Saturday, December 4, 2010

උතුරු නැගෙනහිර පදිංචි කරවීමේ උත්සාහයත් භයානක කාරණයක් විය හැක. සංහිඳියාව කොමිසම ඉදිරියේ මැල්කම් රංජිත් පියතුමා සාක්ෂි දෙයි.


කාදිනල්වරයෙකු ලෙස කතෝලික සභාව විසින් පත් කරනු ලැබූ අති උතුම් මැල්කම් රංජිත් පියතුමා ලංකාවේ මෙතෙක් පැවැති 30 අවුරුදු යුද්ධයෙන් පෙර හා පසු නිරන්තරයෙන් දක්වන අදහස්වලට සමගාමීව සංහිදියා කොමිසම  හමුවේ දී මෙම අදහස් සාක්ෂි ලෙස ප්‍රකාශ කර ඇත. ලංකාවේ වෙසෙන සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ දෘෂ්ඨිවාද මෙහෙයවන්නන්ට අනුව ලංකාව සිංහල බෞද්ධයන්ට සියලු වරප්‍රසාද භුක්ති විඳීමට අයිතිය ඇති රටක් ‍‍ලෙස නම් වී ඇත. බටහිර බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදි අදහසට අනුවත් එය එසේය. එහි දී ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ජාතියේ හා ආගමේ නාමයෙන් ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් හා ආගම්වලට අයත් වූවන්ගේ මානසිකත්වය සුළුතරයේ මානසිකත්වය බවට පත්වීම අනිවාර්ය සාධකයකි.එහි ප්‍රතිපල අප අවු. 30 ක යුද්ධයේ දී හා ලක්ෂ ගණන් ජීවිත හා දේපල විනාශයකින් අත්විඳ ඇත. ඉන්පසුවද අපි නැවත ප්‍රශ්නය ඇති කළ තැනට පමණක් නොව ඉන් පසුපසටද යාමට ක්‍රියාකරමින් සිටියි. මැල්කම් රංජිත් පියතුමා කතෝලිකයෙක් නිසා මනුෂ්‍යත්වය හා ආගම්වල මූලික ඉගැන්වීම් ගැන එතුමා දක්වන අදහස්වලට සිංහල බෞද්ධ අපගේ කණ් නොඇරෙනු ඇත. තවද එතුමා දෙමළ ජාතිකයන්ගේ සාධාරණ ප්‍රශ්නය ගැන කතා කල ද (සිංහල මත ගොඩනගන්නන්ට අනුව එවැනි ප්‍රශ්නයක් නැති නිසා) එයට ද අප ඇහුම්කන් නොදෙනු ඇත.
සක්විති රජකම ද අතහැර බුද්ධත්වයට පත්ව සියලු ලෝ දනන්ගේ යහපත් වෙනුවෙන් ක්‍රියාකල බුදුන්ට ද ලංකාව බුදුන්ගේ දේශය ලෙස ලියා දීමට පෙරොන්දු ‍දේශ වෙනුවෙන් ආගමික තණ්හාව වඩවන්නන් නිසා ප්‍රශ්නය තවත් ඔද්දල්ව ඇත. අදහස්වලින් බෞද්ධ දර්ශනයේ මූලික හරයන්ද පියතුමාගේ සාක්ෂිවල සටහන් වුවද වර්තමාන මිත්‍යා දෘෂ්ඨිකයන් කවුරුන්ද යන්න තෝරා බේරා ගනිමින් දමිළ සුඩරෝලි පුවත්පතේ සාකව්ඡා කළ අදහස් විමසා බැලීම ඔබගේ මනුෂ්‍ය වගකීමකි. බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සියළු මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  අදහසක් වන බහුත්ව ප්‍රජාතන්තරවාදී ව්‍යුහයන්, ක්‍රම වේදයන් හා ආකල්පයන් ඇති කර ගත යුතුව ඇත. 

උතුරු නැගෙනහිර පලාත්වල ජන සංයුතිය වෙනස් විය හැකි ලෙස සැඟවුන අදහසින් අලුතින් පදිංචි කරවීමට උත්සාහ කරන බව අවදානයට ලක් වී ඇත. මෙය භයානක තත්වයක් විය හැක. මෙවැනි උත්සාහයන් වැළැක්විය යුතුය. තව ද උතුරු නැඟෙනහිර පළාත්වල පාරම්පරික සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ ගන්නේදැයි සැකයක් ද මෙවන් ක්‍රියා මඟින් මතු කර ඇත යනුවෙන් කාදිනල් ලෙස නව නිලයට පත් වී ඇති කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ප්‍රකාශ කළේය.
 ඒ සමඟම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස දේශපාලන විසඳුම් සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කිරීම අවශ්‍යය ය. ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා නැති කළ හැක්කේ ඒ මඟින් වන අතර ජාතීන් අතර විශ්වාසය ගොඩ නැඟීමත් සැකය නැති කිරීමත් ඒ මඟින් කළ හැකි බව එතුමා පැවසීය.
කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ කාර්යාලයේ දී පැවති උගත් පාඩම් හා අත්දැකීම් ගැන ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසමේ විමර්ශන සැසියට සහභාගී වී එතුමා මෙසේ පැවසීය.
උගත් පාඩම් හා අත්දැකීම් පිළිබඳව ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසමේ විමර්ශන සැසිය එහි අධිපති හිටපු නීතිපති සී.ආර්. ද. සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස පස්වරුවේ පැවැත්විණි
කතෝලික නව සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා තවදුරට ද පැවැසූ ‍ලෙස,
මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට අවස්ථාව ලබා දීම ගැන අපි ස්තුති කරන්නෙමු. කතෝලික සභාව රටේ සුභ සාධනය සහ සාමය පිළිබඳව උනන්දුව දක්වයි.ඒ අයුරින් රටේ සියළුම ජනතාවට ද සුදුසු ආකාරයෙන් ගරු කළ යුතුය. මානව අයිතිවාසිකම් ගරු කළ යුතු ය. සමාජ සංවර්ධනය  සහ සුභසාධනය යන කාරණා පිළිබඳව අවදානය යොමු කිරීම අවශ්‍ය වේ. ඒ සමඟම යහපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපගේ අදහස් ඉදිරිපත් කරන්නෙමු. 
මෙම කරුණු සියළුම ආගම් විසින් පිළිගෙන තිබේ. පසුගිය කාලවල වැරදි සිදුවී තිබේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් කරුණකි. අධ්‍යයනය මඟිනි සංහිඳියාව ගොඩනැඟිය හැක්කේ.
 ඒ අතර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස දේශපාලන විසඳුම් සැලැස්මක් ඉක්මණින් ඉදිරිපත් කළ යුතු බව අපි විශ්වාස කරමු. ප්‍රචණ්ඩත්වය සඳහා වූ කාරණා නැති කළ හැක්කේ ඒ මඟිනි. එයින් ජන කණ්ඩායම් අතර විශ්වාසය ගොඩනැඟීම සහ සැකය හා අවිශ්වාසය නැති කළ හැකි බව අපගේ විශ්වාසයයි.
1956 වර්ෂයේ ගෙන එන ලද සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව යන කාරණය බහු වාර්ගිකයන් අතර සැකය හා අවිශ්වාසය ඇති කළේය. මහජාතික භාෂාවට හා ආගමට ප්‍රධාන තැනදීම ගැටුම් ඇති කළේය. 1972 සහ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂා නීතිය තහවුරු කර තිබෙන අතර සිංහල භාෂාවට සහ බෞද්ධාගමට ප්‍රම්‍රඛත්වය දෙන ලදි.
එමනිසා ක්‍රිස්තියානිකාරයන් වශයෙන් පසුගිය කාලයේ තුවාල සුව කිරීමටත් සාමය ඇති කිරීමටත් අපගේ රෙකමදාරු සමහරක් මෙහි ඉදිරිපත් කරන්නෙමු.

විසඳුම් අවශ්‍යය.
අවු. 30ක් යුද්ධයෙන් පීඩාවට පත් වී ඇති උතුරු නැ‍ඟෙනහිර ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කළ යුතුය.  ජීවන ක්‍රම වැඩි දියුණු කළ යුතුය. 1983 වර්ෂයේ කළු ජූලිය වැනි සිදුවීම්වලින් අපි පාඩම් උගත යුතුය. දෙමළ ජනතාවගේ හිත් සහ හදවත් බොහෝ කරදරවලට ගොදුරු වී ඇත. ඒවා ජයගත යුතුය.
 තරුණයින් ආයුධ අතට ගැනීම පිළිබඳව අප ඉගෙනගත යුතු ව ඇත. ඒ නිසා උසස් අධ්‍යාපනයක් ලබා දීම මඟින් ද ආගමික ක්‍රියාකාරකම් මගින් ද යහපත් අනාගතයක් ඇති කළ හැකිය.
ප්‍රධාන ආගම් තුන එකතු වී ක්‍රියා කළ හැකිය. තරුණයින්ට ජීවන කුසලතා පුහුණුව ලබා දිය යුතුය. ආගම්වලට ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ. තව ද නව නීති කෙටුම්පතක් ගැන ප්‍රශ්නයකට මුහුණ දී ඇත්තෙමු. එනම් සූදූ සෙල්ලමට අනුමැතිය දීම පිළිබඳව නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව දැන ගැනීමට ඇත. එය අවාසනාවන්තය. එනම් සූදු කෙළියට සියලුම ආගම් විරුද්ධය.
රටේ සියලුම ප්‍රජාව ත්‍රිවිධ භාෂාවම ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය කළ යුතුය. පාසල් ළමුන්ගෙන් මෙය පටන් ගත යුතුය. ඒ මඟින් ජන සමාජයන් අතර යහපත් සම්බන්ධතාවය යහපත් ආකාරයෙන් ඇති කළ හැකි බව විශ්වාස කරන්නෙමු. ජාතිය සමගිය ද ඇති කළ හැක.
ඒ සමඟම විශ්ව විද්‍යාලයට තෝරාගන්නා සියලු දෙනා ත්‍රිවිධ භාෂාවෙන් සුදුසුකම් ලබා තිබීම අනිවාර්ය කළ යුතු ය. භාෂා නීතිය හා භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟිය යුතුයි.  ඒ මඟින් යහපත් නව පරම්පරාවක්  ඇති වේ.
තව දුරටත් රාජ්‍ය පරිපාලන සේවය සිංහල භාෂාව කතා කරන අය‍ගෙන් පුරවන ලද බව පැහැදිලිය. මෙම තත්වය වෙනස් කොට දෙමළ කතාකරන ප්‍රධානීන් රාජ්‍ය පරිපාලන සේවයට වැඩි වශයෙන් ඇතුලත්කර ගැනීම අවශ්‍යය.

පදිංචි කිරීම් වැළැක්විය යුතුය. 
තව ද එම ප්‍රදේශයේ ජනතාවගේ පාරම්පරික සම්ප්‍රදායන් වෙනස් කිරීමට උත්සාහ කරනවාද යන සැකයක් ද ඇති වී ඇත. එය වැළැක්විය යුතුය. ත්‍රස්තවාදය පැරද වූ මුත් රටේ තවත් සුළු කරදර තිබිය හැක යන්න අපි පිළිගන්නෙමු.
රටේ ආරක්ෂාව යනු ප්‍රධාන කාරණයක් බව ද පිළිගන්නෙමු. නමුත් ජනතාව අතරේ සැකයක් නැති කළ යුතු අතර විශ්වාසය ගොඩනැගිය යුතු බව අවධාරණය කරන්නෙමු. ජනතාවට එක්තරා අකාරයක නිදහසක් අවශ්‍ය වේ.
 පසුගිය කාලවල දී දෙපාර්ශව සාකච්ඡා ගෙන ඒමට කතෝලික නව සභාව උත්සාහයක් ගෙන ඇත. නමුත් එම උත්සාහයන් ජය ගැනීමට නොහැකි විය. හේතුව ජන කණ්ඩායම් අතර අවිශ්වාසය බව පෙනුණි. අපි කවදත් සන්නද්ධ යුද්ධයට කැමති නැත.කොටි වෙනම රාජ්‍යයක් ඉල්ලීමද අපි ‍පිළිනොගන්නෙමු. නමුත් එක්සත් ලංකාව තුළ සියලුම ජනතාව සියලුම අයිතීන් තිබිය යුතු බව දැන ගත යුතුය. ජාති හා ආගම් පදනමින් මෙය විය යුතුය.

සාධාරණය අවශ්‍යයය. 
මේ අවස්ථාවේ ආගමික නායකයින්ගේ සහභාගිත්වය වැදගත් ස්ථානයක් ගනී. ආගම් එක් වී කණ්ඩායම් ලෙස ක්‍රියා කළ හැක. ත්‍රස්තවාදයත්, රට බෙදීමේ උත්සාහයත් සාධාරණ නොවේ. නමුත් ජනතාවට සාධාරණය ලබා දිය යුතුය.
වර්තමාන ආණ්ඩුව ගෙන එනු ලබන සැලසුම් අගය කරන්නෙමු. ඒවා සියලු ජනතාවගේ  අයිතිවාසිකම් තහවුරු කළයුතුය. සිලුම ජනතාවගේ  අයිතීන් පිළිබඳව දැනගැනීම අවශ්‍යවේ.
දිස්ත්‍රික් මට්ටමින් ආගමික කණ්ඩායම් නිර්මාණය කර ගැටලු විසඳීමට කටයුතු කළහැක. පසුගිය කාල අවු. තිහක (30) යුද්ධය වැන්නකට අපට නැවැත යා නොහැත. අපේ රටේ අනාගත වාක්‍ය වියයුත්තේ අවුරුදු 100 සාමය යන්නයි.

(2010.11.06 සුඩර්ඔලි- කතුවැකියෙන් මෙම සාක්ෂිය පිළිබඳ සාකච්ඡා කර ඇත.)




No comments: