Friday, December 17, 2010

කක්කුටු ඔවදන්

ඉදිරි මුදල් වර්ෂය සඳහා වූ අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙන්ම අයවැය පිළිබඳ විවාදය අවසන් වීමෙන් පසුව මුදල් ඇමතිවරයාට නියමිත පිළිතුරු කතාව පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිම විශේෂ  වැදගත්කමකින් යුත් සාධනීය කටයුත්තකි. අප එසේ පවසන්නේ මුදල් අමාත්‍යධුරයේ වගකීම පවරා ගන්නා ජනාධිපතිවරු ව්‍යවස්ථා දායක සභාව ඉදිරියට පැමිණ සෘජුව ඊට මුහුණ දීමේ සම්ප්‍රදායක් ලංකාවේ නොවූ හෙයිනි. අයවැය ලේඛනය සම්බන්ධ රජයේ තීන්දු, තීරණ, ප්‍රතිපත්ති, ජනාධිපතිවරයා විසින්ම රට හමුවේ තැබීම හේතුවෙන් ඒවා ඒවාට නියමිත බරෙන්ම සමාජ ගත කළ වීම සිදුවේ. බොහෝ විට පොරොන්දු සුළ‍ඟේ යන ලංකාව වැනි රටක මුදල් ඇමතිවරයාට පහසුවෙන් ලිස්සා යාමට නොහැකි පසු බිමක් මේ හේතුව විසින් නිර්මාණය වේ.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම කෙසේ වුවද තුනෙන් දෙක ඉක්ම වූ බලයක් හිමි කරගෙන සිටින ආණ්ඩු පක්ෂය පසුගිය අයවැය විවාදය තුළ හැසිරුණු ආකාරය ඉතා ලජ්ජා සහගතය. අයවැය විවාදයේ දී විපක්ෂයට කිසිසේත් ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදිය යුතුය යන උපකල්පනය මත පිහිටා ආණ්ඩු පක්ෂය ක්‍රියාකල බැව් පැහැදිලි විය. ඉන් පැන නගින ගැටලුව නම් විපක්ෂ මන්ත්‍රීන්ට නිදහසේ  අයවැය විවාදයට සහභාගී වන්නට ඉඩ නොදෙනවානම් අයවැය විවාදයක් පැවැත්වීමේ තේරුමක් නැති බවයි.


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පළකල සාහසිකත්වය කොතරම් දැඩි වීද යත් අවස්ථා ගණනාවක්ම පාර්ලිමේන්තු විවාද අත් හිටුවන්නට කතානායක චමල් රාජපක්ෂ මහතාට සිදුවිය.

වෙස්මිනිස්ටර් පාලන ක්‍රමයේ මුදුන් මල්කඩසේ සැලකෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කිසිදු වගකීක් නැති හිස් මිනිසුන්ගේ රජදහනක් බවට පත් වෙමින් තිබෙන්නේ පසුගිය දශක දෙකක පමණ කාලයක් සිටය. මේ තත්වය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හදුන්වා දුන් මැතිවරණ ක්‍රමයේම විකෘතියක් ලෙස අපි දකිමු. මින් ඉදිරියට මහත්වරුන්ගේ දේශපාලනයට ද රාජ්‍ය සභාවේ ඉඩක් නැති බව පැහැදිලි වී තිබේ. කලක් මහත්වරු මෙන් වගකීමෙන් කටයුතු කළ ඇමතිවරු පවා තුනෙන් දෙකේ බලයෙන් හිස උදුම්මා ගෙන දාමරිකයන් ලෙස හැසිරෙන අන්දම ජනතාව දකිති. අසභ්‍ය වචන කියා කෑ ගැසීම, හූ කීම, නින්දා පරිභව කිරීම ඉතාම සාමාන්‍ය දේ බවට පත්ව තිබේ. පාසැල් සිසුන් මහජන ගැලරියේ  සිටින බැවින් නිශ්ශබ්ද වන්නැයි කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීම හැන්සාඩ් වාර්තාවේ සෑම පිටුවකම පාහේද දක්නට ලැබෙන සාමාන්‍ය සිද්ධියකි.
 වරක් පාතාල මන්ත්‍රීවරයෙකු ලෙස කුප්‍රකට අයෙකු මහජන නියෝජිතයෙකු වූ එක්තරා භික්ෂුවක ගේ අණ්ඩකෝෂ මිරිකීම නිසා උන්වහන්සේ රෝගාතුරව රෝහල් ගත වූ බවත් මේ සිදුවීම නිසාම කම්පනයට පත් උන්වහන්සේ පසුව තම මන්ත්‍රීධූරය ගිහියන්ට භාර දී පාර්ලිමේන්තුවෙන්ද දේශපාලනයෙන්ද සමුගත් බවත් වාර්තා විය.
 විනය ඉහළින් බිඳ වැටුණු පසු පහළ ගැන කියනු කවරේද? රට පුරාම මේ සාරධර්ම පරිහානිය ඉහ වහා ගොස් ඇත. ඉහළින් විනය බිඳ දමන ඇත්තෝ තුමූ ඇදට අඩි තබමින් පැටවුනට කෙලින් යන්නට උපදෙස් දෙන කකුලුවන් මෙන් සිසු විනය, භික්ෂු විනය, පුරවැසි විනය, නිලධාරි විනය ගැන ගැඹුරු දේශනා පවත්වති. උසස් අධ්‍යාපන අගමැතිවරයාට හූ කීවේ යැයි පේරාදෙණිය සරසවියේ සිසුන් සිරගතකොට ඇමතිවරු පාර්ලිමේන්තුවේ හූ කියන හැටි ජනතාව රූපවාහිනියෙන් පිළිකුලෙන් බලා සිටිති. සිසුන් දහසක් සිර ගතකොට හෝ සිසු විනය හදනවා යැයි වරක් සිරගතව සිටි උසස් අධ්‍යාපන ඇමතිවරයා පාරම්බානවා ඇසේ. මේ කතා කක්කුටු ඔවදන්වලට දෙවෙනි නැත.
පසුගිය සැප්තැම්බර් මස 23 වන දින පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදයට සම්බන්ධ වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමාට දිගින් දිගටම බාධා පමුණුවන මර්වින් සිල්වා නි. ඇමතිවරයාට මෙසේ ප්‍රකාශ කර තිබුණා.

නියෝජ්‍ය ඇමතිතුමා මම යෝජනා කරනවා ඔබතුමාට ආචාර්යකම වෙනුවට මහාචාර්යකමක් දෙන්න ඕනෑ කියලා. මොකද. ඔබතුමා ඔප්පු කරනවා ජනතා පරමාධිපත්‍යය කුණු හරුපයක් කියලා. ඔබතුමා ඔප්පු කරනවා ව්‍යවස්ථාවක් නැහැ කියලා. ඔබතුමා ඔප්පු කරනවා නීතියක් නැහැ කියලා. ඔබතුමාට දෙන්න ඕනෑ ව්‍යවස්ථා, අධිකරණ නීති පිළිබඳ මහාචාර්යධුරය. (බාධා කිරීමක්) ඔබතුමා අයිති 21 වන ශත වර්ෂයට නොවෙයි. 22 වන ශත වර්ෂයට. හේතුව මොකද? දන්නවාද? මේ ලංකාව නීතියක් නැති, ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, බහුභූත ව්‍යවස්ථාවක් තිබෙන, කුණුහරුප රටක් කියලා ඔප්පු කරන්නේ මහාචාර්ය මර්වින් සිල්වා.
                        සුනිල් හඳුන්නෙත්ති මහතා
                        හැන්සාඩ් වාර්තා
                        2010 සැප්. 23 (පිටු අංක 526)

දේශප්‍රේමි සිංහල බෞද්ධ බලවේගවල න්‍යාය පත්‍රයෙහි ඊළඟට තිබෙන්නේ 2600 යේ බුද්ධ ජයන්තිය සැමරීමය. කිලිනොච්චි නගරයේ A9 මාර්ගය හරහා මේ බුදුන්ගේ දේශයයියනුවෙන් මහා පුවරුවක් සවිකර ඇත්තේත්, වන්තියේ හතරමං හන්දිවල බුදු පිළිම තැන්පත් කරන්නේත් ඒ සඳහා විය යුතුය. කෙසේ වුවද හුණුපිටිය ගංගාරාමවාසී ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවෝ රටේ වර්තමාන තත්වය සම්බන්ධව අගනා නිර්වචනයක් දක්වා තිබේ. පසුගිය දෙසැම්බර් 12 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ එම අදහස් මෙසේය.
                       
සාරධර්ම ගැන කතා කරන අප රටේ ඇඳුමක් සෝදා එළියේ වැනීමට බැරිය. පාවහන් ගලවා ආගමික සිද්ධස්ථානයකට යා නොහැක. ගෙදර දොරවල් වසා මළ ගෙදරකටවත් යා නොහැක. ඒ තරමටම හොරු බෝ වී හමාරය. වගාකරන දේත් හොරු ගෙන යන යුගයකි. එක ප්‍රදේශයක නොව සකල ශ්‍රී ලංකාවේ ම හැටි එහෙමය.
                        ගලබොඩ ඤාණිස්සර නා හිමි
                        ඉරිදා ලංකාදීප
                        2010 දෙසැම්බර් 12.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අය-වැය පිළිතුරු කථාව කරමින් පැවසුවේ,

මේ එළඹෙන 06 වසර තුළ අපේ රටේ දුප්පත්කම මුළුමනින්ම තුරන් කර   ආසියාවේ නැඟී එන ආර්ථිකයක් ලෙස ඩොලර් 4000 ඉක්ම වූ ඒක පුද්ගල ආදායමක් ඇති රටක් බවට පත් කිරීමට අවශ්‍ය පරිදි මේ අය-වැය සකස් කළා.
                        මුදල් අමාත්‍ය
                        අයවැය පිළිතුරු කථාව

රට යන අත ගැන චිත්‍රයක් ඇඳ ගැනීමට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා අයවැය විවාදයේ පළකල මෙම අදහස් වැදගත් විය හැකියි.

අපි ඉරහඳ අල්ලන්න ගිය ජාතියක් නෙවෙයි. බඩගිනියි කියලා කට ඇරගෙන  කෑගහන  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අප මතක් කර දියයුතුයි කාරණයක්. එදා වළගම්බා යුගයේ බැමිණිතියා සාය වෙලාවේ 24000 ක් මහ රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. තවම මේ රටේ එක මිනිහෙක් බඩ ගින්නේ මැරුණේ නැහැ. අඩු තරමින් පාරේ හිඟා කන හිඟන්නෙකුවත් කුණු කූඩ අවුස්සන් කන බල්ලෙක්වත් බඩගින්නේ මැරුණෙ නැහැ. එදා මහරහතන් වහන්සේ පිරිනිවන් පාද්දිත් ජනතාව වළගම්බා එක්ක හිටියා. රට එක් සේසත් කරපු වළගම්බා එක්ක හිටියා.
                        පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර
                        2010 අයවැය විවාදය.

ඒ කෙසේ වුවද අතුරු සම්මත ගිණුම 2010 පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ දේශනා කර තිබෙනවා.

බලවතා උලෙහි ඇමිනූ මසෙකුසේ දුබලයා පුලුස්සන බව ඔහු නීතියේ කියා තිබෙනවා. පූජාවට හැදූ කැවුම් පූජාව ගැන හැඟීමක් නැති කපුටා කනවා. දේව පූජාව  ගැන හැඟීමක් නැති බල්ලා දේව පූජාවට පිසූ ආහාර කනවා. නායකයෙක් නැත්නම් අධමයා උත්තමයාගේ තැනට එනවා.
                       
                        පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
                        පාර්ලිමේන්තු විවාද
                        2009 ඔක්. 08


        

No comments: