Friday, December 17, 2010

වෙන රටකට යමු ද රත්තරන්

රජ්ජුරුවන්ගේ මඟුල් තොරණේ බොහො‍ඬෙක් වාසය කළේය. බොහොඬා කියන්නේ කටුස්සාටය. රජු මඟුල් උයනට පිවිසෙන සෑම වාරයකම තොරණ මත සිටින කටුස්සා ගෞරවයෙන් යුතුව හිස නමා ආචාර කිරීම පුරුද්දක් කර ගත්තේය. මෙය දුටු රජු බොහෝ සතුටට පත්ව කෘතගුණ සැලකීම පිණිස කටුස්සා‍ෙග් ගෙලෙහි රන් කෙන්දක් බඳින ලෙස රාජ පුරුෂයන්ට නියම කළේය. පසුදින මඟුල් උයනට පිවිසෙන රජු තොරණ මත සිටින කටුස්සාගේ ගෙලෙහි රත්‍තරං අරුණාලෝකය වැටී දිලිසෙන අයුරු දුටුවේය. රජා තුට්ටුවකට මායිම් නොකළ බොහෙඬා සාඩම්බර ලීලා‍වෙන් අහක බලා ගත්තේය. රත්තරංවල ආනුභාව එහෙමය. 

            රත්තරංවල ගති සොබාව අනුව රත්තරං කැමති ඇති නැති උදවියගේ කණේ කරේ එල්ලෙන්නටය. එහෙම උදවිය ළඟ ඇතෙක් බරට වුවත් රත්තරං තිබේ. නැති බැරි අය ළඟ රත්තරං තිබෙන්නේ මංචාඩි ගාණටය. ඒ රත්තරං, දෝනියැන්දෑගේ ගෙලේ සුමානයක් තිබුනොත් ඉතිරි අවුරුද්ද පුරාම තිබෙන්නේ උකස් බැංකුවේය. දැන් රත්තරං බේරා දෙන අය ද සිටිති. රත්තරං බේරා දෙන්න අපට කියන්න රත්තරං කියලා.  කියලා දැන්වීම් පත්තරවලත් මග තොටේත් දකින්නට තිබේ. ඒ උකසට සින්න වෙන්න යන රත්තරං ගැනය. රත්තරං බිස්කට් ද තිබේ. ඒවා වැඩිපුර අතපත ගාන්නේ රේගුවේ මහත්තුරුය.

 එල්.ටී.ටී. රත්තරං කියා තවත් රත්තරං ජාතියක් තිබේ. ඒ රත්තරං  උතුරේ යුද්ධයේ අවසාන දවස්වල යුද්ධ හමුදාවට තොග පිටින් හමු වී යැයි මාධ්‍යවල පලවිය. ඊට පසුව ඒ ගැන හාවක් හූවක් නොවූ නිසා රත්තරං අන්ත්‍රස්ථාන වී දැයි සැකයක් තිබිණ. ඒසැකය පහව ගියේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයක් නිසාවෙනි.

            දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද රත්තරං ප්‍රශ්නය සහ ඊට ආණ්ඩු පක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා දෙන ලද රත්තරං පිළිතුර මෙසේය.



1-  ප්‍රශ්නය  
එල්.ටී.ටී. ය සමඟ කළ අවසන් සටනේ දී රජයේ හමුදාවන් විසින් එල්.ටී.ටී. ය සතුව තිබූ අත් අඩංගුවට ගත් රත්තරං කිලෝ ප්‍රමාණය කොපමණද?

           පිළිතුර
          කිලෝ 110 ක් පමණ වේ.
2- ප්‍රශ්නය
            එම රත්තරං තොගය සොයා ගත් නිලධාරියා කවුද?

          පිළිතුර
ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ 58 වැනි සේනාංකය හා ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් සේවා බලකාය.
  
3 - ප්‍රශ්නය       
           එම රත්තරං තොගය භාර දී ඇති උසාවිය හෝ ස්ථානය කුමක්ද?

        පිළිතුර
          මේ පිළිබඳව පත්කළ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නීත්‍යානුකූලව භාර
         දෙමින් පවතී.

4- ප්‍රශ්නය
         එම රත්තරං තොගයේ වටිනාකම රුපියල්වලින් කොපමණද?
 පිළිතුරු
       රුපියල් මිලියන 490 ක් පමණ වේ.
 
දයාසිරි ජයසේකර මහතා.
මම දැන ගන්න කැමතියි මේ භාරදෙමින් පවතිනවා කියන එකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ අතරමඟ දැන් වාහනවලින් ගෙන යමින් තිබෙනවාද? නැත්නම් ලියුම් හුවමාරු වෙමින් තිබෙනවාද?

කත‍ානායකතුමා 
එතුමාට හොඳට තේරෙනවා. ඒක නිසා විස්තර වැඩක් නැහැ.

දයාසිරි ජයසේකර මහතා
ඒක තමයි මම කිව්වේ.

දිනේෂ් ගුණවර්ධන මහතා.
මේ පිළිතුරු බැලුවාම ඉතා පැහැදිළිව තේරෙනවා භාරදෙමින් තිබෙනවා කියලා. යම් යම් කොන්දේසි අනුව තමයි පරීක්ෂා කරල භාර දෙන්නේ. එහෙම නැතිව ගෝනියක දමලා එක සැරේ භාර දුන්නට භාර ගන්නෙත් නැහැ. ඒවා භාරදෙන ක්‍රම වේදයක් තියෙනවා.

දයාසිරි ජයසේකර මහතා
ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ ........,

කතානායකතුමා
හොඳයි. පැහැදිලියි.

දයාසිරි ජයසේකර මහතා
මම අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔබතුමාට කියන්නේ මේකයි. මේ නිලධාරීන් මේවා ලියනකොට අඩුම තරමින් ඇමතිවරු අපහසුතාවයට පත් කරන්න හොඳ නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා
නැහැ නැහැ ඔබතුමා බයවෙන්න එපා.

දයාසිරි ජයසේකර
භාර දෙමින් පවතී කියල කිව්වම ඔබතුමාත් තේරුම් ගන්නවානේ. දැන් මේ මා ළඟ  තියෙන පොත මෙන්න මෙහෙම දැන් දෙනවා නම් භාර දෙමින් පවතී කියන්න පුළුවන්.

දිනේෂ් ගුණවර්ධන මහතා
භාර දෙමින් පවතිනවා.

කතානායකතුමා
පැහැදිලියිනේ.

දිනේෂ් ගුණවර්ධන මහතා
කෑල්ලෙන් කෑල්ල ‍ෙවන වෙනම පැකට් කරනවා. උසාවියේ නීතිඥයෙක් නේද එතුමා...? කෑල්ලෙන් කෑල්ල උසාවිය වෙනම සීල් කරනවා නේද?

දයාසිරි ජයසේකර මහතා
නැහැ. නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා
කෑල්ලෙන් කෑල්ල වෙන වෙනම සීල් කරන්න ඕනෑ. හමුවුන තැන, ඒවා කොහොමද අත් අඩංගුවට ගත්තේ කියලා හොයලා සීල් කරලා ඒවා පරීක්ෂා කරනවා. ඇසින් දුටු සාක්ෂි ගන්නවා. මේවා ඔක්කොම ඔබතුමාට කියන්න ඕන නැහැ. ඔබතුමා ඉදිරි පේලියට පැමිණෙන්න ඉන්න දක්ෂ නීතිඥවරයෙක්.

දයාසිරි ජයසේකර
මම ඇසුවේ හොරෙන් ගිහිල්ලා අල්ලන ඒවා ගැන ‍ෙනවෙයි. අවසන් හමුදා මෙහෙයුමේ දී සොයා ගත්ත ඒවා ගැන. අර බලන්න ෆයිල් එකෙන් මූන වහ ගන්නවා. උත්තර දෙන්නේ නැහැ. හැංගෙනවා.

කතානායකතුමා
ඒ ගණන එකතු කර ගන්න ඇත්තේ ලක්ෂ ගණනක සේවකයින්ගෙන්. ඒක  හන්දා වෙන්න ඇති ටිකක් අමාරු.

දයාසිරි ජයසේකර මහතා
මම ඇහුවේ මේ තැන් තැන්වලින් අත් අඩංගුවට ගන්න ඒවා පිළිබඳව නොවෙයි. මෙතුමා කියන්නේ අරහෙන් මෙහෙන් භාණ්ඩ අත් අඩංගුවට ගත්තහම උසාවි සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ගය ගැනයි. ඒවා නොවෙයි මම අහන්නේ. අවසන් මෙහෙයුමේ දී හමුදාවෙන් අත් අඩංගුවට ගන්නා ලද රත්තරං ප්‍රමාණය කොච්චරද කියලයි.

දිනේෂ් ගුණවර්ධන මහතා
උත්තර දුන්න‍ා දැන් ඒකම ආයෙත් අහනවා.

කතානායකතුමා
එහෙම අහනකොට තව ප්‍රශ්න එකතු වෙනවා.

දයාසිරි ජයසේකර මහතා
කතානායකතුමනි උත්තර දෙන්නේ නැතිව අපි මොකටද මේ ප්‍රශ්න අහන්නේ.

දිනේෂ්  ගුණවර්ධන මහතා
උත්තර දුන්නනේ. සංඛ්‍යාව, ප්‍රමාණය සියල්ල කිව්වා.

දයාසිරි ජයසේකර මහතා
කතානායකතුමනි මම දැන් මගේ ළඟ තියෙන දුරකතනය මා ළඟ ඉන්න අජිත් පෙරේරා මන්ත්‍රීතුමාට දෙනවා. ඔන්න භාර දුන්නා. භාර දෙමින් ති‍ෙබනව කියලා මේක කරේ තිය‍ාගෙන ඉන්නෙ නැහැ. මම අහන්නේ ඒකයි.

කතානායකතුමා
ඒ විස්තර ඕන නැහැ. ස්ථාවර නියෝග අනුව ප්‍රශ්න අහන්න.

දයාසිරි ජයසේකර මහතා
මේ ෆෝන් එක ඔබතුම‍ාට භාර දෙනවා කියලා කිව්වොත් කාට හරි කියන්න පුළුවන් බාර දෙමින් බවතී කියලා.

කතානායකතුමා
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න 3 නම ඉවරයි.

දයාසිරි ජයසේකර
කෝ කිසිම උත්තරයක් දෙන්නෙ නැහැ.
ඔන්න ඔහොමයි. එල්.ටී.ටී. රත්තරං කතාව සිද්ධ වුනේ. මේ රත්තරං කතා ඔක්කොම එකට අරං නන්දා මාලිනි කිව්වා වාගේ වෙන රටකට යමුද රත්තරන්.
 

 


             
       

3 comments:

Anonymous said...

එහෙනම් අපි වෙනත් රටකට යමින් ඉම්මු.

charmi said...

දැන්නේ තේරුණේ.... ආණ්ඩුව බොරු කියා නැත.
2500 දෙමින් පවතී.... එලස්!!!

දුකා said...

ඒකනේ බලන්න මේ දිනේශ් වත් වෙන ඇමති කෙනෙක් වත් බොරු කියන්නේ නෑ.

අර කිව්වත් වගේ දෙදාස් පන්සීයත් දෙන්නේ නෑ කිව්වේ නෑනේ.

මාසෙකට 500 ගනේ දුන්නත් මාස පහකදී 2500 දීලා.

මේ දෙශද්‍රෝහියෝ මැරෙන්න හදනවා මහින්ද හාමුදුරුවෝ ඉස්ස්සරහා පොරොන්දු වෙලා ඒක කනඩාවාය . . බොරු කිව්වාය කියලා . .

ශික් විතරක් මෙහෙම ජනතාවක්