින්නේ ලෝකයේ එවැනි දේ නැති නිසා අපෙත් නැති වුනාට වරදක් නොවන බව හඟවමිනි. මෙහි දී ඔහුගේ මෙම දෙබිඩිකම වටහා ගැනීමට අපට ඇති එකම ක්‍රමවේදය නම් සන්ධාන රජය රැක ගැනීමට අසරණයෙකු ලෙස රගන ඔහුගේ භූමිකාවේ තරමය.

            ආණ්ඩුවට වහ කදුරු වී ඇති මානව හිමිකම් දිනය සැමරීම සඳහා පසුගිය 16 වන දින ඉන්ෆෝම්ආයතනය විසින් තම ප්‍රාදේශීය සංවිධාන ඇතුළු ආරාධිතයන් සමඟ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී කටයුතු යොදා තිබුණි., විදේශීය, කොටි, දේශද්‍රෝහී ලේබල් ලෙස පසුගිය කාලය පුරාම නම් කළ ද ඉන්‍‍ෆෝම් ආයතනයේ සුනිලා අබේසේකර එහි දී ඉතා වැදගත් එළිදරව්වක් කළේය. තමාගේ මුළු තරුණ කාලයත්, අද දක්වා වයස අවු. 60 ක් පුරා ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම වෙනුවෙන් පෙනී සිටිය ද පෙනෙන තෙක් මානයකවත් එම අයිතීන් ලැබෙන බවක් පෙනෙන්නට නැතිවා පමණක් නොව ඒවා වඩා වැඩියෙන් අද දින උල්ලංඝනය වෙමින් ඇති බව ද ඇය පැවසීය. තව ද 88-89 කාලවල තම සංවිධානයේ උදය කළුපතිරණ වැනි සගයන් මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ බරාදිවල වාඩි වී කල් ගත කරමින් අතුරුදහන් වූ ළමයින් වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණ සැදීමට ගත් උත්සාහයක් ගැන ද ඇය මතක් කළාය. මහින්ද රාජපක්ෂ එම තොරතුරුද රැගෙන ජිනීවා ගොස් කටයුතු කළ ආකාරය ගැන ද පැවසූ ඇය එම අය විසින් ම අද දින මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරමින් සිටින නිසා තමන්ට එදා මෙන්ම අදත් ‍ඒ වෙනුවෙන් එකම ප්‍රතිපත්තියක හිඳිමින් ඒවා ආරක්ෂා කිරීමට සිදුව ඇති බව ද පැවසීය. තව ද එහි සිටින තරුණයින්ට ඇය ආරාධනය කළේ ඉදිරියට ඔබගේ කාලය මේ වෙනුවෙන් යොදා ඉන්පසු එළඹෙන වියේදීවත් අප රට මානව හිමිකම් ආරක්ෂා වන රටක් ලෙස ගොඩනංවා ගන්නා ලෙසය.

            ලංකාවේ සෑම රජයක්ම බලය තිබෙන විට ජනයාගේ සියළු වර්ගයේ හිමිකම් උල්ලංඝනය වෙනුවෙන් පෙනී සිටිත්දී අද මෙන්ම හැමදාමත් විපක්ෂය එහි දී ඒවා ආරක්ෂා කිරීමේ උවමනාවම පෙන්වමින් ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමඟ ඉතා ළඟ සම්බන්ධයන් පැවැත්වීම සුලභ කාරණයක් ලෙස ඉතිහාසය පුරාම දැකගත හැකිය. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුව 62% ජනවරමක් ලබා ජයග්‍රහණය කිරීම දක්වාම දිගු විය. එහි දී පෙරමුණ ගෙන සිටියේ  මානව හිමිකම් සිවිල් අයිතිවාසිකම් සංවිධාන මෙන්ම නිදහස් කලා, මාධ්‍ය, සංවිධානයන්ය.

            පාලකයන් කලින් පැවති තත්වයන්ට වඩා සාපේක්ෂව දරුණු සාහසික වන ප්‍රමාණයට, අතර මැද කටයුතු කරන සිවිල් සංවිධානවලට යම් තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිද වුයේ ඊළඟට එන විපක්ෂය සාපේක්ෂව හොඳ යැයි ලෙස තෝරා ගනිමින් එය ජයග්‍රහණය කිරීම දක්වා යන මාවතත් සමගය. 2009 ජනාධිපතිවරණයේ දී ද මානව හිමිකම් වලට කිසිදු ඇහුම්කම් දීමක් නොකළ රාජපක්ෂ ආණ්ඩුව පැරදවීම සඳහා යුධ විරෝධි හා සමහර මානව හිමිකම් සංවිධාන තමන් සමඟ එකඟ නොවන දෙගිඩියාවකින් යුක්තව ද පසුව ලැබෙන ප්‍රතිඵලය අති බිහිසුනු බව උපකල්පනය කරමින්ම ඉන්ටවල් එකක් සඳහා වත් ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය ලබා දී ඔහු දිනවීමට ගත් උත්සාහයක් ද විය. සංවිධාන ලෙස නොවුවද යම් විටෙක එය පුද්ගලික (අ)කැමැත්තක් සඳහා ද බල කෙරී තිබුණි.

     සුනිලා අබේසේකර මහත්මියගේ මානව හිමිකම් සැමරුම් දින සභාව මෙහෙයවීමට සිටි සුදර්ශන ගුණවර්ධන ගැන විමසා බලන්නේ නම් සුනිලා අබේසේකර මහත්මියගේ මහින්ද රාජපක්ෂ සම්බන්ධ මානව හිමිකම් පිළිබඳ කණස්සලු ප්‍රශ්ණයට යම් පිළිතුරක්ද ලැබෙනු ඇත. එනම් විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ සමඟ මානව හිමිකම් ගැන කටයුතු කළ ද ජනාධිපති මහින්ද කටයුතු කළේ ඒවා උල්ලංඝනය වන අයුරින් නම්, වර්තමානයේ පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන සාමාජිකයෙකු වන සුදර්ශන මහතා (මානව හිමිකම්, ප්‍රජාතන්තුවාදය හා නිදහසේ වේදිකාවල් ගැන කතා කරණ ලංකාවේ සිවිල් චරිතයකි.) ඒ මහතාගේ පක්ෂයේ භාෂාවන් හා ප්‍රකාශණවල තිබෙන මානව විරෝධී, ස්ත්‍රී හිංසන, වෛරී භාෂාවන් වේදිකාවල ඔහුගේ නායකයා විසින් පුද්ගලයන්ට කරන නින්දා අපහාසවල තරම දැන දැනම සුනිලා අබේසේකර මහත්මියත් එම පක්ෂයේ මෙවැනි කෙනෙකුට තම සභාවේ මූලාසනය ලබා දීමය. මහින්ද ගෙන් බැට කෑ අයෙකු ලෙස සුනිලා මහත්මියත් ඉතිහාසයේ තමන් කළ වරද දැන දැනම එයම නැවත කිරීමක් එදින රැස්වීමේ දී සිදු විය. එදින රැස්වීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසූ ලෙස පුද්ගලයන් විසින් වෙනත් අයගේ මානව හිමිකම් වලට ගරු කිරීම, පුද්ගලයින් ලෙස මනුෂ්‍යයින්ව හෙළා නොදැකීම, අපහාස නොකිරීම ශිෂ්ට සමාජවල ලක්ෂණයක් මෙන්ම වැදගත් සමාජවල දි ආයතන විසින් හිමිකම් රැකීම, ගරු කිරීම, ලෙස වර්ග දෙකක් නම් කළ හැකි බවයි. අප උත්සාහ ගත යුත්තේ රජයන් සාදා ඒවා මගින් මානව හිමිකම් රැකීම වෙනුවට අප අතරම ඒවායේ වටිනාකම් ඇති කරවීමට මහන්සි ගැනීමය. එවිට ඒවාට ගරු නොකරන්නන් අප අතර සිටිය නොහැක. එම නිසා සිවිල් සංවිධානවල උපකාරයෙන් බලයට පත්වීමක්ද අනාගතයේදි එවැනි දෙබිඩ්ඩන්ට කළ නොහැකි වනු ඇත. අපට මහින්ද රාජපක්ෂව වඩා හොඳට විවේචනය කළ හැක්කේ බඩී මහින්දලා අප අතර නොසිටින්නේ නම් පමණි. නැතහොත් සුනිලා මහත්මිය කළ ඉල්ලීම වෙනුවට ඊළඟ පරම්පරා තුන හතරකට ද මෙම මානව හිමිකම් අරගලය, ඔවුන් වයසට යෑම දක්වාම කිරීමට සිදුවනු ඇත.

  - කල්‍යානන්ද.  

No comments: