Wednesday, December 1, 2010

කිකිළිය මරා රන් බිජු ගැනීම

එකෝමත් එක කාලෙක ගම ගෙදරක කිකිළියක සිටියාය. දිනක් ඇය රන් බිත්තරයක් දැමුවාය. ප්‍රීතියට පත් ගෙදර ඇත්තෝ එම බිත්තර විකුණා වතු පිටි ඉඩ කඩම්  මිළට ගන්නට සිතූ හ. මෙහි දී ගමරාලට නුවණැති අදහසක් පහළ විය. කිකිළියගේ බඩ පලා රන් බිජු සියල්ල එකවර ගතහොත් ගමහැර නගරයට ගොස් එම බිත්තර විකුණා මහත් වස්තුව රැස් කොට සතුටින් ජීවත් විය හැකි යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව කිකිළියගේ බඩ පලා බැලුවේය. එහි බිත්තර නොවීය. බිඳ වැටුනේ ගමරාලගේ සිහිනය පමණක් නොවේ. ගම ගෙදරට බිත්තර සැපයූ කිකිළිය ද අහිමි විය.

ආශ්චර්යය උපදවා ගැනීම පිණිස වර්තමානයේ  රට තුළ සිදුකෙරෙන බොහෝ ක්‍රියාකාරකම් අසන දකින විට අපට මතක් වන්නේ රන් බිජු ගත් හැටි කියන මේ ගම කතාවය. බලාගෙන යන කොට මේ ගමරාළලා ද අර ගමරාළට දෙවෙනි නැත. මොවුන් උත්සාහ කරන්නේ ද ලංකාව කණ පිට පෙරලා හෝ තමුන්ට ආශ්චර්යය ළඟා කර ගන්නටය. රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2002 දී ලංකාවට පටවන්නට හැදූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන බලවත් ජනතා විරෝධය හමුවේ එදා නිශ්ප්‍රභා විය. නමුත් මේ වැඩ පිළිවෙලම ඊටත් වඩා සාහසික ආකාරයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නඟමින් සිටී. යටත් විජිත පාලන සමයේ පවා සුරැකුනු පාරිසරික සම්පත් හා ජාතික උරුමයන් ඉදිරි වසර කිහිපය තුළ ලංකා මාතාවට අහිමි වනු ඇත. ඒ මතු නොව අපට අනන්‍ය වූ සංස්කෘතිය හා සදාචාරය ද එතෙකින් වල් වැදෙනු ඇත.

දශක 04 කට නොවැඩි කාලසීමාවක සිටම ලංකාව අනුගමනය කරනු ලබන්නේ එකම ආර්ථික ක්‍රමෝපාය යන්ය. පාලකයින් කුමක් ප්‍රකාශ කළ ද බලයට පත්වන සෑම ආණ්ඩුවවක්ම විශ්වාසය තබා සිටින්නේ විදේශීය ආයෝජනයන් කැඳවීම කෙරෙහිය. ඒසඳහා විවිධ බදු සහන පිරිනමමින් විවිධ රාජ්‍ය ආයතන පිහිටුවමින් සෑම රාජ්‍යයක්ම උත්සාහ කළේය. තව තවත් රට අර්බුදයට ගමන් කළා මිස  වෙනත් යහපතක් සිදු වූයේ නැත. ආණ්ඩුවද ගමන් කරන්නේ එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයෙහිමය. ලාභය අපේක්ෂාවෙන් යන මේ ගමනේදී මිනිසා සහ ස්වභාවික සම්පත් ද සාරධර්ම ද එතරම් වැදගත්කමක් හිමි වන්නේ නැත. ගොවීන් ‍ෙගාවි බිම්වලින් ද, දිළින්දන් නගරවලින් ද, ධීවරයින් මුහුදු කරයෙන් ද පලවා හරින ප්‍රවෘත්ති අපට දිනපතා අසන්නට ලැබෙන්නේ ඒනිසාය.


ආර්ථික සංවර්ධන ඇමතිවරයා වැඩි බරක් දමා තිබෙන්නේ සංචාරක කර්මාන්තය කෙරෙහිය.ලංකාව ඩුබායිකරණය කිරීම යනුවෙන් එය හඳුන්වති. බදු සහන ප්‍රදානය කෙරෙන්නේ සූදු නියාමක පනත් ගෙන එන්නේ ඊට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමටය. ඊජිප්තුව යටත් විජිතයක්ව පැවති මැකාව් දූපත් සමූහය ලෝක මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ, සූදු අන්තුවන්ගේ සහ ගණිකාවන් ඇසුරු කරන්නන්ගේ කේන්ද්‍රස්ථානය විය. ලොව පුරා කලු සල්ලි උපයන්නන්ගේ ධනය එරටට ගලා එන්නට විය. එහෙත් මනුෂ්‍යත්වට එහි කිසිදු මිළක් නොවීය.  මැකාව් පසුව චීනයට පවරා ගත්ත ද චීනය එරටට ඒ මාවතේම ගමන් කරන්නට ඉඩ හැර තිබේ.

සංචාරක ව්‍යාපාරය විෂයෙහි ලංකාව අද අනුගමනය කරමින් සිටින්නේ යට කී මැකාව් ආදර්ශයයි. ආණ්ඩුවේ මෙම තීරණයෙන් ප්‍රථමයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබෙන්නේ වයඹ කල්පිටියෙන් ඔබ්බෙහි දූපත් 17 ක ජිවත් වූ පාරම්පරික ධීවර ජනතාවටය. අහිමි වන්නේ ලක්මව සතු මිළ කළ නොහැකි සොබා සම්පත් සහ ජාතික උරුමයයි.

       දූපත                                            හෙක්ටයාර්
බත්තලගුණ්ඩුව                                   145.53
පල්ලියවත්ත                                         60.89
වෙල්ලේ  1                                            1.05
වෙල්ලේ  2                                          13.70
වෙල්ලේ  3                                          10.80
උච්චමුණේ                                         449.30
ඉන්පන්තිව්                                           76.88
පෙරිය අච්චිමලේ                                  46.60
සින්න අච්චිමලේ                                   16.
ඉරමතිව්                                             101
සින්න ඉරමතිව්                                       2.23
මුන්වෙල්                                            715.14


          මෙම දූපත් යොදා ගනිමින් තරු 5 හෝටල් 2 ක්, ගුවන් තොටුපොළක්, sea plane නැවතුම් පොළවල් 02ක්, ගොල්ෆ් පිටියක් හා තුරඟ තරඟ පිටියක් ඉදිකිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘති  සඳහා යෝජිත මුදල ඇ.ඩො. බිලියන 400කි.

මේ හේතුවෙන් රටට අහිමි වන දේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් පාරම්පරික ධීවර පවුල්  4500 කට සිය නිජ බිම අහිමි වී ඇත. ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ  රක්ෂිත  වනාන්තරයේ හෙක්ටයාර් සිය ගණනක් දැනටමත් එළිකරමින් පවතී. අලි ඇතුන් ප්‍රමුඛ වනජීවීන් හට උන්ගේ නිජබිම ද අහිමි වේ. වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහතා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කරනු ලැබූ දීර්ඝ කන්නලව්වකින් පසුව 1940 ප්‍රකාශයට පත් කළ විල්පත්තු අභය භූමිය දෙපලුවන සේ අධීවේගී මාර්ගයක් ඉදිකිරීමෙන් ද විශෘල වන සම්පතක් රටට අහිමි කර තිබේ. පරිසරයේ සමතුලිතතාවය බිඳ දැමීමෙන් අපට තිබූ හොඳම වනෝද්‍යානය විනාශ කර ඇත. sea plane නැවත්වීම සඳහා පුත්තලම් කලපුවේ කඩොලාන පද්ධතිය වනසා දැමීම නිසා මතස්‍ය වගාවත් ජෛව විවිධත්වයත් විනාශට පත්වේ. මීගමුව කලපුව, ලන්දේසි ‍ෙබාක්ක, මන්නාරම් බොක්ක සංචාරක හෝටල් වලින් මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් ජීවයෙන් තොර මළ කලපු බවට පත්වේ. ලුනාව කලපුවට දැනටමත් මේ ඉරණම අත් වී ඇත. හොඳම සජීවි කොරල් පරය සේ සැලකෙන කල්පිටිය කොරල්පරය ද මරණයට  ගොදුරු වනු ඇත.

නිලධාරීන් මේවා සිදු කරන්නේ නිසි පාරිසරික පුරා විද්‍යාත්මක හෝ සංචාරක ප්‍රවර්ධන ශක්‍යතා අධ්‍යයනයකින් ද නොවේ. තද ඉඩෝරයට මුහුණ දෙන කල්පිටිය හා මන්නාරම් ද්‍රෝණියේ  සාගරය සන්සුන් වන්නේත් මිනිසුන්ට එළිමහනේ ගැවසිය හැක්කේත් වසරේ මාස තුනක කාලක් පමණි. ඔවුන්ගේ ඉලක්ක බිඳ වැටෙන විට අපට බොහෝ දේ අහිමිව ගොස් හමාරය. යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදීන් ‍මේ රටට සිදුකළ හානියට වඩා වැඩි විනාශයක් දැනටමත් මේ ප්‍රදේශවලට සිදුකර ඇත.
අවසානයේ ජනතාවට රන් බිජුත් නැත. කිකිළිත් නැත.

- උදේනි සමන් කුමාර.    

No comments: