Thursday, December 16, 2010

බල්ලන් සමඟ නිදාගෙන මැක්කන් සමඟ නැගිටීම

ජාතික නාලිකාවක දේශපාලන සංවාදයකට පැමිණි ආණ්ඩු‍වට පක්ෂ දේශපාලකයෙක්, විත්‍රමබාහු හා ජයලත් ජයවර්ධන එංගනලන්තයේ පැවති රැස්වීමක අදහස් දැක්මකට ගිය අවස්ථාවක ගත් ඡායාරූපයක් පෙන්වීය. එම දේශපාලනඥයා සඳහන් කළේ ජයලත් ජයවර්ධනගේ අනෙක් පසින් සිටින්නා  කොටි සංවිධානයේ හිතවතෙකු බවයි. තව ද ස්වයංතීරණ ගැන අදහස් පළකල වික්‍රමබාහු සමඟ එකට පෙනී සිටිමෙන් ජයලත් ජයවර්ධන ද ඒ වරදේ කොටස්කරුවෙකු  වී ඇති බවත් කීවේය. මෙය නම් අපූරු තර්ක ක්‍රමයකි. විමල් වීරවංශගේ ගෝල බාලයෙක් වූ එම දේශපාලනඥයා තමන් විමල්ගේම ගෝලයෙක් බව එම අපූරු තර්ක ක්‍රමය මගින් ඔප්පු කළේ  සියළු බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධියට ප්‍රාථමිකව නිගා කරමින්ය. ලංකාවේ සන්නද්ධව  වී සිටි  දමිළ දේශපාලන කණ්ඩායම්වල  නම් සඳහා ඊළම් යන්න කොටස තවමත් සඳහන්ව ඇත. එම සංවිධාන සියල්ල මේ වන විට සන්ධාන ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර කොටස්කරුවන්ය. සමහරුන් ඇමතිවරුන්ය. රජය වෙනුවෙන් මේ කණ්ඩායම් පෙනී සිටියි. මෙම දේශපාලනඥයාට අවශ්‍ය නම් එයටද ඇඟිල්ල දිගු කර පෙන්විය හැකිය. තව ද පොදු රැස්වීම් ඇමතීම සඳහා ආරාධනා ලැබූ කථිකයන් ඒ සඳහා සහභාගී වූ අවස්ථාවල එයට පරස්පර කථා පවත්වන කථිකයන් ද එම සභාවල පෙනී සිටියි. අවශ්‍ය නම් ඒ සියළු දෙනාගේම එකට හිඳ ගන්නා ඡායාරූප  ද වේ. එහි දී කිසිදු කෙනෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. කොටින් සමඟ ද සාකච්ඡා කළ දේශපාලනඥයින් ගත් ඡායාරූප ද කොතෙකුත් පල වී ඇත.  පරාද වී සිටින කොටි සංවිධානය ගැන ද සංවාද කිරීම මඟින් එම ප්‍රශ්නයන්ගේ පැතිකඩවල් හඳුනා ගැනීමේ ඉඩකඩ මතු කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වරදක් නොවන්නේ සංවාද වේදිකාව නිසා අනාගතය වෙනුවෙන් ඝාතන, ආයුධ සංස්කෘතියන්ට ඉඩ ඇහිරෙන බැවින් ය. ජ.වි.පෙ. ඉන්දියාවට එරෙහිව ආයුධ සමඟ පෙනී සිටි ප්‍රතිපත්තියෙන් පසුව ද ආයුධ රහිතව එම ප්‍රතිපත්තියේ සිටියේ ය. ස්වයංතීරණය පිළිබඳ මතයක් දැරීම පමණක් නොව විමල්ගේ මෝඩ දේශපාලනයට අනුව එම මතය දරන අය සමඟ පෙනී සිටින ඡායාරූපත් නීති විරෝධි වී ඇත. දේශපාලනය දන්නවා යැයි කියන ජ.වි.පෙ. හිටපු සාමාජිකයන්ගේ තරම මෙයින් මැන ගත හැකිය ආණ්ඩුව වෙනුවෙන් වැඩියෙන්ම ගොන් තර්ක මේ දිනවල ගෙන එන්නේ මොවුන්ය. ශ්‍රී.ල.නි.ප. යේ වැඩියෙන්ම මෝඩ දේශපාලනඥයින් සිටිනවා යැයි සම්මතයක් තිබුණ ද ශ්‍රී.ල.නි.ප. යට ජැක් ගසා ඇති අනිකුත් කුඩා පක්ෂවල  දේශපාලනඥයින් ආණ්ඩුව වෙනුවෙන්  ශ්‍රී.ල.නි.ප. ටත් වඩා පෙරමුණේ සිටියි. ඔවුන්ගේ අනන්‍යතාවයවත් රැක නොගෙන ඔවුන් කටයුතු කිරීම නිසා මොවුන් දීන වී ඇති තරම ඩිව්, තිස්ස හා වාසුදේව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනයේ දී එයට පක්ෂව ද චම්පිකව හා රතන හිමි සූදු පනත ගෙන  එද්දී එයට පක්ෂව ද දිනේශ් හා විමල්ලාව අයවැය ප්‍රශ්නවලදී විපක්ෂ ජනයා අතර හොඳින්ම එළිදරවු වී ගියේය.

ආණ්ඩුව  ආරක්ෂා කිරීමේ දී  ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින්ටත් වඩා දුර්වලව ගොස් සංවාද තර්කවලදී ගෙන එන විහිලු දීන ප්‍රකාශ නිසා අතීතයේ දී වීරයන් වූ සන්ධාන කුඩා පක්ෂ නායකත්වයේ සිටින මොවුන් අද දින විහිලු කාරයින් බවට පත්වෙමින් යයි  ශ්‍රී.ල.නි.ල. දේශපාලනඥයින් ද තම නොහැකියාව නිසාමත් අන් අයව එසේ අනාවරණය වීමට ඉඩ දී තමන්ගේ නොහැකියාව නිසා කටවල් නෑර සිටින බවක් පෙන්නුම් කරවයි. පැනලා දෙන තරමටම සවුත්තු වෙමින් යන මෙම කුඩා පක්ෂ දේශපාලනඥයින් දෙස අද දින බලා සිටීමෙන් කල්පනා වන්නේ දැනටමත් යම් ප්‍රමාණයකින් ඇති මොවුන්ගේ පරාජයන්වල සෙවනැල්ල තවත් වැඩි වෙමින් ඉදිරි මැතිවරණ වලදී දැක ගත හැකි  බවය. අනාගතයේ දී එය ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙන ප්‍රමාණයටම වඩා වැඩි ප්‍රතිශතයකින් මොවුන්ගේන් ඈත් වීම සිදුවෙනු ඇත. යුද්ධයේ දී පමණක් හැර හැම කාලයකම සිදු වූ ලෙසම ජනතාවට ගෞරව නොකරන මෙන්ම ජනයා ගොන්නුන් බවට සිතා සිටින ආණ්ඩුවල ක්‍රියාමාර්ග නිසා විපක්ෂ අදහස් දෙසට පිරිස එකතුවීම නොවැළැක්විය හැකි නිසා මෙම පක්ෂ වල අනාගත ඉරණම කනගාටුදායකද වනු ඇත;1970-77 ආණ්ඩුවේ වර්ණවත්ව සිටි සම සමාජ හා කො.ප. 77 පරාද වන්නේ එකදු ආසනයක්වත් නොලබමින්ය. 2002 විපක්ෂය දිනවීමට කටයුතු කළ ජ.වි.පෙ. ට ආසන 42 ක් ශ්‍රී.ල.නි.ල. පාක්ෂිකයින්, ලංකර ගැනීම- දුරස්කර ගැනීම යන දෙකම ලබා දෙන්නේඑවැනි එකම තර්කනයකින්ය. චම්පික, විමල්, දිනේෂ්, වාසු කුඩා පක්ෂ වුවද ආණ්ඩුවේ සමස්ත ජනප්‍රියත්වය හමුවේ සැලකිය යුතු මනාප ගන්නා ප්‍රමාණයටම එසේ නොමැති වූ විට සිදුවන්නේ ආණ්ඩුව විනාශ කළවුන් ලෙස නම් වී එහි ප්‍රතිපක්ෂය  විඳින්නට සිදුවීමය. ආණ්ඩුවට විවේචනයක් සහිතව සිටී නම් අඩුම තරමේ වැටෙන ආණ්ඩු පක්ෂය හමුවේ තමන්ගේ පක්ෂය යම් පමණකට හෝ බේරාගෙන සිටිය හැකි බවටත් අද දින මොවුන්ට අමතකව ගොස් මොවුන් මෝඩ ශ්‍රී.ල.නි.ල.ටත් වඩා මෝඩයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරයි. 


මුණසිංහ  

No comments: